Thursday, July 3, 2014

හස්‌ත කර්මාන්ත කලාකරුවන්ගෙන් ගැමි ආර්ථිකය නංවන්න ඉහළ දායකත්වයක්‌


ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් හස්‌ත කර්මාන්ත නිර්මාණයක්‌ පරික්‌ෂා කරන අයුරු....














විශ්මිත ගල්වඩුවන්, ලී වඩුවන් පමණක්‌ද.... අතීතයේ විසූ අපේ මුතුන්මිත්තන් අතර සිටි ශ්‍රේෂ්ඨ කලාකරුවන් රැසක්‌ එදා කළ විස්‌කම් නිමැවුම්... අදත් අප රට ජාත්‍යන්තර තලයේ රැව් දෙන්නට හේතුවී තිබේ.

සීගිරිය, ඉසුරුමුණිය... ඇම්බැක්‌ක පමණක්‌ නොව අනුරාධපුර පොළොන්නරු මහා වෙහෙර විහාර... ගල් පිළිම ඊට නිදසුන් කිහිපයකි.

එදා ඒ දස්‌කම් විස්‌කම් පෑ කලාකරුවන්ගෙන් පැවැත එන්නේ අදත් අපේ රටේ තැන් තැන්හි සිටි නෙක විසිතුරු නිර්මාණ සිය දැතේ වීරියෙන් නිමකර..... දෙස්‌ විදෙස්‌ රසකාමීන්ගේ ඇගයුමට පැසසුමට පාත්‍රවෙමින් සිටිති.

අපේ රටේ සාම්ප්‍රදායික හස්‌ත කර්මාන්තකරුවන්ද එවන් පරපුරකින් පැවැත එන්නෝ වෙති. ඔවුන්ගේ දැතින් නිමවන ලී කැටයම්, මැහුම් ගෙතුම්, නෙලූ පිළිම, ඇඳුම් ආයිත්තම්, පිත්තල නිර්මාණ මෙන්ම නොයෙක්‌ නොයෙක්‌ විසිතුරු භාණ්‌ඩ... මෙරට පමණක්‌ නොව පිටරැටියන්ගේද සිත් ගන්නේ... වචනයේ පරිසමාප්ත අරුතින්ම ඒවා විශිෂ්ට කලා නිර්මාණයන් වීම නිසාම පමණක්‌ද... නැත...... ඒවායෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාවද පිළිබිඹු වන නිසාය.

ජාතික ශිල්ප සභාව මේ හස්‌ත කර්මාන්ත කරුවන්ට යම් වටිනාකමක්‌ ලබාදෙමින් ඔවුන් සිටින තැනින් ඉහළට ඔසොවා තබන්නට මැදිහත්ව සිටින රජයේ ආයතනයයි.

මෙකී කලාකරුවන්ගේ අගය, වටිනාකම මැනවින් වටහා ගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා... ඔවුනට සිය නිර්මාණ වඩාත් හොඳින් කරගැනීම සඳහා පහසුකම් සපයන්නට 2013 අයවැයේදීත්, 2014 අයවැයේදීත් සැලකිය යුතු මුදලක්‌ වෙන් කළේය. මෙම මුදල් වැය කරමින් ජාතික ශිල්ප සභාව, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්‌ව සාම්ප්‍රදායික හස්‌ත කර්මාන්ත ගම්මාන සංවර්ධන වැඩසටහනක්‌ දියත් කරමින් සිටී.

ගාල්ල බෝපෙ පෝද්දල සාම්ප්‍රදායික ලී කැටයම් ගම්මානයද එවැනි සංවර්ධනය වූ ගම්මානයකි. මේ ලී කැටයම් ගම්මානයේ පහසුකම් ශිල්පීන් වෙත පැවරීමේ උත්සවය අද (04දා) පෙරවරු 11.30 ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස්‌ දේවානන්දා මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරේ.

මේ ගම්මානය සංවර්ධනය කළේ ජාතික ශිල්ප සභාව, සාම්ප්‍රදායික හස්‌ත කර්මාන්ත ගම්මාන සංවර්ධන වැඩසටහන පිළිබඳ අපි ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන මහතා සමඟ කතා කළෙමු. මතු දැක්‌වෙන්නේ ඒ කතාබහේ සටහන්ය.

