Friday, April 25, 2014

අපේ නර්තන කලාව කාලානුරූප ව නවීකරණය විය යුතුයි

මහාචාර්ය මුදියන්සේ දිසානායක
ලංකාවේ පළමුවරට ප්‍රථම පන්ති සාමර්ථ්‍යයක් ලත් ලලිත කලාවේදී (B.F.A) උපාධිධරයාවූද මෙරට හෝ විදේශයකදී පර්යේෂණ නිබන්ධනයක් සඳහා ශාස්ත්‍රපති (M.A) උපාධිය ලබා ගත් ප්‍රථම ලලිතකලාවේදී උපාධිධරයාවූද දර්ශනසූරී (PH.D) උපාධිය ලත් මෙරට ප්‍රථම වෘත්තිය නර්තන ශිල්පියාවූ ද උඩරට නර්තන කලාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ධුරයක් ලැබූ ලංකාවේ ප්‍රථම හා එක ම වෘත්තීය නර්තන ශිල්පියාවූ ද උඩරට නර්තන කලාව හා තදානුබද්ධ ලලිත කලා විෂය අරභයා පර්යේෂණ කෘති වැඩි ප්‍රමාණයක් රචනා කළ එක ම නර්තන ශිල්පියාවූ ද මහාචාර්ය මුදියන්සේ දිසානායකයෝ ස්වකීය කලා දිවියෙහි තිස්හය වැනි වසරට එළඹෙත්.
ඒ නිමිති කොට ‘මධු මුදිත රසෝජා’ නම් වූ අභිනන්දන උළෙල අද (නොවැම්බර් 1) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
පර්යේෂණ කෘතියක් සඳහා සාහිත්‍ය සම්මාන ලත් ලංකාවේ ප්‍රථම හා එක ම විශ්වවිද්‍යාලයීය නර්තන ආචාර්යවරයා ද වන ඔහු නර්තන හා මුද්‍රා නාට්‍ය ශිල්පියකු, ජන කලා පර්යේෂකයකු, ගායන ශිල්පියකු, රූපණ ශිල්පියකු ඈ දුර්ලභ ප්‍රතිභාවන් එක්තැන් වූ කලාකරුවෙකි.
මාකලා ක්ෂේත්‍රයට පිවිසිලා දැන් වසර තිස් හයක් සපිරෙනවා. 1973 සැප්තැම්බර් මාසෙ තමයි මා මේ නර්තන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වුණේ. මින් ඉහත 15, 20, 25 යන වර්ෂ සපිරුණු අවස්ථාවල මුද්‍රා නාට්‍ය උලෙළවල් සංවිධානය කරන්න මට හැකි වුණා. නමුත් 30 හා 35 යන වර්ෂ සමරන්න එබඳු උලෙළ සංවිධානය කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.
මගෙන් ඉගෙන ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙරටත් විදෙස් රටවලත් දහස් ගණනක් සිටිනවා. ඔවුන් විවිධ වෘත්තිවල නියැළෙන අය. මගෙන් පසුව මේ විෂය මගේ නමෙන් පවත්වා ගෙන යෑම සඳහා කිසියම් වැඩපිළිවෙළක් සැකැසිය යුතු යැයි මේ සිසු පරපුර මට යෝජනා කළා. මා මිය ගියාට පසුව නොව ජීවත් ව සිටියදී එබඳු පදනමක් පිහිටුවා කලාව ප්‍රවර්ධනය කිරීමට උත්සාහ ගැනීම පිළිබඳ මට සතුටුයි.
මේ අනුව ‘මහාචාර්ය මුදියන්සේ දිසානායක කලා පදනම’ ඔවුන් ආරම්භ කළා. මේ පදනම ස්ථාපිත කිරීම සඳහාත් තිස් හය වසරක මගේ කලා ජීවිතය සමරනු පිණිස ජ්‍යේෂ්ඨයන් නව නිර්මාණ ඉදිරිපත් කිරීමත් මූලික වශයෙන් මෙහිදී සිදු කෙරෙනවා.
එමෙන් ම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් තම උපාධියට තිස් හය වසරක මගේ කලා දායකත්වයෙන් දේශීය හා විදේශීය කලා ලෝකයට සිදුවූ බලපෑම් පිළිබඳ පර්යේෂණයක් කළා. එය තවදුරටත් පුළුල් කොට ග්‍රන්ථයක් ලෙස අද එළිදකිනවා.”
