Friday, July 25, 2014

දිනමිණ Fm

පත්තර මහ ගෙදර සිට කතා කරමි!


ලෝකයේ පවතින අති ප්‍රබල ජනමාධ්‍යය ගුවන් විදුලිය යි. එය සනාථ කළ හැකි සූත්‍ර දෙකක් අපට පෙන්වා දිය හැකි ය. පළමුවන්න ජනගහනයෙන් විශාල පිරිසක් ඇසුරු කරන මාධ්‍ය කුමක්දැ’යි සමීක්ෂණයක් මඟින් සොයා බැලීම ය.
දෙවන්න ජන මාධ්‍ය අතර වැඩිම විශ්වාසයක් පවතින මාධ්‍යය කුමක්දැ’යි සමීක්ෂණයක් මඟින් සොයා බැලීම ය. සමස්ත අප්‍රිකාව ඇසුරු කරන්නේ ගුවන් විදුලිය යි. ඔවුන් විශ්වාස කරනුයේද ගුවන් විදුලිය යි. ආසියාවේ, ලතින් අමෙරිකාවේ හා යුරෝපයේ ද එය අඩු වැඩි වශයෙන් පවතී.
අපට ගුවන්විදුලිය ගැන කතාකරන්නට සිත් වූයේ ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ විප්ලවීය ආරම්භයක් ඊයේ ඇති වූ නිසා ය. එය හැඳින්විය හැක්කේ අපේ රටේ පත්තර මහ ගෙදර හා ගුවන්විදුලි මහගෙදර එකට එකතුවීමක් ලෙස ය. ලේක්හවුස් ආයතනය, දිනමිණ කන්තෝරුව හෙවත් පත්තර මහ ගෙදර ශ්‍රී ලංකාවේ ඇති පරමාදර්ශී පත්තර ආයතනය යි. ගුවන් විදුලි සංස්ථාව යනු අපේ රටේ ඇති පරමාදර්ශී ගුවන් විදුලි ආයතනය යි. පත්තර මහ ගෙදරට වයස අවුරුදු එකසිය හතරකි. රේඩියෝ මහ ගෙදරට වයස අවුරුදු අසූ අටකි.
මේ ආයතන දෙක එකතු වී අලුත් එෆ්.එම්. නාලිකාවක් ආරම්භ කර තිබේ. එහි මූලික අරමුණ අපේ ජනතාව දැනුමෙන් හා ප්‍රඥාවෙන් සන්නද්ධ කිරීම ය. ඒ හැරුණුකොට ජනතාවගේ රස වින්දනය දියුණු කිරීම,අපේ ජාතික උරුමයන් සංරක්ෂණය කිරීම, සාංස්කෘතික සංවාද ඇතිකිරීම යන විවිධ අරමුණු මේ නාලිකාවට තිබේ. එය මුළුමනින්ම ගත් කළ ජාතීය අරමුණක්ඇති ව මෙහෙය වන වගවීමක් සහිත ජනමාධ්‍ය ආයතනයක් ලෙස හැඳින්විය හැකි ය. පෙරැළිකාර සංකර සන්නිවේදන විප්ලවවලට එහි ඉඩක් නැත.
ඉතාලි ජාතික මාර්කෝනි ගුවන් විදුලි තාක්ෂණය සොයා ගත්ත ද; එහි ඇති සන්නිවේදන ප්‍රබලත්වය හඳුනාගත්තේ නැත. ඉන් අදහස් කරන්නේ ගුවන් විදුලියේ දැවැන්ත සමාජ කාර්යය ගැන පුළුල් දැක්මක් මාර්කෝනිට තිබුණේ නැති බව ය. ඒ නිසාම ඔහු තම තාක්ෂණය මහා බ්‍රිතාන්‍යයට අලෙවි කළේය. මහා බ්‍රිතාන්‍යය එය නව තාක්ෂණයෙන් ද පෝෂණය කොට යටත්විජිතකරණය සඳහා යොදා ගත්තේ ය. ලෝකයේ ප්‍රථම ගුවන් විදුලිය ඉතාලියේ බිහි විය යුතුව තිබුණ ද එය ස්ථාපිත වූයේ මහා බ්‍රිතාන්‍යයේ ය.
