Sri Lanka Broadcasting Corporation

The Sri Lanka Broadcasting Corporation (SLBC): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාච: இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாis the oldest radio station in South Asia, and was founded as Colombo Radio in 1925.ration.

Sinhala National Service

Sinhala National Service also known as Swadeshiya Sevaya is Sinhala radio channel manage by Sri Lanka Broadcasting Corporation (SLBC)

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Handa (SOUND) හඬ

Quarterly Magazine. Now Available.RS100.Published by Sri LAnka Broadcasting corporation. Edited by THILAKARATHNA KURUWITA BANDARA

Sunday, May 4, 2014

ජාතික පුස්‌තකාලයේ සංවත්සරය නිමිත්තෙන් මැයි 6 - 9 අධ්‍යාපනික ප්‍රදර්ශන ඇතුළු වැඩසටහන් රැසක්‌


ජාතික පුස්‌තකාලයේ 24 වැනි සංවත්සරය නිමිත්තෙන් ලබන මස 6 වැනිදා සිට 9 වැනිදා දක්‌වා අධ්‍යාපනික ප්‍රදර්ශනයක්‌ ඇතුළු වැඩසටහන් මාලාවක්‌ පැවැත්වීමට විධිවිධාන යොදා ඇත.

මෙම ප්‍රදර්ශනයෙන් ජාතික පුස්‌තකාලයේ සම්පත් හා සේවා ප්‍රදර්ශනය කිරීමට අමතරව සෙසු රාජ්‍ය ආයතනවල හා පොත් ප්‍රකාශකයන්ගේ ප්‍රදර්ශන කුටිද සංවිධානය කර තිබේ.

කොළඹ 7, නිදහස්‌ මාවතේ පිහිටි පුස්‌තකාල පරිශ්‍රයේ පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා ජාතික ලේඛනාරක්‍ෂක, කෞතුකාගාර, පුරාවිද්‍යා, අධ්‍යාපන ප්‍රකාශන හා රාජ්‍ය භාෂා යන දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන රැසක්‌ ද පොත් ප්‍රකාශන ආයතන ද සම්බන්ධ වෙයි.

සෑම දිනකම උදේ 9 සිට සවස 5 දක්‌වා පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාවට පුස්‌තකාල ක්‍ෂේත්‍රයට අදාළ සම්මන්ත්‍රණ මාලාවක්‌ ද අයත්ය.

ජාතික පුස්‌තකාලයේ ජාතික කාර්යභාරය

http://www.whatsupcolombo.lk/Images/UploadedImages/Business/Full/929.jpg


උසස්‌ මට්‌ටමේ පුස්‌තකාල හා තොරතුරු සේවා පද්ධතියක්‌ පැවැතීම රටක සංවර්ධනය පෙන්නුම් කරන එක්‌ සාධකයකි. වත්මන් සමාජයේ ඕනෑම ක්‍රියාවලියක්‌ සඳහා තොරතුරු සම්බන්ධ කර ගැනීමට සිදුවේ. අධ්‍යාපනය, ආර්ථික කටයුතු, සමාජ සංවර්ධනය, විනෝදාස්‌වාදය ආදී සෑම මිනිස්‌ ක්‍රියාකාරකමක්‌ සඳහාම තොරතුරු අවශ්‍යවේ. එබැවින් ඵලදායි තොරතුරු කළමනාකරණය රටක සංවර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වේ.

රටක පුස්‌තකාල හා තොරතුරු සේවාවන්හි කේන්ද්‍රස්‌ථානය වන්නේ එම රටේ ජාතික පුස්‌තකාලයයි. රටක ජාතික පුස්‌තකාලයකට විශාල ජාතික වගකීමක්‌ පැවරේ. ඒ යටතේ ඕනෑම රටක ජාතික පුස්‌තකාලයකට පැවරෙන කාර්යයන් ගණනාවක්‌ ඇත. එම කාර්යයන් පහත සඳහන් පරිදි දැක්‌විය හැකියි.

1. රටතුළ පළවන ප්‍රකාශනවල ජාතික සංචිතයක්‌ පවත්වාගෙන යැම.

2. අප්‍රකාශිත අත්පිටපත් (මබචමඉකසියෑd ප්බමිජරසචඑs) වල තැන්පතුවක්‌ පවත්වාගෙන යැම.

3. විදේශ ප්‍රකාශන එකතුවක්‌ පවත්වාගෙන යැම.

4. රටේ පුස්‌තකාල හා තොරතුරු විද්‍යා කටයුතු සඳහා ජාතික නායකත්වය ලබාදීම.

5. රටේ පුස්‌තකාලයාධිපතිත්වයේ කේන්ද්‍රස්‌ථානය ලෙස කටයුතු කිරීම හා රටේ පුස්‌තකාල පද්ධතිය සංවර්ධනය කර මෙහෙය වන්නා ලෙස කටයුතු කිරීම.

6. ජාතික හා පෞද්ගලික මට්‌ටමින් ආර්ථික හා සමාජ සංවර්ධනය පහසු කිරීම සඳහා ජාතික තොරතුරු පද්ධතියක්‌ ලබා දීම.

7. නීත්‍යනුකූල තැන්පතු නීතිය යටතේ පිටපත් ලබා ගැනීම.

8. රටතුළ පළවන ග්‍රන්ථ සම්භාරය ලේඛන ගත කිරීම හෙවත් ග්‍රන්ථ විඥපන සේවා පවත්වාගෙන යැම.

9. ජාතියේ ලේඛන උරුමය සංරක්‍ෂණය කිරීම.

10. පුස්‌තකාල හා විඥපන ක්‍ෂේත්‍රයේ පර්යේෂණ පැවැත්වීම.

11. ආබාධිත අය සඳහා තොරතුරු සේවා ලබා දීම.

12. ජනතාවගේ කියවීම වර්ධනය කිරීම.

ලෝකයේ ඕනෑම රටක ජාතික පුස්‌තකාලයකට පොදුවූ මෙම මූලික කාර්යයන් ශ්‍රී ලංකාවේ ජාතික පුස්‌තකාලයද දැනට ඉටුකරමින් පවතී. ශ්‍රී ලංකාවේ පළවන ප්‍රකාශන සම්භාරය ඒකරාශි කිරීම ජාතික පුස්‌තකාලයට පැවරෙන ප්‍රධාන වගකීම වන අතර මෙම ප්‍රකාශන ඒකරාශි කිරීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කෙරේ. පොත් මිලදී ගැනීම, පරිත්‍යාග වශයෙන් ලබාගැනීම හා නීත්‍යනුකූල තැන්පතු පිටපත් ලබා ගැනීම ප්‍රධාන ක්‍රමවේ. නීත්‍යනුකූල තැන්පතු පිටපත් ලැබීම ජාතික පුස්‌තකාල එකතුව වර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වී ඇත. නීත්‍යානුකූල තැන්පතු නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසිනි. එම නීතිය අනුව ශ්‍රී ලංකාවේ පළ කරන සෑම ප්‍රකාශනයකම පිටපත් පහක්‌ ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් කළ යුතුවේ. මෙය නීතිමය අවශ්‍යතාවයකි. මෙම පිටපත් පහෙන් එක්‌ පිටපතක්‌ ජාතික පුස්‌තකාලයට ලැබේ.

ජාතික පුස්‌තකාලය සතු විවිධ එකතූන් රාශියකි. ශ්‍රී ලංකා එකතුව, විමර්ශන එකතුව, පුවත්පත් එකතුව, රජයේ ප්‍රකාශන එකතුව, නීත්‍යනුකූල තැන්පතු එකතුව, විද්‍යා හා තාක්‍ෂණ එකතුව, පුස්‌තකාල හා විඥපන විද්‍යා එකතුව, සිතියම් එකතුව, ශ්‍රව්‍ය දෘෂ්‍ය එකතුව, විද්යුත් මාධ්‍ය එකතුව, පුස්‌කොළ පොත් එකතුව, යුනෙස්‌කෝ එකතුව, සූක්‍ෂම සේයා පට එකතුව, නාට්‍ය අත්පිටපත් එකතුව, ජනශ්‍රැති එකතුව මෙම එකතූන් වේ. ජාතික පුස්‌තකාලය මගින් ලබා දෙන සේවාවන් ද රාශියකි. විමසීම් සේවය, විමර්ශන සේවය, පාඨක අධ්‍යාපන සේවය, ඡායාපිටපත් සේවය, අන්තර් ජාල සේවය, අන්තර් පුස්‌තකාල පිරුළු සේවය, ප්‍රවර්තන සාවධාන සේවය, තොරතුරු ප්‍රති ඇහිරීමේ සේවය මෙම සේවාවන් වේ.

ජාතික පුස්‌තකාල සාමාජිකත්වය ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුටම ලබාගත හැකිය. දෛනික සාමාජිකත්වය, ස්‌ථිර සාමාජිකත්වය යාවජීව සාමාජිකත්වය (ඛසෙe පැපඉeරියසච) ආයතනික සාමාජිකත්වය (ෂබිඑසඑමඑසදබ්ක පැපඉeරියසච) ආදී වශයෙන් සාමාජිකත්ව වර්ග කිහිපයකි. රටතුළ පළවන ප්‍රකාශන ලේඛනගත කිරීම හෙවත් ග්‍රන්ථ විඥපන සේවා පවත්වාගෙන යැම ද ජාතික පුස්‌තකාලයේ කාර්යයකි. මේ යටතේ ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ නාමාවලිය (Sරස ඛ්බන් භ්එසදබ්ක ඊසඉකසදටර්චයහ) පළ කෙරේ. මෙය මාසික ප්‍රකාශනයක්‌ වශයෙන් පළ කරන අතර ශ්‍රී ලංකාවේ පළවන නවතම ප්‍රකාශන පිළිබඳ තොරතුරු මෙන්ම ඉදිරියේ දී පළවීමට නියමිත ප්‍රකාශන පිළිබඳ තොරතුරු ද මෙහි ඇතුළත් වේ. රටතුළ පළවන ප්‍රකාශන පිළිබඳ තොරතුරු සොයන පාඨකයන්ට විද්වතුන්ට මෙන්ම පුස්‌තකාලයාධිපතිවරුන්ට ද මෙය ප්‍රයෝජනවත් මූලාශ්‍රයකි. ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ නාමාවලිය සම්පාදනය ආරම්භ කරන ලද්දේ 1962 වර්ෂයේ දීය. මුද්‍රණ කර්මාන්තයේ ආරම්භයේ සිට 1962 දක්‌වා පළවූ ප්‍රකාශන පිළිබඳ තොරතුරු ඇතුළත් කර ශ්‍රී ලංකා පූර්වකාලීන ජාතික ග්‍රන්ථ නාමාවලිය (Reඑරදිචැජඑසඩැ භ්එසදබ්ක ඊසඉකසදටර්චයහ) සම්පාදනය කර ඇත. පාඨක ප්‍රජාවගේ තොරතුරු ගවේශනය පහසු කිරීම සඳහා ප්‍රලේඛන සේවා (Dදජමපැබඒඑසදබ Seරඩසජැs) ගණනාවක්‌ ද ජාතික පුස්‌තකාලය පවත්වාගෙන යනු ලැබේ. ශ්‍රී ලංකා පුවත්පත් ලිපි අනුක්‍රමණිකාව, පශ්චාත් උපාධි නිබන්ධන අනුක්‍රමණිකාව, ජාතික ඒකාබද්ධ සූචිය, ශ්‍රී ලංකා සමුළු අනුක්‍රමණිකාව, ජන වාර්ගික ගැටළුව පිළිබඳ දත්ත පදනම ප්‍රධාන ප්‍රලේඛන මූලාශ්‍ර වන අතර මෙම දත්ත පදනම් අන්තර්ජාලය මගින් ගවේශනය කිරීමේ පහසුකම් සලසා ඇත.අඅඅගබ්එකසඉගකන වෙබ් අඩවිය ඔස්‌සේ මෙම දත්ත පදනම් ගවේශනය කළ හැකිය. මීට අමතරව රජයේ ප්‍රකාශන නාමාවලිය ශ්‍රී ලංකාවේ පර්යේෂණ වාර්තා පිළිබඳ අනුක්‍රමණිකාව වැනි මුද්‍රිත මූලාශ්‍ර ද සම්පාදනය කෙරේ. ජාතික පුස්‌තකාලයක්‌ මගින් ඉටු කළ යුතු යයි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ජාතික මට්‌ටමේ පුස්‌තකාල හා තොරතුරු සේවා සංවර්ධන කාර්යයන් ගණනාවක්‌ ද ජාතික පුස්‌තකාලය ඉටු කරයි. 

ජාතික පුස්‌තකාලයක්‌ විසින් ඉටු කළ යුතු යයි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සෑම කාර්යයක්‌ම ශ්‍රී ලංකා ජාතික පුස්‌තකාලය දැනට ඉටු කරයි. ශ්‍රී ලංකා ජාතික පුස්‌තකාලය පසුගිය වසර විසි තුන තුළත් ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලය පසුගිය වසර හතළිස්‌ තුන තුළත් ශ්‍රී ලංකාවේ පුස්‌තකාල හා තොරතුරු සේවා සංවර්ධනය සඳහා විශාල කාර්යභාරයක්‌ ඉටුකර ඇත. මේ තුළින් ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය සඳහා දායක වී ඇත.
ජී. ඩී. අමරසිරි
අධ්‍යක්‍ෂ
ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලය


http://www.divaina.com/2013/04/23/feature02.html

අහස කඩා වැටෙයි - ජය ශ්‍රී ඇමති තුමනි,

සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ
නන්දසේන රත්නපාල ලකුණ

80 වන ජන්ම දින සැමරුම නිමිත්තෙනි.
සිංහල සාහිත්‍යය ක්ෂේත්‍රයට මෙන් ම, සමාජ විද්‍යා ක්ෂේත්‍රයට අනල්ප සේවාවක් කළ විද්වතකු වශයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාලයන් හැඳින්විය හැකි ය. එතුමා 1935 මැයි මස 19 වෙනි දින ඌව පළාතේ, බණ්ඩාරවෙල, කුරුකුදේ නම් පිටිසර ගම්මානයේ උපත ලැබුවේ ය. රත්නපාලයන්ගේ පියා කුරුකුදේ රජයේ පාසලේ විදුහල්පතිවරයා වූ අතර මව ඒ පාසලේ ගුරුවරියක් වූවා ය. රත්නපාල මහතා පවුලේ වැඩිමහල් දරුවා වූ අතර ඔහුට බාල සහෝදරයෝ දෙදෙනෙක් ද, සහෝදරියෝ තිදෙනෙක් ද වූහ.
 රත්නපාල ශිෂ්‍යයා මූලික අධ්‍යාපනය ලැබුවේ කුරුකුදේ රජයේ පාසලෙනි. මේ පාසල සතු කුඩා පුස්තකාලයේ තිබුණ සියලු ම පතපොත පරිශීලනය කිරීමට රත්නපාලට අවස්ථාව ලැබිණි. පසුව රත්නපාල ශිෂ්‍යයා උසස් අධ්‍යාපනය හැදෑරීමට පාණදුරේ ශාන්ත ජෝන් විදුහලටත්, අනතුරුව කොළඹ රාජකීය විදුහලටත් ඇතුළු වෙයි. 1955 වර්ෂයේ දී හේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් සරසවි පිවිසුම් පෙළ උසස් ලෙස සමත් වී පේරාදෙණිය සරසවියට ඇතුළු වන්නේ ය.
සරසවියේ ඉගෙනුම ලබමින් සිටි අවධියේ රත්නපාල සිසුන් අතර දීප්තිමත් තරුවක් විය. 1955 වර්ෂයේ දී විශ්වවිද්‍යාලයේ පැවැත් වූ කථික තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා රත්නපාල තරුණයාට රන් පදක්කමක් හිමි වෙයි. මීට අමතරව, ඒ වර්ෂයේ දී ම විශ්වවිද්‍යාලයේ පැවැත් වූ කෙටිකතා තරගයෙන් එතුමාගේ “බළල් පවුල” නමැති කෙටිකතාව ප්‍රථම ස්ථානය දිනා ගන්නේ ය. ඔහු සරසවියේ ඉගෙනුම ලබන අවධියේ බෞද්ධ සංගමයේ සභාපති ධුරය ද දැරුවේ ය.
පේරාදෙණිය සරසවියේ දී සිංහල විශේෂ උපාධිය හැදෑරූ රත්නපාල මහතා දෙවෙනි පෙළ ඉහළ පන්ති සාමාර්ථයක් සහිත ව උපාධිය සමත් වේ. 1959 වර්ෂයේ දී පේරාදෙණිය සරසවියේ සිංහල අංශයේ සහකාර කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කිරීමට රත්නපාලට අවස්ථාව උදාවෙයි. ඒ විශ්වවිද්‍යාලයේ ඉතා කෙටි කලක් කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කළ තරුණ රත්නපාල 1960 වර්ෂයේ ජනවාරි 01 වෙනි දා සිට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කිරීමට භාග්‍යය උදාකර ගනී.
එතුමාට එහි නූතන සිංහල අංශයේ ප්‍රධානත්වය ලැබෙයි. නොබෝ කලකින් නූතන සිංහල සාහිත්‍යයේ උන්නතිය උදෙසා රත්නපාලයෝ විශාල සාහිත්‍ය සේවාවක් කළහ. 1960 - 1963 දක්වා කාලය තුළ නූතන සිංහල අංශය ඉතා ජනපි‍්‍රය ස්ථානයක් බවට පත්වන්නේ රත්නපාලයන්ගේ අප්‍රහිත ධෛර්යය හා නොපසුබට උත්සාහය නිසා ය. එහෙත් එතුමා තුළ තිබුණ දක්ෂතාව නො ඉවසූ ඇතැම් උගත් ගැටමාන්නලාගේ කූට උපක්‍රම නිසා නූතන සිංහල අංශය 1963 දී වැසෙයි. මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් එම්. ඒ. උපාධිය ද රත්නපාල මහතා සමත් වී සිටියේ ය. නූතන සිංහල අංශය වසා දැමීම නිසා බලවත් ලෙස කලකිරෙන තරුණ රත්නපාල ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ජර්මනිය බලා පිටත් වෙයි.
1966 වර්ෂයේ දී ආචාර්ය උපාධිය දිනාගෙන දිවයිනට පැමිණෙන රත්නපාල මහතා වසර කිහිපයක් සිංහල අංශයේ සේවය කළේ ය. 1972 වර්ෂයේ දී එතුමා සිංහල අංශයෙන් සමාජ විද්‍යා අංශයට අනුයුක්ත කෙරේ. අනතුරුව සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා එතුමාගෙන් විශාල සේවාවක් සිදු වේ.
රත්නපාල මහතාගෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයට සිදුවූ සේවාව පමණක් සාකච්ඡා කිරීමට මේ ලිපියෙන් අපේක්ෂා කෙරේ. එතුමාගෙන් සිංහල කෙටිකතා ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා සුවිශාල සේවාවක් සිදුවිය. රත්නපාල කෙටිකතා සංග්‍රහ තුනක් පළ කළේ ය. “නොලියූ පොත (1955)” එතුමා විසින් රචිත ප්‍රථම කෙටිකතා සංග්‍රහයයි. අනතුරු ව හෙතෙම රිදී පෝරු (1969) හා ඒඩ්ස් සහ තවත් කතා (1992) පළ කළේ ය. මොහු විසින් තරුණ අවධියේ දී පළ කරන ලද “කෙටිකතා විචාර මූලධර්ම” නමැති විචාර ග්‍රන්ථය කෙටිකතා ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා මහත් සේ දායක විය.
රත්නපාල මහතාගෙන් සිංහල නවකතා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ද සුවිශාල සේවාවක් සිදුවේ. 1972 දී රත්නපාලයන් විසින් රචිත “නොදනිමි කාගෙ දොසා” නමැති නවකතාව ඔහුගේ ප්‍රථම නවකතා නිර්මාණයයි. පසුව උදා හිරු, අහස කඩා වැටෙයි, ජය ශ්‍රී ඇමති තුමනි, සයිමන් බාස් සහ බිරින්දෑවරු හා ඇවිලෙන ගිනිදැල් යන නවකතා රත්නපාලයෝ පළ කරති. මේ නවකතාවලින් වත්මන් සමාජය කදිමට ප්‍රතිනිර්මාණය කෙරෙයි.
රත්නපාලයන් විසින් සිංහල පද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ද සැලකිය යුතු සේවාවක් කර තිබේ. එතුමා 1960 දී සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන “මරණින් එහා” පළ කළේ ය. අනතුරු ව 1973 දී “ආන්ත්‍රාවයි” නමින් කාව්‍ය සංග්‍රහයක් හේ රචනා කරයි. රත්නපාලයන් විසින් රචිත අවසාන නිර්මාණය වන්නේ “කලවානේ දී ලියු කවි” නමැති කාව්‍ය සංග්‍රහයයි. මෙය තවමත් ප්‍රකාශයට පත්කර නැත.
රත්නපාලයන්ගෙන් සාහිත්‍ය නිර්මාණ ක්ෂේත්‍රයට මෙන් ම, සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයට ද සුවිශාල සේවාවක් සිදුවිය. “ග්‍රන්ථ විචාර” නමැති සඟරාව ඒ අතරින් මුල් තැනක් ගනී. “සිංහල පද්‍ය විචාරය” “කුංකුම චන්දන” ඔහු ෂසින් රචිත සාහිත්‍ය විචාර ග්‍රන්ථවලින් කිහිපයකි. මේ ලේඛකයා අ.පො.ස (සා.පෙළ) හා අ.පො.ස. (උ.පෙළ) සිංහල විෂය නිර්දේශ අනුව පතපොත ලියමින් ද සිසුනට අතිමහත් සේවාවක් කළේ ය.
සිංහල සාහිත්‍යය, භාෂාව, සමාජ විද්‍යාව, ජනශ්‍රැති විද්‍යාව, මානව විද්‍යාව හා අපරාධ විද්‍යාව යන විවිධ අංශයන්ට කැපී පෙනෙන සේවාවක් කළ මහාචාර්ය නන්දසේන රත්නපාල 2007 අගෝස්තු මස 07 වෙනි දින හදිසියේ අභාවප්‍රාප්ත විය. එතුමාගේ අභාවයෙන් පසු ඇතිවූ හිදැස පිරවීමට සමත් විද්වතකු තවමත් සාහිත්‍ය හා සමාජ විද්‍යා ක්ෂේත්‍රවලින් පහළ වී නැත.

