Sunday, July 20, 2014

අපි කනබොන තැන්වල නටන්නේ නෑ

කලාකරු චිත්‍රසේන නව වැනි ගුණ සැමරුම

චිත්‍රසේනට නර්තනය පූජනීය දෙයක් වුණා

ශෘංගාරය මතු කරන්නේ නර්තනය නොදන්න අය

අපි කනබොන තැන්වල නටන්නේ නෑ

චිත්‍රසේනගේ නර්තන මෙහෙවර ගැන වජිරා කතා කරයි

නර්තන‍යේ අපූර්ව මිනිසා

ආචාර්ය චිත්‍රසේනයන් විසින් උර දෙන ලද ඓතිහාසික කාර්යය වන්නේ අපේ දේශීය නැටුම් කලාව වෙනස් වන සමාජ රටාවන්ට උචිත වන ආකාරයට එහි මුල් නොසි‍‍ෙඳෙන සේ, නව ආරකින් පවත්වාගෙන යාමේ අභියෝගයයි. කලාව මෙන්ම කලාකරුවාද ස්වාධීන විය යුතුය යන්න චිත්‍රසේනයන් ඔප්පු කළේ භාවිතාවෙන්මය. මේ ගෙවෙන්නේ චිත්‍රසේනයන්ගෙන් තොර නව වන වසරයි.
ශ්‍රි ලාංකික නර්තන කලාවේ අභිමානය ලොවට ගෙන ගිය ප්‍රමුඛ කලාකරුවා වන චිත්‍රසේනයන්ගේ නවවන සැමරුම අදට යෙදි තිබේ. දේශීය නර්තන කලාවේ ආභාෂය ලබමින් චිත්‍රසේනයන් නවතම කලා මාධ්‍යයක් ලෙස මුද්‍රා නාට්‍ය ගොඩනැංවූ ආකාරය හා නර්තන කලාවේ අනාගතය, සමකාලින ප්‍රවණතා ගැන චිත්‍රසේනයන්ගේ නර්තන සහකාරිය හා ජීවන සහකාරිය වූ ප්‍රවීණ නර්තන ශිල්පිනී වජිරා චිත්‍රසේන දැක්වූ අදහස් මෙසේය.
l චිත්‍රසේනයන් සිය ‍රංගනයේ මෙහෙවර හැටියට සැලකුවේ කුමක්ද?
එයාට වුවමනා වුණේ අපේ නර්තනය වෙන කිසිම රටක තියෙන නර්තනයට දෙවෙනි නොවන උත්තම කලාවක් කියල පෙන්වන්නයි. චිත්‍රා, අපේ සම්ප්‍රදායික නර්තනයත් ඉන්දියාවට ගිහින් පෙරදිග නර්තනයත් හැදෑරුවා. ඊට පස්සේ ඒ දැනුම යොදාගෙන නව නිර්මාණ කළා.
අපේ සම්ප්‍රදායික නර්තනය ගැන වගේම නැටුම් ගුරුවරුන් ගැනත් චිත්‍රාට විශාල කැක්කුමක් තිබුණා. ඔවුන් රැකගත යුතුයි කියලා එයා කල්පනා කළා. බලාපොරොත්තු තැබිය හැකි ගුරුවරුන් හා ශිල්පීන් හඳුනාගන්න එයාට හැකියාවක් තිබුණා. ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට උදව් කළා.
නර්තනය ඉගැන්වීම පිළිබඳ පුහුණු ක්‍රම දියුණු කිරීම ඔහුගෙන් ඉටුවූ තවත් මෙහෙවරක්. මේ සියල්ල අතරින් මම හිතන්නේ ඔහු නර්තනය‍ට දැක්වූ ලොකුම උපහාරය තමයි එහි ගෞරවණීයත්වය ආරක්ෂා කිරීම. ඒ වගේම නර්තන ශිල්පීන්ට වෘත්තික පදනමක් ඇති කිරීම.
l චිත්‍රසේන නර්තන ආරම්භයේදි එයට පාරම්පරික ශිල්පීන්ගේ දායකත්වය ලබා ගත්තෙ කොහොමද?
