Friday, July 25, 2014

මේ ගෙවී ගියේ ගුවන් යානා ඉතිහාසයේ නරකම සතියයි!

මේ ගෙවී ගියේ ගුවන් යානා ඉතිහාසයේ නරකම සතියයි!

නෙදර්ලන්තයේ ගමක් නගරයක් පාසා පසුගිය සිකුරාදා ශෝකී සීනු හඬින් ඇළලී ගියේ මුළු රටම එකසේ වේදනාවෙන් මුසපත් කරවන තවත් ඛේදවාචකයක මතක සටහන් ඉතිරි කරමිනි. ගම්දනව් සිසාරා ශෝකී සීනු නාදය පැතිර යද්දී සුදුවතින් සැරසී එරට අගනුවර වන ඇම්ස්ටර්ඩෑම් නුවරට එක්වූ දහසක් දෙනා සුදු බැලුම් අහසට මුදා හළේ මැඬගත් ‍සුසුම් පොද සමඟිනි.
තායිවාන් ගුවන් අනතුර
තවත් දහසක් දෙනා රාත්‍රී අඳුරේ අතේ දල්වා ගත් එළියක් ද සමඟින් නිහඬව සිය ශෝකය බෙදා ගත්හ. එරට මෙලෙස රටපුරා අවසන් වරට ශෝකී සීනු රාව පැතිර ගියේ 1962 වසරේදී රටේ ජනතාව එකසේ ආදරය කළ විල්හෙල්මිනා බිසවගේ මරණය සිදුවූ දාය.
නැ‍ඟෙනහිර යුක්රේනයේදී පසුගිය දා මිසයිල ප්‍රහාරයකින් විනාශ වූ එම් එච් 70 දරන බෝයිං 777 මැලේසියානු ගුවන් යානයේ සිටි මගීන් හා කාර්ය මණ්ඩලයේ 298 දෙනාම මිය ගියහ. ඉන් බහුතරයක් නෙදර්ලන්ත ජාතිකයෝය. බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියා සහ මැලේසියානු ජාතිකයෝ ද ඒ අතර වූහ.
නැ‍ඟෙනහිර යුක්රේනයේ සටන්කාමීන්ට අයත් ප්‍රදේශයකට කඩා වැටුණු යානයේ සුන්බුන් අතර වූ සිරුරු ශීතකරණ සහිත දුම්රියකින් නැ‍ඟෙනහිර යුක්රේනයේ සිට යුක්රේනයේ කාර්කිව් නගරයට ප්‍රවාහනය කෙරිණි. අනතුරුව ගුවන් මඟින් නෙදර්ලන්තය කරා රැගෙන එනු ලැබිණ.
මියගිය අයගේ සිරුරු රැගත් ප්‍රථම ගුවන් යානය පසුගිය බ්‍රහස්පතින්දා නෙදර්ලන්තයේ එයින්ඩෝවෙන් ගුවන් තොටුපොළට ළඟා විය. එහි සිරුරු 44 ක් විය. වෙන වෙනම පෙට්ටිවල බහා වෙන වෙනම අවමංගල රථවල තැන්පත් කර ඉතාම ගෞරවාන්විත අයුරින් මේ සිරුරු සහිත පෙට්ටි රැගෙන යද්දී මිනිත්තුවක නිශ්ශබ්දතාවක් පවත්වා මියගියවුන්ට ගෞරව පුද කෙරිණි.
ක්‍රමයෙන් අනෙකුත් සිරුරු සහිත පෙට්ටි රැගත් ගුවන් යානා එයින්ඩෝවෙන් කරා ළඟාවූ අතර එතැනින් ඇම්ස්ටර්ඩෑම් නගරයේ සිට කිලෝමීටර් 100 ක් එපිටින් පිහිටි හිල්වර්සම් කරා රැගෙන එනු ලැබූයේ පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේය.
