Sunday, July 6, 2014

මල්ගුඩියේ ස්වාමි සොයා . . .

මල්ගුඩියේ ස්වාමි සොයා . . .

ල්ගුඩිය කුඩා නගරයකි. එක පසෙකින් වනාන්තරයකි. අනෙක් පසින් ගලා බසින ගඟකි. සුන්දර ගමක් යැයිද කිව හැකියි. ස්වාමි සහ ඔහුගේ මිතුරන් ජීවත්වන්නේ මෙහිය. ස්වාමි වයස අවුරුදු දහයක පමණ කොලු ගැටයෙකි. පාසලෙන් නිතර කට්ටි පනියි. ඔහුගේ හොඳම මිතුරන් දෙදෙනා මනු සහ පොලිස් සුපිරින්ටෙන්ඩන්ට් වරයාගේ පුත්‍රයා වන රාජම් ය. අදට දශක දෙකකට පමණ පෙර මුල්වරට ඉන්දියාවේ දූරදර්ශන් රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වූ මල්ගුඩි දවස කතා මාලාවේ ස්වාමි ඇන්ඩ් ෆෙ‍්‍රන්ඩ්ස් හි 'ස්වාමි' අද 34 හැවිරිදි තරුණයෙකි.
කැරළි කොණ්ඩයක් සහිත දඟකාර ස්වාමිනාදන් වෙනුවට අද සිටින්නේ බැංගලෝර් නගරයේ ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක විධායක නිලධාරියෙකි. ස්වාමිගේ මුහුණුවර ඔහු කෙරෙන් තවම පලාගොස් නැත. මංජුනාත් නායකර් ඔහුගේ සැබෑ නමයි. මාස්ටර් මංජුනාත් යැයි සමාගමේ සේවකයෝ ඔහුව ගෞරව පූර්වකව ආමන්ත්‍රණය කරති. 'ස්වාමි' යනුවෙන් ඔහු අමතන්නන් අද විරලය.
මංජුනාත් නායකර්
එහෙත් 80 සහ 90 දශකවල රූපවාහිනී රසිකයන් වසඟ කළ ඔහුගේ සරල දඟකාර සිනහව තවමත් එලෙසමයි. "මම අවුරුදු 19 වෙනකල් රඟපෑවා. දැන්නම් රඟපාන්නෙ නෑ. චිත්‍රපට බලන්න හරිම කැමැතියි. විවේක වෙලාවට මල්ගුඩිය රූගත කිරීම් කෙරුව ආගුම්බේ ගමට යාළුවොත් එක්ක යනවා. ක්‍රිකට්වලටත් කැමැතියි.
ඒත් වැඩිපුරම ආදරය කරන්නේ රැකියාවටයි". යැයි ඔහු පවසයි. මංජුනාත් අද බැංගලෝර් මයිසූර් ඉන්ෆ‍්‍රාස්ට්‍රක්චර් කොරිඩෝර් ප්‍රොජෙක්ට් හි මහජන සම්බන්ධතා අංශයේ ප්‍රධානියාය. "මේකත් හරිම ආස හිතෙන චරිතයක්. නීති ගැටලුවල ඉඳන් සේවකයන්ගෙ රණ්ඩු විසඳීම දක්වා හැම දෙයක්ම මම අධීක්‍ෂණය කරනවා" යැයි ඔහු කියයි.
ආර්. කේ. නාරායන් මැවූ මල්ගුඩියේ දඟකාර කොලුගැටයා රඟපෑමට ආයුබෝවන් කීවේ මන්ද යන්න සොයා බැලිය යුතුම කාරණයකි. වයස අවුරුදු 19 වන තෙක් ඔහු දක්ෂ රංගන ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටියේ ය. මල්ගුඩියේ ස්වාමි ඇන්ඩ් ෆෙ‍්‍රන්ඩ්ස් පසුව චිත්‍රපටයකටද නැගිණි. එයද ඇතුළුව ඔහු හින්දි සහ කන්නාඩ භාෂාවෙන් තැනුණු චිත්‍රපට හා ටෙලිනාට්‍ය 68 කට පමණ දායක විය.
ජනපි‍්‍රය කන්නාඩ අධ්‍යක්‍ෂවරයෙක් වන ෂංකර් නාග් ගේ නිර්මාණවලට ඔහු නැතිවම බැරි නළුවෙක් විය. ළමා නළුවෙකුට හිමිවිය යුතු උපරිම දේශීය හා ජාත්‍යන්තර ගෞරවයන් ස්වාමිගේ චරිතය වෙනුවෙන් ඔහුට හිමිවිය. අන්තර් ජාතික සම්මාන හයක්, ජාතික සම්මානයක් සහ රාජ්‍ය සම්මානයක් ඒ අතර තිබේ. 'අග්නිපාත්' හින්දි චිත්‍රපටයේ අමිතාබ් භච්චන්ගේ ළමා සහ ගැටවර විය නිරූපණය කිරීමේ අවස්ථාවද ඔහුට හිමිවිය. වයස අවුරදු දොළහේදී පටන් සිනමා සම්මාන උළෙලවලට මංජුනාත් සහභාගි විය. එහෙත් එක්තරා දෛවෝපගත දිනයක ඔහු තීරණයක් ගත්තේය.
