Monday, July 14, 2014

උපදින්නේ 1936 - මිය යන්නේ 1987

ජෝතිපාල ජනමූල ගායකයෙක්

ජෝතිපාල ගුණ සමරුවේ දී දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ කියයි
එච්.ආර්. ජෝතිපාල මෙරට සිටි ජනප්‍රිය ගායකයා පමණක්ම නොවන බවත් ඔහු හදවත රත්තරං ජෝති ලෙස ජනතාව අතර ප්‍රකට වූ මානව හිතවාදී සුහදශීලී මහා ගායකයෙක් බවත් ඔහු මෙරට බිහිවූ විශිෂ්ට ගණයේ ජනමූල ගායකයා ලෙස හැඳින්වීමට පුළුවන් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ‍ෙය් මාධ්‍ය ලේකම් හා සයුර ධීවර රේඩියෝවේ අධ්‍යක්ෂ දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.
ඔහු එසේ පැවැසුවේ එච්.ආර්. ජෝතිපාල 27 වැනි ගුණානුස්මරණ උළෙල හා ජෝති ගීත සැදෑව නැමැති උළෙලේ ජෝතිපාල අනුස්මරණ දේශනය පවත්වමිනි.
පන්සිළු භාරත ලංකා ගී රසික සංසඳය සංවිධානය කළ මෙම ජෝති අනුස්මරණ උළෙල පසුගියදා රත්නපුර, කහවත්ත රුවන්පුර විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ වැඩබලන ප්‍රධාන ඇමැති හා සංස්කෘතික හා අධ්‍යාපන ඇමැති නීතිඥ භානු මුණුප්‍රිය මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි. මෙහිදී ජෝතිපාල ගීත ප්‍රසංගයක්ද පැවැත්වුණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.
එච්.ආර්. ජෝතිපාල උපදින්නේ 1936 පෙබරවාරි මාසයේ 12 වැනිදා මාතරදී, ඔහු මිය යන්නේ 1987 ජූලි 07 දා කතරගමදීය. ජෝතිපාල මහතාගේ දෙමාපියන් මාතර සිට කොළඹ මරදානේ පදිංචියට එනවා. මේ නිසා ජෝති අධ්‍යාපනය ලබන්නේ කොළඹ මරදානේ ‍ ලෝරන්ස් විද්‍යාලයෙන් හා දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන්. ඔහු ජේ.එස්. සී. විභාගයෙන් සමත් වෙනවා. ඔහුගේ පළමු රැකියාව වන්නේ කොළඹ සුලෙයිමාන් රෝහලේ සේවකයකු ලෙසයි. ජෝතිගේ පළමු වැටුප මසකට රු.25/=ක් වුණා. ඔහුට සහෝදර සහෝදරියන් 5 දෙනෙකු සිටිනවා. ජෝති, බ්ලෝසම් වික්ටර් මෙනෙවිය සමඟ විවාහ වෙනවා. ඔහු දූවරු 4 දෙනකුගේ පියෙක්. ජෝතිපාල කුඩා කළ සිටම කලාවට ලැදි පුද්ගලයෙක්.
ඔහු ආධුනික ගීත ගායනයෙන් පළමු ස්ථානයට පත්වෙන්නෙත් මේ වකවානුවේදීමයි. මේ නිසා ඔහුට සිරිසේන විමලවීර මහතාගේ පොඩි පුතා චිත්‍රපටයේ ගීත ගායනයට අවස්ථාව සැලසෙනවා. එහිදී ප්‍රවීණ ගායිකාවක සමඟ ගීතය ගායනා කිරීමට අවස්ථාව ලැබෙනවා. මෙහිදී ජෝතිගේ ප්‍රතාපවත් කට හඬ නිසා ශබ්දාගාරයම දෙදරීම හේතුවෙන් එවකට ශබ්ද පරිපාලකයා ජෝතිට ගීත ගායනා කළ නොහැකි බව දක්වමින් ගායනයෙන් ඉවත් කරනවා. නමුත් ජෝති සිය උත්සහය අත්හරින්නේ නැහැ. වර්ෂ 1952 දී ජෝතිගේ ගායන සිහිනය සැබෑ වෙනවා. ඒ ප්‍රවීණ ගායිකා වසන්තා සන්දනායක මහත්මිය සමඟ මහවැලි නදියේ.. යුග ගීතය ගායනා කරන්නට අවස්ථාව ලැබෙනවා.