මුළු ගතම වෙහෙසවා මී මැස්සා ඉගිල ගියේය


බිරිය ෆ්ලෝරන්ස් සිහිපත් කරයි
ජෝ BEE පෙරේරා
වසන්ත සමයේ දී ගහ වැල මල්පල ගැන්වී සිතට ශාන්ත බවක් ගෙන දුන්නත් ෆ්ලෝරන්ස්ට හා වරුණට නම් ඒ සුවය විඳින්නට අවකාශයක් නොවීය. අමල්ට ද තම රාජකාරි මධ්‍යයේ වුවද වසන්තයේ සිරි අසිරිය විඳින්නට අවස්ථාව නොලැබුණේ සිතට කිසිදු සහනයක් නොමැති නිසාවෙන්ය. ගයනි විදෙස් රටක සිටියත් තම සැමියා හා දරුවන් සමඟ ඒ සතුට බුක්ති විඳීමට නොහැකි වූයේ ඇය කෙරෙන් වූ අප්‍රමාණ පිය සෙනෙහස නිසාවෙනි. ඒ වසර තුනකට අධික කාලයක් රෝද පුටුවට වී රෝගාතුරව කාලය ගත කළ ගයනි, අමල් සහ වරුණ ගේ පියා සහ ෆ්ලොරන්ස් ගේ ආදරබර සැමියා වූ මේ ජනපි‍්‍රය කලාකරුවා නිසාය.
හැට හැත්තෑව දශකයන්හි දී මෙරට ජනතාව ආදරය කළ ජනපි‍්‍රය ගායන ශිල්පියකු වූ මේ සොඳුරු මිනිසා පසුගිය ජනවාරි මස දී තව තවත් ගිලන් බවට පත් වූයේ බටහිර වෙදකමත්, දේශීය වෙදකමත්, පවුලේ උදවිය ගේ හෙදකමත් උපරිම තලයක තිබිය දීය. ගායකයකු, වාදකයකු, තනු නිර්මාපකයකු වූ මේ සොඳුරු සිතැත්තාගේ නිර්මාණ දිවියට අඩසිය වසක් ගත වුණේ ද පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය.
මෙම වසරේ වසන්ත මාසය උදාවූවා පමණි. ඔහුගේ රෝගී තත්ත්වය වඩ වඩාත් ඔහුට දැණිනි. එම නිසාම ඔහුට දරු මුනුපුරන් සියල්ලම එකට දැකබලා ගන්නට ආශාවක් ඇති විය. මේ කාරණය හේතුකොට ගෙන පසුගිය 19 වැනි සෙනසුරාදා අමල් සහ ඔහුගේ දරුවනුත්, වරුණත් සිය මෑණියන් වූ ෆ්ලොරන්ස් ඇතුළු පිරිසත් මේ කලාකරුවාගේ නිවස්නය වූ ගම්පහ උඩුගම්පොළ පිහිටි ‘වසන්තය’ නිවහනට එක්විය. ඊට සුළු මොහොතකට පසු විදෙස් රටක සිට ගයනි ද පැමිණියේ තම දියණිය ද කැටුවය. ගයනි ගම පියාට අප්‍රමාණ සෙනෙහසක් දැක්වූවාය. එම නිසාම තම පියාගේ රෝගී තත්ත්වය දුටු ඇයගේ නෙතට කඳුළක් එක් වූයේ ඈට ද නොදැනීය. පියා දකීවී යන බියෙන් යුතුව ගයනි තම කඳුළ වහ වහා සඟවා ගත්තාය. ගත වූයේ පැය කිහිපයකි. තම දරු මුනුපුරන් අවසන්වරට දැකගත් මේ සොඳුරු කලාකරුවා සියල්ලන්ම තනිකර දමා අවසන් සුසුම් පොද වාතලයට මුසු කළේ කිතු සමිදාණන්ගේ මරණයෙන් නැගිටීම හෙවත් උත්තානය වූ දිනට එක් දිනයක් ඉතිරි කරමිනි.
ජෝ බී. පෙරේරා, කම්මල්කරුවාගේ ගීතය හෙවත් ‘මුළු ගතම වෙහෙසුණා’ ගීතයෙන් රටක් නැළ වූ හෙතෙම රටක් හඬවා රහසේම සැඟව ගොස්ය. ඔහුගේ සොඳුරු මතකයන් සමඟ මෙවර ‘පිය සටහන්’ සමඟ එක්වන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ වූ ෆ්ලොරන්ස් පෙරේරා, වැඩිමහල් දියණිය වූ ගයනි පෙරේරා, පුතුන් වූ අමල් සහ වරුණ යන පිරිසයි.
මේ ලිපිය ලියැවෙන විටත් ඔහු ජීවිත සයුරෙන් නික්ම ගොස් සතියක්වත් ඉක්මගොස් නැත. එම නිසාම ‘වසන්තය’ නිවෙසේ වූසේ දුක්බර ශෝකී පෙනුමකි. නිවෙසට පිවිසෙන ප්‍රධාන ගේට්ටුවට ඉහළින් ජෝ කලකට ඉහත දී ගිටාරයක් අතැතිව ගත් විශාල ප්‍රමාණයේ ඡායාරූපයක් සමඟ වූ ශෝක ප්‍රකාශයකි. එහි යනවිට අපව පිළිගත්තේ ගයනීය. ගයනි යනු ජෝ ගේ වැඩිමහල් දියණියයි. ජෝ ගේ දයාබර බිරිය පුත් වරුණ සමඟ පැමිණ ජෝ ගේ අතීත තොරතුරු එකිනෙක අප වෙත ගෙනහැර පෑහ. සිහින් සරින් හඬ අවදි කළ ෆ්ලෝරන්ස් ජෝගේ අතීතය සිහිපත් කළේ දුක සඟවා ගනිමිනි.
“ඒ 1960 දශකයේ අග කාලේ. මම ට්‍රේනිං කොලේජ් එකේ ඉගෙන ගන්නවා. දවසක් මගේ මිතුරියන් පිරිසක් සමඟ කටුනායක එයාර්පෝට් එකට ගියා. ඒ වෙනකොට ‘මී මැස්සෝ’ කියන සංගීත කණ්ඩායම හරිම ප්‍රසිද්ධයි. එහි නායකයා වූ ජෝ බී. පෙරේරාව ඒ ගමන නිසා හඳුනා ගත්තා. ටික කාලයක් යනකොට අපි මිතුරන් බවට පත්වුණා. අපි දෙන්නම කතෝලික ආගමේ එයා මීගමුවේ කුරන ප්‍රදේශයේ. එයා අපේ ගෙදරින් ඇවිත් ඇහුවා මාව විවාහ කර ගන්න. 1969 වසරෙ දි අපි විවාහ වුණා. පසුගිය සොඳුරු මතක සිහිකරමින් අතීත ස්මරණයක යෙදුනත් ඇගේ මුහුණෙන් දිස් වූයේ ශෝකාන්තයක සලකුණුය.
“1970 වසරෙ දී අපිට ගයනි දුවව ලැබුණා. ඒ වෙලාවේ ජෝ හිටියේ හරිම සතුටින්. මම ජීවිතේටවත් එයාගේ මුහුණෙන් ඒ සතුට දැකලා නැහැ. ඊට පස්සෙ 1975 අමල් හා 1977 වරුණ පුතාලා ලැබුණා. එයා එතකොට කලා කටයුතුවල නියැළුණත් ලංකා බැංකුවෙ සේවය කළා. මොන තරම් කාර්යබහුල වුණත් එයා මම වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළා. ඒ ‘සුදුමල්’ කියන ගීතය. ෆ්ලොරන්ස් එසේ පවසන විට ඇයටත් හොරා ඇගේ නෙතේ කඳුළු බිඳුවක් කොපුල් තලය දිගේ ගලාවිත් සිමෙන්ති පොළොව මතට වැටුණාය.
හදවතේ සඟවාගෙන සිටින දුක ගයනි ගේ මුහුණෙන් පෙණුනාය. මෙතෙක් වේලා නිහඬව සිටි ගයනි තම පියාගේ අතීත ස්මරණ අතරට අපව කැඳවාගෙන ගියේ දුක සඟවා ගනිමිනි.
“පවුලේ වැඩිමහල් දරුවා විදියට තාත්තා මට ගොඩක් ආදරේ කළා. ඒ වගේම මල්ලිලා දෙන්නටත් එහෙමයි. මම පුංචි කාලේ තාත්තා ගුවන් විදුලියේ විකාශය වෙන මුවන් පැලැස්ස නාට්‍යය අහනවා. මම එයාගෙ ඔඩොක්කුවේ තියාගෙන එයා ඒක අහන්නේ. එතකොට විටින් විට මුවන් පැලැස්ස නාට්‍යයේ තේමා වාදනය යනකොට මම තාත්තිගෙන් අහනවා දැන් ඉවරද, දැන් ඉවරද කියලා. අදටත් මට ඒ සිදුවීම මැවිලා පෙනෙනවා. එයා අපි පොඩි කාලෙ ළඟට අරන් කතන්දර කියලා දෙනවා. විවිධ රටවල් ගැන තොරතුරු කියලා දෙනවා. අපි පල්ලියේ ගීතිකා කියනකොට එයා හරිම ආශාවෙන් බලාගෙන ඉන්නවා. තාත්තිගේ ආසාවක් තිබුණා අපේ කවුරු හරි තාත්ති වගේ සංගීතය පැත්තට යොමු වෙයි කියලා.
“පසුගිය කාලයේ මම විවාහ වෙලා විදෙස් රටක ජීවත් වුණේ. මට මුලින්ම ලැබුණේ පුතෙක්. එයාගේ නම ‘විනෝද්’ තාත්ති එයාගේ මුනුපුරාට කොච්චර ළෙන්ගතු ද කියනවා නම් එයාගේ අතීත තොරතුරු හැම එකක්ම එයාට කියලා දුන්නා. පසුගිය අවුරුදු තුන ඇතුළත තාත්ති ගොඩක් අසනීප වුණා. තාත්තා 1997 ලංකා බැංකුවෙන් විශ්‍රාම ගියා. ඊට පස්සෙ එයා සංගීත කටයුතුවල වැඩි වශයෙන් නියැළුණා. මීට අවුරුදු තුනකට විතර ඉස්සර වෙලා තාත්ති ගොඩක් අසනීප වුණා. ඊට ඉස්සරවෙලා ප්‍රසංග වේදිකාවේ ගීත ගයන්න ගියා. එයා වැඩියෙන්ම කැමැති ‘මුළු ගතම වෙහෙසුණා’ ගීතය ගායනා කරන්න. ඒ ගීතය නිර්මාණය වුණු හැටිත් මට තාත්ති කියලා දීලා තියෙනවා.
දවසක් ඔහු පොඩි කාලේ තුඩැල්ල කියන ගමේ ඔහුගේ සීයාගේ ගෙදර ගිය වෙලාවක කම්මලක් දැකලා තියෙනවා. ඒකේ කම්මල්කරුවා මහන්සිවෙලා යකඩ තලන හැටි, පිහි හදන හැටි දවස් ගාණක් තාත්ති දැකලා තියෙනවා. ඒක පොඩි කාලෙ තාත්තිගේ හිතට තදින්ම දැනිලා තියෙනවා. පසු කාලෙදි ඒ සිද්ධිය මතක් කරලා මුළු ගතම වෙහෙසුණා කියන කම්මල්කරුවා ගේ ගීතය නිර්මාණය කළා කියලා තාත්ති අපිට කියලා තියෙනවා.
මේ කතාබහ අතරේ බොහොම නිහඬව සිටි වරුණ ද කතාවට එක්වුණේ තම හද පත්ලේ ඇති සිය පියාගේ ආදරණීය මතකයන් අවදි කරමිනි.
“පසුගිය කාලෙම අයියාවත්, අක්කාවත් ළඟ නැති නිසා තාත්ති ළඟින්ම හිටියේ මමයි අම්මයි. තාත්තියි, මමයි කම්මැලිකම යන්නත් එක්ක අපේ ගෙදර ඉදිරිපිට පොඩි ග්‍රොසරි එකක් දැම්මා. අර පේන සෙන් පීටර්ස් ඉස්කෝලෙ ළමයි නිතරම කඩේට එනවා. තාත්ති ළමයින්ට හරිම ආදරෙයි. ඒ වගේම පුදුම මානව දයාවක් තියෙන්නේ. කාගෙවත් හිතක් රිදවන්න කැමැති නැහැ. ඒ වගේම මේ ලොකේ වෙන හැම දෙයක් ගැනම හොඳ අවබෝධයකින් ජීවත් වුණේ. එයා හැම වෙලේම ඉන්ටර්නෙට් එක භාවිත කළා. ෆේස් බුක් එකට ගියා. ස්කයිප්වලින් නිතරම අක්කට කතා කරනවා. අපේ රටේ වෙන දේවල් හැම දෙයක්ම අක්කට කියනවා. ඒ වගේම අක්කා ඉන්න රටේ මොනම වාතාවරණයක් තිබුණත් අක්කට ඉස්සරවෙලාම කියන්නේ තාත්ති. එයා මේ ලෝකෙ වෙන දේවල් ගැන පුදුම අවබෝධයකින් හිටියේ. වරුණ එලෙස පවසා නිහඬ වුණේ සිය පියා ගැන උපන් ශෝකයෙන් හදවත වෙලාගත් නිසාවෙනි.
තාත්ති නිතරම ෆේස් බුක් එකෙන්, ස්කයිප් එකෙන් අපිට කතා කරනවා. එයා ආසාවෙන් හිටියේ විනොද් එයා වගේ සිංදු කියයි කියලා. ඒත් ‘නිරුදි’ නම් සීයා වගේම සංගීතය පැත්තට ටිකක් දක්‍ෂකමක් දක්වනවා. ඒත් ඒවා දකින්න අද තාත්ති මේ ලෝකෙ නැහැනේ.
මේ කතාබහ දෙස නිහඬව බොහෝ වෙලා බලානසිටි ෆ්ලොරන්ස් නැවත ජෝගේ අතීත සැමැරුම් මඟ එක්වුණාය.
“එයාගේ නම හැදුනේ හරිම අපූරු විදියට. එයාගේ නම ජෝසප් බෙනඩික් පෙරේරා. පසු කාලීනව ජෝ බී. පෙරේරා වුණා. එයාගේ හොඳම යාළුවා වුණේ ලාල් හේවාපතිරණ. එයා කිව්වා බී කියන එක ‘ඕඥඥ’ අකුරුවලින් භාවිත කරන්න කියලා. එතකොට මී මැස්සෝ කියන සංගීත කණ්ඩායමේ නම සමඟත් ගැළපෙනවා නේ. එයාගේ සංගීත කණ්ඩායමේ ෂර්ලි බී. පෙරේරා, සිසිල් ජෝ පෙරේරා, ස්ටැන්ලි පෙරේරා යන පිරිවර හිටියා. එයා පසු ගිය කාලෙ වීල් චෙයාර් එකේ ගියේ. උදේම නැගිට්ට ගමන්ම යන්නේ කම්පියුටරේ ළඟට.
ගිහින් ඉන්ටර්නෙට් එකේ තමයි වැඩියෙන්ම ගත කරන්නේ. එයාගේ කලා ජීවිතේට වසර පනහක් පිරීමේ උත්සවෙත් තියන්න තිබුණේ පසුගිය දෙසැම්බර් මාසේ. අසනීප වුණු නිසා ඒකත් තියන්න බැරි වුණා. එයා අසනීප වුණාට පස්සෙ මෙල්රෝයි ධර්මරත්න, රජිව් සෙබස්තියන් වගේ කලාකරුවෝ නිතරම මෙහේ ආවා ගියා. රජිව් නෙළුම් පොකුණේ තිබුණ ෂෝ එකකට එයාට කතා කළා. එතකොට සිංදු කියන්න පුළුවන්. හැබැයි කිහිලි කරුවලින් ගියේ. ඒ නිසා ජෝ කිව්වා මම හොඳට වේදිකාවේ ෆර්ෆෝර්ම් කළ ගායකයෙක්. මාව මේ විදියට මගේ රසිකයන් දකිනවාට මම කැමැති නැහැ කියලා. එයා කිව්ව ගීත අතර සුදුමල්, මීගමු මී මැස්සෝ, ආදරය කරලා, සිරිපා ගමන, සඳ ගමන, මුළු ගතම වෙහෙසුණා අදටත් ජනපි‍්‍රයයි.
පසුගිය සිකුරාදා 18 අපේ ජේසු සාමිදාණන් කුරුසේ ඇණ ගහපු මහ සිකුරාදා ඊට පහු වෙනිදා සෙනසුරාදා අපි හිතපු නැති වෙලාවක අපිව මේ ලොකෙ තනි කරලා එයා ස්වර්ගස්ථ වුණා”. යනුවෙන් පවසමින් ඕ අප හට සමුදුන්නාය. ජෝ බී. පෙරේරා සමාදානයේ සදාකල් සැතපේවායි ‘සරසවිය’ මිතුරන් පතයි.

