Saturday, July 5, 2014

හොඳ චිත්‍රකතා පත්‍රයක්‌ නැවතත් සමාජ ගතවියයුතු වන්නේ ඇයි?

හොඳ චිත්‍රකතා පත්‍රයක්‌ නැවතත් සමාජ
ගතවියයුතු වන්නේ ඇයි?

තව තෙසතියකින් එළි දැක්‌වීමට නියමිත උපාලි පුවත්පත් සමාගමේ නවතම ප්‍රකාශයවන "සිත්තරු" චිත්‍ර කතා පත්‍රය පිළිබඳව කෙරෙන විග්‍රහයකි.

ඒ අපූර්ව සමයේ චිත්‍රකතා පත්‍ර සමූහයක්‌ විවිධ වූ නම් දරමින් ලාංකික ජනසමාජයේ නගරබද, ගම්බද මෙන්ම අහුමුලු අතර සැඟව සිටි භද්‍රයෞවනයේ මනුෂ්‍යයෝ පමණක්‌ නොව හයහතර තේරෙන දරුවාගේ සිට වියපත් ස්‌ත්‍රී පුරුෂ මානවයන්ගේද සිත්සතන් තුළ වින්දනීය තෘප්තියක්‌ ඇති කරමින් මහත්වූ සමාජ සංකල්ප පෙරළියක්‌ කරමින් පැවතිණි.

එහෙත් විද්යුත් මාධ්‍යය දියුණුව නිසා පැමිණි රූපවාහිනිය සහ ටෙලි නාට්‍ය නිසාදෝ... කොම්පියුටර් සහ ජංගම දුරකථන නිසාදෝ... මුද්‍රණ වියදම් අධිකවූ නිසාදෝ... වෙනත් මොක මොකක්‌ නිසාදෝ...යි මානම් නොදනිමි. මීට බොහෝ කලක සිට ඒ වින්දනීය අහිංසක චිත්‍රකතා මාධ්‍ය ශ්‍රී ලංකාවෙන් අතුරුදන්ව ඇති බව පමණක්‌ නම් මා දනිමි.

ඉල්ලුමක්‌ තිබියදීම අතුරුදන්වූ හෝ බලහත්කාරයෙන් අතුරුදන් කළ මේ වින්දනීය චිත්‍ර කතා මාධ්‍ය වෙනුවට පාඨකයාගේ විනෝදාංශ සඳහා වැළඳ ගැනීමට ලැබුණු වෙනත් ආදේශකයන් තුළින් චිත්‍රකතා පත්‍රයකින් ලැබූ තෘප්තිය ලැබෙනවාද යන්න පාඨකයාම සිතා බලන බව නම් කිව යුතුමය.

ප්‍රශ්න ගස්‌ පිටින් ඔලුවේ හිටවන ටෙලි නාට්‍ය මෙන්ම හරසුන් චිත්‍රපටද මෙලෝ රහක්‌ නැති ගීතද දිගින් දිගටම බලහත් කාරයෙන් සමාජ ගත කිරීම නිසා මානසික තෘප්තියට වඩා මානසික වෙහෙසට පත්ව සිටින කුණුරස සහ පැණිරස හොඳින් හඳුනන පාඨකයා නැවතත් හොඳ චිත්‍ර කතා පත්‍රයක්‌ මුද්‍රණය වන්නේ නම් මේ ගතවන්නේ ඊට හොඳම කාලය බව දිගින් දිගටම පවසන්නේ විශ්වාසාත්මක බලා පොරොත්තු සහිතවය.

තත්ත්වය මෙසේ පවතිත්දී ශ්‍රී ලංකාවේ සුපිරි ගනයේ චිත්‍ර කතා රජවරුන්ද, පතාක යෝධයන්ද, දක්‍ෂයන් සහ අති දක්‍ෂයන් සියලු දෙනාගේම එකතුවෙන් පවුලේ හැමෝටම එකට සිට කියවිය හැකි අපූරු චිත්‍රකතා පත්‍රයක්‌ එළි දැක්‌වීම පිණිස සීමාසහිත උපාලි පුවත්පත් සමාගම මේ වන විට සූදානමින් සිටී.