මෙම වැඩසටහන ආරම්භ වූයේ කෙසේද?

අපේ රටේ සාම්ප්‍රදායික හස්‌ත කර්මාන්ත ගම්මානවල ඉන්නා ශිල්පීන්ගේ තත්ත්වය නඟා සිටුවන්න ජනාධිපතිතුමා තීරණය කළේ 2011 දී. ඒ අනුව තමයි එතුමා 2012 දී ඉදිරිපත් කළ අයවැයෙන් රුපියල් කෝටි 10 ක්‌ වෙන් කළේ.

ඒ මුදල මගින් කළ වැඩසටහන් මොනවාද?

අපි 2013 වසරේදී ගම්මාන හතකට පහසුකම් ලබාදුන්නා. ගාල්ල බෝපේ පෝද්දල අද ජනතාව අතට පහසුකම් ලබාදෙන ලී කැටයම් ගම්මානය. ඒ වගේම මාතර හිත්තැටිය සංගීත භාණ්‌ඩ ගම්මානය, මාතලේ උණපේරුව සේසත් ගම්මානය සහ පහළ හපුවිද ලාක්‍ෂා ගම්මානය මහනුවර හීලවිල ස්‌වර්ණාභරණ ගම්මානය සහ කුරගල සංගීත භාණ්‌ඩ ගම්මානය, කළුතර බණ්‌ඩාරවත්ත බටුවිට වෙස්‌ මුහුණු ගම්මානය, මේ ගම්මාන හත තුළ අපි වැඩමුළු, වැඩමඬු වගේම විදුලි පහසුකම්, උපකරණ, අමුද්‍රව්‍ය පොදු පහසුකම් මධ්‍යස්‌ථාන ඉදිකිරීම ආදිය ලබා දුන්නා. මේ ගම්මානවල කලාකරුවන් සංචාරක ක්‍ෂේත්‍රයට බද්ධ වන පරිදි ප්‍රචාරක වැඩසටහන්, නාම පුවරු, අත්පත්‍රිකා සකස්‌ කර ප්‍රචාරණ වැඩසටහන් සකස්‌ කළා. 2013 වසර අවසන් වෙද්දී ඒ ගම්මානවල සංවර්ධන වැඩසටහන් නිම කළා.

මේ වැඩසටහන ඔස්‌සේ ප්‍රතිලාභ ලබන අය පිළිබඳ කතා කළොත්?

ඔව්... ඔය කලින් සඳහන් කළ ගම්මාන හත හරහා පවුල් 306 කට ප්‍රතිලාභ ලැබෙනවා. අදාළ බෝපෙ පෝද්දල ජනතා අයිතියට පවතින ලී කැටයම් ගම්මානය තුළින් පවුල් 132 ක්‌ සඳහා පහසුකම් සැලසෙනවා. මේ අනුව ඔවුන්ගේ නිෂ්පාදන පහසුකම් දිරිමත් කිරීම, අලෙවි කටයුතු දිරිමත් කිරීම, නව මෝස්‌තර සැලසුම් කිරීම් ආදී කටයුතු ශක්‌තිමත් කෙරෙනවා. ඒ වගේම දෙස්‌ විදෙස්‌ සංචාරකයන් සඳහා මේ ගම්මානවල දොරටු විවෘත වෙනවා.

හොඳ වෙළෙඳපොළක්‌.... මේ කලාකරුවන්ට තිබෙන විශාලම ගැටළුව නේද?

හස්‌ත කර්මාන්ත ශිල්පීන්ට තිබෙන විශාලම ගැටලුව තමයි තමන්ගේ නිර්මාණ සඳහා හොඳ මිලක්‌ නැතිකම. වෙළෙඳපොළේ ඉහළ මිලක්‌ ලැබෙනවා. නමුත් ඒ මුදල ලැබෙන්නේ ශිල්පියාට නොවේ. අතරමැදියන්ට. එනිසා අපේ උත්සාහය තමයි මේ නිර්මාණ ශිල්පීන්ගේ නිෂ්පාදන සෘජුවම පාරිභෝගිකයා අතට පත්කිරීමට අවස්‌ථාව සලසාදීම. එය මේ හස්‌ත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ යෙදී සිටින තිස්‌ දහසකට අධික පිරිසට ලැබෙන හොඳ අවස්‌ථාවක්‌. අතරමැදියන්ගෙන් තොරව තම නිර්මාණ අලෙවි කර ගත හැකිනම් ශිල්පියාට ඉහළ මිලක්‌ ලබා ගත හැකියි.

