Sunday, July 20, 2014

මේ කතාවටත් කන් දෙන්න!


ජපන් ජාතික මහාචාර්යවරයකු වන ෂිබුයා තොෂිඕ ශ්‍රී ලංකාව ගැන පොතක් ලියා තිබේ. මේ පොතට ඇතුළත් වී ඇත්තේ අපේ සංස්කෘතිය තුළ පවත්නා හර පද්ධතිය යි. ජපානය භෞතික වශයෙන් ශීඝ්‍ර දියුණුවක් අත්පත් කරගෙන ඇති’මුත් සාංස්කෘතික වශයෙන් කඩාවැටීමකට ලක් වී ඇතැ’යි මහාචාර්යවරයා පැහැදිලි කරයි. එම සංස්කෘතික සෝදාපාළුව තුළ හුදෙකලා ජපනකු බිහි වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි. හැබෑවට ම ෂිබුයා මහතා උත්සාහ දරා ඇත්තේ ශ්‍රී ලංකාව සංස්කෘතිය අතින් උසස් රාජ්‍යයක් ලෙස පෙන්වා දීමට ය.
සංස්කෘතිය මෙතරම් දියුණු නම්; රටේ අපරාධ වැඩි වන්නේ මන්දැ’යි කෙනකු ප්‍රශ්න කරන්නට පුළුවන. කුඩු ජාවාරම්කාරයන් මෙතරම් කොටු වන්නේ මන්දැ’යි තවත් කෙනකු ප්‍රශ්න කරන්නට පුළුවන. එසේ ප්‍රශ්න කිරීම සාධාරණ ය. හේතුව අපරාධවල වර්ධනයක් සේ ම ඒවා රස කරමින් වාර්තා කිරීමක් ද දකින්නට ලැබෙන බැවිනි. අපරාධයක් පසුපස යමින් එය නිරූපණය කොට දැක්වීමේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් මීට වසර කිහිපයකට පෙර විකාශය විය. විශාල ආකර්ෂණයක් දිනාගත් මේ වැඩසටහන නිසා අපරාධ වර්ධනය වූ බව එහි නිෂ්පාදකයෝ ම අද පිළිගනිති.
ඉන්දියාව ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඉතා වැදගත් රාජ්‍යයෙකි. විශ්වවිද්‍යාල මට්ටමේ ජනමාධ්‍ය පාසල් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් එහි පවතී. වසරකට දහස් ගණනක් ජනමාධ්‍ය උපාධි ලබති. ඉන්දියාවේ ජනමාධ්‍ය කලාව, ලෝක සන්නිවේදන ජාලයේ එක්තරා ශෛලියක් ලෙස ද පිළිගැනේ. එහි ජනමාධ්‍ය පිළිබඳ මහාචාර්යවරයකුගෙන් ප්‍රවෘත්ති යනු කවරේදැ’යි කෙනෙක් විමසූහ. මහාචාර්යවරයා ගත් කටට ම කියා සිටියේ ප්‍රවෘත්ති යනු ලිංගිකත්වය, අපරාධ හා මුදල් ගනුදෙනු යන්න ය. මේ නිර්වචනය වෙළෙඳාම සම්බන්ධයෙන් නිවැරැදිය. එහෙත් සංස්කෘතිය සම්බන්ධයෙන් අතිශයින් ම වැරැදිය.
රටේ ප්‍රමුඛ පෙළෙහි භික්ෂූන් වහන්සේ පිරිසක් මීට මාස ගණනකට ඉහත දී ජනාධිපතිවරයාට සන්දේශයක් භාර දුන්හ. එහි සඳහන් වූයේ පුවත්පත් මඟින් ඉතා රසවත් කොට අපරාධ වාර්තා කිරීම නිසා අපරාධ සාමාන්‍යකරණයට ලක් වී එය අත්හදා බලන පිරිස වැඩි වී ඇති බව ය. එබැවින් ජනමාධ්‍ය වාර්තාකරණයට නීති පනවන්නැ’යි උන්වහන්සේලා ඉල්ලා සිටියහ. ජනමාධ්‍යයට වාරණ පැනැවීම අසීරු කටයුත්තකි. එය තවත් ගැටලු සමුදායක ආරම්භයක් වන්නට ද පුළුවන. ජනාධිපතිවරයා ජනමාධ්‍ය ප්‍රධානීන් කැඳවා මේ පිළිබඳ උපදේශනයක් ලබා දුන්න ද වාර්තාකරණයෙහි වෙනසක් දකින්නට නැත.