චිත්‍රා... පිට පළාත්වල තියෙන ශාන්ති කර්ම බලන්න යනවා. ඒවායේදි හමුවෙන දක්ෂ නර්තන ශිල්පීන් අපේ කණ්ඩායමට බඳවා ගත්තා. ජේ.ඊ. සේදරමන්, අම්බලන්ගොඩ ආරියපාල ගුරුන්නාන්සේ ඒ විදිහට අපේ කණ්ඩායමට සම්බන්ධ වූ සාමාජිකයින්.
පහතරට නර්තනය අපේ නර්තන කණ්ඩායමට එක් කළේ ආරියපාල ගුරුන්නාන්සේ. සේදරමන් ගුරුන්නාන්සේගෙන් උඩරට නැටුම් ගැන නිපුණතාව ලැබුණා. ඔවුන් ප්‍රචලිත නැට්ටුවන්. ඒ විදිහට අපි සමඟ සම්බන්ධ වූ පාරම්පරික නර්තන ශිල්පීන්, ඔවුන්ගෙන් පසු පරම්පරාත් අප සමඟ වැඩ කළා. විදේශ සංචාරයන්ට සම්බන්ධ වුණා. එයින් ඔවුන්ගේ නම පිටරටවලත් ප්‍රසිද්ධ වුණා.
l මේ වන විට නර්තනය මුළුමනින්ම පාහේ ස්ත්‍රීන් නිරත වන කලාවක් බවට පත්වීම ගැන ඔබේ අදහස කුමක්ද?
ඒක දෛවයේ සරදමක්. ආරම්භයේදී නර්තනය ස්ත්‍රින්ට තහනම් කලාවක්. නර්තන ශිල්පිනියන් දිහා සමාජය බැලුවේ වපර ඇහින්. ඒ තත්ත්වය වෙනස් කරන්න අපේ දායකත්වයත් බලපාන්න ඇති. බාලිකා පාසල්වල නර්තනය විෂයක් හැටියට ඉගැන්නුවා තමයි.
මමත් මුලින්ම නැටුම් ඉගෙන ගත්තේ කොල්ලුපිටිය මෙතෝදිස්ත පාසලෙන්. නර්තනය පාසැල්වල ඉගැන්වුවත් වෘත්තික නර්තන ශිල්පින්යන් වෙන් කවුරුවත් කල්පනා කළේ නැහැ. නර්තනයේ පුරුෂ පක්ෂයේ සම්මාදම නැත්නම් තාණ්ඩව ස්වභාවය මතු වෙන්නේ නැහැ. ඒනිසා නර්තනයේ පැවැත්මට නැට්ටුවන් බිහිවිය යුතුයි. මම හිතන්නේ නර්තනයට පිරිමි පක්ෂය සම්බන්ධ නොවීමට හේතුව ආර්ථික කාරණාවක්.
l මේ තත්ත්වය දිගටම තිබුණොත් පාරම්පරික නර්තනය පවත්වාගෙන යන්න දක්ෂ ශිල්පීන් නැතිවේවි. ඔවුන් නර්තනය තුළ රඳවා ගන්න කිසියම් වැඩපිළිවෙළක් අවශ්‍යයි කියලා ඔබ කල්පනා කරනවද?
ඒ වගේ වැඩපිළිවෙළක් අවශ්‍යයි කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම අපි තරුණ දක්ෂ නිර්මාණකරුවන් ගොඩනඟා ගන්න හා ඔවුන් ආරක්ෂා කර ගන්න ‘ගිෆ්ට් ඔෆ් ඩාන්ස්’ හා ‘ප්‍රෙසව් ද ඩාන්ස්’ නමින් වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කරනවා.
l මේ වැඩසටහන යටතේ ඉගෙන ගන්න ශිෂ්‍යයන් තවදුරටත් චිත්‍රසේන පදනම සමඟ වැඩ කරනව කියලා එකඟතාවක් තියෙනවද?