මියගියවුන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා නෙදර්ලන්ත රාජකීයයන් වන විල්හෙල්ම් ඇලෙක්සැන්ඩර් රජු සහ මැක්සිම් බිසව ද පැමිණ සිටියහ. නෙදර්ලන්ත අගමැති මාර්ක් රුට් සහ කැබිනට් ඇමැතිවරු ද කළුවතින් සැරසී ඒ අවස්ථාවට සහභාගි වූහ.
සිරුරු හිල්වර්සම් හි යුද හමුදා බැරැක්කයට රැගෙන විත් හඳුනා ගැනීමෙන් පසු පූර්ණ මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතය. මියගිය අයගේ සිරුරු හිල්වර්සම් නගරය කරා රැගෙන ඒමට තවත් හේතුවක් වූයේ මියගිය අය අතරින් බහුතරයක් එම නගරයේ වැසියන් වීමය.
අවමංගල රථ හමුදා ගෞරව මධ්‍යයේ හිල්වර්සම් කරා රැගෙන එද්දී මඟ දෙපස සුදුවතින් සැරසී සිටි ජනයා මල් විසි කරමින් සිය ශෝකී ආචාරය පුද කළහ. මෙහිදී හිල්වර්සම් හි නගරාධිපතිවරයා කෝපයෙන් ජනතාව අමතා කළ ප්‍රකාශයක් ද විවේචන සමඟින් මාධ්‍ය හරහා වාර්තා විය.
“මේ ඛේදවාචකය ඉතාම ශෝකජනකයි. එසේම බියකරුයි. මෙය අපරාධයක්. මෙයට රුසියාවේ පුටින් ද වගකිව යුතුයි. ඔහුගේ දියණිය අපේ රටේ ඉතාම ආරක්ෂිතව සුඛෝපභෝගී දිවියක් ගත කරනවා. මේ කළ දෙයට පළිගැනීමක් ලෙස අප ඇය ද රටින් පිටමං කළ යුතුයි” යනුවෙන් නගරාධිපතිවරයා පවසා තිබිණ.
නෙදර්ලන්තයේ විල්හෙල්ම් ඇලෙක්සැන්ඩර් රජු  මැක්සිම් බිසව අවසන් ගෞරව දැක්වීමට එක්වෙමින්..
ගුවන් තොටුපොළ පුරා මල් ‍පොකුරු තබා ඇති අන්දම.
රුසියානු නායක පුටින්ගේ දියණිය ඇගේ නෙදර්ලන්ත සහකරු ද සමඟ වසර දෙකක සිට හේග් නුවර සුඛෝපභෝගී තට්ටු නිවාසයක දිවි ගෙවන්නීය. නගරාධිපතිවරයා පැවසුවේ මේ දියණිය පිටුවහල් කරන ලෙසය. එහෙත් ඔහුගේ මේ ප්‍රකාශයට ඇතැම් මාධ්‍ය පක්ෂව අදහස් පළ කරද්දී බහුතරයක් ප්‍රකාශ කළේ පියා කරන වැරැදිවලට දරුවන් වැරැදි නැති බවයි.
ඇතැම් මාධ්‍ය පුටින් දියණිය පදිංචි තට්ටු නිවාසයේ සේයාරූ පළ කරමින් ඒ නිවෙස ඉදිරිපිට උද්ඝෝෂණ සඳහා පෙලඹවීම් කළ ද එවැනි උද්ඝෝෂණ සිදු නොවීය. කෙසේ වුවත් හේග් නුවර පොලීසිය ඒ තට්ටු නිවාසය ඉදිරිපිට ආරක්ෂාව තර කිරීමට කටයුතු යොදා තිබිණ.
මේ අතර මේ ගුවන් ඛේදවාචකයෙන් සිය පුතුන් දෙදෙනා අහිමි වූ තිදරු මවක් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ ඇගේ මියගිය පුතකු මේ ඛේදවාචකය ගැන පෙර ඉඟි පළ කළ බවයි.
