Saturday, July 26, 2014

"අපි ආමි"

නොනිමි මෙහෙවරකට පෙළ ගැසෙන "අපි ආමි"


අෙන්‍යාන්‍ය සබැඳියාව, අෙන්‍යාන්‍ය අවබෝධය මෙන්ම දැනුම, ප්‍රඥව ඇතුළු සියල්ල බෙදාහදා ගැනීම යනු ඕනෑම සමාජයක ඉදිරි ගමන උදෙසා බෙහෙවින් උපකාරී වන්නකි.

සත්‍යය එය නමුදු ඉකුත් තිස්‌ වසරක්‌ පුරා මේ බිම වැනසූ කුරිරු ත්‍රස්‌තවාදය ඉදිරියේ ගෙවෙන තත්ත්පරයක්‌ පාසා අප සිටියේ ජාතියක්‌ වශයෙන් ඉදිරියට නොව ආපස්‌සට ගමන් කරමිනි. සහයෝගය, සබැඳියාව, මිතුදම වෙනුවට දසත පැතිර තිබුණේ මර බියම විය.

එහිදී අපට අහිමි වූ දේ බොහෝය. නමුත් අපේ විරෝදාර රණවිරුවන්ගේ වීර්යය හමුවේ උදා වූ අඳුරු යුගයක නිමාව සටහන් කෙරෙමින් ප්‍රභාකරන් නම් වූ ම්ලේච්ඡයා වැළලී යද්දී එළැඹුනු නව යුගයක මෙදා අපෙන් ඈත් වූ දේ යළි අප වෙත ළඟා වෙමින් තිබෙන්නේද? මම මොහොතක්‌ බලා සිටියෙමි. ඒ දසුන අපූරුය.

ගාම්භීර ලෙස යුද හමුදා නිල ඇඳුමින් සැරසුණු වෛද්‍ය, ඉංජිනේරු, වතු පාලක, මාධ්‍යවේදී, ආදී ලෙසින් රට පිළිගත් විද්වත් වෘත්තිකයන් පිරිසක්‌ හමුදා ගමනින් එක පෙළට දියතලාව යුද හමුදා ස්‌වේච්ඡා බළසේනා පුහුණු පාසලේ ක්‍රීඩා පිටිය දෙසට ගමන් කරමින් සිටිති.

මානව අයිතීන් කඩකිරීම, නීතිය ක්‍රියාත්මක නොවීම ආදී ලෙසින් නැගෙන දහසකුත් චෝදනා අතරේ ඇතැමුන්ගේ කුහක මුඛ කුහර තුළින් පිටතට පනින මිලිටරිකරණය නම් වූ අධම වචනය.. මේ වැදෙමින් තිබෙන්නේ එකී කුහකයනට දෙන අතුල් පහරක්‌ නොවේද?

පෙළට පැමිණි විද්වත්හු ක්‍රීඩා පිටියේ පසෙක ඉදිකර තිබූ පීඨිකාවක අසුන් ගත්හ. සියල්ල උත්සවයක සිරි ගෙන ඇත. ගත වූයේ තවත් සුළු කාලයකි. ජාතිකාභිමානී ගීතයක්‌ අනුවාදනය කරමින් ආචාර පෙළපාලියක ගමනේ ආ සියයක පමණ හමුදා කණ්‌ඩයක්‌ විද්වත් පිරිස අසුන් ගෙන සිටි පීඨිකාවට මඳක්‌ එපිටින් ඉදිකර තිබූ ප්‍රධාන පීඨිකාව ඉදිරියේ සීරුවෙන් සිට ගත්හ.

උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ ශ්‍රී ලංකා යුද හමුදා ස්‌වේච්ඡා බළසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් ලලිත් දවුලගල තවත් හමුදා ප්‍රධානින් කිහිප දෙනකු සමග ප්‍රධාන පීඨිකාවේ සිටිති. ඊළඟ මොහොතේ පෙළපාලියට අණ දුන් හමුදා ප්‍රධානියා සිය අසිපතද සුරතට ගෙන යුද හමුදාවට උරුම ලෙස පාද තබමින් ප්‍රධාන පීඨිකාව දෙසට පැමිණෙන්නට විය.

එසේ පැමිණි ඔහු ආචාර පෙළපාලිය පිළිබඳ මේජර් ජෙනරාල්වරයාට කරුණු දැක්‌වීමත් සමග කුරිරු ත්‍රස්‌තවාදයේ තිස්‌ වසරක ශාපයෙන් පසු යළිත් වරක්‌ යුද හමුදා ස්‌වේච්ඡා බළසේනාවට විද්වත් වෘත්තිකයන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ පළමු කණ්‌ඩායම බඳවා ගත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් විය.

මේ මොහොතේ යුද හමුදාවේ විනය හා අබිමානය සමග අනුගත වෙමින් හමුදා ඇඳුමින් සැරසී සිටි විද්වත් පිරිසද හිඳ සිටි අසුන්වලින් නැගිට සීරුවෙන් සිට සමාචාර දැක්‌වීම කැපී පෙනෙන දසුනක්‌ම වූවේය.