ඔවුන් අපි එක්ක දිගටම වැඩ කරනවා කියලා දෙයක් නැහැ. ඔවුන්ට අවශ්‍ය නම් අපේ කණ්ඩායමට සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් ජීවත්වන පළාත්වල කලායතන ආරම්භ කරන්න පුළුවන්. අපි ස්වාධීනව වැඩ කරන්න තියෙන ඉඩ අහුරලා නැහැ. ...... ‍ ‍‍‍‍‍කුරුල්ලෝ කොහොමත් ඉගිලිලා යනවා. නමුත් ඔවුන් දිගටම නර්තනයේ රැ‍ඳෙනව නම් ඒක අපේ බලාපොරොත්තු ඉටු කිරිමක්.
l කාන්තාවන්ට වෙස් බැඳීම තවමත් සමාජයේ විවාදයට ලක්ව තිබෙන මාතෘකාවක්. එය තවදුරටත් තහනම් දෙයක් විය යුතුය කියලා ඔබ විශ්වාස කරනවාද?
ඒ කාලේ වුණත් ඒකට අභියෝග කරපු අය හිටියා. චන්ද්‍රලේඛා නාටිකාංගනාව වෙස් බැන්දා. නමුත් මම උඩරට නැටුම් ‍ඉගෙන ගන්නට වෙස් බඳින්න ගියේ නැහැ. අපි වෙස් තට්ටුව වෙනුවට නලල් පටක් බැන්දා.
l නර්තනය වර්තමානයේ ස්ත්‍රී ශෘංගාරය මතු කරන කලාවක් බවට පත්වීම ගැන ඔබ හිතන්නේ කුමක්ද?
ආරම්භයේ සිටම අපේ පරමාර්ථය වුණේ අපේ නර්තනය දියුණු කිරීම ගැනයි. සෙක්සි ඩාන්ස් පෙන්වලා මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න අපි කල්පනා කළේ නැහැ. ඇත්තටම ඒවා බාල උපක්‍රම.
කලාවක නිපුණතාව නැති අය‍ ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගන්න අවසානයේ පිහිට පතන්නේ විජ්ජාවල. ශෘංගාරය මතු කිරීමත් ඒ වගේ දෙයක්.
l නර්තනය වාණිජකරණය වීම ගැන ඔබේ අදහස කුමක්ද?
නර්තනය කියන්නේ පූජනීය දෙයක්. ඒක චිත්‍රසේනත් විශ්වාස කළා. ‘කන බොන තැන්වල නටන්නේ නැහැ’ කියන දේ චිත්‍රසේනගේ ප්‍රධාන ප්‍රතිපත්තියක්. අපි ඒක තදින්ම පිළිගන්නවා.
l චිත්‍රසේන පදනම දේශීය වශයෙන්ම මෙන්ම අන්තර්ජාතික වශයෙනුත් දේශීය නර්තනය නියෝජනය කරමින් විවිධ රඟ දැක්වීම් කර තිබෙනවා. ඒ අතර සාද තිබුණේ නැද්ද?
අපි නැටුවේ නැටුමට ගෞරවයක් ලැබෙන අපිට ගෞරවයක් ලැබෙන තැන්වල පමණයි. අපි කවදාවත් ‘කන බොන තැන්වල නටලා නැහැ’.
නේරු, චෝ එන්ලායි, ඉන්දිරා ගාන්ධි වගේ රාජ්‍ය නායකයන් පැමිණි අවස්ථාවල බණ්ඩාරනායක අගමැතිතුමා නර්තන ඉදිරිපත් කරන්න අපිට ආරාධනා කළා. අපි ඒ අවස්ථාවලදී අරලියගහ මන්දිරයේ වෙනම මණ්ඩපයක වේදිකාවක් මත නර්තන ඉදිරිපත් කළා. ඒක නර්තන දර්ශනයක්.