ආව්! මගේ කන
"ඒක ඉතාලියේ තිබුණු අන්තර් ජාතික සිනමා සම්මාන උළෙලක් ස්වාමි චරිතය වෙනුවෙන් මට සම්මානයක් ලැබුණා. සම්මානය අතේ තියාගෙන මම හොඳටම තනිවෙලා, ඔහේ බලාගෙන හිටියා. මගේ සතුට බෙදාගන්න යාළුවොවත්, මවුපියොවත් මා ළඟ හිටියෙ නෑ.
මොකද සම්මාන උළෙලේ සංවිධායකයො මගෙ පවුල එහෙ කැඳවගෙන යන්න මුදල් වියදම් කරන්න අකමැති වුණා. මේ ජීවිතයෙන් මට අවශ්‍ය මොනවද කියල මම එදා මගෙන් ම ප්‍රශ්න කළා. රඟපෑමෙන් ඉවත්වෙන්න කාලෙ හරි බව මම හිතුවා" යැයි ඔහු කියයි.
ඒ තීරණයත් සමඟම ඔහු ගමන් මඟ වෙනස් කළේ ය. "මම දකුණු ඉන්දියාවේ සාමාන්‍ය මධ්‍යම ජාතික පවුලක කොල්ලෙක්. හොඳට ඉගෙන ගෙන හොඳට සල්ලි උපයන රැකියාවක් කරන්න මට අවශ්‍ය වුණා." ඔහු සමාජ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධිය සහ සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් හැදෑරීය.
අත්තම්මා මේ බලන්නකෝ
එය ඉන්දියාවේ බැංගලෝර් නගරයේ තොරතුරු තාක්ෂණ විද්‍යාව කර්මාන්තයක් ලෙස හිස ඔසවමින් සිටි කාලයකි. ඒ ක්ෂේත්‍රය ඇස් අදහාගත නොහැකි තරම් වේගයෙන් දියුණු වෙමින් තිබිණි. මංජුනාත් ද ඒ වෙතට ආකර්ෂණය විය.
මුලින්ම ඔහු ඔන්ලයින් බැංගලෝර් ඩොට් කොම් අන්තර් ජාල සමාගමේ කළමනාකරුවෙක් ලෙස රැකියාවේ යෙදුණේය. ඉන්පසු ඊළඟ වර්ෂ කිහිපයම ඔහුගත කළේ පරිගණක ක්ෂේත්‍රයේය. කිසිම රැකියාවක වසර 2 කට වඩා තමන් රැඳී නොසිටින බව ඔහු කියයි. ඒ රැකියා මාරුව මඟින් තම සුදුසුකම්වලට ගැළපෙන හොඳම රැකියාව අත්හදා බැලීමට ඔහුට හැකියාව ලැබේ.
"ඔබ මගෙ හිතේ ඇඳුණු ස්වාමි චරිතය හරියටම කරනවා" යැයි ආර්. කේ. නාරායන් මංජුනාත් අමතා රූ ගතකිරීම්වල දී කියා තිබේ. "ඒක තමයි මට ලැබුණු ලොකුම ගෞරවය. මට ඒ ඇති. මල්ගුඩියේ මතකය මට ජීවිත කාලයටම සෑහෙනවා." යැයි ඔහු කියයි. ඒ නිසාමදෝ මංජුනාත් එම චරිතය ගැබ්කරමින් ආර්. කේ. නාරායන් ලියූ ස්වාමි ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් ග්‍රන්ථය අද දක්වා ද කියවා නැත.
රාජම් පරිස්සමෙන්
ඉංගී‍්‍රසියෙන් ලියැවුණු පූර්ව ඉන්දියානු සාහිත්‍යයේ ත්‍රිමූර්තිය ලෙස සැලකෙන තිදෙනෙක් වෙති. ඒ මුල්ක්රාජ් ආනන්ද්, රාජා රාවෝ සහ ආර්. කේ. නාරායන්ය. ආර්. කේ. නාරායන් හෙවත් රාසිපුරම් ක්‍රිෂ්ණස්වාමි නාරායන් ස්වාමි ඉන්දීය සාහිත්‍යයට දායාද කළ ප්‍රථම නවකතාව 1930 වර්ෂයේ ලියූ "ස්වාමි ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස්"ය.