ඉන් අනතුරුව ජෝතිගේ ස්වර්ණමය අවධිය උදා වෙනවා. ඒ සුරතලී චිත්‍රපටයට “සිරියා මේ සාරා.. නැගේවී හද මෝරා...” ගීතය ගායනා කිරීමට අවස්ථාව ලැබීමයි. මේ නිසා ජෝති මෙරට ජනතාව අතර අතිශයින් ජනප්‍රියත්වයට පත්වෙනවා. එතැනින් ආරම්භ කළ ජෝතිගේ ගීත පෙළහර අද දක්වාම අතිශයින් ජනප්‍රියයි. මෙරට ගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය සංස්කෘතිය බිහි කරන්න දායක වන යෝධයා එච්.ආර්.ජෝතිපාලයි.
ඒ නිසාම ඔහු ජීවත්ව සිටින කාලයේ මෙරට සිටි අති ජනප්‍රියම ගායකයා නමින් විරුදාවලි ලත් ජෝති අද එහු මියගොස් වසර 27ක් ගතවීත් එදා තරම්ම අදත් ජනප්‍රියයි යැයි කීවොත් එය සත්‍යයක්. මේ වන විට ජෝති ගීත දසදහස් ගණනක් ගයා තිබෙනවා. ඒ සියල්ලම එදා මෙන් අදත් ජනප්‍රියයි. ජෝතිගේ ගායනා කුසලතාව තුළ මා දකින විශේෂතාවය නම් ජෝති ගීතයේ පද රචනයට නව ප්‍රාණයක් ලබාදුන් විශ්ව කර්මයයි.
මේ නිසාම ජෝතිගේ පෞරුෂාත්මක හඬ ගීත පදවැල හා සංගීතයද අභිභවමින් මතුවෙනවා. මේ නිසා ජෝතිගේ හඬට පද රචනය හා සංගීතය දෙවැනි වුවදැයි විටෙක මට හිතෙනවා. එනම් ඒ ගීතය වෙනත් ගායකයෙක් ගායනා කළොත්, ජෝතිගේ හඬ පෞරුෂය මෙන් ප්‍රාණවත් භාවයකින් යුක්ත නොවන්නට පුළුවන්. මේකයි ජෝතිගේ විශේෂත්වය. ජෝති තුළ පැවැති හඬ පෞරුෂත්වයට සම කරවන්නට පුළුවන් හඬක් තවත් බිහිවී නැහැ. ජෝති මියගොස් වසර 27ක් ගෙවෙද්දීත් අපට ජෝතිපාල කෙනෙක් බිහි කරවන්නට බැරි වී තිබීමෙන්ම පෙනී යන්නේ ජෝති ගායන ලෝකයේ සක්විති කියා නොවේද?
ජෝතිගේ හඬ පෞරුෂය කදිමට ගැලපුණ මෙරට සිටි අසහාය නළුවන් දෙදෙනෙක් සිටිනවා. එක් අයෙක් අපේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා, අනෙක් කෙනා අපේ සුන්දරතම හා ජනප්‍රියම නළුවා විජය කුමාරතුංග. මේ දෙදෙනාට කදිමට ගැලපුණු හඬ ජෝතිගේ අභිමානවත් හඬයි. මේ නිසාම ජෝති ගායනා කරන ගීත අඩංගු විජය, ගාමිණී රඟපෑ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වුණා. මේ බව විජය කුමාරතුංගයන් 1 වැනි ජෝති ගුණසමරුවේදී ද කිව්වේ, ජෝතිගේ හඬ නැති සිනමාවක් ගැන හිතන්නටවත් බැරි බවයි.
ඒ වගේම එදා විජය හැඟීම්බරව කිව්වා ජෝතිගේ වියෝවෙන් මගේ හඬ නැතිවුණා වගේ දැනෙනවා කියලා. මේකෙන් පැහැදිලි වන්නේ මෙරට සිනමාවට ජනතාව කැන්දාගෙන එන්න ජෝතිගේ හඬ කොතරම් ප්‍රයෝජනවත් වුණාද කියන එක නේද? ගාමිණී - විජයට පසුව ජෝති ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, රවින්ද්‍ර රන්දෙනිය, අමරසිරි කලංසූරිය, සනත් ගුණතිලක, තිස්ස විජේන්ද්‍ර, වැනි සිනමාවේ විවිධ වකවානුවල සිටි කතානායකයින්ටත් හඬ දුන්නා. ඒ හඬ නිසා ඔවුනුත් සිනමාවත් බැබලුණා.