ෂෝ එකෙන් පස්සේ වෙනත් තැනක අමුත්තන්ට ආහාර ගැනීමට පහසුකම් සලසා තිබුණා. අපි සාද අතර නටන්න නොගියෙ එයින් කලාවෙ ගෞරවය නැති වෙන නිසයි.
l ප්‍රභූන් පිළිගැනීම සඳහා නර්තනය යොදා ගැනීම ගැනත් ඔබ දරන්නේ ඒ අදහසම ද?
චිත්‍රසේනත් කවදාවත් ඒ වගේ දේවල් කළේ නැහැ. මම වුණත් ඒක අනුමත කරන්නේ නැහැ. අපි හැමදාම නැටුවේ වේදිකාව මත පමණයි. තාමත් යන්නේ ඒ පිළිවෙළටම තමයි. සල්ලි කීයක් දෙනවයි කිව්වත් අපි කවදාවත් ‘කන බොන තැන්වල’ නටන්නේ නෑ. ඒ වගේම ‘උපහාර පෙරහැර’ සඳහා නර්තනය යොදා ගන්නෙත් නැහැ.
l චිත්‍රසේන වජිරා පදනම මෙරට ඉහළම වෘත්තික නර්තන කණ්ඩායම හැටියට විදේශ සංචාරවලදී ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබුණා නේද?
එවැනි ඉඩක් තිබුණා. නමුත් අපි මුල් තැන දුන්නේ මුදල් ඉපැයීමට නෙවෙයි. අපි නර්තන දර්ශන පැවැත්වුවේ නොමිලේ කියලා මම කියන්නේ නැහැ. අපි මුදල් අය කළා. ඒත් ඒක ඉහළ මිලක් නෙවෙයි. චිත්‍රාවත් මමවත් කවදාවත් නර්තනයෙන් හම්බ කළේ නැහැ. අපි දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් කවදාවත් රංගනයට දීමනා ලැබුණේ නැහැ. අපි ඒවා ගැන හිතුවා නම් මේ කාර්යය කරන්න ලැබෙන්නේ නැහැ.
l චිත්‍රසේන කලායතනය විවිධ දේශීය රංග සම්ප්‍රදායන් ඒකරාශී කොට නව නිර්මාණ බිහි කිරීමට උනන්දුවක් දැක්වූවත් වෙනත් රංග කණ්ඩායම් සමඟ හවුල් නිර්මාණ කිරීම සඳහා උනන්දුවක් දැක්වූයේ නැත්තේ ඇයි?
එකතුවීම සමානයත් සමඟ විය යුතු දෙයක්. අපි ඒ විදිහට සමාන අදහස් දරන අයත් එක්ක එකතුව වැඩ කරලා තියෙනවා. ඉන්දියාවේ නේත්‍රග්‍රාම් නාට්‍ය කණ්ඩායම සමඟ එකතුව අපි දැනටත් නිර්මාණ කරනවා. ඔවුන් විශේෂිත ගුරුකුලයක්. ඒ අය වාණිජ පරමාර්ථ සමඟ නර්තනය පටලවා ගන්නේ නැහැ. එහි සාමාජිකයන් ග්‍රාමය තුළම ජීවත් වෙමින් නර්තනයේ යෙදෙනවා.
අපි ඔවුන් එක්ක වැඩ කරන්න අනිත් හේතුව තමයි ඔවුන් නියෝජනය කරන නර්තන සම්ප්‍රදාය. නේත්‍රාග්‍රාම් නර්තන කණ්ඩායම වැඩ කරන්නේ ඔරිස්සා රංග සම්ප්‍රදායත් එක්කයි. ඒ නැටුම් ශිල්පය හරියට උඩරට නැටුමේ ස්ත්‍රී නැටුම කියන්න පුළුවන්. ඉතින් අපිට තේරුම් ගියා ඔවුන්ගේ නැටුමත් අපේ නැටුමත් සම්මිශ්‍රණය කිරීම ඵලදායි කියලා.