මුද්‍රිත මාධ්‍ය තුළ හොඳ චිත්‍රකතා පත්තරයකට ඉතා හොඳ ඉඩක්‌ අද වනවිට නිර්මාණය වී ඇති බැවින් උපාලි පුවත්පත් සමාගමේ නවතම ප්‍රකාශය වන "සිත්තරු" චිත්‍ර කතා පත්‍රය පිළිබඳව සහ හොඳ චිත්‍රකතා පත්‍රයක්‌ නැවතත් සමාජගත විය යුත්තේ ඇයි ද යන ප්‍රශ්නයටත් පිළිතුරු ලබා ගැනීම පිණිස අප සුප්‍රසිද්ධ අග්‍රගණයේ චිත්‍ර කතා ශිල්පීන් කිහිප දෙනෙකු සමග කතා බහ කළෙමු. (මෙහි පළවන්නේ එම සාකච්ඡා තුලින් ලබා ගත් කෙටි අදහස්‌ කීපයකි.)

චිත්‍ර කතා ලෝකයේ රජෙකු ලෙස සලකන ජාතික චිත්‍ර ශිල්පීන්ගේ සංගමයේ සභාපති අති ප්‍රවීණ චිත්‍ර ශිල්පී දයා රාජපක්‍ෂ මහතා පළ කළේ මෙවන් අදහසක්‌.

මේ වනවිට මුද්‍රිත මාධ්‍ය වෙළෙඳපොළේ චිත්‍ර කතා පත්තරයක්‌ නොමැතිකම නම් ඇති විශාල අඩු පාඩුවක්‌.

මෙම අඩුව වහාම පිරවිය යුතුයි. හොඳ චිත්‍ර කතා පත්‍රයක්‌ නැවතත් පාඨකයාට ලබාදීමෙන් ඉතා වැදගත් සේවාවන් දෙකක්‌ සිදු වෙනවා. එනම් චිත්‍රකතා පත්‍ර කියවීමෙන් වින්දනයක්‌ ලබාගත් පැරැණි පාඨකයාට නැවතත් එම වින්දනය ලබාදීම සහ චිත්‍ර ශිල්පීන්ට තම නිර්මාණ ඉදිරිපත් කිරීමට මාධ්‍යයක්‌ ලබා දීමත් යන කරුණු දෙක විශේෂයෙන් වැදගත් වනවා. ඒ වගේම අලුත් පරම්පරාවල උදවිය චිත්‍ර කතා මාර්ගයෙන් කියවීමට හුරු වීමත්, චිත්‍ර ඇඳීමට හුරුවීමත් නිර්මාණශීලී වීමත් ඇතුළු ගුණාත්මක වර්ධනයක්‌ සමාජය තුළ ස්‌ථාපිත වීම නැවතත් සිදු වේවි.

ජාතික චිත්‍ර ශිල්පීන්ගේ පදනමේ සභාපතිවරයා හැටියට මම ඉතාමත් සතුටු වෙනවා, මහා සමාජ සත්කාරයක්‌ කළහැකි ඉතාම සංයමයකින් යුතු චිත්‍ර කතා පත්‍රයක්‌ නැවතත් වෙළෙඳපොළට පැමිණීම පිළිබඳව.

විශ්ව සාහිත්‍ය කෘති 200 කට ආසන්න ප්‍රමාණයකුත් ජාතක කතා 40 කට ආසන්න ප්‍රමාණයකුත් සමාජයට වැදගත් වන විවිධ කතා රාශියකුත් චිත්‍රකතාවට නවමින් අනුපමේය සේවාවක්‌ කළ චිත්‍ර කතා ලෝකයේ දැවැන්ත ප්‍රතිරූපයක්‌ ගොඩනඟාගත් බන්දුල හරිස්‌චන්ද්‍රයන්ද අපට අදහස්‌ දැක්‌විය.