මේ සාම්ප්‍රදායික හස්‌ත කර්මාන්ත ගම්මාන සංවර්ධන වැඩසටහන අඛණ්‌ඩව ඉදිරියට ගෙන යනවාද?

ඔව්... ජනාධිපතිතුමා 2013 දී අයවැය ඉදිරිපත් කරමින් 2014 වසර සඳහාත් මේ වෙනුවෙන් රුපියල් කෝටි හතරකට වැඩි මුදලක්‌ වෙන්කළා. අපි ඒ මුදලින් තවත් ගම්මාන 11 ක්‌ සංවර්ධනය කරමින් ඉන්නේ. ඒ අනුව මැටිගම්මාන, සාම්ප්‍රදායික හස්‌ත කර්මාන්ත ගම්මාන හා ව්‍යවසායකත්ව ගම්මාන ලෙස ගම් එකොළහක්‌ දැනට සංවර්ධනය කෙරෙනවා. අපේ අමාත්‍යාංශය වගේම කාර්මික සංවර්ධන මණ්‌ඩලය, ජාතික මෝස්‌තර මධ්‍යස්‌ථානයත් මේ සඳහා එක්‌ව සිටිනවා. පළාත් සහ දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් කටයුතු කරන ජාතික ශිල්ප සභාවේ නිලධාරීන් මේ ශිල්පීන් නඟා සිටුවීමට දැවැන්ත කැපවීමක්‌ සිදුකරනවා. සාම්ප්‍රදායක කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස්‌ දේවානන්දා මහතාත්, ලේකම් පී. සිවඥාණසෝති මහතාත් ඇතුළු නිලධාරීන්ගේ සහාය ඇතිව මේ ව්‍යාපෘතිය දැනට සාර්ථක ලෙස සිදුකෙරෙනවා. 2015 වසරේදීත් මෙවැනිම සභා මීටත් වඩා පුළුල් සංවර්ධන වැඩසටහන් ගණනාවක්‌ මුල්කර ගනිමින් ගම්මාන 15 ක්‌ සංවර්ධනය කරන්නයි අපේ බලාපොරොත්තුව. ජනාධිපතිතුමාට අවශ්‍යයි මේ හස්‌ත කර්මාන්ත ක්‍ෂේත්‍රය නඟා සිටුවන්න. මෙතරම් මුදලක්‌ ඒ සඳහා වෙන්කළ පළමු අවස්‌ථාව මෙයයි. අපේ රටේ කෘෂිකර්මයේ යෙදී සිටින පිරිසට පසු වැඩිම දායකත්වයක්‌ ග්‍රාමීය ආර්ථිකයට ලබාදෙන්නේ හස්‌ත කර්මාන්ත ශිල්පීන්. මේ ශිල්පීන් ඉතා සංවේදී, දක්‍ෂ හැකියාවන්ගෙන් පිරි, කුසලතා පූර්ණ පිරිසක්‌. ඔවුන් නිහඬව කරන සේවය අගය කළ යුතුයි. පොහොර සහනාධාරය, ඉන්ධන සහනාධාරය ඉල්ලා පාර තොටේ උද්ඝෝෂණය කරන අය සිටියත් අපේ මේ හස්‌ත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ අය සියලු ප්‍රශ්න ඉවසාගෙන මේ ක්‍ෂේත්‍රයට කරන දැවැන්ත මෙහෙය අගය කළ යුතුයි. රටේ සංස්‌කෘතිය, ජාතිකත්වය කිර්තිය ලොවට පෙන්වන මේ අයට ජනාධිපතිතුමා තවදුරටත් ශක්‌තිය ලබාදෙන බව විශ්වාසයි.

අජිත් අලහකෝන්

http://www.divaina.com/2014/07/04/index.htm

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.