Saturday, May 3, 2014

යකඩ හී වැල් මීයෝ කෑවා වාගේ

යකඩ හී වැල් මීයෝ කෑවා වාගේ

කූටවාණිජ ජාතකය යකඩ හීවැල් මීයෝ කෑවා වාගේ යනුවෙන් ව්‍යවහාර වන ප්‍රස්තාව පිරුළට මූලය වී තිබේ. එය ජාතක කථාවල 211 වැන්න යි. “හී වැල” යනු නඟුලේ පොළොව හැරෙන යකඩ පළුවට යෙදෙන නමකි. එවැනි ‘යපළු’ තොගයක් කේන්ද්‍ර කොටගෙන මේ කථාව ප්‍රකාශ වේ. බුදුරජාණන් වහන්සේ මේ ජාතක කථාව දේශනා කොට වදාළේ තත්සමයෙහි සිටි එක්තරා සොර වෙළෙන්දකුගේ ක්‍රියාවක් අරමුණු කොටගෙන ය. ‘කූට වාණිජ’ යන්නෙහි අර්ථය සොර වෙළෙඳාම යන්න යි.
එවක සැවැත්නුවර පණ්ඩිත වෙළෙන්ඳා ය, සොර වෙළෙන්ඳා ය යනුවෙන් නම් වූ දෙදෙනෙක් වාසය කළහ. ඔවුන් දෙදෙනා එක් ව වෙළෙඳාමේ යෙදී ආපසු පැමිණි කල්හි වෙළෙඳාමෙන් ලද දෑ සම සේ බෙදා ගැනීමට පණ්ඩිත වෙළෙන්ඳා යෝජනා කළේ ය. සොර වෙළෙන්දා ඊට එකඟ වුව ද ඔහුගේ සොර සිත කීවේ සියල්ල තනි ව අත්පත් කර ගැනීමට ය. දුෂ්කර වූ වෙළෙඳ ගමනේ දී රළු ආහර ගනිමින් නිදි නොලබා වෙහෙස ව පැමිණි හෙයින් පණ්ඩිත වෙළෙන්ඳා තම නුවර දී රසවත් ආහාර වැඩියෙන් කා බී එය දිරවා ගත නොහැකි ව නින්දේ දී ම මිය යතැයි සොර වෙළෙන්ඳා සිතී ය.
ඔහු මළ කල සියල්ල අයිති කර ගැනීමේ අදහසින් හෙතෙම වස්තුව බෙදා ගැනීම අතපසු කරන්නට විය. මෙය තේරුම් ගත් පණ්ඩිත වෙළෙන්ඳා වෑයම් කොට වස්තුව බෙදා ගෙන තමන්ගේ කොටස අත්පත් කර ගැනීමට සමත් වූයේ ය. මෙයට අදාළ වූ පූර්ව කථා පුවත මෙසේ ය:
එකල සොර වෙළෙන්ඳා බරණැස් නුවර වෙළෙන්දකු ලෙසින් ද පණ්ඩිත වෙළෙන්ඳා පිටිසර ගමක වෙළෙන්දකු ලෙසින් ද ඉපිද සිටි හිත මිතුරෝ වූහ. එක් දිනක් පිටිසර වෙළෙන්ඳා බරණැස් නුවර සිටි තම හිතවතා වෙත පැමිණ යපළු පන්සියයක් ඔහුට භාරදී ආරක්ෂා කොට තබන ලෙස දන්වා ආපසු ගියේ ය. සොර වෙළෙන්ඳා ඒ යකඩ රිසි සේ විකුණා වියදම් කොට යපළු තිබූ තැන මී බෙටි විසුරුවා හැර තැබුයේ ය.
පිටිසර වෙළෙන්ඳා ආපසු පැමිණි කල ඔහු කීවේ යකඩ හීවැල් මීයන් කා දමා ඇති බව යි. පිටිසර වෙළෙන්ඳා අමනාපයක් නො පෙන්වා ගඟට නෑමට යන්නෙමැයි සොර වෙළෙන්ඳාගේ පුත්‍රයා ද කැඳවාගෙන ගොස් දරුවා තැනක සඟවා තබා ආපසු පැමිණ දරුවා උකුස්සකු විසින් ඩැහැගෙන යන ලදැයි කීවේ ය. එය පිළිගත නොහැකි බැවින් සොර වෙළෙන්ඳා කිපී අධිකරණ නායක වෙත පැමිණිලි කළේ ය.
අධිකරණ නායක තැන දෙපාර්ශ්වයේ ම කරුණු විමසා යපළු පන්සියය මීයන් විසින් කා දැමිය නො හැකි බවත් දරුවා උකුස්සකු විසින් ඩැහැගෙන යා නො හැකි බවත් මෙය එකට එක කිරීමක් බවත් පහදා දුණි. ඒ අනුව පිටිසර වෙළෙන්ඳාට තම යකඩ හී වැල් ද සොර වෙළෙන්ඳාට තම දරුවා ද ආපසු ලැබුණි.
මේ පුවතින් පිළිබිඹු වන්නේ ප්‍රයෝගය ප්‍රයෝගයකින් ම ජය ගැනීමකි. මෙහි එන කථා පුවත් දෙක ම එක සේ අර්ථවත් ය. මුල් කථාවේ සොර වෙළෙන්ඳාගේ චරිතයෙන් ඔහුගේ මසුරුකමත් ගුණමකු කමත් අධමකමත් හෙළි වේ.
තමන්ගේ ලාභය වාසිය තකා ඔහු තම මිතුරාගේ විනාශය අපේක්ෂා කරන තරමේ නපුරෙකි. ඒ මිතුරා යනු තමා හා එක් ව කා බී එක් ව ගමනේ යෙදී එක් ව වෙළෙඳාමේ යෙදුණු සහචරයා බව ඔහු අමතක කරනුයේ අධික ලෝභකම හේතුවෙනි. වෙළෙඳ ගමනේ දී පණ්ඩිත වෙළෙන්ඳා විඳි දුක් කරදර ගැන හරි හැටි දැන සිටියේ ද සොර වෙළෙන්ඳා ය.
ඔහුගේ සිතිවිල්ල පැවසෙනුයේ මෙලෙසිනි: ‘.... මෙතෙක්දා කටුක අහර කෑමෙන් දුක්ඛ වූ සයන ආදී වූ දෙයෙහි සැතපී රෑ පාන නිදිවරා බොහෝ දුක් විඳින ලද, එසේ හෙයින් මිහිරි වූ භෝජනය කා යහපත් වූ යහන්වල සැතපුණු කලට අජීර්ණ වූ ආහාරය හෙයින් දිරවාගත නො හී මියෙන්නේ ය.’ ඔහුගේ දුෂ්ටභාවය මෙපමණකින් ම හෙළි වේ.
මේ මිත්‍රද්‍රෝහියා බරණැස් නුවර වෙළෙන්ඳාව සිටිය දී ද සිය මසුරුකම, වංචාව වැනි දුර්ගුණ අත් නොහළ අසද් පුරුෂයෙක් ම විය. තමන් කෙරෙහි විශ්වාසය තබා ආරක්ෂාව පිණිස යපළු තබා ගිය හිතවතාට ඔහු වංචා කළේ ය; මිත්‍ර ධර්මය කෙලෙසූයේ ය; ඔහුට අයත් දෑ සොර සිතින් ගත්තේ ය; සොරකම වසා ගැනීමට අමූලික බොරු කීවේ ය.
ඒ කිසිවක් ගැන ඔහු ළතැවුණු බවක් නො පෙනේ. ඔහු කම්පාවට පත්වූයේ ඔහුට විපතක් වූ වේලේ ය. ‘තෝ මාගේ දරුවන් කොයිබ දෝ සඟවා පියා අවුත් උකුස්සා ගෙන ගියේ යයි බොරු කියයි ද’යි සොර වෙළෙන්ඳා පවසන විට ඔහුට වංචාවේත් බොරුවේත් බරපතළකම වැටහී යන්නට ඇතුවා නිසැක ය.
පිටිසර වෙළෙන්ඳා සූක්ෂ්ම බුද්ධියෙන්යුත් අයෙක් විය. විශ්වාසය තැබූ හිත මිතුරා කපටිකමින් තමන් රවටා පාඩු සිදු කළ විට ඔහු ඉක්මන් වී කලබල වූයේ නැත. ඔහු සත්‍යය එළිදරව් කර ගැනීම පිණිස උපක්‍රමශීලී ව ක්‍රියා කළේ ය. ඔහුගේ චරිතයේ ඇති ඉවසිලිවන්ත භාවය කථා යුගලයෙහි ම පිළිබිඹු වේ.
සොර වෙළෙන්ඳාට දිගින් දිගටම බොරුවේ රැඳී සිටිය නො හැකි බවත් ඔහුට කෙසේ හෝ නිවැරැදි තැනට ඒමට සිදු වන බවත් පිටිසර වෙළෙන්ඳා කල්තබා ම දැන සිටියේ ය. දරුවා උකුස්සකු විසින් ඩැහැගෙන ගියේ යැයි ඔහු මුසාවක් ප්‍රකාශ කළේ සම්‍යක්ප්‍රයෝගයක් වශයෙන් පමණි. ඔහු ප්‍රකාශ කළේ ද සොර වෙළෙන්ඳා ප්‍රකාශ කළ ආකාරයේ සිදු විය නො හැකි තාලේ සිදු වීමක් ම ය. යුක්තිය පසිඳලන ඥානවන්තයකු අබිමුවට යෑමට ඒ අනුව මග පෑදිණි.
මෙහි එන අධිකරණ නායක චරිතයෙන් බුද්ධිමතකුගේ තීක්ෂණ ඥානය ප්‍රකට වේ. පැමිණිලිකරුගේ පමණක් නොව විත්තිකරුගේ ආයාචනයට ද ඔහුගේ සවන් එක සේ යොමු වූ බැව් පැහැදිලි ය. එබැවින් වංචාකාරයා කවුරු දැයි ලෙහෙසියෙන් හඳුනා ගත හැකි විණි.
‘මීයන් යපළු කෑ කල උකුස්සා කුඩා කොල්ලා රැගෙන යාමේ අපූර්වය කිම් දැ’යි විමසන අධිකරණ නායක තෙමේ ‘වංචාවට ප්‍රතිවංචා කළ නියාව යහපතැ ... තොප මුන්ගෙන් තිබූ යපළු පන්සියය දී පියන්නා තොපගේ පුතා පාවා දෙති’ යි යනුවෙන් විනිශ්චය ප්‍රකාශ කරනු දැකිය හැකි වේ.
අනුන්ගේ දෑ නිර්දය ලෙස අත්පත් කර ගැනීමට තැත් කරන සොර වෙළෙන්ඳා වැන්නවුන් ද අර්බුදයක දී උපක්‍රමශීලී ව කටයුතු කරන පිටිසර වෙළෙන්ඳා වැන්නවුන් මෙන් ම විචක්ෂණ’ව ගැටලුව දෙස බලා එය විසඳා ලිය හැකි අධිකරණ නායක වැන්නවුන් ද සමාජයේ හිඳිති. ඇදහිය නො හැකි ආකාරයේ බොරුවලින් බරපතළ වැරදි වසා ගන්නට තැත් කෙරෙන අවස්ථාවල මේ ප්‍රස්තාව පිරුළ පැවසෙනු අසන්නට පිළිවන.