සමීරා කැල්ෆේර් නමැති ඒ මව සිය පුතුන් තිදෙනා බාලි දූපත් කරා පිටත් කළේ මිසයිල ප්‍රහාරයට ලක්වූ යානයේ. බාලි දූපතේ පදිංචි දරුවන්ගේ මිත්තණිය වෙත යැවීමටය. දරුවන් තිදෙනාම ගුවන් තොටුපොළට ඇරලුව ද යානයට නැග්ගේ දරුවන් දෙදෙනෙක් පමණි. අනෙක් පුත්‍රයාට සිදුවූයේ මීළඟ ගුවන් යානයේ යෑම සඳහා නැවතීමටය.
ඇගේ පුතුන් දෙදෙනා අතරින් මිගුවේල් 11 වියැතිය. ෂාකා 19 හැවිරිදිය. මේ අතරින් මිගුවෙල් පුතා ගුවනේදී සිය මවට කතා කර “අම්මේ මට ඔයා නැතිවෙයි ද” යනුවෙන් තමාගෙන් විමසූ බව ඒ මව හඬා වැටෙමින් පැවසුවාය.
“මගේ පුතාලා මට හරි ආදරෙයි. ප්ලේන් එකට නැග්ග පුතාලා මඟ දිගට මට කතා කරමින් ඇහුවේ මාව නැවත දකින්න ලැබෙයි ද කියලායි. ඔවුන් ඒ බව කියා එස් එම් එස් පණිවුඩ ද එවා තිබුණා. අනේ, ඇත්තටම මෙය හීනයක් ද? මට මගේ පුතාලා නැතිවුණා” සමීරා වැලපෙන්නීය.
ඇන්තනි මස්ලීන් හා මරීටේ නොරිස් ඔස්ට්‍රේලියානු ජාතිකයන්. ඔවුන් නෙදර්ලන්තයට ගියේ දරුවන් තිදෙනා ද සමඟය. වයස අවුරුදු 8 සිට 10 දක්වා වයස්වල වූ ඒ දරුවන් සමඟ නිවාඩුව ගත කර මවුපියන් නෙදර්ලන්තයේ නතර වූ අතර දරුවන්ගේ සීයා වූ නික් නොරිස් ඔවුන් කැටිව ඔස්ට්‍රේලියාවේ පර්ත් කරා ආපසු ඒමට එකඟ විය. සීයා ඇතුළු දරු දෙදෙනාම අනතුරින් මියගියහ.
“අප දැන් ජීවත්වෙන්නේ අන්තිම අපායක. අපේ පැටව් අප එක්ක දැන් නෑ. අපට සදහටම මේ භයානක මතකයක් සමඟ ජීවත්වෙන්න සිදුවෙලා” යැයි පවසමින් ඔව්හු වැලපෙති.
කැමරන් ඩල්සී හෙලිකොප්ටර් යානා නියමුවෙකි. නෙදර්ලන්තයේ පුහුණුවකට ගිය ඔහු ආපසු ආවේ විනාශයට පත් යානයෙනි. ඔහුත් සමඟ මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයන් ගණන දහයකි. මැලේසියාවේ පදිංචි ඔහුගේ බිරිය දැන් සැරසෙන්නේ සිය සැමියාට අයත් ක්‍රෙඩිට් කාඩ්පත අවලංගු කිරීමටය. නැ‍ඟෙනහිර යුක්රේනයේ සටන්කාමීන් අතට පත්ව ඇති කැමරන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත ඔවුන් අයථා ලෙස පරිහරණය කරන්නේ යැයි කැමරන්ගේ බිරිය පවසන්නීය.
ගුවන් ඛේදවාචකයෙන් මියගිය අයගේ ඥාතීන් පවසන්නේ සිය සමීපතමයන්ගේ ජංගම දුරකථන ද සටන්කාමීන් අතට පත්ව ඇති බවයි.
“අප එම දුරකථනවලට කතා කරද්දී නැ‍ඟෙනහිර යුරෝපානු භාෂාවකින් සැරපරුෂ ලෙස පිළිතුරු දෙනවා” යැයි ඔව්හු පවසති.