අපේ දක්ෂ ශිල්පීන් නේත්‍රාග්‍රාම්වලට ගිහින් ඉගෙන ගන්නවා. නවාතැන් පහසුකම් වියදම් ඔවුන් දරනවා. අපි වරකට මේ වැඩසටහන සඳහා යොමු කරන්නේ 7 - 8 දෙනෙක්. මොකද ඒ මිනිස්සුත් වැඩ කරන්නේ දුෂ්කරතා මධ්‍යයේ. කරදර කරන එක හරි නෑනේ.

නර්තනයේ අනාගතය
පරපුරු තුනක් වජිරා - උපේකා - උමදන්ති
ඡායාරූපය - ලක්ෂ්මන් නඩරාජා
චිත්‍රසේන කලායතනය ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික නර්තනය පිළිබඳ පැරැණිම හා වඩාත්ම ප්‍රසිද්ධ පාසලය. එය ආචාර්ය චිත්‍රසේනයන් විසින් ආරම්භ කරන ලද්දේ 1944 දී ය. දේශීය නර්තන කලාව වෙනුවෙන් දැඩි සේ ඇප කැප වූ නර්තන ශිල්පීන් හා ප්‍රාසාංගික කලාකරුවන් බිහිකිරීම හා ඒ සඳහා අවශ්‍ය ශිල්පීය නිපුණතාව හා පුහුණුව ලබාදීම කලායතනයේ අරමුණයි. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික නර්තනය ඉගැන්වීම පිළිබඳ පළමු විෂය නිර්දේශය හා ව්‍යුහගත පුහුණු වැඩසටහන සකස් කරන ලද්දේ චිත්‍රසේන, වජිරා දෙපල විසිනි.
චිත්‍රසේන කලායතනය, චිත්‍රසේන නර්තන සංසදය පාලනය කරනු ලබන්නේ 1982 සමාගම් පනත යටතේ ලියාපදිංචි පුණ්‍ය ආයතනයක් වන චිත්‍රසේන වජිරා පදනම මඟිනි.
ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තනය අන්තර්ජාතික වශයෙන් සම්භාවනීයත්වයට පත් කලා මාධ්‍යයක් බවට පත්කිරීම සඳහා වෙහෙසුණු මෙම දෙපළගේ මඟපෙන්වීම යටතේ නර්තනයේ විශිෂ්ටත්වයට පත් ශිල්පීන් දහස් ගණනක් ඉකුත් දශක හත තුළ බිහිව ඇත. පදනම විසින් ලබා දෙන ලද නිවැරැදි මඟපෙන්වීම යටතේ පෝෂිත වූ ඔවුන් සංස්කෘතික තානාපතිවරුන් බවට පත්ව ශ්‍රී ලාංකේය නර්තනයේ අභිමානය දසත රැගෙන යාමේ භාරදූර කාර්යයෙහි නියැලෙති.
චිත්‍රසේන උරුමය
ශ්‍රී ලාංකීය දේශයේ නර්තන කලාවේ උරුමය සොයා පාදා ගැනීමේ පු‍රෝගාමී කටයුත්තට මුලික වූයේ ආචාර්ය චිත්‍රසේනයන්ය. එතුමන්ගේ දැක්මට අනුප්‍රාණයක් වු වජිරාවන්ගේ හා දියණියන් වන උපේකා හා අංජලිකාගේද මිණිබිරියන් වන හේෂ්මා හා උමි, තාජිගේ කැපවීම මත චිත්‍රසේන පදනම සිය මෙහෙවර අභිමානවත් ලෙස සිව්වන පරපුර දක්වා ද රැගෙන යාමට සමත්ව ඇත. සප්ත දශකයක් ඉක්මවා ගිය එම මෙහෙවර චිත්‍රසේන ලේ උරුමයෙන් ඔබ්බට ගෙන යාමේ අවශ්‍යතාව චිත්‍රසේනයන්ගේ අනුප්‍රාප්තිකයන් හඳුනා ගැනීම සම්ප්‍රදායික නර්තනයේ ආයුෂ තවත් කලකට සහතික කරවයි.