බෞද්ධ ගේය පද රචනා විමසීමක්

මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමි
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශරීර සොබාව සාමාන්‍ය මිනිසාට වඩා වෙනස් වූවකි. උන්වහන්සේගේ ශරීරය සාමාන්‍ය මිනිස් ශරීර ඉක්මවා ගිය මහා පුරුෂ ලක්ෂණවලින් යුක්ත ය. ශ්‍රී සම්බුද්ධ ශරීරය තිස් දෙකක් වූ මහා පුරුෂ ලක්ෂණවලින් හා අසීති අනුව්‍යංජනවලින් යුක්ත ය. උන්වහන්සේ කථා කරන විට කටහඬෙහි සුවිශේෂ ලක්ෂණ පිහිටියේ ය. සමාජය වෙනුවෙන් කළ උදාර සේවය බොහෝ ජනතා හිතසුව පිණිස පැවතියේ ය.
මෙකී ස්වභාවය නිසා ම පද්‍ය රචකයන් කල්පනා කරනු ලැබුවේ පද්‍ය රචනා කරනු ලබන්නේනම් ඒ තුළ තිබුය යුත්තේ බුදු ගුණ පමණකි ය කියා ය. “පෙදෙන් බුදුසිරිත ඈ” යනුවෙන් කියූයේ එයයි. එසේම යම් කිසි ප්‍රස්තුතයක් වර්ණනා කරනු ලබන්නේ ද එසේ කරන්නා වූ ඒ ප්‍රස්තුතය බුදු ගුණ ම විය යුතු ය. වැනීම, තැනීම, දීම, දිනීම යන අංශ පිළිබඳ සලකන විට බෞද්ධ සංස්කෘතියක හැදුණු වැඩුණු කෙනකු නම් කෙසේ විය යුතු දැයි චිරන්තන කවියා කීවේ ය. ඒ අනුව
වැණුවානම් බුදු ගුණ වැණුවාමයි
තැනුවානම් තම සිත තැනුවාමය
දෙනුවානම් දන් පින් දෙනුවාමය
දිනුවානම් පරලොව දිනුවාමය
යනුවෙන් කීවේ ය. වර්ණනා කිරීමක් කරනවානම් ඒ බුදු ගුණ පිළිබඳ ව විය යුතුයි තනා සකස් කොට ගනු ලබන්නේ නම් ඒ සිත තනා ගැන්ම විය යුතුය. යමක් දෙනවානම් විය යුත්තේ දන් දීම හා පින් දීම ය. යමෙක් දිනන්නේ නම් වැදගත් වන්නේ පරලොව දිනීම ය.
පැරණි කවියා විසින් බෞද්ධ සන්නිවේදනය ජනතාවට ලබා දෙනු ලැබුවේ මෙපරිදි ය. ඒ ඔස්සේ සියලු බෞද්ධ ප්‍රජාව කටයුතු කරන්නට විය. චිරන්තන සාහිත්‍ය නිර්මාණ ආරම්භයේ දී ම බුදුන් වැඳීම තෙරුවන් වැඳීම දැකිය හැකිය. වීදාගම මෛත්‍රිය හිමියන් රචනා කරනු ලැබු ලෝවැඩ සඟරාව ඇරැඹෙන්නේ යට දැක්වෙන කවියෙන් ය.
සෙත් සිරි දෙන මහ ගුණ මුහු දාණන්
සත් හට වන බව දුකට වෙදාණන්
සිත් ගණ දුරු දුර ලන මුනිදාණන්
සිත් සතොසින් නම දිම් මුනිදාණන්
බුදු රජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදු ගුණ මහිමය මහා සාගරයේ ජලය හා සමානයි, මහ පොළවේ වැලිකැට හා සමාන ය සත්ත්වයාගේ භව දුකට වෙදැදුරුණන් වූයේ උන්වහන්සේ ය. මිසදිටුවන්ගේ මිථ්‍යා අන්ධකාරය දුරු කරවන වෙදැදුරු උන්වහන්සේ ය. එසේ වූ බුදුරජාණන් වහන්සේ බැතියෙන් වඳිමි. ගුත්තිල කාව්‍යය, සුභාෂිතය, බුදුගුණ අලංකාරය, ආදි වූ සෑම නිර්මාණ ග්‍රන්ථයකම මෙකී සාධනීය ලක්ෂණ දැකිය හැකිය. පද්‍ය කෘති පමණක් නොව ගද්‍ය ග්‍රන්ථවල පවා මෙය දැකිය හැකිය. යම් සද්කාර්යයක් ආරම්භ කරන විට තෙරුවන් වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගැනීම අද ඊයේ ඇති වූවක් නොවේ. එය ඈත අතීතයේ සිට පැවත එන්නකි.
ක්‍රි. ව. 1870 දශකයේ පමණ කාව්‍ය සම්ප්‍රදායට නවාංගයක් එකතු වනු දැකිය හැකිය. එනම්; ගීතය නමැති සාහිත්‍ය සංකල්පයයි. සංගීතය ද සමඟ ඉමිහිරි තනුවකට ගැයෙන මෙය දෘශ්‍ය ගෝචර ස්වභාවයෙන් මිදී ශ්‍රව්‍ය ගෝචර බවක් පෙන්නුම් කරයි. ගී කාව්‍ය යුගය විවිධ ආකාරයෙන් පෝෂණය ලැබුවේ පදවැල, සංගීතය හා කටහඬ එකතු වීමෙනි. මේ ක්‍රමය ඉතා ඉක්මනින් ශ්‍රාවකයන් අතර ජනපි‍්‍රය වන්නට විය. බුදු හිමියන් සැමරීම පිණිස ද ගීත නිර්මාණය විය. මුල් වකවානුවල නාඩගම්, නූර්ති ග්‍රැමෆෝන් චිත්‍රපට ආදියේ ආධාර ලබමින් පෝෂණය වී පසුව එය ගුවන්විදුලිය, වේදිකාව, කැසට්පටිය, සංයුක්ත තැටිය ආදි විවිධ මාධ්‍ය ඔස්සේ ශ්‍රාවකයා වෙතට ප්‍රවේශ වන්නට විය.
බුදුගුණ ගීත සාහිත්‍යය පිළිබඳ ව කරනු ලබන විමසීමකදී ඒවා අංශ කීපයකලා අවධානයට ලක් කළ හැකි ආකාරය පෙනේ. එනම්; බුදුරජාණන් වහන්සේගේ රූපකාය වර්ණනා කරනු ලබන ගීත, බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය වර්ණනා කරනු ලබන ගීත, බෞද්ධ පදනමක සිට ගැයෙන විරෝධාකල්ප ගීත, භක්තිය හා ආගමික ආශ්‍රය පළ කරන ගීත වශයෙනි. ප්‍රාරම්භක යුගයේ සිට වර්තමානය දක්වා විකාශනය වූ බෞද්ධ ගීත සාහිත්‍යය පිළිබඳ ව විමසා බැලීමේදී දක්නට ලැබෙන්නේ භක්තිය හා ආගමික ආශ්‍රය පළ කරන ගීත බහුල වශයෙන් මුල් යුගවල රචනා වී ඇති බවයි. බුද්ධාලම්බන පී‍්‍රතිය ඇතිකර ගැනීම මූලික කරගෙන ඒ ගීත රචනා වී තිබේ.
1870 දශකයේ ගීත රචනා කරනු ලැබු අය අතර ‘පිලිප්පු සිඤ්ඤො නමැති රචකයාට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. ඔහුගේ රචනයක් ලෙස යට දැක්වෙන ගීතය දැක්විය හැකිය. බුදු හිමියන් කෙරෙහි ගෞරව දැක්විය යුතු බව හා බුද්ධත්වය ලැබීමේදී උන්වහන්සේ මාර සෙනග පරදා කළ වික්‍රමය මෙහිදී දක්වා තිබේ. එහි පද පෙළ මෙසේ ය.
නිමල මොක්ෂ ප්‍රකාශ තෛ‍්‍රලෝක්‍ය
බඹළුවා බුදු ඒ සුගතින්දු
ප්‍රබල සතුරු මාර ප්‍රාක්‍රම, ජයගත් ඒ බල සමිඳු
සතුරුමාර සෙනගට කිපි - හෙණ හඬ
ගුගුරණ විලසට
ගිනිජල් මාලා සහශ්‍ර - හරිමින්
කට හැර ගොරවන
සිරිසඟබෝ නාට්‍යය රචනා වූයේ ක්‍රි. ව. 1903 දී පමණය. එය ජෝන් ද සිල්වා ශූරීන්ගේ රචනයක් වන අතර එහි ගැයුණු ගීත ද ඔහුම රචනා කරනු ලැබීය. බුදුගුණ හා බුදු බැතිය වඩවන අයුරින් සැකසුනු මේ ගීතය බෞද්ධ ගීත අතර සුවිශේෂ වෙයි. මෙය නූර්ති ගීතයකි. නාට්‍යයේ චරිත රඟපෑ සංඝතිස්ස, සංඝබෝධි සහ ගෝඨාභය නමැති සහෝදර කුමාරවරුන් තිදෙනා අනාවැකි කිව හැකි අන්ධ බමුණකු අසලින් වැටී ඇති මාවතක යමින් සිටියි. එම අවස්ථාවේ අනුරාධපුර නගරයේ ශ්‍රී විභූතිය පළ කෙරෙන මෙම යට දැක්වෙන ගීතය ද ගායනා කරති. ශතවර්ෂාධික කාලයක් තිස්සේ ජන මනසේ ජනපි‍්‍රය භාවයට පැමිණි මේ ගීතය වර්තමානයේ ද එසේ ම පවතී.
දන්නෝ බුදුන්ගේ ශි‍්‍ර ධර්මස්ඛන්ධා
පේවී රකිති සොද සීලෙ නිබන්දා
ක්ලේෂ නස්නාවූ භික්‍ෂු ඇත්තේය බොහෝ
රහතුන් නිවස්නා පායා ප්‍රකාශේ...
බුදු ගුණ ගීත රචනයෙහි දී ඇතැම් රචකයෝ බුදු ගුණ හා බොදු බැතිය වඩවන අනෙකුත් ආගමික සිද්ධස්ථාන ගැන ගී ලියූහ. ලුම්බිනි බුද්ධගයා කුසිනාරා වැනි බුදු තෙමඟුල සිදුවූ ස්ථානද යොදා ගෙන තිබේ. ග්‍රැමර්ෆොන් ගීතයක් ලෙස දැක්වෙන මතු සඳහන් ගීතය බාල තරුණ මහලු බේදයකින් තොරව අද පවා ජනපි‍්‍රය තලයේ පවතින එකකි. ”සිරි බුද්ධගයා විහාරේ” නම් වූ මේ ගීතය සී. වීරසේකර නම් රචකයා ලියූවකි. එච්.ඩබ්. රූපසිංහ සහ රුක්මණී දේවි නැමති ප්‍රවීණ ශිල්පීන් විසින් ගායනා කරනු ලැබූ අතර ඉන්දියානු තනුවකට ගැයී තිබේ. 1940 පමණ ශ්‍රාවකයන් අතරට පැමිණ මෙහි පද පෙළ මෙසේ ය.
සිරි බුද්ධගයා විහාරේ -
වඳිනෙමු මොක්‍ෂ පතාලා
ශාක්‍ය තිලෝනා වැඩ සිටි එදිනා
මරඟනන් පරදාලා - සිරි බුද්ධ ගයා විහාරේ
බුදුගුණ හා බුද්ධාලම්බන පී‍්‍රතිය ඇති වන අයුරින් සිහි කෙරෙන අනෙකුත් පූජනීය ස්ථාන පිළිබඳ සිහිපත් කෙරෙන මේ ගීතය එදා මෛදා තුර අතිශයින් ම ජනපි‍්‍රය ගීතයක් බවට පත්වී තිබේ. සාමාන්‍යයෙන් බාල මහලු, තරුණ ආදී කිසිදු බේදයකින් තොර ව සැකසුණු මෙය දේව ගනයෙන් ආරම්භ වූ යහපත් ගීතයක් ලෙස සැලකේ. වර්තමානයේ ලියවුණු බොදු ගුණ ගීත පරදා ජනතා රුචිකත්වය මේ කෙරෙහි ඇදී යයි.
බොදු බැතිය වඩවන ගීත අතර සිරිපාදය පිළිබඳ ව යූ.ඩී. පෙරේරා ලියූ ග්‍රේටා ජෙනට් ද සිල්වා ඇතුළු පිරිස ගායනා කරන ග්‍රැමර්ෆෝන් යුගය සිහිකර වන එකකි. මේ ගීතය තුළ සිරි සමනොළ කඳු තරණයේහි හමුවන සුවිශේෂ ස්ථාන ද දක්නට ලැබේ. එනම්; ලීණි පොල් හා ඒ අසල ඇති අම්බලම, ධර්මරාජ ගල, ගෙත්තම් පාන, සීත ගඟුල හැරමිටි පාන, ආදී ස්ථාන වෙයි. ගීතයේ පද පෙළ මෙසේ ය.
මුනි නන්දන සිරි පාද වඳිමි
සමනොළ කන්දේ
විහිදෙන මොක්‍ෂ සුගන්දේ
ශාන්තී කරුණා ගුණ ආනන්දේ
ලැබීලා - පිහිටෙන් සුමන සුරින්දේ
සිත් පැහැදී
මුල් යුගයේ ගීත පිළිබඳ ව අධ්‍යයනය කර බලද්දී දක්නට ලැබෙන කාරණය වන්නේ බුදු ගුණ පමණක් නොව බුදුහිමියන් ගේ පහස ලැබූ ස්ථාන පවා බෞද්ධ ප්‍රබෝධයෙන් යුතුව වර්ණනා කරනු ලැබ ඇති බවයි. පූජනීය ස්ථාන වර්ණනා කිරීම ද බුද්ධා ලම්බන පී‍්‍රතිය වඩවන කරුණක් විය. නුර්ති ග්‍රැමර්ෆෝන් ගී පමණක් නොව පැරණි සෑම චිත්‍රපටියක ම පාහේ බුදුගුණ ගීත එකක් හෝ ඊට වැඩි ගණනක් දක්නට ලැබිණ.
මුල් යුගවල බෞද්ධ ගීත පිළිබඳ ව කරනු ලබන අධ්‍යයනයකදී දක්නට ලැබෙන ප්‍රධාන කාර්යය වන්නේ අන්‍යාගමික සංගීත ශිල්පීන් ගායක ගායිකාවන් මෙන් ම ගීත රචකයන් ද එකී කාර්යය සිදුකරනු ලැබ ඇති බවයි. ඒ අතර ගායනය හා සංගීත නිර්මාණය සුවිශේෂ වෙයි. ශිල්පියා සිය ආගමික නිර්මාණය කිරීමට වඩා බෞද්ධාගමික අදහස්වලට ප්‍රමුඛ ස්ථානය දීමට කටයුතු කරනු ලැබ ඇත්තේ කුමන කරුණක් නිසාද යන්න විමසා බැලීම කළ යුතුය. නිර්මාණ ශිල්පීන් අදහස් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලාංකික සමාජයේ බහුතරය වඩාත් පිළිගත් ආගම පිළිබඳ ව විය යුතුය. නිර්මාණය රස විඳිනු ලබන්නේ බෞද්ධයන් වන නිසාම එබඳු ගීත එළි දැක්වීම වඩාත් සුදුසු ලෙස කල්පනා කරන්නට ඇත.
මුල් යුගයේ බෞද්ධ ගීතවල අන්තර්ගතය විමසා බැලීමේදී දැකිය හැකි සුවිශේෂී ලක්‍ෂණය වන්නේ බුද්ධකාය පිළිබඳ වර්ණනා කිරීමට වඩා බුද්ධාගම ඇසුරින් සකස්වූ බෞද්ධ සමාජය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට වැඩි තැනක් දක්වා තිබෙන බවයි. සිරි බුද්ධ ගයා විහාරේ, සමනල කන්ද, තනිවයි උපන්නේ, වෙසතුර, මහ රජිදා ආදී ගීත තුළින් ඒ බව පැහැදිලි වෙයි.
”රොඩී කෙල්ල” නැමති ටීටර් ගීයක් ලෙස පතළ “කවාලා විළඳ ජාති” නැමති ගීතයෙහි අන්තර්ගත ව ඇත්තේ බෞද්ධාගමික අදහස්ය. 1936 වර්ෂයේදී ගායනය වූ මේ ගීතය ඉනදියානු තනුවක් සඳහා නිර්මාණය කරනු ලැබූවකි. “පතාලා ලොවතුරා ශි‍්‍ර බුද්ධ රාජ්ජේ” යනුවෙන් වූ ගීතයක් ද ග්‍රැමර්ෆෝන් ගීත අතර වෙයි. එයද පෙරකී ඉන්දියානු තනුවට අනුව රචනා වූවකි. ගීතයේ පද පෙළ මෙසේය.
කවාලා විළඳ ජාති
ඇති කළත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව්දිදී ලබනා සෙවණ සැපතා...
සිරිසේන විමලවීරයන් රචනා කරනු ලැබූ මේ ගීතය කලින් කල බොහෝ දෙනා ගායනා කරනු ලැබූහ. බුදු දහමෙහි උගන්වන අටලෝදහම සමසේ විඳදරා ගත යුතු බව ගීතයෙන් අවධාරණය කරනු ලබයි.
බෞද්ධ ගීත පිළිබඳ ව කරනු ලබන අධ්‍යයනයකදී හමුවන විශේෂ අවස්ථාවක් හැටියට ප්‍රකට චරිත පිළිබඳ ලියැවුණු ගීත දැක්විය හැකි ය. ඒ අතර “සෝමාදේවි සහ තොටගමුවේ ශි‍්‍ර රාහුල හිමි පිළිබඳ ව ලියවුණු ගීත දැක්විය හැකිය. බෞද්ධ ගීත අතර මුල් යුගවල ගැයුණු මෙම ගීත මිනිසුන් අතර අතිශයින් ජනපි‍්‍රය වී ගියේ ය.
මතු දැක්වෙන ගීතය සෝමාදේවිය පිළිබඳ ව රචනා වූවකි. මෙහි පද රචනය යූ.ඩී. පෙරේරා ය. 1940 දශකයේ නිර්මාණයක් ලෙස සැලකෙන මෙය ග්‍රැමර්ෆෝන් ගීතයකි. ගායනය කරනු ලැබුවේ ද යූ.ඩී. පෙරේරා ඇතුළු පිරිසයි. එහි පද පෙළ මෙසේ ය.
රුවින් සුරම් ගුණෙන් උතුම්
සෝමා දේවී
සෝමා දේවී ඒ ප්‍රේම පි‍්‍රයාවී
සෝමා දේවිය කළ උදාර ක්‍රියාව ගීතයෙන් කියවෙයි. රට දැය වෙනුවෙන් රජු කළ සටනට සෝමා දේවියගේ කැපවීම අගේ කොට දක්වා තිබේ.
ග්‍රැමර්ෆෝන් ගීතයක් ලෙස ප්‍රකට එම්.ඩබ්.එන්.එස්. විජයසිරි රචනා කළ එච්.ඩබ්. රූපසිංහ ගායනා කළ “ශ්‍රී රාහුල හිමිගේ නාමේ” නැමති ගීතයද 1940 දශකය තුළ මුල් වරට ගැයුනු ගීතයකි. ෂඩ් භාෂා පරමේෂ්වර තොටගමුවේ ශි‍්‍ර රාහුල හිමියන්ගේ උදාරත්වය ගීතයෙන් වර්ණනාවට ලක් කරනු ලබයි. එහි පද පෙළ මෙසේ ය.
ශි‍්‍ර රාහුල හිමිගේ නාමේ
සුදිලේ ලංකා ඉතිහාසේ හී
ශි‍්‍ර රාහුල හිමිගේ නාමේ...
1940 දශකයට අයත් බෞද්ධාගමික අදහස් රැගත් ගීතයක් ලෙස වින්සන්ට් සෝමපාල රචනා කරනු ලැබූ එච්.ඩබ්. රූපසිංහ සහ කෝකිලදේවී වීරතුංග ගායනා කළ මවුපිය ආදී සොඳුරු සමාජේ යන්න දැක්විය හැකිය. මෙය ග්‍රැමර්ෆෝන් ගීතයකි. එහි පද පෙළ මෙසේ ය.
මවු පිය ආදී සොඳුරු සමාජේ
කුල දෙටුවන් සෑමා
යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රෙමෙහී
ගෞරවයෙන් පිදුමා කළ යුතු වේ....
ගීතයෙන් කියවෙන්නේ මවුපියන් සහ කුලදෙටුවන්ට සැලකීම වැඳුම් පිදුම් කිරීම කළ යුතු බවය.
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් පද රචනා කොට සංගීත නිර්මාණය කර ගායනා කරනුලැබූ ‘වඳිමු සුගත සාක්‍යසිංහ’ නැමති ගීතය ද 1940 දශකයට අයත් වූවක් ලෙස සැලකේ. ගීතයට ඇත්තේ ස්වාධීන තනුවකි. එහි පද පෙළ මෙසේ ය.
වඳිමු සුගත සාක්‍ය සිංහ
සසර දිනූ බුදු පියා
රමණීය මන්දාර කුසුම්
කරමින පූජා
බැතියෙන මේ ගී ගයා...
බුදුරජාණන් වහන්සේ පිළිබඳ ව භක්ති ප්‍රණාමය ගීතය පුරා දක්නට ලැබේ. සංසාරය දිනූ සාක්‍යසිංහ සුගතයන් වහන්සේ විඳිමු යැයි ගීතයෙන් කියයි. ස්වාධීන තනු නිර්මාණය වූ අමරදේවයන්ගේ මේ ගීතය වර්තමානයේ ද ප්‍රකට ව පවතී.
ආටිගල සරත්චÁද්‍ර රචනා කළ ජී.ඇස්.බී. රාණි පෙරේරා තනු හා සංගීත නිර්මාණය කළ වින්සන් ද පෝල් පීරිස් ගායනා කරනු ලැබූ ‘සිරිපාදේ සමනොළ කන්ද පෙනේ’ නම් වූ ගීතය ද බෞද්ධ ගීත අතර විශේෂ වෙයි. එහි පද පෙළ මෙසේය,
සිරිපාදේ සමනොළ කන්ද පෙනේ
ආලෝකය සමන් කුලේ
හඳ පානේ මහ වන දිහා බලා
සුදු රිදී කඳන් හමුවේ...
සිංහල චිත්‍රපට ගීත අතර බෞද්ධාගමික අදහස් රැගත් ගීතයක් මුලින් ම දක්නට ලැබෙන්නේ “කැලෑහඳ” චිත්‍රපටියේ ය. එය තිරගත වූයේ 1953 වර්ෂයේදී ය. ඇස්.ඇස්. වේදා නැමති ඉන්දියානු ජාතික ශිල්පියකු විසින් සංගීත අධ්‍යක්‍ෂණය කරනු ලැබූ අතර ගීත රචනා කරනු ලැබුවෙ හර්බට් ඇම්. සෙනෙවිරත්න විසිනි. ගීත පද රචනා වූයේ හින්දි තනු අනුවයි. ‘බයිජු බව්රා’ චිත්‍රපටියේ ගීතයක තනුව ඇසුරින් ලියවුණු ගීතයක් ලෙස ඒ චිත්‍රපටියට මොහිදින් බෙග් ගායනා කරනු ලැබූ මතු දැක්වෙන ගීතය සඳහන් කළ හැකිය. එහි පද පෙළ මෙසේ ය.
මායා මායා මායා මායා
කෝ සැපතා මේ සංසාරේ
දුක කෙළවර වේ නිර්වානේ...
මේ ගීතය මඟින් මිනිස් මනසට සංසාරය පිළිබඳ වූ හැඟීම මතු කරවන්නට රචකයා උත්සාහ ගෙන තිබේ. මිනිසා, රාගය, ද්වේෂය හා මෝහය නැමති අන්ධකාරයේ ගිලි සැබෑ ලෝකය නොදකින බව අවධාරණය කරයි. ලෝක යථාර්ථය මායාවක් බව මිනිසා තේරුම් ගත යුතු බවද ඉඟි කරවනු ලබයි.
බුදු දහමේ ලෝකය තුළ පවතින ධර්මතා අටක් පිළිබඳ ව දක්වයි. එය චක්‍රාකාර වූවක් ලෙස සඳහන් කරනු ලැබ ඇති අතර සැම පුද්ගලයා ම එයට නතුවන බවත් මිනිසා සිතන දෙය එලෙසින් ම ඉටු නොවන බවත් දහමෙහි උගන්වනු ලබන අදහස ගීතයකට කැටිවී අසන්නට ලැබෙන්නේ 1954 වර්ෂයේ තිරගතවූ ‘අංහකාර ස්ත්‍රි’ චිත්‍රපටියේය. කේ. හියුගෝ ප්‍රනාන්දු මේ චිත්‍රපටියේ ගීත රචනා කරනු ලැබූ අතර ආර්. මුත්තුසාමි සංගීත අධ්‍යක්‍ෂණය කරනුලැබීය. එහි පද පෙළ මෙසේ ය.
ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි
මරුවා ළඟා වෙනවා
සිතු දේ නොමවෙයි - නොසිතු දෙයක් වෙයි
ලෝදම් කැර කෙනවා...
ඒ.ඇම්. රාජා ගැයූ මේ චිත්‍රපට ගීතය බෞද්ධ සමාජය තුළ බුදු දහමේ සමාජ පණිවිඩය සාමාන්‍ය ප්‍රජාව වෙත අරගෙන ගිය එකක් ලෙස දැක්විය හැකි ය.
1955 වර්ෂයේ තිරගතවූ “සුරංගනී” චිත්‍රපටයට ඇතුළත් වූ සිරීපාද ප්‍රජා භූමිය පිළිබඳ ව වූ ගීතය ද බෞද්ධ ගීත අතර සුවිශේෂ වෙයි. ඩබ්ලිව්. විල්ප්‍රඩ් සිල්වා රචනා කරනු ලැබූ මේ ගීතය ටී.ආර්. පාපා නැමති ඉන්දියානු ජාතික අධ්‍යක්‍ෂවරයකුගේ සංගීතයට ගායනා කරනු ලැබුවේ ජී.එස්.බී. රාණි පෙරේරා ය. එහි පද පෙළ මෙසේ ය.
ඕ සෑසී ලෝනා මාගේ
සම්බුදු සිරිපාදේ
දිලෙනා වූ බුදු රශ්මි විහිදමිනේ
බුදු සිරිපාදේ බුදු සිරි පාදේ
වඳනා ලෙසින් යමු සමනළයේ...
සිංහල බෞද්ධ ගීත වැඩි ම ප්‍රමාණයක් ගායනා කරනු ලැබූ අන්‍යාගමිකයකු ලෙස ප්‍රවීණ ගායන ශිල්පී මොහිදින් බෙග් දැක්විය හැකි ය. ඔහු විසින් ගායනා කරන ලද “තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ” නැමති ගීතය සුවිශේෂ වෙයි. 1955 වර්ෂයේදී තිරගතවූ “අශෝකා” චිත්‍රපටියට ඇතුළත් වූ මේ ගීතය ජී.එල්.ඒ. සෝමපාලයන්ගේ සංගීතයට ද කරුණාරත්න අබේසේකරගේ පද රචනයද සහිත විය. එහි පද පෙළ මෙසේය.
තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ
මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ...
බුද්ධාගමේ උගන්වනු ලබන උපත හා විපත පිළිබඳ ව වන විග්‍රහයන් ගීතයට පාදක වී තිබේ. පුද්ගලයා විවිධ ආකාරයෙන් ජීවිතය ගත කරනු ලැබුවද ඔහුට මරණයෙන් මිදී සිටිය නොහැකිය. ඊර්ෂ්‍යාව පුද්ගල මනස හා චරිතය අපවිත්‍ර කර දමන්නක් මිස ඉන් අර්ථයක් සැලසෙන්නේ නැත. මේ ගීතය සිංහල බෞද්ධ ගීත අතර සුවිශේෂතාවයකින් යුතු වූවකි.
1956 වර්ෂයේදී තිරගත වූ “දුප්පතාගේ දුක” චිත්‍රපටියෙහි ද බෞද්ධාගමික අදහස් රැගත් ගීතයක් ඇතුළත් විය. එනම්; “වෙසතුරු මහ රජිඳා” නැමති ගීතයයි. ඉන්දියන් ජාතික ඇස් දක්‍ෂිණ මූර්ති සංගීත අධ්‍යක්‍ෂණය කරනු ලැබූ මේ ගීතයේ පද පෙළ ආනන්ද සමරකෝන් ගෙනි. ගායනා කරනු ලැබුවේ මොහිදින් බෙග් විසිනි. එහි පද පෙළ මෙසේ ය.
වෙසතුරු මහ රජිඳා
පිරූ දාන පාරමී සපුරා මතු
බුදු බව ලබනා අභිලාෂේ
තම සතු වස්තුව කිරුළද දන්දී
තපසට නික්ම ගියෙ...
1950 දශකය සිංහල චිත්‍රපටියේ ද සුවිශේෂතාවක් පෙන්නුම් කරන දශකයකි. සිංහල ගීතය තුළ ද එකී අනන්‍යතාවය පෙන්නුම් කරනු ලබයි. ‘රේඛාව‘ චිත්‍රපටිය තිරගත වන්නේ ද 1956 වර්ෂයේ ය. ඒ චිත්‍රපටිය සඳහා ගීත නිර්මාණය කරනු ලැබුවේ මර්සලීන් ජයකොඩි පියනමයි. ඔහු විසින් රචනා කරනු ලැබූ “වෙසක් කැකුළු” නැමති ගීතය ද බෞද්ධාගමික අදහස් රැගත් ගීත රචනා කලාවේ සුවිශේෂතාවකි. එනම්; අන්‍ය ආගමික පූජකතුමකු ලියූ ප්‍රථම බෞද්ධ ගීතය වීමයි. ස්වාධීන තනු නිර්මාණයකින් යුතුව ගායනා කෙරුණු මෙහි තනුව නිර්මාණය කරනු ලැබුවේ සුනිල් ශාන්ත විසිනි. ගායනය, ඉන්ද්‍රානි විජය බණ්ඩාර විසිනි. ගීතයේ පද පෙළ මෙසේ ය.
වෙසක් කැකුළු අතු අග ඉඳ නටන විලාසේ
ඉරෙන් හඳෙන් සිරි විඳ විඳ රඟන විලාසේ
පියලි සලාලා - රේණු හලාලා...
ගීතය පුරා යන සමස්ත අර්ථය බෞද්ධාගමික අදහස් නොවූවද ගීතය බෞද්ධ අදහස්වලට සමීප වූවකි.
සිංහල ගීතයෙහි දක්නට ලැබෙන බෞද්ධාගමික අදහස් රැගත් පද රචනා පිළිබඳ ව මෙහිලා අධ්‍යයනයක් සිදු කොට තිබේ. නාඩගම්, නූර්ති ටීටර්, ග්‍රැමෆෝන්, චිත්‍රපට, නාට්‍ය ආදී විවිධ අංශ විෂයෙහි මෙහිලා අවධානය දක්වන ලදී.
මූලික බලාපොරොත්තුව වූයේ සිංහල බෞද්ධ ගීතය පිළිබඳ නිවැරදි අධ්‍යයනයක යෙදීම සඳහා මංපෙත් විවර කර ගැනීමය. මෙහිලා සාකච්ඡා කරනු ලැබුවේ 1950 දශකයේ අවසාන භාගය දක්වා වූ ගීත පිළිබඳව පමණක් වන අතර ඉන් ඉදිරි දශක පිළිබඳ කිසිවක් මෙහිලා සාකච්ඡා කරනු ලැබුවේ නැත.
මෙම අධ්‍යයනයේදී දැකගත හැකි වූ ලක්‍ෂණ කීපයක් වෙයි. ඒවා අතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණ කඳ පිළිබඳ ව සිදු කෙරුණු ගායනා, බුදු දහමෙහි උගන්වනු ලබන කරුණු ඇතුළත්වූ ගායනා, බෞද්ධ ආගමික පූජනීය ස්ථාන පිළිබඳව ගැයුණු ගායනා, ඓතිහාසික චරිත පිළිබඳව ගැයුණු ගායනා ආදී වශයෙනි. ගීත රචනා කරනු ලැබූවන් හැටියට, අන්‍යාගමිකයන් සහ අන්‍යාගමික පූජකයන් ද බෞද්ධාගමිකයන් ද දක්නට ලැබිණ. ගීත ගායනයෙහිද අන්‍යාගමික පිරිස් වැඩි වශයෙන් ද බෞද්ධාගමික පිරිස් අඩු වශයෙන් ද දක්නට ලැබේ.
ගීත තනු ඉන්දීය තනු වලට වචන යෙදීම සහ දේශීය තනු නිර්මාණ දැකිය හැකිය. සිංහල බෞද්ධ ගීතය 1950 දශකය පසුකරනු ලබන්නේ එහි කිසියම් වර්ධනීය අවස්ථාවක් ද පෙන්නුම් කරමින් ය. සිංහල බෞද්ධ ගීතයට දේශීය තනු නිර්මාණය ඇතුළත් වීම ඉන් එකකි. ගීත අන්තර්ගතය සාහිත්‍යාත්මක ස්වරූපයෙන් තොරවූ අවස්ථා බහුල වශයෙන් දැකිය හැකි අතර බෞද්ධ ගීත සඳහා එකී පද රචනා ක්‍රමය වඩාත් සාර්ථක වූවක් බවද කිව යුතුය.