නෙදර්ලන්තයේ හිල්වර්සම් නගරයේ හමුදා බැරැක්කය වෙත ගෙන ආ සිරුරු පරීක්ෂාව සඳහා පරීක්ෂකයන් 80 ක් යොදවා සිටිති. එම සිරුරු බොහොමයක් කැඩී බිඳී තැලී ඇති නිසා මියගිය අයගේ ඥාතීන් වෙතින් ලද තොරතුරු ඔස්සේ සිරුරුවල පච්චා ලකුණු, උපන් ලප හා කැළැල් වැනි පෞද්ගලික සලකුණු ඔස්සේ එම සිරුරු හඳුනා ගැනීම් සිදු කිරීමට නියමිතය. දන්ත සහ ඩී. එන්. ඒ. වාර්තා ද ඒ සඳහා උපයෝගී කරගනු ඇත.
ඇම්ස්ටර්ඩෑම් නුවරට රැස්වූ ජනතාව බැලුම් බෝල ගුවනට මුදා හරිමින්.
මේ අතර යානය කඩා වැටුණු තැනදී සිදු කෙරෙන පරීක්ෂණවලට ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් බාධා කරන බව ද වාර්තා වේ. ඔවුන් මේ වෙද්දී යානයේ ඇතැම් අලුමිනියම් කොටස් අබලි ද්‍රව්‍යවලට විකුණා ඇති බව ද පවසයි.
“සටන්කාමීන් එතැන සිරුරු එකතු කරන අයට බාධා කරනවා. එපමණක් නොවෙයි ඔවුන් දැනටමත් එහි ඇති සාක්කි විනාශ කරලා” යැයි පරීක්ෂණ කටයුතු සිදුකරන බ්‍රිතාන්‍ය රහස් කාර්යාංශ ප්‍රධානීහු ප්‍රකාශ කරති.
2014 වසරේදී ලෝකයම තුෂ්ණිම්භූත කරවමින් සිදුවූ මැලේසියානු ගුවන් යානය අතුරුදන් වීමේ සිද්ධියෙන් පසු එකම සතියක සිදුවූ තවත් ගුවන් අනතුරු දෙකක් නිසා දැන් මුළු මහත් ලෝකයම කම්පාවට පත්ව සිටී.
අයහපත් කාලගුණ තත්ත්වයන් නිසා කඩා වැටුණු තායිවාන ගුවන් යානයේ සිටි 48 දෙනාම මිය ගියහ. එහි උණුසුම මැකී යන්නටත් පෙර පසුගිය බ්‍රහස්පතින්දා ඇල්ජීරියානු ගුවන් යානයක් මාලී රාජ්‍යය උතුරු දිග කාන්තාරයට කඩා වැටීමෙන් මගීන් හා කාර්ය මණ්ඩලය ඇතුළු 116 ක් මරුමුවට පත්වූහ.
“මෙය මුළු ලෝකයේම ගුවන් යානා ඉතිහාසයේ මා දුටු එකම සතියේ සිදුවූ දරුණුතම ඛේදවාචක තුන” යනුවෙන් ගුවන් යානා විශේෂඥ විලියම් ජේ. මැක්ගී පවසා තිබේ. මෙවැනි සතියක් තම ජීවිතය පුරාවටම අත්විඳ නැතැයි ද ඔහු පවසයි.
මේ අතර අනතුරට පත් ඇල්ජිරියානු ගුවන් යානයේ නියමුවාට අයහපත් කාලගුණ තත්ත්වයන් නිසා ගුවන් ගමන් මාර්ගය වෙනස් කරන ලෙස දැනුම් දී තිබූ බව ද වාර්තා විය. එසේම මේ ගුවන් අනතුරත් සමඟම කියුබාව කලබලයට පත්වූයේ කියුබානු නායක රාහුල් කස්ත්‍රෝගේ දියණිය මරියෙලා කස්ත්‍රෝ එම ගුවන් යානයේ සිටි බවට තොරතුරු ලැබීමත් සමඟය. එහෙත් පසුව ඇය එහි නොසිටි බව වාර්තා වී තිබේ.

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.