මම චිත්‍ර කතා ඇඳීම නවත්වල වසර ගණනාවක්‌ වෙනවා. ඒත් උපාලි පුවත්පත් සමාගමේ නවතම ප්‍රකාශය වන "සිත්තරු" පත්‍රයට චිත්‍ර කතාවක්‌ ඇඳීම සඳහා මට කළ ආරාධනාව මම සතුටින් පිළිගත්තා. ඇත්තෙන්ම චිත්‍ර කතා පත්‍රයක අඩුව අද විශාල ලෙස තිබෙනවා.

ආදරය ප්‍රේමය ත්‍රාසය විශ්මය සහ වීරත්වය ඇතුළු සියලු අංශයන් නියෝජනය වන පරිදි කාම කතාවලින් තොර හොඳ චිත්‍රකතා පත්‍රයක්‌ එළි දැක්‌වේවි කියන විශ්වාසය මට තියෙනවා.

ඒවගේම චිත්‍ර කතා පත්‍රයක්‌ නැවත පැමිණීමෙන් සමාජය තුළ අලුත් වෙනසක්‌ ඇති කරාවි. පැරැණි චිත්‍රකතා පාඨකයන් වියපත් අය වුවත් තවමත් ඒ අය චිත්‍ර කතා පත්තර ඉල්ලනවා. ඒ වගේම අලුත් සමාජයත් මේ අලුත් චිත්‍ර කතා පත්තරය සතුටින් වැළඳ ගනීවී කියන විශ්වාසය මට තිබෙනවා.

උපාලි පුවත්පත් ආයතනයත් සමග පැරැණි ප්‍රවීන චිත්‍ර ශිල්පීන් මෙන්ම නැගී එන චිත්‍ර ශිල්පීනුත් සම්බන්ධ වී සිටීම මෙම "සිත්තරු" පත්‍රය ජනප්‍රිය වීමට හේතුවේවි.

චිත්‍ර කතා ලෝකයේ පතාක යෝධයකු ලෙස අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකි තවත් ප්‍රබල චරිතයකි ජනක රත්නායක මහතා. අපි එතුමා ගෙන්ද චිත්‍රකතා පත්‍රයක්‌ අද අවශ්‍යව ඇත්තේ ඇයි යන ප්‍රශ්නයම නැඟුවා.

අද අනිවාර්යයෙන්ම චිත්‍රකතා පත්තරයක අඩුව බරපතළවම රටට දැනෙනවා. චිත්‍ර කතා පත්තර තියෙන කාලේ ලංකාවෙ හැම පවුලකම එක්‌කෙනෙක්‌ හරි චිත්‍ර ඇඳීම පිළිබඳව උනන්දුවක්‌ දැක්‌වූවා. ඒ කියන්නේ පවුලක එක්‌කෙනෙක්‌ හරි චිත්‍ර ශිල්පියෙක්‌. චිත්‍ර ශිල්පියෙක්‌ කියන්නේ නිර්මාණකරුවෙක්‌.

වර්තමානයේ කම්පියුටරයක්‌ සමග චිත්‍ර අඳින ග්‍රැෆික්‌ ආටිස්‌ලා කරන්නෙත් චිත්‍ර ඇඳීමක්‌ තමයි. ඒත් කී බෝඩ් එකත් මවුස්‌ එකත් සමග කම්පියුටරේ අඳින චිත්‍රයට වඩා පැන්සලත් පින්සලත් සමග අතින් අඳින චිත්‍රයේ තිබෙන සජීවී බව සහ ප්‍රාණවත් බව වැඩියි. ඉදිරියටත් මෙවැනි චිත්‍ර ශිල්පීන් බිහිවීමට චිත්‍රකතා පත්තර අනිවාර්ය සාධකයක්‌ වෙනවා.