ජෝති ගායකයෙක් විතරක් නෙවෙයි. ඔහු නළුවෙක් වුණා. ජෝති රොබින් තම්පොගේ සුදු ස‍ඳේ කළුවලා, චිත්‍රපටයේ රඟපාමින් රංගනයට එක් වෙනවා. ඉන්පසුව ඔහු ඇතුළුවීම තහනම්, ඔබයි මමයි, මගේ නංගි ශ්‍යාමා, දමයන්ති, අභිරහස, සැලි, හොඳම නළුවා, ගීතා, සුමිතුරෝ, සුනේත්‍රා, තණගිරවි, සිකුරු දසාව, රිදී තැල්ල, ශාන්ති ඇතුළු චිත්‍රපට 35ක පමණ රඟපෑවා. ඒවගේම ඔහු සුමිතුරෝ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් චිත්‍රපට නිෂ්පාදකයකු බවටත් පත්වුණා.
1980 දී සැප්තැම්බර් 6 දා ජෝති විසින් ජෝති රාත්‍රිය ගීත ප්‍රසංගය ටවර් රඟහලේ දී පෙන්වනවා. ටවර් රඟහලේදී දර්ශන 100ක් පෙන්වූ එකම සංගීත ප්‍රසංගයත් ජෝති රාත්‍රිය පමණයි. අදත් එය වාර්තාවක් විදියට සටහන් වෙලා තියෙනවා. ජෝති කියන්නේ ගායකයෙකු කලාකරුවෙකු පමණක් නොවෙයි. ඔහු ශ්‍රේෂ්ඨ ගතිගුණ ඇති උතුම් මනුෂ්‍යයෙකු ලෙස හඳුන්වන්න පුළුවන්.
ජෝතිගේ ගුණ දන්න හැම කෙනාම දන්නා කාරණයක් තමයි ජෝතිගේ මනුෂ්‍යකම, ජෝති කියන්නේ මානව හිතවාදී කලාකරුවෙක්. ඔහු කවදාවත් ගීත ගායනා කරන්න මිලක් නියම කළේ නැහැ. ඔහු හමුවට එන අයගෙන් අහන්නේ මටකීයක් ගෙවන්න පුළුවන්ද කියලා විතරයි. ඒ ගාණ ගන්න තරම් ජෝති නිහතමානි වුණා. බොහෝ අවස්ථාවලදී ඔහු සල්ලි ගන්නේ නැතිව සිංදු කිව්ව සංදර්ශන ඕනෑ තරම් තිබුණා. ජෝති ඒ තරම්ම නිහතමානි කලාකරුවෙක්.
ඒවගේම දුප්පත් මිනිසුන්ට තමඅත මිටේ තියෙන සල්ලි, ඇඳුම් පැළඳුම් පවා පරිත්‍යාග කරන්නට තරම් ජෝති කා අතරත් නිහතමානි චරිතයක් ලෙස ගෞරවයට පාත්‍ර වුණා. ජෝති පහළම පන්තියේ සිට ඉහළම පන්තියේ සිටින අය ඇසුරු කළා සේම ඔහු පහළම පන්තියේසිටින දුප්පත් ජනතාවට නොමසුරුව උදව් කළ නිසාම ඔහු ජනතාවගේ හදවතේ හැමවිටම ලැගුම් ගන්නේ තමන්ගේ මිතුරෙකු හිතවතෙකු ලෙසයි. මේ නිසා මම දකින්නේ ජෝති කියන්නේ ජන මූල ගායකයෙක් ලෙසයි. ජනතාව අතරම සිටින, ජනාව සමඟ දුක බෙදාගත් මානව හිතවාදී ගායකයෙකු ලෙස ජෝති හැමදාම ගෞරවයට ලක්වෙනවා.
මේ ජනමූල ගායකයා ගැන වරක් ලංකාවට පැමිණි භාරතයේ ගීත සක්විති ලෙස ප්‍රකට දිවංගත මොහොමඩ් රාෆි කිව්ව කතාවකින් මේ ජෝති ගුණ සමරු දෙසුම මම නිමාවට පත්කරන්නම්. “ලංකාවේ එක් ගායන ශිල්පියෙක් ඉන්නවා. ඔහුගේ නම ජෝතිපාල, ඔහුගේ ඇතැම් ගීත මම අහලා තියෙනවා. මේ ලංකාව ඔහුට පුංචි වැඩියි.
ඔහු ඉපදිය යුතුව තිබුණේ ලංකාවේ නෙවෙයි මහා භාරතයේයි. මොහොමඩ් රාෆි එහෙම කියනවා. ඇත්තටම ජෝති ඔබ මහා භාරතය ලෙස සුවිශාල වූ ගුණ සම්භාරයකින් පිරිපුන්, පෞරුෂයකින් පිරිපුන් ජනමූල ගායකයෙක් ලෙස අපේ ඉතිහාසයට එක්වෙනවා. ජෝති ඔබට නිවන් සුව පතනවා.

http://www.dinamina.lk/2014/07/15/_art.asp?fn=n14071512

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.