Friday, July 25, 2014

එදත් අදත් කවදත් ළමා සිත්ගත් අපේ මිහිර පත්‍රය

එදත් අදත් කවදත් ළමා සිත්ගත් අපේ මිහිර පත්‍රය

පළමු 'මිහිර' පත්‍රය
එක්දහස් නවසිය හැට ගණන්වලදී අද මෙන් කඩපිලක් ගානේ එල්ලෙන පත්තර වැල් තිබුණේ නැත. දැනුම් පිපාසයෙන් පෙළෙන කවරකු හෝ ඒ පවස නිවාගත්තේ ගුවන්විදුලිය හෝ මුද්‍රිත මාධ්‍ය මඟිනි. අතළොස්සක් වූ මුද්‍රිත මාධ්‍ය ගොන්නට පුවත්පත් මෙන්ම සඟරා ද අයත් විය.
ඒ අතරින් ද අද මෙන් ළමයින් සඳහා සුවිශේෂී වූ පුවත්පත් බිහිව නොතිබිණ. සති අන්ත සහ දිනපතා පුවත්පත්වල වූ ළමා පිටු මඟින් නිර්මාණකරණයේ යෙදෙන දරුවන්ට අත දෙමින් ළමා මනස දැනුමින් පෝෂණය කිරීමේ කාර්ය ඉටු විය.
‍ෙල්ක්හවුස් ආයතනය මඟින් මිහිර ළමා පුවත්පත ආරම්භ වූයේ එවන් වකවානුවකය. 1964 ජූලි 27 වැනිදා එලෙසින් ආරම්භ වූ ‘මිහිර’ අද අඩසියවසක් සපුරයි.
ළමා ප්‍රකාශන බහුල නොවූ එම හැටේ දශකයේ ළමා පිටු මඟින් ඉටුවූ කාර්යභාරය සුවිශේෂ විය. ඉනුත් සිළුමිණ හා දිනමිණ පුවත්පත්වල ළමා පිටු හරහා ළමා කුසලතා ඔප්නංවමින් ළමා නිර්මාණ බොහෝ සෙයින් එළිදැක්විණ. ඒ අතරම වැඩිහිටියන්ගේ ලිපි මඟින් ළමයින්ගේ දැනුම නංවාලීම සිදුකෙරිණ.
එහෙත් වර්තමාන තත්ත්වය මීට ඉඳුරාම වෙනස්ය. අද දරුවන්ට දැනුම ලබාගැනීම සඳහා කෙතරම් වූ ප්‍රකාශන සංඛ්‍යාවක් වෙළෙඳ පොළේ වෙත්ද? කළ යුතු වන්නේ ඉන් ප්‍රශස්ත ප්‍රකාශනය තෝරාගැනීම පමණි. අද මේ සඳහා විද්යුත් මාධ්‍යය ද පෙළ ගැස්වී ඇත්තේය. ළමා දැනුම පෝෂණය සඳහා වෙන්වූ අධ්‍යාපනික වැඩ සටහන් මෙන්ම අධ්‍යාපන නාළිකා ද අද බිහිව තිබේ.
ළමා පුවත්පතක් නොතිබූ එකල මුලින්ම ලේක්හවුස් ආයතනයෙන් ළමා පුවත්පතක් බිහිකිරීමේ යෝජනාව මතු කළේ එවකට ආයතනයේ පාලක අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ජී.බී.ගෝමස් මහතාය. එතුමාගේ යෝජනාව ඉදිරිපත්වීමට එක් හේතුවක් වූයේ එකල සිළුමිණ පුවත්පතේ ළමා පිටුවේ ජනප්‍රියත්වයයි. කමලක්කා‍ගෙන් අහන්න නමින් එම පිටුවේ ඇරැඹි විශේෂාංගය එකල ඉතා ජනප්‍රිය වූ අතරම කමලා ළමා සමාජය හරහා බිහිවූ ලේඛක ලේඛිකාවෝ ද බොහෝ වූහ.
ළමා පුවත්පත සඳහා නමක් සෙවීමේ දී ‘මිහිර’ යන නම ඉදිරිපත් විය. මේ වෙද්දී ප්‍රවීණ පුවත්පත්කලාවේදී ඩී.එෆ්.කාරියකරවන මහතා විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ ‘මිහිර’ සඟරාවේ ද ප්‍රකාශනය අත්හැර තිබිණි. එහෙයින් කාරියකරවන මහතාගේ ද අවසරය ඇතිව අලුත්ම ළමා පුවත්පත ‘මිහිර’ ලෙසින් නම් කරනු ලැබීය.
කෘතහස්ත ලේඛකයකු හා ප්‍රවීණ පුවත්පත්කලාවේදියකු වූ ශ්‍රී ලාල් හික්කඩුව මහතා මිහිර පත්‍රයේ ආරම්භක කර්තෘවරයාය. 1964 ජූලි 27 වැනිදා එළිදැක්වුණු පළමු මිහිර පුවත්පත සඳහා මහින්ද කරුණාරත්න, හරිප්‍රිය ගුණසේකර, නිව්ටන් පින්තු සහ අනුලා ද සිල්වා දායක වූහ. එදා එලෙසින් එළිදුටු පළමු පුවත්පතේ පටන් මිහිර ළමා ළපටින්ට සැබැවින්ම මිහිරක් ගෙන දුන්නේය.