හොඳ චිත්‍ර ශිල්පීන් බිහිවීමටත් ඔවුන්ගේ අනාගතය ගැන විශ්වාසය තැබීමටත් ඔවුන්ගේ නිර්මාණ සමාජගත කිරීමටත් තැනක්‌ තිබිය යුතුයි. චිත්‍ර කතා පත්තරයක්‌ කියන්නේ ඊට ඉතාම හොඳ තැනක්‌. මේ වනවිට චිත්‍ර ශිල්පීන් ලෙස අප කිහිප දෙනයි රැකී තිබෙන්නේ. බහුතරයක්‌ චිත්‍රශිල්පීන් වෙනත් වෘත්තීන් තෝරාගෙන තිබෙනවා චිත්‍ර ශිල්පීන්ට අනාගතයක්‌ අපේ රටේ නැතැයි කියන ස්‌ථාවරය මත.... ඒ සියල්ලටම හොඳම විසඳුමක්‌ තමයි හොඳ චිත්‍ර කතා පත්තරයක්‌ වෙළෙඳපොළට පැමිණීම.

බටහිර වේගවත් චිත්‍රකතා ශෛලියට චිත්‍ර කතා අඳින ලංකාවේ දැනට සිටින එකම අති දක්‍ෂ ප්‍රවීණතම චිත්‍ර ශිල්පියා ලෙසට සැලකෙන ඇන්ටන් බී. පෙරේරා මහතා සමගද මා කතා කළා.

චිත්‍ර කතා මාධ්‍ය ලංකාවේ පටන් ගත්තේ

එක්‌දහස්‌ නවසිය හතළිස්‌ ගණන්වල. ඒ තමයි එකල පළවූ එක්‌තරා පුවත්පතක ජී. එස්‌. ප්‍රනාන්දු මහත්තයා ඇඳපු "නීලා" කියන චිත්‍ර කතාව.

එදා පටන් ගත් චිත්‍ර කතා විකාශනය ඉන්පසු සුසිල් ප්‍රේමරත්න, තලංගම ජයසිංහ, බන්දුල හරිස්‌චන්ද්‍ර (ඒ ඒ යුග නියෝජනය කළ ප්‍රධානීන්) වැනි දක්‍ෂ චිත්‍ර ශිල්පීන් චිත්‍රකතා මාධ්‍ය දිගටම රැගෙන ආවා.

1972 දී ඉතා පළල් විකාශනයක්‌ සහිතව නැඟී ආ චිත්‍ර කතා මාධ්‍ය හරහා අලුත් චිත්‍ර ශිල්පීන් කාටුන් ශිල්පීන් මෙන්ම විශාල චිත්‍ර කතා රසිකයන් සංඛ්‍යාවක්‌ද බිහිකළා.

මම අංකුර චිත්‍රශිල්පියෙක්‌ හැටියට 1975 දී ටෝරස්‌ කියන කතාව චිත්‍ර කතා පත්‍රයකට අඳිමින් ආරම්භ කළ ගමන තමයි මේ යන්නේ.

මගේ බටහිර වේගවත් චිත්‍ර කතා ශෛලිය නිසා මාව ලොස්‌ ඇන්ජලීස්‌වල ප්‍රකාශනය වන ඉංග්‍රීසි චිත්‍රකතා පත්‍රයක චිත්‍ර ශිල්පියෙක්‌ හැටියට තෝරාගෙන තිබෙනවා. මම ඒ පත්තරයටත් කතා අඳිනවා.

අපේ රටේ චිත්‍ර කතා පත්තර නොමැති වී බිහිවීමට සිටි චිත්‍ර ශිල්පීන් විශාල පිරිසකට සහ පාඨකයන්ට වුණු අසාධාරණයක්‌ හැටියටයි මම දකින්නේ.

