Saturday, April 19, 2014

බුදුගුණ අලංකාරය

හම්ගැට මාලාව, හංස සන්දේශය, ලෝවැඩ සඟරාව, කව්ලකුණු මිණිමල්දම වැනි විවිධ ප්‍රස්තුත රැගත් පද්‍ය කෘති රචනා කළ වීදාගම මහානේත්‍රප්‍රාසාදමූළ මෛත්‍රෙය මාහිමිපාණන් විසින් ලියන ලද තවත් කෘතියක් ලෙස බුදුගුණ අලංකාරය දකින්නට පිළිවන. බුදුරජාණන් වහන්සේ ගේ ගුණ කදම්භයේ සෞන්දර්යයාත්මක භාවය යන අර්ථයෙන් මේ කෘතිය නම් වී තිබේ. එබැවින් කතුවරයාණන්ගේ අභිප්‍රායය වී ඇත්තේ බුද්ධ ගුණය වර්ණනා කිරීම බව පැහැදිලි ය.
‘කියනුව දිවා රැය, කියම් බුදුගුණ අලංකාරය’ යන පැවැසුමෙන් කතුවරයාණන් මෙයට තැබූ නාමය මෙය ම බවත් දිවා රාත්‍රියේ බුදුගුණ කියවනු පිණිස මෙය කරන ලද බවත් ප්‍රකාශ වේ. බුදුගුණත් බුදුබණත් ප්‍රකාශ කිරීම උදෙසා මෙයට පෙර පද්‍ය රචකයන් බෙහෙවින් තේමා කොට ගත්තේ ජාතක කථා වස්තුවන් ය. එහෙත් මේ කතුවරයා නව මඟක යමින් බුදුරජාණන් වහන්සේ ධරමාන අවදියේ ම සිදු වූ පුවතක් මේ සඳහා තෝරාගෙන තිබේ. එනම්, දඹදිව විසාලා මහ නුවරට එදවස යෙදුණු තුන් බිය දුරු කිරීම් වස් රතන සූත්‍රය දේශනා කිරීමේ සිද්ධිය යි.
බුදුගුණ අලංකාරයේ කර්තෘ සහ රචිත කාලය ගැන පැහැදිලි තොරතුරු ග්‍රන්ථාවසාන කර්තෘ නිර්දේශ කව් තුනෙන් අනාවරණය වේ. ‘බබළන සොඳුරු වීදාගම මහ වෙහෙර, මෙත් මහ නෙත්පාමුළ මහ තෙරිඳු සඳ’ යන පදවලින් රචකයාණන් වහන්සේ වීදාගම විහාරයේ වැඩ විසූ බවත් මෙවක මහ තෙර පදවි ලබා සිටි බවත් පැහැදිලි ය.
බුදුගුණ අලංකාරය පද්‍ය 611 කින් සමන්විත වූ මහ පරිමාණයේ ප්‍රබන්ධයකි. එහෙත් මෙය ගැනෙන්නේ කාව්‍ය වර්ග අතුරෙහි ඛණ්ඩ කාව්‍ය ගණයට ය. කතු හිමියෝ මෙය සර්ග බන්ධනයෙන් යුක්ත ව මහා කාව්‍යයක් ලෙසින් රචනා කිරීමේ උත්සාහයක් ගෙන නැත්තාහ. තෙරුවන් නැමදීම සහ අරමුණ හැඳින්වීමත් සමග ‘පවර නුවරෙක් වී විසාලා’ යනුවෙන් සෘජු ව ම කතුවරයා කථා ප්‍රවෘත්තියට ප්‍රවේශ වේ. මේ රචනය සඳහා තෝරා ගෙන ඇත්තේ කෙටි පද සහිත වූ සිව්පද වෘත්තයකි. ඉඳහිට දිග පද සහිත සිව්පද වෘත්ත ද ඇසුරු කරනු දකිත හැකි වුවත් තත්කාලයෙහි බහුල ව භාවිතයෙහි යෙදුණු සමුද්‍රඝෝෂ වෘත්තයට ගැති වීමක් දකින්නට නොමැත.