ආරම්භක මිහිර පත්‍රයේ මිල සත 25ක් විය. මුල් පිටුව හැඩ වූයේ දළදා පෙරහරේ වර්ණ සිතුවමකිනි. කතුවැකිය පළවූයේ මුල්පිටුවේය. එය කලක් යනතුරුම එසේම විය. වත්මනෙහි පුවත්පතක කතුවැකිය ලියැවෙනුයේ පත්‍රයේ ප්‍රධාන කතුතුමා අතිනි. එහෙත් දෙවැනි මිහිර පත්‍රයේ පටන් මිහිර කතුවැකිය ළමා කතුවැකියක් බවට පත්විය.
එම ළමා කතුවැකි ළමා පරපුර යහමඟ යැවීම සඳහා දෙන ඔවදන්වලින් සමන්විත වූයේය. මේ කතුවැකි බොහෝවිට ලියා එවනු ලැබූයේ පාසල්වල ආචාර්යවරුන් විසිනි. එසේම සාමණේර භික්ෂූන් වහන්සේ අතින් මෙන්ම සිසුන් අතින් ද මේ කතුවැකිය හැඩ විය.
සිළුමිණ ළමා පිටුවෙන් ආරම්භ වූ ‘කමලක්කාගෙන් අහන්න තීරය’ මෙන්ම මිහිර ආරම්භ කළ කමලා ළමා සමාජය ද ළමයින් අතර බෙහෙවින් ජනප්‍රිය වූයේය. ‘මා ආදරණීය පුතේ’, මුහ‍ුදෙන් එතෙරට, විද්‍යා මාමාගේ විද්‍යා, විද්‍යාගාරය, කැකිල්ලේ රජ්ජුරුවන්ගේ විත්ති, ඉංග්‍රිසි පාඩම යනාදී ලෙසින් මිහිරට එක්වූ විශේෂාංග දරුවන්ගේ දැනුම පෝෂණය සඳහා බෙහෙවින් ඉවහල් විය.
ළමා කවි නිර්මාණය සඳහා මුල් පත්‍රයේ සිටම දරුවනට ඉඩහසර සැලසුණු අතර ළමා නිර්මාණ කුසලතා වර්ධනය සඳහා දිරිදෙමින් ළමා රචනා තරග ද මුල්ම පත්‍රයේ සිට ආරම්භ කර තිබිණි. එකල රචනා තරගයේ මුල්ම ත්‍යාගය රුපියල් 75ක් විය.
දැනුම දියුණුවට අමතරව දරුවන් සඳහා රසවත් කතා ද වර්ණ පිටු මඟින් සිතුවම් සහිතව ඉදිරිපත් කෙරුණු අතර දරුවන් වෙනුවෙන් වැඩිහිටියන් ලියූ ලිපි ද බොහෝය.
මුල සිටම ප්‍රහේලිකාවක් ද, ක්‍රීඩා තොරතුරු, සතුන් ගැන තොරතුරු සහ අපේ රට ගැන දැනුම දෙන ලිපි, ළමා කතා, පාසල් පුවත්, චිත්‍ර ඇඳීමේ පාඩම්, ළමා තරග එකල තිබූ අටවැන්නේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ලිපි පෙළක් ළමා මානසික සංවර්ධනය සඳහා අවශ්‍ය ලිපි යනාදී ලෙසින් කලින් කලට විවිධත්වයෙන් යුත් විශේෂාංග මඟින් මිහිර දරුවන් ආහ්ලාදයට පත් කළේය.
ඉතිහාසයක් නොමැතිව අනාගතයක් ගොඩනොනැ‍ඟෙන්නා සේ මිහිර එදා සිටම හෙළ විරුවන් පිළිබඳව ළමා දැනුම පෝෂණයට මිහිර පියවර ගත්තේය.
එදා එලෙස ආරම්භ වූ මිහිරේ පළමු පත්‍රයේ පිටපත් ලක්ෂයකට වැඩියෙන් අලෙවි වූ අතර සත විසිපහේ දැනුම කෝෂය යන නම එදා මිහිරට පටබැඳුණේය.
ශ්‍රී ලාල් හික්කඩුව මහතා‍ෙගන් පසු බන්දුල සමරසිංහ, එස්.සුබසිංහ, සුමනා සපරමාදු, අනුලා ද සිල්වා, නිව්ටන් පින්තු සහ ඉන්ද්‍රා කුමාරි ගුණතිලක යන මහත්ම මහත්මීහු වරින් වර මිහිර කතුවරු වශයෙන් කටයුතු කළහ. 2004 වස‍ෙර් සිට මිහිර කර්තෘ ධූරය හොබවන්නේ ප්‍රවීණ පුවත්පත් කලාවේදී අජිත් ධර්මසිරි මහතාය. මිහි‍රේ කතුවරුන් වශයෙන් පත්වූ දෙදෙනෙක්ම ආරම්භයේ සිටම එයට දායක වූ අය වීම ද විශේෂයකි. ඒ නිව්ටන් පින්තු මහතා සහ අනුලා ද සිල්වා මහත්මියයි.
මින් අඩසිය වසකට පෙර ආරම්භ වී එදා මෙදාතුර නව විශේෂාංග එක්වෙමින් හැඩවෙමින් නව මුහුණුවරක් ගනිමින් ආ මිහිර පත්‍රය අද ළමා පරපුරේ ජනප්‍රියතම පුවත්පත බවට පත්වී ඇත්තේය.

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.