කොහොම වුණත් උපාලි පුවත්පත් අයතනය මගේ මවු ආයතනයයි. එනිසා මම ඉතාම සතුටින් "සිත්තරු" සමග එකතුව වැඩ කරනවා. මම විශ්වාස කරනවා වර්තමානයේ සියලු පාඨකයන්ට ගැලපෙන රසවත් චිත්‍රකතා පෙලක්‌ සහිත පත්තරයක්‌ බවට "සිත්තරු" පත්වේවි කියා.

රාම-සීතා, සාලිය-අශෝකමාලා ගාමිණි - උන්මාදචිත්‍රා වැනි පැරැණි ප්‍රේම වෘත්තාන්තවලට දේදුනු කැලුම් නමැති අලුත් පෙම් යුවළත් එකතු කරමින් චිත්‍ර කතා ආදර ලෝකය උඩුයටිකුරු කළ අසහාය දැවැන්තයකු ලෙස විරුදාවලිය ලත් බලංගොඩ සරත් මධු නම් අති ප්‍රවීණ චිත්‍ර ශිල්පියාගෙන්ද මම චිත්‍ර කතා පත්තරයක්‌ නැවත පැමිණීමේ අවශ්‍යතාවය පිළිබඳ විමසුවෙමි.

චිත්‍ර කතා පත්තර තියෙන කාලෙ ඒව බලළ පාසල් ලමයි චිත්‍ර අඳින්න හුරු වුණා දැන් ඉන්න දරුවන් වැඩි පිරිසකට හරියට මානව රූපයක්‌ අඳින්න හැකියාව නැහැ. ඒකට ප්‍රධානම හේතුවක්‌ තමයි නිතර චිත්‍ර ඇස නොගැටීම. චිත්‍ර කතා පත්තරයක්‌ තියෙනවා නම් නිතර නිතර ඇස ගැටෙන නිසා චිත්‍ර ඇඳීමේ හැකියාව වර්ධනය කර ගන්න පුළුවන්. ඒක ඉතා වැදගත් දෙයක්‌.

එදා අපේ චිත්‍ර බලාගෙන ඇඳලා චිත්‍ර අඳින්න බොහෝ අය පුරුදු වුණා. ඊට පසු චිත්‍ර කතා පත්තර නැවතීමත් සමගම බිහිවීමට සිටි අලුත් චිත්‍ර ශිල්පීන් විශාල පිරිසක්‌ රටට අහිමි වුණා.

හොඳ වින්දනයක්‌ සහිත සරල දෘෂ්‍ය මාධ්‍යයක්‌ වන චිත්‍ර කතා පත්තර නැවත වෙළෙඳපොළට පැමිණීමෙන් පවත්නා සමාජ වින්දනීය අවශ්‍යතාවලට හොඳ විසඳුමක්‌ වේවියි මා සිතනවා.

චිත්‍රකතා පත්තරයකට අද හොඳ ඉඩක්‌ තිබෙනවා. හැබැයි ඒ "හොඳ" චිත්‍ර කතා පත්තරයකට.

චිත්‍රකතා මාධ්‍ය තුළ පාඨකයා රඳවාගැනීම පිණිස අදටත් දැවැන්ත මෙහෙවරක යෙදෙන චිත්‍ර කතා ලෝකයේ පතාක යෝධයන් අතර නොසැලී සිටින අනුර ශ්‍රීනාත් අති දක්‍ෂ ප්‍රවීණ චිත්‍ර ශිල්පියා සමග කළ සංවාදයේ සටහනයි මේ.

මම දැනටත් සතියකට චිත්‍ර කතා 06 ක්‌ අනිවාර්යයෙන් අඳිනවා. ඒක ඉතා වෙහෙසකර කාර්යයක්‌. නමුත් තෘප්තිමත්.