විසාලා මහ නුවර සහ එපුර රජුන් වර්ණනයෙන් අනතුරු ව එපුරට යෙදුණු ව්‍යසනය පිළිබඳ කරුණු ගෙන හැර පාන මේ කතුවරයාණෝ කතා පුවතේ විකාශනය උදෙසා මනා ආරම්භයක් ද එසේ ම ශූර ලෙස කරුණු පෙළගැස්වීමක් ද කිරීමෙහි සාමාර්ථය පිළිබිඹු කරති. බුදුගුණ ප්‍රකාශ කිරීමේ කාර්යයට කතුවරයා මුල පුරනුයේ පළමු ව මිථ්‍යා දෘෂ්ටික ශාස්තෘවරුන්ගේ ද විශේෂයෙන් දෙවියන්ගේ ද දෝෂ ගෙන හැර පාමිනි. මෙහි දී ලිච්චවි රාජ සභාවේ මන්ත්‍රීවරුන්ගේ මුවට නංවමින් ඒ කරුණු විග්‍රහ කිරීමේ උපක්‍රමය කතුවරයා භාවිත කොට තිබේ. බුදුගුණ වැනීමේ අභිලාෂය මෙන් ම දේවවාදයට දැඩි ලෙස පහර දීමේ අරමුණ ද කතුවරයා වෙත පැවති වග මෙහි පැහැදිලි ව දැකිය හැකි ලක්ෂණයකි. කෙතරම් තියුණු ලෙස එකී ප්‍රහාර එල්ල වී ඇද්ද යන්න මෙසේ දකින්නට පිළිවන.
‘නරලොව දෙන පුදට - රිසි වන දොරින් දොර සිට
සුරනැයි යනු කුමට - දුගී යාචකයනට එනිවට’
‘වඳුරකු පිනු මුහුද - එතෙර ව යා නො හී ඉඳ
ගියෙ ල රම් හේ බැඳ - මෙසේ වෙ ද මෙලොව දෙවියන් තෙද’
දෙවියන් පමණක් නො ව බ්‍රාහ්මණ පූජකයන් සහ යාගහෝම, පුදපූජා, ශාන්තිකර්ම ආදිය ද කතුවරයාගේ කර්කෂ විවේචනයට ලක්වනු දැකිය හැකි වේ. මෙතරම් නිර්භය ලෙසත් තර්කානුකූල වත් උද්වේගකාරී වත් කරුණු ඉදිරිපත් කෙරෙන වෙනත් කෘතියක් සිංහල සාහිත්‍යාවලියෙහි නොමැත. මෙවක ජන සමාජයේ දේව භක්තිය උග්‍ර ව පැතිරෙමින් පැවැති බව ද එයින් ජන මනස මුදා ගැනීමට මේ කතු හිමියන් වෑයම් ගත් බව ද සිතන්නට පිළිවන. තත් කාලීන වෙනත් කෘතිවල තෙරුවන් නැමදීමෙන් අනතුරු ව දේව වන්දනය ද කෙරෙනු දැකිය හැකි වුවත් මුන් වහන්සේ විසින් රචිත දහම්ගැට මාලය, ලෝවැඩ සඟරාව, කව්ලකුණු මිණිමල්දම වැනි කෘතිවල පවා දෙවියන්ට එවැනි ඉඩකඩක් නො තිබුණු බව මෙහි දී සිහිපත් වේ.
පැරැණි සිංහල පද්‍ය කාව්‍යවල බුදුගුණ වර්ණනා එමට සඳහන් වුව ද බුදුගුණ අලංකාර කතුවරයාණන් තරම් හපන්කමක් ඒ කිසිවකු වෙතින් ප්‍රකට නො වේ. මේ කෘතිය පුරා ම බුදුරදුන් උදෙසා වූ ශ්‍රද්ධා භක්තිය උතුරා යන පරිද්දෙන් කතුවරයාණන් බුදුගුණ පද්‍ය රචනා කොට තිබේ. එහිදී පැරැණි සිංහල ගද්‍ය කාව්‍යයන්හි ආ වර්ණනාවල ආභාසය නො මඳ ව ලබා ගෙන තිබේ. බුත්සරණ, ධර්ම ප්‍රදීපිකාව, පූජාවලිය එසේ ආශ්‍රය වී ඇති කෘතීහු වෙති.
බුදුගුණ අලංකාරයේ පුර වර්ණනය වැනි තැන්හි සාම්ප්‍රදායයික කාව්‍යකරණයේ ගති ලක්ෂණ පෙනෙන්නට තිබුණ ද කතුවරයා අනෙක් තැන්වල දී ස්වාධීන ප්‍රතිභා ශක්තිය මැනවින් ප්‍රකට කර යි. ලිච්චවී රාජ වර්ණනාවෙහි දී පැරැණි රාජ වර්ණනා පිළිවෙත් පසෙක ලා නව මඟක ගමන් කරනු දැකිය හැකි ය. එහි දී රාජාණ්ඩු ලක්ෂණ නො ව ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග හුවා දක්වන ආකාරය මෙන් ම රජුන්ගේ තේජාන්විත භාවය නො ව ගුණවන්ත භාවය වඩාත් ඉස්මතු කොට දක්වනු පැහැදිලි ව පෙනෙන්නට ඇත.