http://www.silumina.lk/punkalasa/20110515/_art.asp?fn=ar11051515

එය පණින රිළවුනට ඉණිමං බැන්දාක් වැනි වේ.

ය හඬකින් බිහිවූවකි. ගලා බසින දොළ පහරකින් හෝ ඇද හැලෙන දිය ඇල්ලකින් නැඟෙන ‘සර සර’ හඬෙන්, ගහකොළ ආදියේ ගැටී පිසයන මාරුතයෙන් නැඟෙන හඬෙන්, ලී කෑලි දෙකක් එකට ගැටීමෙන් නිකුත්වන ශබ්දයෙත්, යම් සංගීතයක් ඇත. මෙසේ කල්පනා කර බලන විට සංගීතයක් ගොඩ නැඟීමට මුල් වූයේ හඬයි.
අද ලෝකයේ භාවිතා කෙරෙන නානාවිධ භාෂා සකස්කර ගැනීමට පෙර ආදී කාලයේ විසූ මනුෂ්‍යයෝ තම හැඟීම් අන්‍යයන්ට ප්‍රකාශ කරන්නට ඇත්තේ සත්වයින් මෙන් කට හඬින් පමණක් විය යුතුයි. නොයෙක් විට ඒ හැඟීම් සංගීතයට නගා කුරුල්ලන් මෙන් ප්‍රකාශ කරන්නට ඇතැයි සිතිය හැකි. සංගීතයේ මුල් ආරම්භය මෙසේ ඇති වී මිනිසා ක්‍රම ක්‍රමයෙන් ආශා ගොඩනගත්ම සංගීතය ද ගොඩ නැඟෙන්නට ඇත.
එකල රාගතාල සොයා ගෙන නොතිබුණේ වී නමුදු ශබ්දය ඇසුරු කොට ඇති වූවක් නිසා මෙය ගණන් ගත්තේ සංගීතයක් හැටියටයි. මෙවැනි සංගීතයක් අද ලෝකයේ සෑම රටකම සෑම ජාතියවකටම හිමිවී ඇත. එය ඒ ඒ මනුෂ්‍ය වර්ගයාගේ සංස්කෘතිය අනුව හැඩ ගැසුණි. භාරතය ආදී සමහර රටවල මේ ජන සංගීතය ක්‍රමයෙන් දියුණුව ඉන් උසස් ශාස්ත්‍රීය සංගීතය පවා ගොඩ නැඟී ඇත.
ලංකාවේද මෙවැනි ජන සංගීතයක් ලෙස ගණන් ගැනෙන්නේ අරාබියේ සිට පැවත එන අපේ කවියයි. එවකට ජනකවි හැර විදේශීය සංගීතයක් මෙහි භාවිතා කෙරුණු බවක් පෙනෙන්නට නැත. එම නිසා ලංකාවේ ජනප්‍රිය සංගීතයව පැවැත්නේ ජනකවියයි.
මේ ජන කවියෙන් ජනප්‍රිය සංගීතය මහජනයා අතර බහුල ප්‍රචාරය වූයේ අදට වඩා පැරණි සිංහල රාජකාලවල බව අපට පොත පතින් වටහා ගැනීමට පුළුවන.
එදා කුඹුරේ හාන හෝ වපුරන හෝ කපා පාගන ස්ත්‍රියට හෝ පුරුෂයාටත් නෙලන දැරියටත් ගල්කරුවාටත් පාරුවක් පදවාගෙන යන හැඩි දැඩි තරුණයාටත් හේනේ පැල් රකින ගොවියාටත් ගැයීමට සුදුසු ඉතා අලංකාරවූ තාල වල් ඕනෑ තරම් විය. මේ කවි නොහොත් ජනප්‍රිය සංගීතය ඔවුන්ගේ වැඩ කටයුතු වලදී ආධාර වූවා මිස එයට බාධාවක් නොවුණි.
සමූහයකට එක්ව ගැයීමට සුදුසු සමූහ ගී ද එමට තිබුණි. ඔන්චිලි වාරම්, ඔලිඳ කෙළිය වැනි ගම්බද ක්‍රීඩාවලදී එකල විසූ සිංහල දරු දැරියන් විනෝද වූයේ මේ සමූහ ගී ගයමින් ය.
එවකට භාරතයේ මෙන් උසස් ශාස්ත්‍රීය සංගීතයක් ලංකාවේ නොවූ නමුදු ලොකු කුඩා සියලු දෙනාම මේ ජනප්‍රිය සංගීතයේ රසය විඳිමින් ප්‍රීතියට පත්වූහ. ඒ හැමගේ ජීවිත විනෝදාත්මකව ගෙන යෑමට උදව් විය. ඉන් ඔවුනට නිරන්තරයෙන් ලැබුණ කලාත්මක රසය හේතු කොට ගෙන ඔවුන්ගේ ගොවිකම් ආදී දිනපතා කටයුතු සර්වාකාරයෙන් ම සපල විය. එදින ලංකාව කිරෙන් හා පැණියෙන් ඉතිරී ගියේ මේ ජන සංගීතයෙන් වින්දා වූ රසය නිසා ය.
අවාසනාවකට මෙන් ලංකාව විදේශීන්ට යටත් වූවාට පසු ක්‍රමයෙන් දියුණු වී ආ මේ වැඩදායි සංගීතය අභාවයට පත්වුණි. එවක් පටන් බටහිර සංගීතයත් භාරතයෙන් ගලා ආ හිංදුස්තාන් සංගීතයත් මෙහි ප්‍රචාරය වීමට පටන් ගති.
මෙසේ හැම එකක් ම මිශ්‍ර වීමෙන් අසංකර සංගීතයක් හැඩ ගැසී ගෙන ආ නමුදු වාසනාවකට මෙන් සිංහල සංගීතයක් හැටියට එකල බිහිවූයේ මෙහි ගලා ආ හින්දුස්තානි තනුවලට බැඳුණු සිංහල ගීතයි. ඒවා ද නෘත්‍ය ශාලාවලට හා ශබ්ද වාහිනී තැටිවලට සීමා වූවා මිස පෙර මෙන් මුලු රටපුරා ප්‍රචාරය වූ ජනප්‍රිය සංගීතයක් නොවී ය.
භාරතයෙන් ගෙනා හින්දුස්තාන් තනුවකට සිංහල වචන ගොඩක් පුරවා නෘත්‍ය ශාලාවකදී හෝ තැටිගත කිරීමකදී ගායනා කිරීමෙන් එය වෙළෙඳ සංගීතයක් වූවා මිස පැරණි ජන කවියෙන් ඇති කරදුන් රසයත් ප්‍රයෝජනයත් එහි නොවීය. එකල සිංහල සංගීතයෙන් හැඩ ගැසීමට පුරෝගාමීව මහත් උනන්දුවකින් ඉදිරිපත් වූ ස්වල්ප දෙනෙක් යම්තම්වත් කල්පනා කළා නම් ඒ යටපත් වූ ජනකවි එළියට ඇද දමා එයට නව පණක් දීමට අපට අපේ සිංහල ඌරුවට හැඩ ගැසුණු නියම සිංහල ජනපි‍්‍රය සංගීතයක රස භුක්ති විඳින්නට ලැබෙනවාට කිසිම සැකක් නෑ.
බෙංගාලය අද පවතින ජනප්‍රිය සරල සංගීතය ආරම්භය පැරණි ජන කවියෙන් ම ඇති වූවකි.
එයට පුරෝගාමීව කටයුතු කළ තාගෝර් මහ කිවිඳා වැනි අය ජන කවියටම නව පණක් දී එහි ගැබ්ව ඇති දේශීය ඌරුව නොසිතන පරිදි එයට හැඩ ගැසූහ. පසුව භාරතයේ ශාස්ත්‍රීය සංගීතයේ ද ආධාරය ඇතිව මෙය සකස් වූ නමුත් අද දක්වා ම එහි වූ වංග ඌරුව රඳා පවතී. කොතෙක් දුරට මෙය සපල වී දැයි විමසා බලන්නෙකුට වංග ගීයක් ඇසුණු සැණෙකින් ම එහි වූ තනුවෙන් පමණක් ඒ වංග ගීයකැයි කිව හැක. අද බෙංගාලයේ ජනප්‍රියව ඇත්තේ මෙවැනි සරල සංගීතයකි. එම ගී තනි තනිව හෝ සමූහයකට හෝ ගායනා කිරීමට සුදුසු පරිදි පිළියෙළ වී ඇත.
මේ නිසා පැරණි ජන කවියෙන් නොහොත් ජනප්‍රිය සංගීතයෙන් ලබාගත් රසයත් විනෝදයත් අද වංග ජාතිකයෝ මේ නූතන සංගීතයෙන් ලබා ගනිති.
බෙංගාලයේ මේ ප්‍රචාරය වී තිබෙන ජනප්‍රිය සංගීතය නිදර්ශනයක් කොට ගෙන අපට ද ලංකාවේ ජනප්‍රිය සංගීතයක් නිපදවා ගත හැක. මෙය ජනකවි පදනම් කොට කළ යුත්තෙකි. දැනට ලංකාවේ භාරතීය ශාස්ත්‍රීය සංගීතය ක්‍රමයෙන් වගා වී එන නිසා එය ද මීට ආධාර කැරැගෙන එය වඩාත් අලංකාර පරිදි කළ හැක.
මේ අන්දමින් සලකා බලන කළ භාරතීය ශාස්ත්‍රීය සගයුව අපට අවශ්‍යයි. විද්‍යාව ඇත්තේ ශාස්ත්‍රීය සංගීතයේ බැවිනි. භාරතයේ බහුලව ඇති හින්දි සරල සංගීතය අද එතරම් දියුණු වී ඇත්තේ ශාස්ත්‍රීය සංගීතයෙන් එයට ලබා ගත් ආධාරය හේතු කොට ගෙනයි. මුල් පදනම ජනකවි වුව ද පසුව ඇති වූ නානාවිධ තනු හැඩ ගැසුවේ ශාස්ත්‍රීය සංගීතයෙන් ගත් රාග තාල අනුවයි.
ලංකාවේ ද එවැන්නක් අපට කළ හැකි වූ නමුත් අද එයට විශාල බාධාවක් වී තිබෙන්නේ භාරතයෙන් ගලා එන හින්දුස්තානි සරල සංගීතයයි. අමාරුදේ කිරීමට වෙහෙස දරා ඉන් සැබෑ ප්‍රතිඵල ලබා ගන්නවාට වඩා ලෙහෙසි පහසුව සලකා තැටි හා චිත්‍රපට මාර්ගයෙන් අප රටට වැල නොකැඩී එන මේ හින්දි සරල ගී උපුටා ගැනීමට කවුරුත් පුරුදු ව සිටිති.
එම ගීත ඉතාමත් රසවත් බව අපට නොකියා බැරි නමුත් ඒවා සදහටම උපුටා ගැනීමට පුරුදු වුවහොත් අපට අපගේ යුතුකමක්ව ඇති දේ නියමිතව කිරීමට එය බාධාවක් වේ. තැටි ගත කිරීමට හෝ චිත්‍රපටයකට යෙදීමට හෝ ගුවන් ගැන්වීමට හෝ ගීතයක් උවමනාවූ විටකදී හෝ කෙළින් ම හින්දි ගී උපුටා ගැනීමට දුවන්නේ නම් එය කලින් සඳහන් කළ පරිදි සිංහල සංගීතයක් සකස් වෙන්නේ කෙසේද?
අද භාරතයේ සංගීතඥයෝ අපට සිනාසෙන්නේ මේ නිසා ය. තමුසෙලාට අපේ ගී සිංදු නැත්නම් උඩ බලා ඉන්ටයි වෙන්නේ යයි ඒ උදවිය කියන්නේ අපි ඒ වැරැද්ද කරන නිසයි. ඒ අය තමන්ගේ ජනප්‍රිය ගීත වෙන කාගෙන්වත් උපුටා නොගෙන වෙහෙස දරා ස්වඋත්සාහයෙන් පිළියෙල කරගන්නේ නම් අපට ද, ඊට ආරම්භයක් වශයෙන් එසේ කිරීමට බැරි කමක් නැත.
ගීතයක තනුව හිංදි වුවත් වංග වුවත් එය රසවත් නම් උපුටා ගත්තාට වරදක් නැතැයි බොහෝ දෙනා කියන නමුදු එය වැරදි අදහසකි. එසේ කීමෙන් ඒ වරද තව තවත් දුරට කෙරෙන්නට පුළුවන. එය පණින රිළවුනට ඉණිමං බැන්දාක් වැනි වේ. අවසානයේ දී ඒ රෝගය අසාධ්‍ය විය හැක.
අපි කෙතරම් දුරට මේ සම්බන්ධව කීවත් ලීවත් සිංහල ජනප්‍රිය සංගීතයක් ගොඩනැඟීමට උනන්දුව හා ධෛර්ය ඇති සංගීතඥයාට හෝ නිබන්ධකයාට රජයේත් මහජනයාගෙත් ආධාර නොමැති නම් ඔහුගේ ඒ ප්‍රයත්නය නිෂ්පල වෙයි.