ඔබ ලියූ නවතම ශාස්ත්‍රීය ග්‍රන්ථ ද්වයක් අද ජනගත වෙනවා.
”ඔව්. ඉන් එකක් “ශ්‍රී ලංකාවේ දමිළ සංස්කෘතිය.” මං අවුරුදු ගණනාවක් දමිළ ජනතාව සමඟ සිටි කෙනෙක්. අක්කර 30,000 ක පමණ තේවත්තක සහකාර වතු පාලකයකු ලෙසත් මා කලක් කටයුතු කළා. පසුකාලයේ වතුකරයේ දෙමළ ජනතාවගේ සංස්කෘතිය නැංවීමට රජයෙන් පත් කළ කමිටුවේ සාමාජිකයෙක් ලෙසත් මා ක්‍රියා කළා.
ඒවගේම මා කලක් යාපනයේ රාමනාදන් ඇකඩමියේ ඉගැන්නුවා. මගේ භරත නාට්‍යයම් ගුරුවරිය වූ රංජනා තංගරාජාත් දෙමළ කාන්තාවක්. මේ නිසා ද්‍රවිඩ සංස්කෘතිය ගැන මට අත්දැකීම් බහුලයි. ලංකාවේ සිංහල සංස්කෘතිය දෙමළ ජනතාවත් දෙමළ සංස්කෘතිය සිංහල ජනතාවත් තවම හරි හැටි හඳුනාගෙන නැහැ.
මගේ විෂය පැත්තෙන් මේ කාර්යය ඉටු කරන්නයි මා අපේක්ෂා කළේ. ‘ව්‍යවහාරික උඩරට නර්තන කලාව‘ අද එළිදකින මා ලියූ අනෙක් ග්‍රන්ථයයි. සාම්ප්‍රදායික නර්තන කලාව අද්‍යතනයෙහි ව්‍යවහාර කරන්නේ කෙසේද යන්න පිළිබඳ නූතන පරපුර දැනුම්වත් කිරීම මේ ග්‍රන්ථයේ අරමුණයි.”
ඔබේ නමින් පිහිට වූ පදනම මඟින් තරුණ නර්තන ශිල්පීන් දිරි ගැන්වීමට ගෙන ඇති වැඩපිළිවෙළ කෙටියෙන් සිහිපත් කළොත්?
”මේ පදනමේ මූලික අභිලාෂය තරුණ පරම්පරාවට දේශීය නර්තන කලාව හැදෑරීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමයි. එහිදී සුදුසු අයට ශිෂ්‍යත්ව ලබාදීම, ආර්ථික ගැටලු තිබෙන සිසු සිසුවියන්ට නොමිලයේ ඉගැන්වීම, තරුණ පරපුර අතර නර්තන කලාව ප්‍රකට කිරීම, විදේශීය වශයෙන් දේශීය නර්තනය ප්‍රචලිත කිරීම හා ඒ සඳහා වෙබ් අඩවියක් නිල වශයෙන් ඇරඹීම ආදී වැඩපිළිවෙළවල් රාශියක් මෙම පදනම මඟින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.”
අද තරුණ පරපුර අතර බහුතරයක් දක්නට ලැබෙන්නේ සාම්ප්‍රදායික නර්තනය නිසි ලෙස හදාරා එය කාලානුරූප ව සකස් කර ගැනීමට වෙර දරන සැබෑ නූතනවාදී නර්තන ශිල්පීන්ද? නොඑසේ නම් එක් රැයෙන් නර්තන තරු බවට පත් වීමට වෙර දරන ඇතැම් ජනමාධ්‍යවල අතකොලු බවට පත්වූවන්ද?
”මෙහිදී සාම්ප්‍රදායික නර්තන කලාව අනිවාර්යෙන්ම උගත යුතුයි. නමුත් සාම්ප්‍රදායික නර්තන කලාව ගෙඩිය පිටින් ම ගෙනියන්න බැහැ. මෙය කිසියම් විදියකට කාලානුරූපව, අවශ්‍යතා අනුව නවීකරණයට ලක් විය යුතුමයි. එසේ නොවුණොත් මේ කලාව ඉදිරියට ගෙන යන්න බැහැ.