නර්තනයේ ඉදිරි පැවැත්ම අරභයා මතුව ඇති අභියෝග ගැඹුරින් වටහාගත් චිත්‍රසේන දෙවන හා තෙවන පරපුර නර්තනය ව්‍යාප්ත කිරීම සඳහා සිය මෙහෙවර පුළුල් කොට ඇත.
“නර්තන සුරක්ෂාව” වැඩසටහන
මෙරටට අනන්‍ය සම්ප්‍රදායික නර්තනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම මනාව වටහාගත් චිත්‍රසේන පදනම ඒ සඳහා නව පරපුර නර්තන ක්ෂේත්‍රයට යොමු‍වීමේ අවශ්‍යතාව හැඳින ගනී. නව පරපුර නර්තනයට යොමුවීමට නම් එය ඔවුන්ට සුරක්ෂිත වෘත්තියක් බවට පත්විය යුතුය. නිපුන ශිල්පියෙක් බිහිකිරීම දින හෝ සති අනුව තීරණය වන කාර්යයක් නොවන හෙයින් ඒ සඳහා වසර ගණනාවක දුෂ්කර ව්‍යායාමයක යෙදිය යුතුය. ශිල්ප ඥානය සොයා යාමේ දැඩි කැපවීමකින් පැවැති තරුණ තරුණියන් සොයා ගොස් ඔවුන්ට නොමිලේ නර්තන දායාදය ලබා දෙන අතරම පුහුණු කාලය තුළ සුරක්ෂිත ආර්ථික පදනමක් ඇති කිරීමටද චිත්‍රසේන පදනම අදහස් කරයි. මේ යටතේ දැනට සිසුන් දස දෙනෙක් තෝරාගෙන පුහුණුව ලබා දෙන අතර ඔවුන්ට වසර දෙකක (2) පුහුණු කාලය සඳහා මසකට 3000 ක දීමනාවක් ලබා දේ.
“නර්තන දායාදය” වැඩසටහන
වෘත්තික නර්තන ශිල්පීන් ලෙස හා ගුරුවරුන් ලෙස කටයුතු කිරීමට අදහස් කරන ශිල්පීන් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙහිදී සතියට දින 03ක් නර්තනය හා බෙර වාදනය ඉගැන්වෙන අතර වසර දෙකක අධ්‍යයන කාලයකින් යුක්තය. පුහුණු කාලයේ දී ඔවුන්ට මසකට 10,000ක දීමනාවක් ලබාදේ. පුහුණුවෙන් පසු පදනමට සම්බන්ධව කටයුතු කළ හැකි අතර සිය කැමැත්ත අනුව ස්වාධීන ශිල්පීන් ලෙස නිර්මාණකරණයෙහි යෙදීමේ අවස්ථාවද හිමිවේ.
මෙම වැඩසටහන් සඳහා සම්බන්ධවීමට ද එය පවත්වාගෙන යාම සඳහා ද නර්තන හිතෙෂීන්ගෙන් චිත්‍රසේන වජිරා පදනම සහය බලාපොරොත්තු වෙයි.

ලාංකේය මුද්‍රා නාට්‍යයේ චිත්‍රසේන මුද්‍රාව
රබින්ද්‍රනාත් තාගෝර්යන්ගේ නෘත්‍ය නාටකය වූ “ශාප්මෝචන්” ඔස්සේ ඇති වූ නෘත්‍ය නාටක පිළිබඳ ප්‍රබෝධය ලාංකේය මුද්‍රානාට්‍ය කලාවක් සඳහා පසුබිම සකස් කළේය. මුද්‍රානාට්‍ය කලාව මෙරට ස්ථාපිත වීමටත්, ප්‍රචලිතවීමටත් හේතු වු‍ෙය් චිත්‍රසේන වජිරා දෙපළ කළ නිර්මාණයන්ය. දශක හතක් ඉක්මවා යන ඔවුන්ගේ නිර්මාණ මුද්‍රාවේ ඉසියුම් තැන් කිහිපයක් මෙසේ දක්වමු.