මේ කතුවරයාණන් එම රචනා රීතියෙහි දී සරල මටසිලිටි භාෂා විලාසයක් අනුගමනය කරනු කෘතිය පුරා ම දිස්වන අපූර්වත්වයකි. කතුවරයා වෙත නිරායාසයෙන් ම වදන් ගලා එන ආකාරය මෙන් ම සුඛනම්‍ය ලෙස ඒවා හසුරුවා ඇති ආකාරය ද පළපුරුදු කවීත්වයට දෙස් දේ. කුංචනාද, විජ්ජාචරණ, මනෝරංජන ආදි වචන පවා කතුවරයා රිසි සේ පද්‍ය රචනයට හසු කොට ගෙන තිබේ. ඒවායින් කාව්‍ය බන්ධනයේ නව අත්හදා බැලීම්වල ලක්ෂණ පිළිබිඹු වනුයේ සිදත් සඟරා වර්ණ මාලාවේ නො එන ‘ච’ යන්න පවා භාවිතයට ගෙන ඇති බැවිනි. ලෝකවිදූ, අනුත්තර, අනුවෑංජන, පුරිසදම්සාරතී, මක්ඛලි ගෝසාල වැනි වදන් ද මේ පද්‍යවලට ඇතුළත් ව තිබේ.
අදහස් ප්‍රකාශනය උදෙසා උපමාවන් බහුල ලෙස උපකාරී කොට ගෙන තිබීම ද බුදුගුණ අලංකාරයේ දැකිය හැකි විශේෂිත ගුණාංගයකි. ඇතැම් වර්ණනාවල දී කවියෙන් කවියට උපමා පිරුළු ආදිය භාවිත කොට තිබෙනු දකින්නට පිළිවන. ඒ බෙහෙවින් ම පරිසරයෙන්, සමාජයෙන් උපුටා ගත් ඒවා වීම ද විශේෂිත ය.
‘පල ගත් අතු නසා - පල කන්නවුන් විලසා’
‘පුතු වෙත සෙනෙහසේ - පසව ඉවසන මව සේ’
‘සුවඳ හැල් උදුරා - රකිනෙව් වරා ඉඳුරා’
‘කළ පිරුණු තෙල් ඇති - රකිනෙව් නිසල කොට නිති’
‘හිරු නැගෙතුදු කෙසේ - රකිනඳුරු ගිරි ලෙන සේ’
‘වෙන වෙන කරල දුටු - වී ගෙන පුරන මෙන් අටු’
කතුවරයාණන් ඇතැම් කවිවලින් යහපත් රාජ්‍ය පාලනය, අය බදු අය කිරීම, පාලකයන් පිහිටා සිටිය යුතු ප්‍රතිපත්ති ආදි කරුණු පවා සියුම් ලෙස වටහා දෙන ආකාරය ද මේ කෘතියෙහි පිළිබිඹු වේ. එසේ ම තත්කාලීන සමාජ තොරතුරු ද මෙහි තැන තැන විද්‍යමාන වන කාරණා වලින් උකහා ගත හැකි වේ.
අනෙකුත් බොහෝ කවියන් මෙන් නො ව පොදුජන සමාජය දෙස සදය කරුණාවෙන් එබී බැලීමක් ද මේ කතුවරයා වෙතින් ඉටු වී තිබේ.
සමස්තයක් සේ ගත් කල්හි බුදුගුණ අලංකාරය යනු එක ම භක්ති කාව්‍යයකි. නැතහොත් එක ම බුදුගුණ ගීතයකි. ශ්‍රද්ධා භක්තිය නො මඳ ව උතුරා යන පරිද්දෙන් බුදුගුණය මෙතරම් විචිත්‍රවත් ලෙස මවා පෑමට වෙනත් කිසිදු කවියෙක් සමත් වී නැතැයි කිව හැකි ය. මේ කිවිවරයාණන් ‘බුදුගුණ මුහුදින් බිඳක් දැක්වීමේ’ අභිලාෂය සිත් පුරා ඉටු කොට ගෙන තිබේ.
සිංහල පද්‍ය සාහිත්‍ය කෘති අතුරෙහි පෙරළිකාරී කෘතියක් ලෙසින් ද පද්‍ය කාව්‍ය අතර වඩාත් රසවත් හරවත් නිර්මාණයක් ලෙසින් ද කෝට්ටේ සාහිත්‍යය පමණක් නො ව සිංහල පද්‍ය සාහිත්‍යය ම බබළවන එහි පෝෂණයට ඉවහල් වූ මහඟු ප්‍රබන්ධයක් ලෙසින් ද බුදුගුණ අලංකාරය අගේ කළ හැකි ය.

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.