‘කතාවෙන් කතාව‘

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අභිනව සිංහල වැඩසටහන් ව්‍යුහයේ ගුණාත්මක භාවයක් ඇති කරනු පිණිස යෝජිත ව්‍යාපෘතිවලින් එකකි විනෝදාස්වාදය අධ්‍යාපනය හා වින්දනය යන ‘කතාවෙන් කතාව‘ නම් වූ සජීවී වැඩසටහන.
ලෝකප්‍රකට ඉංග්‍රීසි ගුවන් විදුලි වැඩසටහනක් වූ ‘ස්ටෝරි ටෙලර්ස්’ අනුගත ‘කතාවෙන් කතාව“ ස්වීය භාවයෙන් යුතුව සැලසුම් කොට මෙහෙයවනු ලබන්නේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්. කතා කරුවන් ලෙස පෙනී සිටින කරුණාරත්න අමරසිංහ, අමරදාස ගුණවර්ධන හා සුනේත්‍රා ප්‍රියදර්ශනී විතානයන් යන ශිල්ප මණ්ඩලයකි. සංගීතය හා මුසුවූ කතාවෙන් කතාව සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ, විධායක නිෂ්පාදකත්වයෙන් ප්‍රචාරය වේ.
ගුවන් විදුලි සංස්ථාවෙන්ද කතාන්තරය මුල් කොටගෙන වැඩසටහනක් සෑම මාසයකම අවසාන සිකුරාදා ස්වදේශීය සේවය හරහා විකාශය වෙයි. සාම්ප්‍රදායික වැඩසටහන්වලට ඇහුම්කන්දී හෙම්බත්වී සිටි දෙසවනට අර්ථවත් වැඩදායි, ඵලදායි නැවුම් වූ වැඩසටහනක් ලෙස කථාවෙන් කථාව ගුවන් විදුලි සාකච්ඡාව නම් කළ හැකි ය.
පරිකල්පනය, ආභාසය, භාෂණය, විවරණය, දැක්ම, අවබෝධය හා මනුෂ්‍ය සම්බන්ධවල වටිනාකම යන මුඛ්‍යය තේමා පදනම් කරගෙන කතාවෙන් කතාව දිග හැරෙයි.
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ප්‍රවීණ මාධ්‍යවේදීන් වන කරුණාරත්න අමරසිංහ, අමරදාස ගුණවර්ධන යන මහත්වරුන් සුනේත්‍රා ප්‍රියදර්ශනී විතානගේ යන මහත්මියන් කථාවෙන් කථාව වැඩසටහන ඉදිරිපත් කරති.
එදා දවසේ මාතෘකාවට අනුව ඊට ගැලපෙන තැන් හා සිද්ධි ඇතුළත් ජාතක කථා, සාහිත්‍ය කතා, ජනකතා, බටහිර කතා, හාස්‍යකතා, ඊට අඩංගු වේ.
මෙතෙක් විකාශනය වූ චරිත කතා, නරවානර කතා, අවුරුදු කතන්දර, වෙසක් කතන්දර, ප්‍රේම කතා යන වැඩසටහන්වලට රසිකයකු ලෙස සහභාගි වූ මට විශාල දැනුම් කන්දරාවක් ලැබුණි. සජීවී නැරඹිය හැකි සංවාදශීලී වැඩසටහනක් වුවත් ඉහත කී වැඩසටහන්වලට සහභාගි වූයේ අතේ ඇ¼ඟිලි ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රේක්ෂක ශ්‍රාවක පිරිසකි. මේ ගුවන් විදුලි වැඩසටහන වෙනත් ජ්ර් මාධ්‍යයක හෝ රූපවාහිනි සේවයක විකාශනය වූවා නම් මිනිසුන් අතර ජනප්‍රිය වන්නට තිබුණි.
‘කතාවෙන් කතාව‘ වැඩසටහන ගුවන් විදුලි කතාවකට සීමා නොවී පාසල්, විශ්වවිද්‍යාල තුළටත් රැගෙන යා යුතුයැයි මා සිතමි. එසේ කියනුවේ මෙහි ඇති සාරවත් බව හරවත් බව නිසාමයි. කතාවෙන් කතාව වැඩසටහනේ ඉගෙන ගත යුතු දේ බොහෝ ය.
කතාවෙන් කතාව වැඩසටහන නිර්මාතෘ වන සම්මානනිය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් අනෙකුත් සරසවි ඇඳුරුතුමන්ලාට වඩා වෙනස් ය. නිතර ම අලුත් දැනුම සොයා ඉදිරිපත් කරයි. එසේ ම පාරම්පරික ගතානුගතික සාවද්‍යය මතවාද එසේ ම ප්‍රතිරාවය නොකරයි. එකී සාවද්‍යය දෘෂ්ටීන් තර්කානුකූ®ල ලෙසත් කලාත්මක සංයමයකින් යුතු වතින් නිශේධනය කරයි. එනිසා ම ඔහු සැබෑ කලාකරුවෙකි.
ඉතා සංකීර්ණ මානුෂික ගැටලු යථාරූපී ලෙස ගුවන් විදුලි වේදිකාව මත ප්‍රතිනිර්මාණය කරමින් පුරාණ කතාවෙන් එතෙක් නොලද චමත්කාරජනක නව අනුභූතියක් අත්විඳින්නට අවකාශ සලසා දෙයි. මෙකී ලක්ෂණ නිසා දර්ශනය වන අපූර්වත්වය කතාවෙන් කතාව ගුවන්විදුලි වැඩසටහනේ විශිෂ්ටත්වය ප්‍රකට කරයි.

Thursday, May 1, 2014

යකුනේ බලාගෙනයි

ඉර මැදියමේ හෝ ගොම්මං වේලාවේ දියමංකඩ බැස දිය නාන යුවතියගේ දුහුල් සළුවට මුවා වූ අඟපසඟවලට ගැමි තරුණයින් පමණක් නොව යකුන් පවා ලොබ කරතියි ගැමියෝ විශ්වාස කළහ. එහෙත් නාන කාමරය තුළ සළු උනා කරාමය යට ජල ස්නානය කරන නවීකරණය වූ යුවතිය දෙස යකුන්ගේ හෝ බැල්ම වැටෙන බවක් වාර්තා නොවේ.

අනාදිමත් කාලයක සිට මිනිසා තුළ යක්ෂ, පේ‍්‍රත, කුම්භාණ්ඩ, ආදි අමනුෂ්‍ය බලවේග පිළිබඳ ව වූ අධි විශ්වාසයන් පැවතියේ ය. අතීතයේ දී යකුන් වැහීමෙන් ප්‍රලය වන කාන්තාවෝ රැයක් පහන් වනතුරු කට්ටඩියන් සමඟ තරගයට නටති. ඉතා කුඩා අවකාශවලින් රිංගීම ආදි විශ්වකර්ම ක්‍රියා සිදු කරයි.
ඇදුරු බසට අවනත නොවීමෙන්, පොල් මලෙන් හා මඩු වලිගයෙන් බැටකා, උදෑසන වන විට හොඳහැටි මට්ටු වී නිරෝගී වූවක ලෙස අලුත් දිනයක අරුණළු දකිති. මෙබඳු තොවිල් පවිල් එකල ගම්මාන පුරා සෑම කෙම්මුර දිනකම පාහේ පැවැත්වුණි. ගම් හතක් දෙවනත් කරමින් දිව යන දෙවොල් බෙර, ගැටබෙර, තම්මැට්ටම්, දවුල් ආදී හි හඬ, බියකරු අඳුරු රාත්‍රියේ මූසල බව දුරු කර හුදී ජනයාට දේවාශිර්වාදයක් එක් කළේ ය.
අතීතයේ ගැමියා ලෙඩරෝග දුටුවේ බියකරු යකුන් ලෙසිනි. ‘සන්නි’, ‘කෝල’, ‘වලිප්පු’ සුව කිරීමට ගැමි වෙදරාල පමණක් නොව කට්ටඩි රාල ද බොහෝ වෙහෙස විය. ක්ලමථය, ආතතිය, විශාධය, ප්‍රඥාපරාධ, ආදි නම්වලින් වර්තමානයේ හඳුන්වන විවිධ මානසික අවුල් වියවුල් එකල ගැමියාට ද පොදු විය. ගොවිතැන් පාළු වීම්, දියණි වරුන්ගේ නොමනා විවාහ, ස්වාමියාගේ පරඹු සේවන, අසම්මත ගැබ් ගැනීම්, හිතෛශීන්ගේ මරණ, ආදියේදී වර්තමානයටත් වඩා අතීතයේ ගැමියා බොහෝ කම්පා වීමට තරම් සංවේදී විය.
මේ සංවේදී බව නිසා ම සුළු සිද්ධියකදී පවා ගැමියාට මානසික වශයෙන් පීඩා විඳීමට සිදු විය. එයින් සිය ජීවිතයේ සතුට නැති වී විවිධ කායික හා මානසික ලෙඩරෝගවලට ලක්වීමට සිදුවිය.
මෙසේ අකාරුණික ලෙස සිය සතුට උදුරාගත් අනුකම්පා විරහිත මානසිකත්වය යක් ෂත්වය යයි සලකා තොවිල් නැටීමකින් සිය මනස නිරවුල් කරගැනීමට ගැමියාට හැකි විය. මෙය වත්මන් මනෝ චිකිත්සක ක්‍රියාවලින් අභිබවනය කරන්නේ නොවේ ද?
කායික රෝග ලෙස හඳුන්වන රෝගවලින් සියයට අනූවක් ම මනස මූලික ව සෑදෙන බව බටහිර වෛද්‍ය විද්‍යාව ද පිළිගනී. අනාදිමත් කාලයක සිට මේ බව දැන සිටි ගැමියා බොහෝ රෝගවලට පිළියම් වශයෙන් සිදු කළේ අධිවිශ්වසනීය වූ මානසික ප්‍රතිකාරයි. ගොම්මන් වෙලාවේ දියමංකඩට යන වැඩිවිය පත් ගැමිලිය හිටිහැටියේ ක්ලාන්ත වෙයි. අන්‍ය භාෂාවකින් කතා කරයි.
ඇඟ සලිත කරමින් කෙස්වැටිය මුදා හිස කරකවයි. මෙබඳු රෝගීන් වර්තමානයේ දුලබ වුවත් අතීත සමාජයේ ඕනෑතරම් දක්නට ලැබුණි. කඩිමුඩියේ එතැනට පැමිණෙන කට්ටඩිරාල ඇයට ඇප නූලක් බඳී.
පසුව එළැඹෙන කෙම්මුර දිනෙක ඇය වෙනුවෙන් සියලු ගැමියන්ගේ සහභාගිත්වයෙන් තොවිලයක් නටති. බෙර හඬ හා කටකතා තොවිලය පිළිබඳ ව සන්නිවේදනය කරන්නේ ;කාපමණ දෙනකුට ද, එපමණක් දෙනා තොවිලයට සහභාගි වී ඊට ඇප උපකාර කරති. පරෝපකාරයට අතීත ගැමියාට බුලත් දිය යුතු නැත.
හාත්පස අඳුර ගලා එන සන්ධ්‍යාවේ ගොක්කොළ හා රඹ පතුරුවලින් අලංකාර කළ රඹ තොරන් ඉදිරිපිට සුදු වේට්ටි ඇඳ පච්චවඩම් බැඳි ඇදුරන් සිදුකරන නර්තන දැකගත හැක්කේ පන්දම් ආලෝකයෙනි. දින කීපයක සිට ගෙවල් මිදුල් පවිත්‍ර කොට තොවිලයට සුදුසු පරිසරයක් නිවසේ නිර්මාණය කළ අසල්වැසි ගැමි තරුණියෝත්, ඇටඇටිපස්වර්ගය, දියමස්, ගොඩමස්, තොලබෝ හීරැස්ස ආදි කොළ වර්ග, පොල් මල්, පුවක් මල්, විවිධ වර්ණවත් මල් වර්ග ඇතුළු තොවිලයට අවශ්‍ය කළමනා සපයා දුන් ගැමි තරුණයෝත්, එක ම මාගල් පැදුරක හෝ වියන ලද පොල් අතු ඇතුරූ මිදුලේ හිඳ ආතුරයා සමඟ තොවිලය නරඹති.
මේ තොවිල්පොල ඕපාදූප හා කටකතා කියන ගැහැනුන්ටත් පුරසාරම් හා පූචානම් දොඩන පිරිමින්ටත් සුරපුරක් බඳු ය. ඒ අතර නිවෙස්වලට හොරා පෙම් බැන්ද තරුණ තරුණියන්ගේ ජවනිකා ද අහුමුලුවල නැත්තේම නොවේ. මෙසේ රෝගී නිරෝගී විශේෂයකින් තොරව සියලු ම දෙනාට සිත නිදහස් කරගත හැකි රමණීය රාත්‍රියක් උදාකර දීමට යක්ෂයා වක්‍ර දායකත්වයක් සපයා ඇත.
දක්ෂ අභිමානවත් පෞර්ෂයකින් යුතු ඇදුරාගේ තියුණු බැල්මත් දුම්මල ආවේශයත්, කිසිවෙකුට නොපැරදවිය හැකි තාණ්ඩව නර්තනයත් බොහෝ නෙත් වශී කරති. එයින් ස්වයං මෝහනයට පත්වන ළාමක පිරිමිත්, ගැහැනුත්, විශේෂයෙන් ආතුරයාත් ප්‍රලය වෙයි. මෙය තොවිල් පලෙහි උච්චතම අවස්ථාවයි. මුලුගැන්වී සිතට වද දුන් සියලු සිතුවිලිත්, බියගුලු අදහසුත් සියල්ල වමාරමින් දෙනෝදාහක් ඉදිරියේ ඇදුරා හා සම සමව නර්තනයේ යෙදීමට ඔවුහු පෙලඹෙති. තවද උද්වේගකර බෙරහඬ විසින් පැමිණ සිටින සියල්ලන්ගේ ම ශරීරගත සියලු කේශනාලිකා කම්පිත කරමින් ඇති කරවන උත්තේජනය, ඔවුන්ගේ අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි දුරු කරයි.
බුදු වදනට අනුව සියලු පුහුදුන් ජනයා උමතු රෝගීහු වෙති. වත්මන් නිර්ණයන්ට අනුව රෝගී හෝ නිරෝගී යයි සලකන සියලු ජනයා තොවිල් පළට එක්වන අතර බුද්ධ දේශනාවට අනුගත නිරෝගී නිර්වාණ සුවය එහිදී ඔවුනට පසක් කරගැනීමට රුකුල් නොදෙන නමුත් යහපත් ලෙස සමාජයේ ජීවත් වීමට අවශ්‍ය විවිධ උපදෙස් හා පණිවිඩ එහිදී බොහෝ සෙයින් ලද හැකි ය. තොවිල් පලෙන් පිටව යන බොහෝ දෙනා මානසික ලිහිල් භාවයකින් හා මනා ජීවිත පරිඥානයකින් යුතු පුද්ගලයන් බවට පත් කිරීමට ඇදුරන් නිරන්තර උත්සාහයක නිරත වේ. යක්ෂත්වය හෝ වෙනත් සංකල්පයක් මූලික කරගෙන මෙබඳු සහන සමාජයක් ගොඩනඟන සාමූහික රෝග නිවාරණ ක්‍රමවේදයක් නූතන දියුණු යයි සම්මත සමාජවල දක්නට නොලැබේ.
ඉර මැදියමේ හෝ ගොම්මං වේලාවේ දියමංකඩ බැස දිය නාන යුවතියගේ දුහුල් සළුවට මුවා වූ අඟපසඟවලට ගැමි තරුණයින් පමණක් නොව යකුන් පවා ලොබ කරතියි ගැමියෝ විශ්වාස කළහ. එහෙත් නාන කාමරය තුළ සළු උනා කරාමය යට ජල ස්නානය කරන නවීකරණය වූ යුවතිය දෙස යකුන්ගේ හෝ බැල්ම වැටෙන බවක් වාර්තා නොවේ.
එමෙන්ම රීරියකා, මහසොහොනා, ගොපල්ලා ආදි යකුන් ගැසීමෙන් මියගිය මිනිසුන් පිළිබඳව ගම්මානයේ විවිධ කටකතා පැතිරේ. පුලුටු බැද ජාම වේලාවල්වල කෑම නිසා, මල ගෙදරක ගොස් රාත්‍රියේ තනිව පැමිණීම නිසා, පාන්දර ගව පට්ටිය වෙත යාම නිසා, ආදි සමාජය නොපිළිගත් විවිධ ක්‍රියා කරණ කොට ගෙන මෙසේ යකුන් ගසා මියගිය පිරිස් අතීතයේ විය. මියැදුණු අයගේ පිට ප්‍රදේශයේ යකුගේ ඇඟිලි පහේම සලකුණු පිහිටා තිබු බව ඇතැම් ගැමියෝ පවසති. කෙසේ වෙතත් පිට ප්‍රදේශයේ ඇඟිලි පහක ආකාරයේ රුධිර නාලිකා පිහිටා ඇති බව වෛද්‍යවරුන්ගේ මතයයි.
බෙල්ලේ ඇති රුධිර නාල හිරවීම ආදියකදී ඉහත රුධිර නාලිකා අවහිර වී මරණයට පත්විය හැකි බවත් ඒ අවස්ථාවල මෙසේ ඇඟිලි පහක සලකුණු සේ මේවා දිස්විය හැකි බවත් උගතුන්ගේ මතයයි. ගැමියෝ මෙයට කුමන අර්ථ කථනයක් දුන්න ද ඉන් මිදීමට ද යක්ෂ සංකල්පය හා බද්ධ වූ ප්‍රතිකර්මයක්ම නිර්මාණය කරගත්හ. යක්ෂයාගේ අඩි ශබ්ද හෝ වෙනත් ශබ්ද ඇසෙන විට එකවරම පිටුපස නොබලා අත යටින් බැලීම ඒ සඳහා තිබු ප්‍රතිකර්මයයි.
අත යටින් බැලීම දුෂ්කරය. එය වේගයෙන් සිදුකළ නොහැකි ය. මේ නිසා කුමන කැලඹිලි ස්වභාවයක් මනස තුළ හෝ පරිසරය තුළ සිදු වුවද ඒ සඳහා මිනිසා දක්වන සරල ප්‍රතික්‍රියාව වන හැරී බැලීම පවා සෞඛ්‍යාරක්ෂිතව සිදුකිරීමට මෙම යක්ෂ සංකල්පය හරහා ගැමියාට උපදෙස් ලැබුණි.
අතීතයේදී යකුන්ගේ විවිධ හඬ නැගීම් කැලෑබද කඳුකරයෙන් ඇසුණු බවත්, යකුන්ගේ ගඳ පවා දැනුණු බවත් ඉංගි‍්‍රසි ජාතික ‘රොබට් නොක්ස්’ සිය අත්දැකීම් පසුබිම් කරගනිමින් එදා හෙළදිව කෘතියේ දක්වා ඇත.
එහෙත් වත්මන් නවීකරණය වූ සමාජයේ විද්‍යුත් උපකරණවල හඬ මිස මේ කිසිවක් ඇසෙන්නට නැත. කැලෑ විනාශ වීම, කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදිවීම, ගම ජනාකීර්ණ වීම ආදිය නිසා එදා ගැමියා යක්ෂත්වයට ආරෝපණය කළ, හැන්දෑවට හඬලන දුර්ලභ සත්ත්ව විශේෂයක වඳ වීමත්, සන්ධ්‍යාවේ දී යම් රසායනයක් නිකුත් කරනු ලබන දුර්ලභ පැලෑටියක වඳවී යාමත් නිසා මෙසේ නවීකරණය වූ සමාජයෙන් ජන විඥානගත අවිහිංසක සංකල්පමය යක්ෂයා ද නිරායාසයෙන්ම නික්ම යන්නට ඇත.
එදාට වඩා සංකීර්ණ වූ සමාජයේ මිනිසා තුළ මානසික අවුල් වියවුල් ද සංකීර්ණ මෙන්ම ප්‍රබල වන බව දක්නට ලැබේ. රැකියාව, ගමනාගමනය, ආර්ථිකය, ආහාර, විලාසිතා ආදි මේ සියල්ල තුළින් මිනිසා තව තවත් මානසික පීඩාවට ලක්වෙයි.
දවස තිස්සේ කායික හා මානසික පීඩනයට පත්වන ඇතැම් පුද්ගලයින් සන්ධ්‍යාවේ සිය පවුලේ සාමාජිකයන් සමඟ සතුටු සාමීචියේ යෙදෙනවාට වඩා පෙලඹෙන්නේ රූපවාහිනී ටෙලිනාට්‍යයක රසය විඳ ගැනීමටයි. එහෙත් වත්මන් ජනපි‍්‍රය සංස්කෘතියේ ටෙලි රචනා සැබැවින් ම මනස නිරවුල් කරන්නේ ද යන්න සැක සහිත ය.
ඒ කෙසේ වෙතත් අතීත ගැමියා තුළ තිබු ඉහත සඳහන් කළ ධාර්මික වින්දන ප්‍රතිපත්තිය හා මෙය සමකළ හැකි ද? මනස සංවේදී කිරීමත් ඒ මඟින් විවිධ ගැටලු නිරාකරණය කිරීමේ දියුණු ක්‍රමවේදයත් මෙම ධාර්මික වින්දන ක්‍රියාදාමයේ අන්තර්ගත වී ඇත. වර්තමානය වන විට මානසික ආතතිය ආදිය දුරු කිරීමට ජනයා තෝරාගන්නා මනස සේදීමේ බොහෝ ක්‍රියාකාරකම් මඟින් සිදුවන්නේ මිනිසා අසංවේදී වීමයි. ඒ නිසා එහි විපාක ලෙස සමාජය තුළ අපරාධ, දූෂණ, වංචා ආදියෙහි වර්ධනය වීමක් දක්නට ලැබේ.
ඒ නිසා මෙසේ මනස නිරවුල් කරගැනීමේ නව වින්දන ප්‍රතිපත්තිය අතීත ගැමියා ධාර්මික වින්දනයෙන් බිහි කරගත් තුලිත සමාජය බිඳ දමා අසමතුලිත කර ඇත.
අප අතීතයේ ආරක්ෂාව පතා ගෙළ පැලඳි සුර, යන්ත්‍ර, පංචායුධ ආදිය වෙනුවට නවීකරණය වූවෝ පොල්කටු කැබලි, ප්ලාස්ටික්, යකඩ, පිත්තල පතුරු ගෙල පලඳා ගනිති. එයින් පෙනී යන්නේ අතීත ගැමියා සිය සතුටට හෝ නිරෝගී බවට වින කළ විවිධ මානසික හෝ අධිභෞතික යක්ෂ බලවේග පිටුදැකීම සඳහා භාවිත කළ දියුණු උපක්‍රම නවීන පරපුර විසින් ඉවත දමා ඇති ආකාරය යි.
අප ප්‍රාථමික යයි සලකන වර්තමානයේ දුලභ වශයෙන් දැකගත හැකි යක්ෂ සංකල්පය සැබෑ ලෝකයේ භෞතිකත්වය හා ගැළපුණා ද නොගැළපුණා ද ඒ මඟින් අතීත ගැමියා නිර්මාණය කරගත් යහපත් මෙන්ම සාර්ථක සමාජ සංස්කෘතික සංකල්ප සියල්ල, නිතැතින්ම පොදුජන යහපතට යොමු වූවක් බව පැහැදිලි ය.
සංකීර්ණ නවීන සමාජයේ යකුන් ගැහීම යකුන් වැහීම ඉතා දුර්ලභ ය. ගම ජනාකීර්ණ වී කාර්මිකකරණයට නතු වීමෙන් ස්වභාවික පරිසරයේ ඇතිවූ විවිධ වෙනස්කම් පමණක් මීට බලපා ඇතැයි කිව නොහැකි ය. මානසික වශයෙන් අප තුළ ඇතිවී ඇති පරිවර්තනය ද මීට හේතු වී ඇත. කෙසේ වෙතත් අප ඒ සොඳුරු යක්ෂයා ජන විඥානයෙන් එළවා දමා ඇත.