විදුර - 1943 දී ප්‍රදර්ශනය විය. චිත්‍රසේනගේ මුල්කාලීන මුද්‍රා නාට්‍යයකි. විදුර ජාතකය ඇසුරින් සකස් වූවකි. ඉන්දියානු නෘත්‍ය නාටක හා භාරතීය නර්තනයේ බලපෑම දක්නට ඇත.
චණ්ඩාලි - චණ්ඩාලි කුලියේ තරුණියක් ආනන්ද හිමියන්ට ප්‍රේම කිරීම හා එයින් ඇතිවන ගැටුම මුල් කරගත් බෞද්ධ පුරා වෘත්තය ඇසුරින් නිර්මිත මුද්‍රා නාට්‍යයකි. චිත්‍රසේනයන්ගේ මුල් කාලීන (1952) නිර්මාණයකි. එහි නව නිෂ්පාදනය 1996 දී වජිරා විසින් කරන ලදී.
නල දමයන්ති - චිත්‍රසේනයන්ගේ මුල් කාලීන නිර්මාණයන්ගෙන් වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූහ. පරිනත නිර්මාණය මෙයයි. මහාභාරතයේ පෙම්කතාව මෙයට පාදකව ඇත. 1951 දී මුල්වරට නිෂ්පාදනය කළ අතර එහි නව නිෂ්පාදන කිහිපයක්ද බිහිව ඇත.
සාම විජය - විදේශ රටක රඟ දක්වනු ලැබූ ප්‍රථම ලාංකේය මුද්‍රා නාට්‍ය නිර්මාණය මෙයය. රුසියාවේ හා චෙකොස්ලෝවැකියාවේ රඟ දක්වා ඇත. පිටපත තේජා ගුණවර්ධනයෝය. ලෝක සාමය තේමා කරගත් මෙම නිර්මාණයෙන් මුල්ම මිනිසා හා ගැහැනියගේ සිට ලෝකය විකාශය වූ අයුරුත් මිනිසාගේ බල තණ්හාව නිසා යුදවාදී තත්ත්වය මත න්‍යෂ්ටික විනාශයක අභිමුවට ජගත් ප්‍රජාව පත්ව ඇති අයුරුත් මෙම නිර්මාණයෙන් කියවේ.
කරදිය - ශ්‍රී ලාංකික අනන්‍යතාව ප්‍රබල ලෙස නිරූපණය කෙරෙන නිර්මාණය මෙන්ම දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ වේදිකාගත වූත් අතිශයින්ම ජනප්‍රිය වූ නිර්මාණය කරදියය. ධීවර ජීවිතයේ ඛේදජනක තත්ත්වය මෙයින් නිරූපිතය. රුසියාවේ “බොල්ෂෝයි” රඟහල ඇතුළු විදේශීය රඟහල ගණනාවක ප්‍රදර්ශනය කෙරී ඇත. අවස්ථා කිහිපයකදී නව නිෂ්පාදන බිහිව ඇත.
කිංකිණි කෝලම - ජන නාට්‍ය ලක්ෂණ සහ ලාංකික නර්තන උඩ, පහතරට නර්තන සම්ප්‍රදායන්ගේ ලක්ෂණ මනාව උකහාගත් උපහාස මුද්‍රා නාට්‍යයකි. නාට්‍යමය ඉදිරිපත් කිරීම අතින් ඉදිරිගාමී උත්සාහයකි. දුරස්ථිකරණ ලක්ෂණ යොදා ගෙන ඇත. කුල භේදය පිළිබඳ ගැටලුව සාකච්ඡාවට ලක් කෙරෙන මෙම චිත්‍රසේන නිර්මාණය මුල්වරට වේදිකාගත වූයේ 1975 දීය.

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.