පසුගිය කාලේ චිත්‍ර කතා පත්තර රටේ නැතිව තිබුණේ. ඒත් මම ටෝක්‌ ඇන්ඩ් ජෝක්‌ නමින් චිත්‍රකතා සඟරාවක්‌ නිකුත් කළා මාසිකව. ප්‍රවීන චිත්‍ර ශිල්පීන් රාශියක්‌ මාසමග මගේ සඟරාවේ වැඩ කළා. ඊට හොඳ ඉල්ලුමක්‌ තිබුණා. නමුත් බෙදාහැරීමේ ගැටලු නිසා එය නවතා දැමීමට සිදුවුණා.

මම ලද ඒ අත්දැකීමෙන් දන්නවා අද චිත්‍ර කතා පත්‍රයකට ඇති ඉල්ලුම කොතරම්ද කියා. මිනිසුන්ගේ වින්දනය පිණිස එදා රූපවාහිනිය හොඳ දේවල් කළා. ඒත් අද තියෙන්නේ නිතර අඬාවැලිපිලි සහ ප්‍රශ්න පත්තර පිටින් තියෙන ටෙලි නාට්‍ය වැනි දේවල්. ජනතාව ඒ තුළින් වින්දනයක්‌ ලබනවා ද කියන එක ප්‍රශ්නයක්‌. ඒ කියන්නෙ මිනිසුන් වින්දනීය අඩු පාඩු සහිතව ඉන්න පිරිසක්‌ බවට පත්වෙලා..

එදා පාඨකයන් ආදරයෙන් වැළඳගත් චිත්‍රකතා පත්තර නැතිව යැමට බලපෑ කරුණු ලෙස මම වෙනත් මාධ්‍යවලට පමණක්‌ චෝදනා කරන්නේ නැහැ. එහි වගකීම චිත්‍රකතා ශිල්පීනුත් භාරගත යුතුයි. මුදල් ලබා ගැනීම පිණිස මුදලාලිලාට අවශ්‍ය දේ පමණක්‌ ඇඳ දීම චිත්‍රකතා ඇඳීම නොවෙයි. තමන්ගේ පෞරුෂය රැකගෙන මුදලට වඩා ආත්මගරුත්වයට ගරු කරගනිමින් චිත්‍රකතා අඳිනවා නම් චිත්‍රකතා පත්‍රයක්‌ තුළින් හොඳ දිගු ගමනක්‌ ඕනෑම චිත්‍ර ශිල්පියෙකුට යා හැකියි මා විශ්වාස කරනවා.

ඔහුගේ චිත්‍රකතා ඉතා අපූරු මෙන්ම විශ්ෂ්ට නිර්මාණයන් විය. මිට දශක 03 කට පෙර ඔහුගේ චිත්‍ර කතා තුළින් අද දවස පාඨකයාට පෙන්නුවේය. අද පවතින නවීකරණය වූ නගර අධිවේගී මාර්ග, මෙන්ම අති නවීන සුපර්මාර්කට්‌, යෞවන යෞවනියන්ගේ අද පවතින කොණ්‌ඩා සහ ඇඳුම් විලාසිතා ඔහුගේ චිත්‍රකතාවල එදා අපූරුවට ඇඳ තිබිණි. විශිෂ්ට ගනයේ චිත්‍ර කතා ශිල්පියෙකු වූද ලංකාවේ වේදිකා නාට්‍ය ප්‍රධාන සංවිධායකවරයා වූ ද ජූඩ් ශ්‍රීමාල් සමගද අප කතා බහ කළෙමු.