ශ්‍රව්‍ය හා දෘශ්‍ය ආකෘති, අන්තර්ගත හා පිටපත් රචනය

කර්තෘ - සාලිය කුලරත්න
ප්‍රකාශනය - ඇස්.ගොඩගේ සහෝදරයා
මිල - 250/-
වර්තමානයේ ජනසන්නිවේදන විෂයය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි ඉගැන්වෙන ප්‍රකට විෂයයක් බවට පත්වී තිබේ. මේ විෂයය සම්බන්ධයෙන් විවිධ ලේඛකයන් මේ වන විට පොත්පත් රාශියක් පළකර ඇත. මේ අතරින් ”ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය ආකෘති, අන්තර්ගත හා පිටපත් රචනය” යන කෘතිය මේ ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මෑතකදී ප්‍රකාශයට පත්කර තිබෙන තවත් වටිනා ග්‍රන්ථයකි. මෙහි කතුවරයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අංශාධිපති සාලිය කුලරත්න මහතා වේ.
ලේඛකයාගේ මේ කෘතිය වැදගත් වන්නේ මූලික වශයෙන් කරුණු දෙකක් හේතුවෙති. එක් අතකින් මේ කෘතිය ජනසන්නිවේදන මූලිකාංග හා විෂය කරුණු සම්බන්ධයෙන් ආධුනිකයකුට වුවද මූලික අවබෝධයක් ලබාගැනීමට උපකාරී වේ. අනෙක් අතට ගුවන්විදුලියට හෝ රූපවාහිනියට සකස් කළ යුතු නිර්මාණාත්මක පිටපතක ස්වරූපය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට ද මේ කෘතිය පරිශීලනයෙන් හැකිවේ. පරිච්ඡේද පහක් මෙන් ම, උපග්‍රන්ථයක් ද ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය ආකෘති, අන්තර්ගතය හා පිටපත් රචනය කෘතියෙහි අඩංගු වේ.
කතුවරයා ප්‍රථම පරිච්ඡේදයෙන් සන්නිවේදනයෙහි හා ජනමාධ්‍යයෙහි ඉතිහාසය සම්බන්ධයෙන් වටිනා කරුණු රැසක් අප ඉදිරියෙහි තබයි. සන්නිවේදනයේ ඉතිහාසය ආරම්භ වී තිබෙන්නේ ප්‍රවෘත්ති වාර්තා කිරීම හා ප්‍රවෘත්ති සෙවීම පිළිබඳ කුතුහලය නිසා බව පෙනේ. මේ පරිච්ඡේදයේ මිනිසා කාලයෙන් කාලයට පාවිච්චි කළ සන්නිවේදන උපක්‍රම සම්බන්ධයෙන් සංක්ෂිප්ත ව සාකච්ඡා කර ඇත. අනතුරුව මේ ලේඛකයා ජන මාධ්‍යයේ ඉතිහාසය පිළිබඳ ක්‍රමානුකූලව හා කෙටියෙන් කරුණු අප වෙත ගෙන එයි. ජනමාධ්‍ය අතරෙන් ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබෙන්නේ මුද්‍රිත මාධ්‍යම බව මේ පරිච්ඡේදයෙන් ගම්‍ය වන්නේ ය.
දෙවැනි පරිච්ඡේදයෙහි ජනප්‍රිය සංස්කෘතිය, මාධ්‍ය සංස්කෘතිය හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය පිළිබඳ විමර්ශනයක් කර ඇත. ජනප්‍රිය සංස්කෘතිය යන්න ජන සංස්කෘතියෙන් පෝෂණය වී තිබෙන බව පෙනේ. 1970 ගණන්වලදී ජනප්‍රිය සංස්කෘතිය යන වචනය අපේ සමාජයට ආගමනය වූ ආකාරය මෙහි සාකච්ඡා කර තිබේ. මීට අමතරව විශිෂ්ට සංස්කෘතිය, වෙළඳ සංස්කෘතිය යන සංකල්ප පිළිබඳව ද කෙටියෙන් විමර්ශනය කෙරේ. මෙහි ඇති විශේෂත්වය නම් 1970 පටන් අපේ රටේ ඇතිවූ ජනප්‍රිය සාහිත්‍ය පිළිබඳ විමර්ශනයක් කර තිබීමය. කෙසේ වෙතත් මේ පරිච්ඡේදයේ දී සංස්කෘතිය යන්න පිළිබඳ ඉදිරිපත් වී තිබෙන විවිධ නිර්වචන හා එහි අඩංගු විය යුතු අංග ඉදිරිපත් කර පසුව අනෙකුත් උප සංස්කෘතික අංග ඉදිරිපත් කළේ නම් වඩාත් සුදුසු යයි මට හැඟේ.
මේ පරිච්ඡේදයෙහි මාධ්‍ය සංස්කෘතිය ගැන ද අවධානය යොමුකර තිබේ. රූපවාහිනී මාධ්‍ය මෙහි දී ප්‍රමුඛස්ථානයක් ගනී. කතුවරයා රූපවාහිනී මාධ්‍යයේ තිබෙන ධනාත්මක මෙන් ම, සෘණාත්මක අංශ දෙස සිය අවධානය යොමු කරයි. ජනප්‍රිය සංස්කෘතිය වර්ධනය වීමට වත්මන් රූපවාහිනිය සැලකිය යුතු අන්දමෙන් බලපා ඇති ආකාරය ලේඛකයා මෙහි දී විමර්ශනය කරන්නේ ය. වත්මන් රූපවාහිනී නාලිකා මෙහෙයවන බලධාරීනට, රූපවාහිනිය ගුණාත්මක ව භාවිත කළ යුතු අන්දම ගැන හොඳ වැටහීමක් ලබාගැනීමට මේ පොත පරිශීලනය කිරීමෙන් හැකිවනු ඇත.
ගුවන්විදුලි නාට්‍යය හා ගුවන්විදුලි සංස්කෘතිය පිළිබඳ විමර්ශනයක් කිරීම සඳහා තෙවැනි පරිච්ඡේදය වෙන්කර තිබේ.
ගුවන්විදුලිය ආරම්භ වූ යුගයේ සිංහල ගුවන්විදුලි නාට්‍ය නොතිබුණ බවත්, 1947න් පසු ඒවා ප්‍රචාරය වීමට පටන්ගත් බවත් සඳහන් වේ.
වේදිකා හා රූපවාහිනී නාට්‍යවලට වඩා ගුවන්විදුලි නාට්‍ය වෙනස්වන ආකාරය මේ පොතේ අපූරුවට පෙන්වා දී ඇත. ප්‍රේක්ෂකයන් ජනමාධ්‍ය කරා ඇදගැනීමට නිර්මාණාත්මක සන්නිවේදනය ඉවහල් වන ආකාරය ද කෙටියෙන් විමර්ශනය කර තිබේ.
මෙහි සිව්වැනි පරිච්ඡේදයෙන් නිර්මාණ රචනය හා මාධ්‍ය ආකෘති ගැන විමර්ශනයක යෙදේ. ගුවන් විදුලි වැඩසටහන් හා ආකෘති පිළිබඳ මේ පරිච්ඡේදයේ විවරණයක් කර ඇත. මේ ග්‍රන්ථයේ පස්වැනි පරිච්ඡේදයෙන් රූපවාහිනී නාට්‍ය විචාර සම්බන්ධයෙන් කතුවරයාගේ අදහස් දැක්වේ. ටෙලිනාට්‍ය විචාරයේ දී සාහිත්‍ය විචාර මූලධර්මවලට අමතර ව, සංගීතය, නර්තනය, ගායනය ආදිය පිළිබඳ ව ද අවධානය යොමුකළ යුතු බව මේ පොතෙන් හෙළි වේ. මේ කෘතියේ උපග්‍රන්ථයේ තිබෙන ගුවන්විදුලි මාධ්‍යයෙන් ඉදිරිපත් වූ වැඩසටහන් කිහිපයක ආදර්ශ පිටපත් සන්නිවේදනය හදාරන නවකයන්ටත්, පිටපත් රචකයන්ටත් මඟපෙන්වීමක් වශයෙන් ඉතා වැදගත් ය.
මේ ග්‍රන්ථයේ දෝෂයන් කිහිපයක් ද තිබෙන බව පෙනේ. මෙහි කතුවරයා නිරන්තරයෙන් ම වෙනත් ලේඛකයන්ගේ අදහස් අප වෙත ඉදිරිපත් කරයි. එහෙත් ඒවා පිළිබඳ තමා දරන අදහස් ඉදිරිපත් කරන්නේ ඉතා කලාතුරකිනි. එය කෘතියේ තිබෙන එක් දෝෂයකි. අනෙක් අතට මේ කෘතියේ ගුවන්විදුලිය, රූපවාහිනිය යන මාධ්‍යයන් ගැන පමණක් අවධානය යොමු කර තිබීම ප්‍රමාණවත් නොවේ යයි හැඟේ. සන්නිවේදනයේ ප්‍රබල මාධ්‍යයක් වන චිත්‍රපට කලාව සඳහා ද පරිච්ඡේදයක් වෙන්කර තිබුණේ නම් ඉතා අගනේ ය. කෙසේ වෙතත් මේ කෘතිය සන්නිවේදනය සම්බන්ධයෙන් කර ඇති වටිනා ඥාන ගවේෂණයකි.
මෙහි දක්වා ඇති පාදක සටහන් නිසා පාඨකයාට අවශ්‍ය නම් වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා පාදක සටහන්වල සඳහන් ග්‍රන්ථ ද කියවා මේ විෂයය සම්බන්ධයෙන් දැනට පවතින දැනුම තවදුරටත් පුළුල් කරගැනීමට හැකි වනු ඇත. මෙහි කතුවරයා යොදාගෙන තිබෙන ලේඛන ශෛලිය ද පාඨකයන් ඇදගැනීමට සමත් වේ. එබැවින් ආධුනිකයන්ට මෙන් ම, ප්‍රවීණයන්ට මේ ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් නවදැනුමක් ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත.