මා නවීකරණයට කැමැතියි. සම්ප්‍රදාය කියන්නෙත් දිනෙන් දින වෙනස් වන අලුත් වන ප්‍රපංචයක්. පෙර පරපුර නිර්මාණය කළ සම්ප්‍රදාය ඊළඟ පරපුර සුදුසු වෙනස්කම් ඇති කරමින් ඉදිරියට ගෙන යා යුතුයි.
මේ නවීකරණය කිරීමේදී අපේ රටේ සංස්කෘතිය, ආගම දහම, සදාචාරය, හැදියාව, ඇවතුම් පැවතුම් පිළිබඳ අවබෝධය ඉතා වැදගත්. මේ නවීකරණය කෙසේ කළ යුතුද යන්න පිළිබඳ පර්යේෂණාත්මක ව පෙන්වා දීම ‘මධු මුදිත රසෝජා’ උළෙලේ එක් අරමුණක්.”
මෙරට සාම්ප්‍රදායික නර්තන කලාව උඩරට, පහතරට හා සබරගමු යනුවෙන් කොටස් ත්‍රයකට බෙදෙනවා. උඩරට හා පහතරට නර්තන කලාවන් ඒවාට ආවේණික සුවිශේෂතා ඔස්සේ වර්ධනය වුණා. සබරගමු නර්තන සම්ප්‍රදාය හුදු යාතු කර්මයක ස්වරූපයෙන් ඔබ්බට ගිය නිර්මාණාත්මක භාවිතාවක් නොවූයේ මන්ද?
”ඇත්ත වශයෙන් උඩරට, පහතරට, සබරගමු යන නර්තන කලාවන් ත්‍රිත්වයෙහි අනන්‍යතා ලක්ෂණ ඉතා පැහැදිලි ව දිස්වෙනවා. ඒවාහි සමානතා සේම අසමානතා ද තිබෙනවා. ජනපි‍්‍රය භාවය අතින් බැලූ විට ලෝකයේ වඩාත් ප්‍රකට වූයේ උඩරට නර්තන කලාවයි.
ඊළඟට පහතරට නර්තන කලාව ජනපි‍්‍රය වුණා. සබරගමු නර්තන කලාවත් ජනපි‍්‍රයයි. නමුත් එය තවමත් ලෝකයේ ප්‍රචලිත වී නැහැ. ඔබ කී පරිදි සබරගමු නර්තන කලාව තවමත් පූජාර්ථය ඉක්මවා සමාජ අවශ්‍යතා සඳහා වර්ධනය වූ බවක් පෙනෙන්නට නැහැ.
එය සාම්ප්‍රදායික රාමුවෙන් පිට පැන සමාජ භාවිතයක් නොවීම මීට හේතුවයි. කලාව හැමවිටම සාමාජීය අවශ්‍යතා සඳහා යොමු කළ යුතුයි. වෙනස් කළ යුතුයි. එහෙම නැතිව ගමේ ගොඩේ තොවිල්වලට සීමා වෙලා වැඩක් නැහැ. එය මිනිස් ප්‍රජාවගේ යහපත සඳහා තිබිය යුත්තක්. එදා නැටුම් කලාව මිනිසුන්ගේ ලෙඩ රෝග සුව කරන්න, අස්වනු සරු සාර කර ගන්න, බිය දුරු කරන්න උපයෝගී වුණා.
නමුත් අද ඊට වඩා සංකීර්ණ සමාජ සංස්ථාවක් ඇතුළත මිනිසුන්ගේ පරමාර්ථ වෙනස් වී තිබෙනවා. අද තොවිල් පවිල් සිදු කරන්නේ එදා තිබූ පරමාර්ථයෙන් නොවෙයි. මේ නිසා ප්‍රවීණයන් හා නවකයන් සියලු දෙනා ම නූතන සමාජීය අවශ්‍යතා තේරුම් අරගෙන ඊට අනුව මේ නර්තනය අනුවර්තනය කර ගැනීමට උත්සාහ කළ යුතුයි.”
ලාංකේය නර්තනය ජාත්‍යන්තරයට ගියේ මෑතකදී බව ප්‍රකාශ කරන පිරිසක් අද සිටිනවා. ජාත්‍යන්තර ප්‍රජාව අතර මෙරට නර්තනය ප්‍රචලිත වීම සඳහා ඊට වඩා දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා නේද?
