Tuesday, August 5, 2014

දළදා පුදට ලියැවුණු ගී










බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප‍්‍රමාණ වූ බුදු ගුණයන් වෙනුවෙන් 

බෞද්ධයන්ගේ භක්ත්‍යාදරයට පාත‍්‍ර වූ පූජනීය ස්ථාන කීපයක් වේ. 

ඒවා අතර ශ‍්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටි සෙංකඩගලපුර දළදා මාලිගාව සුවිශේෂී වෙයි. ඒ හා අනුබද්ධ ජාතික චාරිත‍්‍ර ධර්ම අධ්‍යයනය කර බලන විට සුවිශේෂ වශයෙන් ඒ තුළ දක්නට ලැබෙන ජාතික හර පද්ධතිය හඳුනාගත හැකි වේ.

මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ වර්තමාන ගීත රචකයන් පූජනීය ස්ථානයක් වූ දළදා වහන්සේ ඇසුරු කර ගනිමින් බිහි කර ඇති නිර්මාණ පිළිබඳව අධ්‍යයනය කිරීමයි. ජාතික හදවත වූ දළදා වහන්සේගේ අතීත පුරාවෘත්තය දාඨාවංසය නම් වූ කෘතියේ අවධාරණය කරනු ලබන අතර වර්තමාන ගීත නිර්මාණකරුවන් විවිධ දෘෂ්ටි කෝණ වලින් මේ දෙස බලා තිබේ.

සුනිල් සරත් පෙරේරා අතින් රචනා වුණු සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ සංගීතය මුසුවූ ඔහු ගයන යට දැක්වෙන ගීතය මගින් ශ‍්‍රී ලංකාද්වීපයම දළදා වහන්සේගේ නායකත්වය යටතේ ගොනුවන බව පවසයි. දළදා වහන්සේගෙන් තොර ලංකා දිවයිනක් සිතීමටවත් අපහසුය.

 

මගේ රටට දළදා හිමි සෙවනයි

මගේ දැයට දළදා හිමි සරණයි

සැපතින් සපිරුණු නිවහල් දෙරණයි

උපතින් මා හට මේ සැප උරුමයි

රටද ජාතියද සැපතින් ආඪ්‍ය වී නිවහල් බවින් යුක්ත වූයේ දළදා වහන්සේ නිසාවෙනි. උපතින්ම මට උරුම වූ මේ අභිමානය මගේ පුණ්‍ය මහිමය නිසා සිදු වූවකි. දළදා හිමිගේ සෙවණ නිතර හිතට සැනසුමක් ලඟා කරවයි.

 

දළදා මැදුරේ රන්කොත මුදුනේ

මිණි කිරණින් මුළු රටම අවදිවේ

දෙදහස් වසරක මහරු අතීතය

සීහ තේජසින් යළි පිබිදේ

මේ හැම මේ දැන් එක ලෙස බැඳුණේ

සිත් තුළ බිය සංකා දුරු කෙරුණේ

වර්තමාන සමාජය තුළ මෙම ගීතය අතිශයින් ජනප‍්‍රිය වූවක් විය. සිංහල ජාතියේ අභිමානයද රටෙහි පෞඩත්වය කියාපාන මෙය මුළු රට අවදි වන්නෙ දළදා මැදුරේ රන්කොත මුදුනේ මිණි කිරුළින් බව කීම දළදාව හා බැඳුණු ජාතිකත්වය කෙබඳු ද යන්න වටහා ගත හැකි වේ.

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ පද රචනයක්වන උත්තම මුණි දළදා ගීතය සනත් නන්දසිරිගේ සංගීත නිර්මාණයට ධර්මදාස වල්පොළ ගායනා කරනු ලබයි. එහි පළමු පදය මෙසේ දැක්විය හැකිය.

 

උත්තම මුණි දළදා වඩම්මන

මොක්පුර රන් නෞකා බලන් සකි

සත් සමුදුරු ගැඹරේ

උදේනි රජ පුත් දන්ත කුමරුවන්

උදේනි රජ දූ මාලි කුමරියන්

කෙස් කළඹේ සඟවා හිසින් ගෙන

උත්තම මුණි දළදා වඩම්මන

දළදා වහන්සේගේ අතීත පුරාවෘත්ත හා කෙමෙන් කෙමෙන් ස්ථාන මාරු වී ගිය අයුරුත් ගෞරවාන්විත පසුබිමක ලා විවරණය කරයි.