එය ලිවීම ගැන ඔහුගේ මාමාවරු ඔහුට විහිළු තහළු කළ බව සඳහන්ය. සම්පූර්ණයෙන්ම මනඞකල්පිත නගරයක් වූ මල්ගුඩිය ද එහි චරිත මෙන්ම නාරායන්ගේ මනස් නිර්මාණයකි. මල්ගුඩිය මෙසේ විය යුතු යැයි රූගත කිරීම්වලට පෙරාතුව කටු සටහන්වලට නැගුවේ ඔහුගේ සහෝදර කීර්තිමත් කාටුන් ශිල්පි ආර්. කේ. ලක්ෂ්මන් විසිනි.
අවසානයේ ස්වාමි ඇන්ඩ් ෆ්‍රෙන්ඩ් පොතත් එහි කතා පමණක් නොව A Horse and Two Goats  (අශ්වයෙක් සහ එළුවන් දෙදෙනෙක්) දMalgudi days (මල්ගුඩි දවස්) සහ Vendo of Sweets (රසකැවිලි වෙළෙන්දා) යන කතා පොත් හතරේම එන කතාංගවලින් බහුතරය මල්ගුඩියේදී රූගත කෙරිණි. මේ කතා මාලා හතර අතරින් වඩාත්ම ජනපි‍්‍රය වූයේ ස්වාමිගේ කතා මාලාවයි.
ආර්.කේ නාරායන්
නාරායන් ලියූ ස්වාමි සහ ඔහුගේ මිතුරන්ගේ කතා පෙළ ඔහුගේ ළමා කාලයේ ජීවිත කතාව ලෙස ද සැලකෙයි. ස්වාමිගේ පියා රජයේ සේවකයෙකි. මව ගෘහණියකි. ස්වාමි දවසේ අත්දැකීම් හා වීරක්‍රියාවල මතකය ආවර්ජනය කරන්නේ ආච්චි අම්මා සමඟිනි.
නාරායන්ගේ ළමා වියද මේ ආකාරයට ම දඟකාර රසබර අත්දැකීම්වලින් පිරීගිය එකකි. ආච්චි අම්මා ඔහුගේ ළමා වියේ හොඳම මිතුරිය වූවා ය. ඇය ආදරයට ඔහුව ඇමතුවේ "කුන්ජප්පා" යනුවෙනි. නාරායන් ලියූ නවකතා පහළොවේ සහ කෙටි කතා සම්භාරයෙන් වැඩි කොටසක මල්ගුඩිය ජීවමාන වේ.
ඒවා කියවන කිසිවෙකුට එය මනඞකල්පිත නගරයක් බව විශ්වාස කිරීමටද අපහසු ය. සරයු ගඟේ ඉවුර මතපිහිටා තිබෙන මල්ගුඩියට ඒ මනස් ලෝකයේ දී චින්නපනහාලි හි සිට පැය කිහිපයක ගමනකින් යා හැකිය. සැබෑ ලෝකයේ දී මල්ගුඩියේ පෙනුමට බොහෝ දුරට සමාන නගරයක් ලෙස කොයිම්බතූර් නගරය සැලකේ. එහෙත් කාවේරි ගඟ ඉස්මත්තේ පිහිටන ලාල්ගුඩි නගරය, නාරායන්ගේ මල්ගුඩියට වස්තුබීජ වී යැයි කියන්නෝද සිටිති.
"මල්ගුඩිය රූගත කළ අගුම්බේ ගම්මානය සංචාරක නිකේතනයක් බවට පත්කිරීම මල්ගුඩියේ ස්වාමිගෙ පරම ආශාවකි. ඒ සඳහා රජයට බලකරන්න මට අවශ්‍යයි. මල්ගුඩියට ලෝකයම ආදරෙයි මේ ගම සංරක්ෂණය කිරීම නාරායන් ශූරීන්ටත් කරන ගෞරවයක්!" ඔහු කියයි.
විධායක නිලධාරියකු ලෙස ව්‍යාපාරික ලෝකයේ ඉහළට නගින අතර ස්වාමි නොහොත් මංජුනාත් ගේ සිතෙහි ඉදිරියටත් රඟපෑම සඳහා සැඟවුණු ආශාවක්ද තිබේ. එහෙත් ඒ, මල්ගුඩිය වැනි සරල සුන්දර හෘදයාංගම නිර්මාණයක නම් නොවේ. "හොඳට සැලසුම් කෙරුව අති සාර්ථක වාණිජ චිත්‍රපටයක රඟපාන්න මට ආසයි".
මල්ගුඩියේ ස්වාමිට වූ වෙනසක මහත!

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.