පිරිත සංගීතවත් කිරීම වැරැදි ක්‍රියාවක්

ආචාර්ය කොටපිටියේ රාහුල හිමි
බෞද්ධ දර්ශනය යනු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයයි. එය ඇතැමුන් විසින් ආගමක් යැයි හුවා දැක්වීමට උත්සාහ කළ ද ආගමක මූලික ලක්ෂණවලින් ඔබ්බට ගිය ආකාරයක් එහි ගැබ් ව තිබේ.
ඉංග්‍රීසි බසින් ආගම (Religion) යන අදහසට බාහිර ව දර්ශනය (Philosophy) යන තේරුමින් එය හැඳින්වීම වඩා නිවැරැදි ය. එයට හේතුව ඒ දර්ශනය කිසියම් සමාජයක් හෝ ජන සමූහයක් හෝ යහ මඟ යැවීමට තරම් ගැඹුරු වීමයි.
කිසිදු බෙදීමක්, පෞද්ගලිකත්වයක් නොමැති ව ලෝකය දෙස, මනුෂ්‍යයා, සත්ත්වයන් මෙන් ම විශ්වය දෙස දාර්ශනික ව බලා කරන ලද විශ්ලේෂණයක් ලෙස ද බුදු දහම හැඳින්විය හැකි ය.
මෙහි ඉතා වැදගත් අංගයක් වන්නේ සංස්කෘතියයි. එය කොටස් දෙකකි.
1. නාම, එනම් සිතුම් පැතුම් හා මානසික වශයෙන් සලකන දෑ
2. රූප, එනම් භෞතිකව පෙනෙන ගොඩනැඟුණු ‘ශරීරය’ වශයෙනි.
මේ නාම හා රූප යන අංශ දෙක කෙරෙහි ම බුදුරජාණන් වහන්සේ වදාළ ගැඹුරු දහමේ මූලික හරය මෙසේ දැක්විය හැකි ය.
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උප සම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධානු සාසනං
මෙහි පළමු වැනි පදයෙන් අදහස් වන්නේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව වන්නේ සියලු පාප ක්‍රියාවන්ගෙන් වෙන්වීමයි. එහි සරල අරුත නම් මානසික මට්ටම පහත වැටෙන ක්‍රියාවන්ගෙන් වැළකීම ය. මනසින් උසස් මිනිසුන් යම් ක්‍රියාවකින් පහත වැටේ නම් එයින් වැළකෙන්න යන්නයි.
කුසලස්ස උපසම්පදා - මනස හැකිතාක් දුරට උසස් මට්ටමින් දක්ෂ ලෙස පවත්වාගෙන යෑම ය. එනම් ස්වාභාවික ව අප මනස පුහුදුන් වැරැදිවල යෙදීමට පෙලැඹෙයි. එය දක්ෂ ලෙස වළක්වාගෙන, සිතෙන, සිතෙන දේ කිරීමෙන් වැළකී සිත පාලනය කරගත යුතුයි.
මෙහිදී අප මතක තබාගත යුත්තේ ආහාර, නිද්‍රා භය, මෛථුන්‍ය ආදී පොදු අවශ්‍යතා මිනිසුන්ට මෙන් ම අනෙක් ජීවීන්ගේ ද අවශ්‍යතා වන බවයි. එහෙත් තිරිසනුන් මෙන් වේලාව අවේලාව තැන නොතැන නොබලා කටයුතු කිරීමෙන් මිනිසා වැළකී සිටියි.
ධර්මෝ හි තේ ශාම් අධිකෝ විශේෂා (තිරිසනුන් ආදී සතුන් ගෙන් මිනිසා විශේෂ වන්නේ ධර්මානුකූල ව සුදුසු නුසුදුසුතා බලා ක්‍රියාවේ යෙදීම පාලනය කළ හැකි නිසා ය) වශයෙන් කියා ඇත්තේ එයයි.
පස් පව් සඳහා සිත යොමුවන විට ශීලාචාර බව, ලැජ්ජාව, යුක්ති ධර්මය, සමාජ අපකීර්තිය වැනි දේ නිසා මනස පහත වැටීමට නොදී, පාලනය කර උසස් දේම යොමු කිරීමෙන් කුසල් රැස් කිරීමට යොමුවේ.
සචිත්ත පරියෝ දපනං - මිනිසාගේ සිත සංවරකර ගැනීම බුදු දහමේ මූලික හරයයි. ඒ හරය තහවුරු කිරීම සඳහා දේශනා කළ ඉතා සාධාරණ තර්කානුකූ®ල න්‍යාය නම් හේතුඵල වාදයයි. එසේ ම චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය කර්මය, පුනර්භවය හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය මගින් ඒ හරය තවදුරටත් අවබෝධ කර ගැනීම පහසු කරවයි.
විශේෂයෙන් ම මූලික සත්‍ය වූ චතුරාර්ය සත්‍යය මගින් යමක පවතින ස්වරූපය හෙවත් දුඞඛ සත්‍ය ද එයට හේතුව කුමක්ද යන්න සොයා ගන්නා සමුදය සත්‍යය ද, ඒ හේතුව නැති කිරීමෙන් ඇතිවන යහපත් ප්‍රතිඵලය කුමක්ද යන්න නිරෝධ සත්‍යය ද ඒ සඳහා යා යුතු මග හෝ ක්‍රමවේදය ‘මග්ග‘ සත්‍ය මගින් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේ.
බෞද්ධ දර්ශනය යන්නෙහි වැදගත්කම වන්නේ කෙලෙස් ප්‍රහීන කර නිර්වාණය ලබා ගැනීමට මෙන් ම එදිනෙදා ජීවිතයේ උද්ගතවන ගැටලු නිරාකරණය කර ගැනීමට ඉතාම සුදුසු මාර්ගෝපදේශය එයින් සැපයීමයි.
මෙවැනි උතුම් වූ දර්ශනයක් වසර දෙදහස් පන්සියයකට වැඩි කලක් ථෙරවාදී භික්ෂූන් වහන්සේ විසින් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන ආවේ ඉතිහාසයේ විවිධ යුගවල ඇති වූ විවිධ බලපෑම් හා ගැටලු බෞද්ධ දර්ශනයට ම අනුකූලව අවබෝධ කර ගනිමින් ඒවා විසඳමින් ය. එහි යම් බැරෑරුම් අවස්ථා උද්ගත වූයේ ත්‍රිපිටකයේ ගැටලු සහගත තැන් ඇතැයි ඇතැම් උගතුන් ප්‍රකාශ කිරීමත් සමඟිනි.
සූත්‍ර හා විනය පිටකය පිළිබඳ ඇතැම් ගැටලු ඉදිරිපත් වුව ද, සමස්තයක් ලෙස ගත් කල මුල් බුදු දහම එහි පවතින බව පැහැදිලි කරුණකි. අභිධර්ම පිටකය බුදු දහම තවදුරටත් අර්ථකථනය කිරීමෙන් අපට ලැබුණු සාහිත්‍යයක් ලෙස සැලකිය හැකි ය.
එනිසා ථේරවාදී බුදු දහම පිළිගන්නේ අභිධර්මය යනු බුද්ධ වචනය ලෙස ය. එහි ගැටලු සහගත තැන් බුද්ධ කාලයේ ම විවරණය කොට ඒවා බුදු රජාණන් වහන්සේ විසින් ඇතැම් අවස්ථාවල අනුමත කරන ලද බවට ද සාක්ෂ්‍ය තිබේ.
නිදසුනක් ලෙස සැරියුත් මහ තෙරණුන් ධම්මදින්නා භික්ෂූනින් වැනි අය වෙත ගොස් තමන්ට අපැහැදිලි තැන් අවබෝධ කරගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ විසින් ඇතැම් පිරිස් ඔවුන් වෙත යැවූ බවත් එහිදී කළ විශ්ලේෂණ උන්වහන්සේ අනුමත කිරීමෙන් බුද්ධ වචනය ලෙස තහවුරු වූ බවත් ඉතිහාසයේ සඳහන් වේ. ඒ නිසා ම ඇතැම් උගතුන් ගේ සැකය සාධාරණ ද යන සැකයක් මතුවේ.
එවන් වූ මූලික ත්‍රිපිටකය ඇසුරින් බුද්ධ ඝෝෂ හිමිගේ කාලයේ අට්ඨ කථා, ලියැවුණේ ධර්මය අවබෝධ කරගැනීමට අපහසු අයගේ පහසුව පිණිස ඉතා ම ක්‍රමානුකූ®ල ව කරන ලද විවරණ ලෙසිනි. ත්‍රිපිටකයේ මෙන් ම අට්ඨ කථාවල ද ගැටලු ඇති බව කීව ද බුදුන්ගේ දේශනා අනුව යමින් සැකැසූ දාර්ශනික සාහිත්‍යයක් සහ ඒ දර්ශනය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමෙන් ගොඩනැගුණු සමාජ සංස්කෘතික ලක්ෂණ පිළිබඳ තොරතුරු ද එහි ඇතුළත් වේ.
ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසින් පසු ව මෙය නිර්මාණය වුණු අටුවා, ප්‍රකරණ, ටීකා සහ ඒ ආශ්‍රිත ව පාලි භාෂාව ඇසුරින් පෝෂණය වූ සාහිත්‍යයක් ද විය. එක් අතකින් පැහැදිලි දහමක් ද අනෙක් අතින් ඒ දහම ඇසුරින් සුපෝෂිත දියුණු සමාජයක් ද අපට ලැබුණේ එමඟිනි.
ඒ සංස්කෘතිය සරල ව ම තේරුම් ගත හැක්කේ වැවයි - දාගැබයි යන්නෙනි. ‘වැව‘ යනු භෞතික දියුණුවයි. එනම් ලෞකික සශ්‍රීකත්වයයි. ‘දාගැබ’ යනු ආධ්‍යාත්මික සශ්‍රීකත්වයයි. අපේ සමාජය තුළ ලෞකික මෙන් ම ආධ්‍යාත්මික සශ්‍රීකත්වය පැවැතුණු බවට ඇති හොඳ ම සාධකය ද එයයි.
1505 න් පසු පරදේසක්කාරයන් බුදු දහමට විවිධ බලපෑම් තර්ජන එල්ල කළේ ද සත්‍යාවබෝධය නිසා හික්මුණු මනසින් යුත් අපේ සංස්කෘතියේ ලක්ෂණ වූ ශීලාචාරකම, ඒකීයත්වය සහෝදරත්වය ඔවුන්ගේ පාලනයට මහත් බාධාවක් වූ නිසා ය. කෙසේ වෙතත් එවක රටේ බිහිවුණු ගිහි පැවිදි පිරිස මේ තත්ත්වයෙන් රට ගොඩගන්නට මහත් සේ කැපවුණු බව ද නොකියා ම බැරි ය.
එසේ බේරාගත් අපේ මෙන් ම ලෝකයේ උරුමයක් වූ බෞද්ධ සංස්කෘතියට නූතනයේ එල්ල වී ඇති බලපෑම විටෙක එදාටත් වඩා දරුණු යැයි සිතිය හැකි ය. ඊට පළමු වැනි හේතුව වන්නේ ඒ ඒ ආගම්වලට අද තම තමන්ගේ අනන්‍යතාව රැක ගැනීමට නොහැකි ව පසුවීම යි.
වසර දහස් ගණනක් අඛණ්ඩ ව ආරක්ෂා කරගත් දර්ශනය හා සංස්කෘතියට, එමෙන් ම ලොව ම පිළිගන්නා පුරාවිද්‍යාත්මක සාධක, සාහිත්‍යය හා ඉතිහාසාත්මක සාධක මෙන් ම ත්‍රිපිටකය වැනි ලිඛිත සාධකවලට අද අභියෝග එල්ල කරන්නේ අපේ ම පිරිස් වීම මෙහි කනගාටුවට කරුණයි.
එමඟින් සාමාන්‍ය ජනතාව තුළ ඇති කිරීමට උත්සාහ කරන සැකය මගින් බෞද්ධ දර්ශනය කෙරෙහි ඇති ගෞරවය හීන කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. බුද්ධ දේශනය හා අභිධර්මය පිළිබඳ නිවරැදි දැක්මක් නැති අර්ථකථන සැපයීමෙන් ඇතැම් පිරිස් ඒ බව සනාථ කිරීමට උත්සාහ දරයි.
නිදසුනක් ලෙස ‘අසපු’ යනු පෙරදිග සංස්කෘතියේ හින්දු ක්‍රමය අනුව සංගීත, වෛද්‍ය, ආදී බෞද්ධ නොවන යම් ලෞකිකත්වයක් තුළ රැඳුණු ආකල්පයකි. පන්සල හා සම්බන්ධ වන්නේ පන්නසාලා, විහාර ආරාම, පරිවේණ ආදිය වේ.
ඒ හැරුණු කොට මෙතෙක් බෞද්ධ සංස්කෘතිය තුළ බුදුන්ගේ කාලයේ හෝ අටුවා කාලයේ හෝ 20 වැනි ශත වර්ෂය දක්වා ම බෞද්ධාරාමවලට අසපු යන්න භාවිත වී නැත. එය සොයා කළ පර්යේෂණවලදී හමු වූයේ The word is not found anywhere in the cannon. යනුවෙනි. එනම් බෞද්ධ අර්ථථයෙන් භික්‍ෂුන් වහන්සේ හට අසපු නැත. එය වෙනස් වූ සංස්කෘතියක වින්දනාත්මක පැතිකඩක් පමණකි.
නමුත් පන්සල තෙරුවන් වැඩි තැන් ය. ආරාම, අධ්‍යාත්මයට ඇලෙන තැන් ය. විහාර, තෙරුවන් වැඩ සිටින, සරලත්වය අගයන, සිත හික්මවීමට මෙහෙය වන තැන් ය.
දෙවැනි කරුණ නම් මෙතෙක් පැවැති බෞද්ධ සංස්කෘතියේ ඇතැම් සිරිත් විරිත්, දානමාන පින්කම්, පිරිත් පින්කම්, ධර්ම දේශනා, සත් දවසේ දානය, අට පිරිකර පූජාව ආදිය පිළිබඳ ඒ පැවැති සංස්කෘතික රාමුවෙන් බොහෝ ඔබ්බට ගොස් විවේචනය කරමින්, එයට වාණිජ අරමුණු සපයමින් ජනපි‍්‍රය කරවීම ය.
තෙවැනුව පිරිත් දේශනය පිළිබඳ ජනතාව තුළ ඇති කිරීමට උත්සහ ගන්නා වැරදි මතයයි. පිරිත යනු බුද්ධ ධර්මයේ ඇතැම් සූත්‍ර දේශනා ගෙන ඒවා නිසි ලෙස ශබ්ද උච්චාරණය කරමින් ස්වර ව්‍යංජන යම් රිද්මයකට හසුරුවමින් මෛත්‍රියේ බලය හා සත්‍යයේ බලය ගොඩනැඟීමයි.
එය පාලි භාෂාවෙන් කරන ලද ක්‍රමානුකූල බන්ධනයකි. එහි බණ වරක අකුරු 8000 බැගින් බණවර හතර සඳහා අකුරු 32000 ක් නිශ්චිත ව ම ගණ පිහිටවා ඡන්දස් අලංකාරවලට අනුව ගොඩනැඟූ සාහිත්‍යයකි.
එවන් වූ වටිනා පිරිත අද ක්‍රම දෙකකින් “බාල්දු” වෙමින් පවතී. පළමුවැන්න පිරිතට සංගීතය සැපැයීමයි. මෙය ලෝක විනාශයක් බඳුයැයි කීවද නිවැරදි ය. හේතුව සංගීතය හා පිරිත යනු ආකාර දෙකකින් බැලිය යුතු අංශ දෙකක් වන නිසා ය. පිරිතෙන් මනස එක් ආකාරයකින් පාලනය කෙරේ. එයට සංගීතය මුසු කිරීම යනු පිරිතේ නිර්මලත්වය පළුදු කිරීමකි.
දෙවැනි ව පාලිය ළාමක වචනවලට යොදමින් සිංහලෙන් පිරිත් කීම ය. එමඟින් සිදු වන්නේ පිරිතකින් ලැබිය යුතු ප්‍රතිඵල නොලැබී යාමයි. මෙහිදී අවධාරණය කළ යුත්තේ අප කුමනාකාරයේ නව නිර්මාණයක් කළ ද යම් දෙයක මූල බීජයට හානි නොකළ යුතු බව ය.
තවත් ආකාරයකින් බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට ගන්නා උත්සාහයක් ලෙස දැකිය හැක්කේ මෙතෙක් පන්සලෙන් පිටත්වන බෞද්ධ පෙරහැර වෙනුවට බෝධි සත්ත්ව පෙරහැර, මාතෘ පෙරහැර, දේව පෙරහැර ආදිය උත්සව ශ්‍රීයෙන් පිටත් කිරීමයි.
අදටත් අපේ පන්සලකින් පිටත්වන පෙරහැරක මූලිකත්වය දිය යුත්තේ බුදු රජාණන්වහන්සේට ය. බුදුන් බුදුගෙයි තබා දෙවියන් පෙරහැරේ වැඩමවන රටක් බවට ක්‍රමයෙන් පත්වීම බෞද්ධ සංස්කෘතියට මහත් හානියකි.
එසේ අවශ්‍ය නම් කළ යුත්තේ දළදා පෙරහැරේ මෙන් මූලික ගෞරවය නිසි ලෙස බුදු හිමියන්ට ලබාදී පසුව දෙවිවරුන් පෙරහැරට එක් කිරීමයි.
මව්වරුන්ට සැලකීම පිළිබඳ ඉතා නිවැරදි ව දක්වා ඇත්තේ බුදු දහමේ ය. එය “මරිය මාතා” උත්සවයක් මෙන් ජන මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කරමින් අපේ සංස්කෘතිය ක්‍රමයෙන් වෙනස් කිරීමට දරන උත්සාහය ද නුසුදුසු එකක් වග සැබෑ බෞද්ධයෝ පිළිගනිති.
ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයට සිදු ව ඇත්තේ ද එවැනි ම අකටයුත්තකි. බලංගොඩ ආනන්ද මෛත්‍රි හිමිපාණන් වැලිවිට සෝරත ස්ථවිරයන් වැනි පණ්ඩිත හාමුදුරුවරුන් පනස් නමක් පමණ වසර 32 ක් පුරා මහන්සියෙන් කරන ලද සංස්කරණය පිරිසිදු සිංහල සහ ධර්මය අඩංගු කර තිබියදී ඇතැම් අය තමන්ට වැටහෙන පරිදි අභිධර්මය පවා පරිවර්තනය කිරීමට පෙලඹී තිබේ.
බුදු රජුන්ගේ කාලයෙන් පසු විවිධ නිකාය ඇතිවීමට ද හේතුව මෙවැනි ම විවිධ වූ අර්ථකථන ධර්මයට ලබා දීමයි. කෙසේ වුවද අද වනවිටත් වාසනාවකට මෙන් මෙරට නිකාය භේදය විහිලුවක් පමණක් වී තිබේ.
කනගාටුවට කරුණ නම් වර්තමානයේ ද එදා මෙන් නිසරු අර්ථකථන නිසා දර්ශනය විකෘති වීමේ තත්ත්වයකට මග පෑදීමයි. එයින් සිදුවන තවත් විශාල හානියක් වන්නේ බුදු දහමෙන් පෝෂණය වන අපේ සාහිත්‍යය ආදී අංග ද විකෘති අයුරින් ගොඩනැඟීමට ඇති ඉඩකඩ වැඩිවීම ය.
ආගමික අනන්‍යතාව රැක ගැනීම ඒ ඒ ලබ්ධිකයන් විසින් නිසි අවබෝධයෙන් යුතුව කළ යුත්තකි. බෞද්ධයන් අන්‍ය ආගමික සංස්කෘතීන් “කොපි” නොකළ යුතුවාක් මෙන්ම අනන්‍යයන් ද බෞද්ධ සංස්කෘතිය අනුකරණය කිරීමෙන් සිදුවන්නේ අදාළ ආගමික සංස්කෘතික වටිනාකම් බිඳ වැටීමයි.
මූලික ආගම්වල පිරිස් පවා මේ සිදුවීම හෙළා දකිනු නියත ය. එයට හේතුව ඒ ඒ ආගම් නිසා ඇතිවූ සමාජ සංස්කෘතීන් හා ඒවා උරුම කරගත් භාෂා ලක්‍ෂණ, වචන, සාහිත්‍යය ආදිය වෙනස්වීම නිසා තම අනන්‍යතාවට හානි වීමයි.
වෙසෙසින් ම බොදු සමාජයේ බිහිවන බොහෝ ගද්‍ය පද්‍ය ආදිය පමණක් නොව සිතුම් පැතුම්වල පවා, උපතේ සිට මරණය දක්වා ම බෞද්ධ දර්ශනය හා බැඳුණු සිරිත්විරිත්වල බලපෑම දක්නට ලැබේ.
ඒ සාහිත්‍යය තුළ ශාස්ත්‍රිය පැතිකඩ මෙන් ම ඉන් බාහිර වූ ජන ජීවිතය පවා හෙළි කරයි. නමුත් සාහිත්‍යයේ පවා අද යම් පසුබෑමක් වේ නම් එයට හේතුව ද අපේ සමාජ සංස්කෘතියට එල්ල වූ බලපෑම් හා විකෘති කිරීම් යැයි සඳහන් කිරීම වරදක් නොවේ.
ඒ සංස්කෘතිය කෙතරම් වටනේ ද යත් අපේ ඇත්තන් අත්තනෝමතික ව ක්‍රියා කරන අතර බටහිර සමාජය බෞද්ධ දර්ශනය හා අදාළ කරුණු තම ජීවිතයට අදාළ කර ගැනීමට දරන උත්සාහය සතුටුදායක මට්ටමින් වර්ධනය වී තිබේ.
මෙවැනි තත්ත්වයක් ඇති ව තිබෙන්නේ බෞද්ධාගමික සංස්කෘතිය තුළ අන්‍යාගම් පහත් සේ සැලකීමක් හෝ හෙළා දැකීමක් සිදු නොවීමයි. ආගමික සහනශීලීත්වය ඉහළින්ම පවතින දර්ශනය බෞද්ධ ධර්මය ලෙස පැවැසීමේ කිසිදු වරදක් නොවේ.
එනිසා ම බරපතළ සංස්කෘතික ගැටුමක් ඇති කරමින් බෞද්ධ දර්ශනය හා බැඳුණු සංස්කෘතියට එල්ල කිරීම මාන බලන බලපෑම මර්දනය කිරීම සඳහා සැබෑ බෞද්ධයන් පෙළගැසිය යුතු කාලය එළැඹ ඇත.