උපාලි පුවත්පත් ආයතනය කියන්නේ මා ඇතුළු විශාල චිත්‍ර ශිල්පීන් පිරිසකගේ මහ ගෙදර කියන එක සත්‍ය කාරණයක්‌. මම "සිත්තරු" පත්‍රය මගේ දායකත්වයත් සමග ලංකාවේ ඉතාම ප්‍රවීණ දක්‍ෂ චිත්‍ර ශිල්පීන් විශාල පිරිසකගේ එකතුවෙන් නිමැවෙන චිත්‍ර කතා පත්තරයක්‌. හොඳ චිත්‍ර කතා පත්තරයක්‌ වුවත් ඉතා හොඳ චිත්‍ර කතා පත්තරයක්‌ ලෙස "සිත්තරු" පාඨකයා අතරට යෑවීමට අපි විශාල කැප කිරීමක්‌ කරනවා.

අපිට හොඳට මතකයි, එදා ලංකාවේ චිත්‍ර කතාවලට තිබූ ඉල්ලුම පිළිබඳව. මුලින්ම හොඳ චිත්‍ර කතා පත්තරයක්‌ දෙකක්‌ බිහිවුණා. ඊට දායක වූවන් ලංකාවේ හොඳම චිත්‍ර ශිල්පීන්.

එදා චිත්‍ර කතා පත්තර අච්චුගහනකොට කිව්වේ සල්ලි අච්චුගහනවා කියලයි. ඒතරමටම හොඳ වෙළෙඳපොළක්‌ තිබුණා. නමුත් අවාසනාවට ලී මුදලාලිලයි, තෙල් මුදලාලිලයි. බේකරි මුදලාලිලයි වගේ උදවිය චිත්‍රකතා පත්තර හැම තැනින්ම පටන් ගත්තා. සීමා සහිතව හිටපු චිත්‍ර ශිල්පීන්ට විශාල ලෙස මුදල් ගෙවා තමන්ගේ චිත්‍ර කතා පත්තරයට චිත්‍රකතා අන්දවා ගත්තා. ඉල්ලුම වැඩි නිසාම හොඳ චිත්‍ර කතා වෙනුවට මොනවා හරි උඩින් පල්ලෙන් ඇඳලා සල්ලි හොයන්න සමහර චිත්‍ර කතා ශිල්පියෝ පුරුදු වුණා. ආදර කතා වෙනුවට කාම කතා අඳින්න පටන් ගත්තා. කිසිම සුන්දරත්වයක්‌ නැති විකාර කතා අදින්නට පටන් ගත්තා. ඉතාම පිරිසිදුව රසවත් ලෙස ගලා ගිය චිත්‍ර කතා කලාව විනාශ වෙන්න පටන් ගත්තා.

ජනතාවත් ටිකෙන් ටික චිත්‍ර කතා පත්තරවලින් ඈත් වෙන්න පටන් ගත්තා. ඊට මුද්‍රණ වියදම් අධික වීමත් යම් බලපෑමක්‌ නොවුණාම නොවෙයි. ඒත් මිල වැඩිකර හෝ විකිණීමට තිබූ හැකියාව නැතිව ගියා හතු පිපෙන්නා සේ බිහිවූ චිත්‍ර කතා පත්තර නිසා.

මම විශ්වාස කරනවා, නැවතත් එවන් තත්ත්වයක්‌ උදාවෙන එකක්‌ නැහැ කියලා.

මේ මස අවසාන වන විට "සිත්තරු" චිත්‍ර කතා පත්‍රය වෙළෙඳපළට පැමිණෙනු ඇත. කලකට පසු චිත්‍රකතා පත්තරයකින් ලැබිය හැකි උපරිම වින්දනය පාඨකයාට නැවතත් ලැබෙනු ඇත.

කෙසේ වුවද කල්වේලා ඇතිව පත්‍රයක්‌ වෙන්කරවා ගැනීමෙන් ඔබට "සිත්තරු" පත්‍රයක්‌ සොයා ඒ මේ අත දිවීමේ අපහසුතාවයෙන් ගැලවීමට හැකිsවනු ඇත.

අමරසිංහ මාලගේ


http://www.divaina.com/2014/07/06/feature15.html

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.