 

තඹවන් වැල්ලේ මල් වැහි වස්සන

නිසි කල රන්ගොයමේ කිරි වද්දන

යනාදී පද මගින් තම්බපන්නි දීපය අසිරිමත් දිවයිනක් බවට පත්වූයේද නිසි කළ කුඹුරු පිටි අස්වද්දන යායක් පිරුණේත් දළදා අනුහසින්බව කවියා කියයි. ආචාර්ය අජන්තා රණසිංහයන් දළදා මැදුර තේමා කරගෙන සුවිශේෂ ගීත රචනා කීපයක්ම රචනා කර ඇති බව පෙනේ.

රඹුකන සිද්ධාර්ථ හිමියන්ද දළදා මැදුර පිළිබඳව ගීත කීපයක් රචනා කරනු ලැබූහ. ඉන් එක ගීතයක තේමා වී ඇත්තේ ශ‍්‍රී දළදා මැදුරට එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය පිළිබඳවයි.

දළදා මැදුර යනු බෞද්ධ ප‍්‍රජාවගේ ආගමික හදවතය. දළදා මැදුරට හානියක් කිරීම පවා එබදු සිතිවිල්ලක් සිතට නගා ගැනීම පවා බෞද්ධ කෙනෙකුට අකැප සිතිවිල්ලක්ය. නමුත් එබඳු දෙයක් සිදු විය. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරන සමාජයේ උන් වහන්සේ මරණයට පත් කිරීම සඳහා ගල් පෙරලණු ලැබුවේ දේවදත්ත හිමියන් විසිනි. දුනුවායන් යෙදීම සහ නාලාගිරි ඇතා එවීම වැනි කි‍්‍රයාවන් පිළිබඳව මෙසේ සඳහන් වෙයි.


මැරුව මුණි මහතා - බුදු බව ලැබෙයි සිතා

කළ අනුවණ සිතා - ඇරවී නාලාගිරි මතැතා

දළදා මැදුරත් අපට බුදු හාමුදුරුවන් වගේය. දළදාවට යමෙක් හානියක් කරනවා නම් ඒ දේවදත්ත පරපුරේ කෙනෙක්ම විය යුතුය. මන්ද අන්‍ය කෙනෙකුගෙන් එබන්දක් සිදු විය නොහැකි නිසාය.

 

සිරි සම්බුද්ධ සාසනේ

වන්දනීය පූජනීය

දන්ත ධාතු රාජනේ

සමාවෙන්න දෙව්දතුන්ට යළිත් වරක්

වැරදීමක් වෙන්න ඇති අනේ

පද – රඹුකන සිද්ධාර්ථ හිමි

හඬ - සුනිල් එදිරිසිංහ

ස්වර - රෝහණ වීරසිංහ

සසර දනව්ව පිට – 45

මිනිසා විසින් තමන්ගේ කුරිරුකම නිසා මෙබඳු හිංසා පීඩා කරනු ලබයි. තමා සිදු කර ගනුලබන පාපයෙහි වරද ඔහුට නොවැටහෙයි. නොදැන කළාවූ වරද වෙනුවෙන් සමාවී වදාරණ සේක්වා. මෙම සාවද්‍ය කි‍්‍රයාව සිදුවී ඇත්තේ දේවදත්ත පරපුරේ කෙනෙකුගෙන් විය යුතුය. එදා බුදුන් දවස ද දේවදත් හට වැරදි සිදු වුණේය. මෙවරත් මේ සිදුවී ඇත්තේ එබඳුම කි‍්‍රයාකාරීත්වයකි. ගීතය පුරාම කියවෙන්නේ සාමාන්‍ය මිනිසා තුළ දළදා මාලිගාව පිළිබඳ ඇති ශ‍්‍රද්ධා භක්තියත් මේ සිදු වූ සංහාරයේ පාපතර කි‍්‍රයාවත් පිළිබඳවය. පූජනීය අර්ථයට වඩා ගීතය මගින් අවධාරිත වන්නේ සිදු වූ වරද වෙනුවෙන් සමාව අයැදීමය.

රඹුකන හිමියන් විසින් ලියන ලද යට දැක්වෙන ගීතය ද ලියවී ඇත්තේ දළදා වහන්සේ පිළිබඳව ඇති අනන්ත අප‍්‍රමාණ භක්තිය හෙළිදරව් වන ආකාරයටය. බෞද්ධයන්ට දළදා වහන්සේ දැකීම ජීවමාන බුදුහිමියන් දැකීම වැනි කි‍්‍රයාවකි. බුදුරදුන් දුටුවා සේ අචල භක්තියක් බෞද්ධයකු හට ඇති වන්නේ

 