”ලාංකේය නර්තනය ජාත්‍යන්තරයට ගියේ මේ මෑතකදී යැයි සමහරු වැරදි මතයක් දරන බව මාත් අසා තිබෙනවා. මෙරට නර්තනය ජාත්‍යන්තරයට ගියේ වසර 100 කටත් එහා 1873 දී. කාල් හාගන්බෙක්, ජෝන් හාගන්බෙක් යන ජර්මන් ජාතිකයන් දෙදෙනා තමයි අපේ නර්තන කලාව ජර්මනියේ මියුනිච් නගරයට මුලින්ම ගෙන ගියේ.
ඊට පසුව එනම් 20 වැනි ශත වර්ෂයේ මුල් දශකය වන විට මේ නර්තනය ජාත්‍යන්තරයට ගෙන ගියේ නිත්තවෙල ගුණයා නම් වූ ලංකාවේ ප්‍රථම ජනාධිපති සම්මානලාභී නර්තන ශිල්පියා. ඔහු ලංකාවේ උඩරට නර්තන කලාව රැගෙන ලොව පුරා ගියා.
ඒ නිසා තමයි සෑම ගුවන් තොටුපළකම, දුම්රිය ස්ථානයකම ජඥරතධද යයි සඳහන් කොට උඩරට කාන්තාවක ගේ, වෙස් නැට්ටුවකු ගේ සහ බෙර වාදකයකු ගේ සේයාරුව රැගත් පෝස්ටරයක් ගසා තිබුණේ. ඊට පසුව ආචාර්ය චිත්‍රසේන, ආචාර්ය පණීභාරත වැනි අපේ ශ්‍රේෂ්ඨ නර්තන ශිල්පීන් දේශීය නර්තනය ජාත්‍යන්තර තලයට ගෙන ගියා.”
මුද්‍රා නාට්‍ය විෂයක් ලෙස විශ්වවිද්‍යාලයට ගෙන ආවේ ඔබයි. ශුද්ධ නර්තනය ව්‍යවහාරික මට්ටමෙන් උපයුක්ත කොට ගැනීමෙන් බිහි වන මුද්‍රා නාට්‍ය කලාවේ ප්‍රගමනය සඳහා තරුණ පරපුරේ දායකත්වය ඔබ දකින්නේ කෙසේද?
”මා ජාතික නර්තන, මුද්‍රා නාට්‍ය හා රූකඩ රූපණ අනුමණ්ඩලයේ සභාපති මෙන් ම නාට්‍ය හා මුද්‍රා නාට්‍ය අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානි. මුද්‍රා නාට්‍ය ලංකාවේ උපාධි පාඨමාලාවට හඳුන්වා දුන්නෙත් මමයි. ඇත්තෙන් ම තරුණ පරපුර මුද්‍රා නාට්‍ය පිළිබඳ දැඩි ඇල්මක් දක්වනවා.
පසුගියදා අපේ විශ්වවිද්‍යාලයේ අවසාන වර්ෂයේ සිසුන් ගේ කෙටි මුද්‍රා නාට්‍ය 70 ක් පමණ ලුම්බිණි රඟහලේදී අපි රඟ දැක්වුවා. ප්‍රකාශන මාධ්‍යයක් ලෙස බැලුවහොත් මුද්‍රා නාට්‍ය ඉතා උසස් කලාවක්. නමුත් මුද්‍රා නාට්‍ය නිසි ලෙස ඉගැන්විය හැකි ගුරුවරුන් හිඟයි. වැඩිහිටියෝ වශයෙන් අප මේ ගැන උනන්දුවක් දක්වන තරුණ පිරිසට මඟ පෙන්විය යුතුයි.”
ප්‍රේමකුමාර එපිටවල, චිත්‍රසේන වැනි විශිෂ්ට ගණයේ නර්තන ශිල්පීන් දේශීය මුද්‍රා නාට්‍ය කලාව මෙරට ස්ථාපිත කළා. නමුත් පශ්චාත් කාලීන ව මේ කලාවේ උසස් ප්‍රකාශන ශක්තිය පිළිබිඹු කළ නිර්මාණ බිහි වුණේ නැහැ නේද?