මේ පසුබිම තුළ ම විමැසිය යුතු තවත් අංශ දෙකක් තිබේ. පළමුවන්න අපරාධ මර්දනය සඳහා ආණ්ඩුව ගෙන ඇති පියවර ය. විවිධ අපරාධ මර්දනය සඳහා ආණ්ඩුව වෙනදාට වඩා උනන්දුවක් හා සැලැකිල්ලක් දක්වා තිබේ. විශේෂ පොලිස් ඒකක ගණනාවක් ද ඒ සඳහා අලුතෙන් පිහිටුවා ඇත. රාජ්‍ය ප්‍රධානීන්ගේ අවධානය ද ඒ කෙරෙහි දැඩි ව එල්ල වී ඇත. දෙවන්න අපරාධකරුවන් පුනරුත්ථාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබීම ය. බන්ධනාගාර තුළ පවා එම වැඩසටහන් හොඳින් ක්‍රියාත්මක වෙයි. මේ හේතු - සාධක නිසා අපරාධ සම්බන්ධිත පුළුල් සංවාදයක් රට තුළ පවතී. එය ඇතැම් දෙනා වැරැදි ලෙස අර්ථ දක්වති.
අප මේ තීරුව ආරම්භ කළ තැනට යළි ප්‍රවේශ වුවහොත් ජපානය වැනි රටකට වඩා ගැඹුරු සාංස්කෘතික පසුබිමක් අපට ඇතැ’යි කියන්නට පුළුවන. ලෝකයේ මුල් ම ශිෂ්ටාචාර සමඟ යම් යම් සාදෘශභාවයක් රටේ ඉතිහාසය තුළ පවතී. පුරා විද්‍යාත්මක සාක්ෂිවලින් ද ඒ බව සනාථ වේ. මහවැලි ගඟ දෙපස පැවැති ඉපැරැණි ශිෂ්ටාචාරයක් ගැන ද ඉතිහාසඥයන් අතර කතාබහක් පවතී. කුමක් වුව විදේශීය ආක්‍රමණ නිසා එම ශිෂ්ටාචාරයේ හර පද්ධතිය විනාශ වූ බව පිළිගත යුතු ය. එය වඩාත් විනාශකාරී ලෙස බලපාන්නට වූයේ 1977 න් පසුව ය.
ශ්‍රී ලංකාව තුළ බලවත් ආර්ථික කැරැල්ලක් ක්‍රියාත්මක වූයේ 1977 න් පසුව ය. එය ආර්ථික ආක්‍රමණයක් ලෙසත් සාංස්කෘතික විනාශයක් ලෙසත් හඳුන්වා දෙන්නට පුළුවන. රටක ආර්ථිකය සැලැසුම් කළ යුත්තේ රටේ ඉතිහාසය, මිනිසුන්ගේ චින්තනය, දේශීය රටාව හා රටේ සම්පත් ද සැලැකිල්ලට ගනිමින් ය. විවෘත ආර්ථිකය හඳුන්වා දුන් ජේ. ආර්. ජයවර්ධන මහතා ඒ සියල්ල උඩු -යටිකුරු කළේ ය. සාහිත්‍යය, ඉතිහාසය වැනි මානව ශාස්ත්‍ර විෂයයන් අධ්‍යාපනයෙන් අතුගා දැමිය යුතු යැයි ඔහු කල්පනා කළේ ය. ඒ වෙනුවට තාක්ෂණයෙන් දරුවන්ගේ ඔළු ගෙඩි පුරවා දැමිය යුතු යැයි ද ඔහු කල්පනා කළේය. මේ ක්‍රමය ඔස්සේ බිහිවුණේ බල්ලන් මරා හෝ සල්ලි හොයන මිනිසුන් ය.
කවුරු කුමන විග්‍රහ ඉදිරිපත් කළ ද 1977 න් පසු අපේ ආර්ථිකය හෝ සංස්කෘතිය හෝ පිළිගත හැකි සංවර්ධනයක් ලැබුවේ නැත. මිනිසුන් ස්වල්ප දෙනකු අත මුදල් ගැවසුන ද, ජාවාරම් අධික විය. දූෂණ අධික විය. දුප්පතුන් වඩාත් දුප්පත් වූ අතර පොහොසතුන් ස්වල්ප දෙනකු වඩාත් පොහොසත් වන බව දකින්නට ලැබිණි. මිනිසුන්ගේ චින්තනය වෙනස් වීම නිසා තරගය අධික විය. එකිනෙකාට වෛර කරන සමාජයක් බිහි විය. මිනිස් ජීවිත ශත පහකට ගණන් නො ගැනිණි. එහි ප්‍රතිඵලය වූයේ සාමූහිකත්වය බිඳී යෑම ය. මෙය වක්‍රාකාරයෙන් අපරාධ වර්ධනයට රුකුලක් විය.
රටේ පවතින අපරාධ ගැන කතා කරන හා ඒවා විවේචනය කරන අයගේ අවධානයට ලක්විය යුතු කරුණු කිහිපයක් තිබේ. සංචාරක කර්මාන්තය නිසා සංස්කෘතිය විනාශ වන්නේ නැත. සංස්කෘතිය විනාශ න්නේ චින්තනය විකෘති කිරීමෙන් ය. චින්තනය විකෘති කිරීමට මඟ පෑදුණේ විවෘත ආර්ථික සම්ප්‍රදායයෙන් ය. එහෙත් අද එය කළමනාකරණයට ලක්කර තිබේ. දේශීය චින්තනයට හා අපේ උරුමයට මුල් තැන ලැබී තිබේ. උගතුන් ඒ ගැනත් කතා කළ යුතු ය.

 http://www.dinamina.lk/2014/07/19/_art.asp?fn=e140719

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.