සම්බුද්ධ රාජ ධර්ම මණ්ඩලේ සරනා

දන්ත කුමරු හේමමාලි සිහසුන වටිනා

මහපෙරහර දෙව්ලොව සිරි මිහිබට ලෙසිනා

බලන් ඇසල සඳපානේ

දළ ඇතු පිට දා කරඬුව බුදුරජ සේමා

පද – රඹුකන සිද්ධාර්ථ හිමි

ස්වර - රෝහණ වීරසිංහ

හඬ – කරුණාරත්න දිවුල්ගනේ සහ දිස්නා අතපත්තු

දළදා වහන්සේගේ අයිතිය පවතින්නේ කා සතුවද ලක්දිව රජකම ලැබෙන්නේද ඔහුටය යන මතයක් ශ‍්‍රී ලංකාව තුළ පවතී. වර්තමානයේ වුවද ජනපති පදවියට පත් වූ කෙනෙකු පත්තිරිප්පුවේ සිට ජනතාව අමතන්නේ එම අදහස පෙරදැරි කර ගෙනය. රජ කෙනෙකු සතු විය යුතු ධාර්මික රාජ්‍ය සංකල්පය ජනතාව පිළිගනු ලබන්නේ එම රජ පදවිය ලැබූ පුද්ගලයා දළදා වහන්සේට දක්වන සැලකිලි පුද සත්කාර අනුවය. යට දැක්වෙන ගීතය ද එකී සංස්කෘතික ප‍්‍රවාහය අනුව රචනා වූවකි. බෞද්ධ සිතක තැවුල් නිවී සුවපත් වන්නේ දළදා සෙවණෙහිය.

 

ගෞතම මුණි සිරි දළදා

හිමි නමදිමු සිත පහදා

බුදු රැස් සඳ කිරණ ගලාලා

තැවුල් නිවී සුවපත් වේවා

පද – මහින්ද දිසානායක

ස්වර - රොහණ වීරසිංහ

හඬ – කරුණාරත්න දිවුල්ගනේ

දළදා වහන්සේ ආරක්ෂා කරනු ලැබුවේ රාජ රාජ මහාමාත්‍යවරුන්ය. ලංකාවේ සිවු දිසාවෙන්ම පැතිරී ඇත්තේ දළදාවේ රශ්මී කිරණයි. යට දැක්වෙන මෑතක ලියවුණ දළදා ගීතය මගින් අවධාරණය වන්නේ මෑතක බිහි වූ රජෙකු විසින් දළදා සංස්කෘතිය නගා සිටුවීම සඳහා ගනු ලබන වෙහෙස මහන්සිය පිළිබඳවයි. මේ දේශයට එම රජුගේ සෙවන නිසා නිදහස් නිවහල් සුළඟ හමයි.ගීත බොහෝමයක් ලියා ඇති ප‍්‍රකට ගීත රචකයකු වන චන්න ජයනාත් විසින් ලියා ඇති මෙය එම රචකයා ලියූ නිර්මාණ අතර සුවිශේෂත්වයක් ගෙන එයි.

 

සිරි දළදා හිමි සරණයි

සිරි දළදා හිමි සරණයි

සෙංකඩගලපුර සිරි දළදා හිමි

සමිඳුගේ උත්තම සරණයි

උතුරින් දකුණට නැගෙනහිරට

බටහිර ට ගලා යන සුවඳයි

නිදහස් නිවහල් සුවඳයි

පද - චන්න ජයනාත්

ස්වර - ප‍්‍රියාන් පතිරණ

හඬ - දමිත් අසංක

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ බොහෝ ගීත වල දළදා මැදුර පිළිබඳ යම් යම් සංසිද්ධි ඇතුලත්ව ඇති බව පෙනෙයි.

‘ලේලිගේ නරක මිතුරන්’ ගීතයේ බෝගම්බර හිර ගෙදර දළදා මැදුරේ තේවා හඬ ඇහෙන බව කියයි. පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය ගීතයේ දළදා වැදීම පිණිස ගමේ චණ්ඩි ස්ටැන්ලිට යාළු නිලමෙලා දොර ඇදුරන් නිසා ඔහු ළඟටම ගොසින් දළදා වැන්ද බව කියයි. දළදාව බඳු උතුම් පූජනීය පරිසරයක වුවද සමාජ අසාධාරණය සිදු වන බව රචකයා දුටු අයුරු අසිරිමත්ය.



ප‍්‍රවීණ ගීත රචක

පාතේගම ඤාණිස්සර හිමි

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය භික්ෂු විශ්වවිද්‍යාලය අනුරාධපුරය

http://www.dinamina.lk/2009/07/31/dalada/_art.asp?fn=d09073111&p=1

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.