ගුවන් විදුලිය මිනිස් සමාජයේ ප්‍රයෝජනය සඳහා යොදාගන්නේ නම් ඒ සඳහා හොඳම ආදර්ශ ලබා ගත හැක්කේ අප්‍රිකාවෙන් ය. ඉංග්‍රීසිකාරයා අඳුරු මහාද්වීපය ලෙස හැඳින්වූ අප්‍රිකාව අඳුරෙන් එළියට ආවේ ගුවන් විදුලිය නිසා ය. අප්‍රිකාවේ මහා ප්‍රබන්ධකථාකරු ලෙස හඳුන්වන චිනුවා අචෙබේ අප්‍රිකානු ගුවන් විදුලියේ උපදේශක තනතුරක සිටියේය. ඔහු හැමවිටම එය මහත් ඉහළින් අගය කරමින් කටයුතු කළේය. කෙන්යාවේ විමුක්ති ව්‍යාපාරය වූ මො - මෝ සංවිධානයේ නායක ඩෙඩෑන් කිමානි කියා සිටියේ අප්‍රිකාව දැනුවත් කළ හැක්කේ ගුවන් විදුලියෙන් පමණි යන්න ය.
අප්‍රිකාවේ ගුවන් විදුලි මාධ්‍යවේදීන් පුහුණු කරන වැඩමුළුවක් 1960 ගණන්වලදී පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා පොදු රාජ්‍ය මණ්ඩලයද ඊට සහයෝගය ලබා දුන්හ. මේ වැඩමුළුවල දී අප්‍රිකානු ගුවන් විදුලි ශිල්පීන්ට ප්‍රධාන කරුණු හතරක් අවධාරණය කරන ලදී. පළමුවන්න වැඩමුළුවලට යන්න එහි සිට වාර්තා කරන්න යන්න ය. දෙවන්න හඬක් නැති මිනිසුන්ට හඬක් දෙන්නත් සඳහා පාරට යන්න කියා ය. තෙවන්න රටේ සංස්කෘතික උරුමය රකින්න නැතහොත් රට විනාශ වේ යන්න ය. හතරවන්න හැකිතාක්දුරට දිළිඳු ජනතාව අමතන්න ඔවුන් රටේ ජීවනාලිය යන්න ය. මේ හැම උපදේශනයකින් ම අපට පාඩම් උගත හැකි ය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් විදුලිය ආරම්භ වී වසර අසූ අටක් ගත වී ඇතැ’යි අපි මුලින් සඳහන් කළෙමු. මුලින් ම ආරම්භ වූ ගුවන් විදුලි විකාශය “සියැක්” ලෙස හැඳින් වේ. එය විධිමත් ගුවන් විදුලියක් හෝ ජනමාධ්‍යයක් හෝ නොවේ. කොළඹ ගුවන් විදුලිය, ලංකා ගුවන් විදුලි සේවය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යන ලෙසින් එය විකාශය වූ අතර පසුකලෙක රටේ ප්‍රධාන ජනමාධ්‍ය බවට පත්විය. දේශපාලනය, අධ්‍යාපනය, ආර්ථිකය ආදී කුදු මහත් විෂයය පිළිබඳ නියම සංවාද පැවැතියේ ද ඒවා පිළිබඳ ඇතැම් තීන්දු ගනු ලැබුයේ ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවය. එය රටේ තීරණාත්මක සාධකයක් ලෙස පැවැතිණි.
විසිවන සියවසේ අග භාගය වන විට ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට ගුවන් විදුලි නාලිකා කඩා වදින්නට පටන් ගත්තේ ය. රූපවාහිනී නාලිකා කඩා වදින්නට පටන් ගත්තේ ය මේවායේ ප්‍රතිඵලය ලෙස සමාජය බෙහෙවින් සංකරවූයේ යැයි චෝදනා නැගිණි.
අපරාධ වැඩිවුණේ යැයි චෝදනා නැගිණි. භාෂාව හා සංස්කෘතිය විනාශ වූයේ යැයි චෝදනා නැගිණි. එහි සත්‍යයක් තිබේ. ජනමාධ්‍ය ආචාර ධර්ම ඉක්මවා ගිය සන්නිවේදන ක්‍රියාවලියක් මේ නාලිකා ඔස්සේ දකින්නට ලැබිණි. දිනමිණ එෆ්.එම්. නාලිකාව ඒ සියල්ලට වඩා වෙනස් ජාතික වගවීමක් ඇති නාලිකාවකි. එය කොළඹ පත්තර මහ ගෙදර සිට ශ්‍රී ලංකාවේ හෘද සාක්ෂියට කතා කරනු ඇත.

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.