”ලංකාවේ නිර්මාණ නර්තන කලාව ඇරඹෙන්නේ 1934 රබින්ද්‍රනාත් තාගෝර් පඬිතුමාගේ ලංකා සම්ප්‍රාප්තියත් සමඟයි. එතුමාගේ ‘ශාප් මෝචන්’ මුද්‍රා නාට්‍යය මෙරට රඟදැක්වූවාට පසුවයි, අපේ අය තුළ මේ ගැන උද්යෝගයක් ඇති වුණේ.
ඉන් පෙර ලාංකිකයන් මෙය දැන සිටියේ නැහැ. ඒ නිසා අපේ අයට අවස්ථාව ලැබුණා, තාගෝර් තුමා හරහා ශාන්ති නිකේතනය ප්‍රමුඛ ඉන්දියානු ආයතනවලට ගිහින් නිර්මාණාත්මක නර්තනය හදාරන්න. අපේ වාසනාවට ඒ කාලේ ඉන්දියාවෙත් නිදහස් සටන සමඟ නූතන නර්තනය (MODERN DANCE) ආරම්භ වෙලයි තිබුණේ.
උදය ශංකර්, රාම් ගෝපාල්, ශ්‍රීමතී අරුන්ඩේල්, රුක්මණී දේවි වැනි නර්තන ශිල්පීන් ඉන්දියානු නර්තනය ආරම්භ කළා. ලංකාවේ නර්තනයට ඇලුම් කළ චිත්‍රසේන, පණිභාරත, ප්‍රේමකුමාර එපිටවල, ගංගානාත්, සූරිය ශංකර් මොල්ලිගොඩ, වසන්ත කුමාර, ශේෂා පලිහක්කාර වැනි තරුණයෝ නැටුම් හදාරන්න ඉන්දියාවට ගියේ මේ කාලයේදී. ඔවුන් 50 දශකයේදී යළි ලංකාවට ආවා. මෙරට නව නර්තන කලාවේ පුරෝගාමීන් වූ ඔවුන් මෙරට නිර්මාණ නර්තන කලාව බිහි කළා.”
නමුත් ඔවුන් ඉන්දියානු නර්තන කලාව ඒ අයුරින් ම මෙරට භාවිත කිරීම වෙනුවට මෙරට ශාන්ති කර්මවලින් ද පෝෂණය ලැබ ලාංකේය අනන්‍යතාවකින් හෙබි නර්තන කලාවක් බිහි කිරීමට උත්සුක වීම නේද වඩා වැදගත්.
”ලංකාවෙන් ඉන්දියාවට ගියේ බටහිර නම් තිබුණු පිරිසක්. නමුත් ඔවුන් ලංකාවට ආවේ ඉන්දියානුකරණය වෙලා. 40 දශකයේදී බිහි වූ මුද්‍රා නාට්‍යවල මුළුමනින් ම දක්නට ලැබුණේ ඉන්දියානු ආභාසයයි. මේවායෙහි තිබුණේ ඉන්දියානු තේමා. නල දමයන්ති, චණ්ඩාලිකා, අර්ජුන් වැනි මුද්‍රා නාට්‍ය මීට නිදසුන්.
නමුත් 1950 ප්‍රේමකුමාර එපිටවල සූරීන් ‘සැලළිහිණි’ ඉඟි නළුව වේදිකාගත කළා. දේශීය ඌරුව ඇති නර්තනයක්, කථා ප්‍රවෘත්තියක්, ඇඳුම් විලාසයක්, සංගීතයක්, වේදිකා පසුතලයක් ඇතිව නිර්මාණය වුණු පළමු දේශීය මුද්‍රා නාට්‍යය මෙයයි.
‘සැලළිහිණිය’ සමඟ මෙරට මුද්‍රා නාට්‍ය ක්ෂේත්‍රය උඩුයටිකුරු වුණා. ඉන්පසුව තමයි චිත්‍රසේනයන්ගේ ‘කරදිය’ (1956) මුද්‍රා නාට්‍යය බිහි වුණේ. එතැන් සිට ‘දියසෙන්’, ‘කුඹුරු පනත’ වැනි මුද්‍රා නාට්‍ය ඔස්සේ දේශීය ලකුණ, අනන්‍යතාව මතු වුණා.”

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.