අතීතයේ ශ්‍රී ලංකා යුද හමුදාව හා රණවිරුවා තුළ වූ විනය මෙන්ම කැපවීම ආදිය සමාජගත කෙරෙන අතරේ මෙරට විද්වතුන්ගේ දැනුමෙන් යුද හමුදාව පෝෂණය කිරීමේ මාවත බවට පත්ව තිබුණේ යුද හමුදා ස්‌වේච්ඡා බළසේනාව යෑයි කිවහොත් එහි වරදක්‌ නැත.

මෙරට සමාජයේ බුහුමනට ලක්‌ව සිටි විද්වත්හු රැසක්‌ එකල ස්‌වෙච්ඡා හමුදා සේවයට එක්‌ව යුද හමුදාව තුළ වන විනයගරුක බව සමාජගත කරන අතරේ සිය දැනුමෙන් හමුදා සේවය පෝෂිත කරන්නටද කටයුතු කළ බවට වන සාධක ඕනෑ තරම්ය. මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී. එස්‌. සේනානායක, ඇමැතිවරුන් ලෙස කටයුතු කළ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල, ජෙනරාල් රංජන් විඡේරත්න, ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ, මේජර් ඊ. ඒ. නුගවෙල, කර්නල් සී. ඒ. ධර්මපාල, සහ මේජර් මොන්ටේගු ජයවික්‍රම වැනි මහත්වරුන් සිවිල් සමාජය අතරේ සිටිමින් රටට ඉමහත් සේවයක්‌ සිදු කරන අතරේ යුද හමුදා ස්‌වේච්ඡා බළසේනාවේ සාමාජිකයන් වීම තුළින්ම එය පැහැදිලි වේ.

නමුත් එකී හරවත් බව එසේ වුවද වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ කුරිරු ත්‍රස්‌තවාදයත් සමග ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්‌වේච්ඡා සේවය සඳහා මෙරට විද්වතුන් එක්‌ වීම නතර වූයේ ජාතියේ අවාසනාවක්‌ ලෙසිනි. ත්‍රස්‌තවාදයත් සමගම එතෙක්‌ පූර්ණ හමුදා සේවයෙන් බැහැරව තිබූ ස්‌වේච්ඡා බළසේනාවද සක්‍රීය යුද සේනාවක්‌ බවට පත්වූයේ ජාතියේ අවශ්‍යතාව හමුවේය.

මේ හේතුවෙන් ගෙවී ගිය තිස්‌ වසරක යුද්ධයේදී ස්‌වේච්ඡා බළසේනාවද සතුරු බිමේ ඇවිද යමින් සතුරාට එරෙහි සටනේ නියමුවන් බවට පත්විය. එහෙත් යුද හමුදාවට ලැබුණු විද්වත් දැනුමේ පෝෂණය අහිමිව ගියේය. නමුත් මේ සියලු කැපකිරීම් ඉදිරියේ කෙසේ හෝ ප්‍රභාකරන් සමගම ත්‍රස්‌තවාදයද වළලා දමා සියල්ල ජයගන්නට අපේ විරුවෝ සමත් වූහ. එතැන් පටන් උදා වූයේ අපට අහිමි වූ සහ අපෙන් උදුරාගත් සියල්ල යළි ලබා ගැනීමේ මෙහෙයුම විය.

එහිදී යුද හමුදාවේ පෝෂණය මෙන්ම සිවිල් සමාජයේ උන්නතිය උදෙසා යළිත් වරක්‌ මෙරට විද්වතුන්ගේ දැනුම ලබා ගැනීමේ අදහසින් ස්‌වේච්ඡා බළසේනාවට විද්වත් වෘත්තිකයන් බඳවා ගැනීම ඇරඹෙණුයේ ත්‍රස්‌තවාදය අතුගා දැමුණු යුද්ධයේ තීරණාත්මක චරිතයක්‌ වූ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක්‌ අනුවය.

සිවිල් සමාජයේ සහ යුද හමුදාවේ උන්නතිය උදෙසා ගනු ලැබූ මෙකී පියවරේ හරාත්මක තත්ත්වය දෙස බැලීමේදී මිලිටරිකරණය යන කුහක වදනට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය සංකල්පය ක්‍රියාත්මක කරන තැනටම ගෙන යමින් මේ ලබා දී ඇත්තේ අපූරු පිළිතුරක්‌ බවද මෙහිදී සටහන් කළ යුතුමය.

ආචාර පෙළපාලියට අණදුන් හමුදා ප්‍රධානියා මේජර් ජෙනරාල් ලලිත් දවුලගලට සිය හමුදා කණ්‌ඩය පිළිබඳ කරුණු දැක්‌වීමෙන් පසු හමුදාවට උරුම ගාම්භීරබවද සමගින් ඒ උත්සවයේ කටයුතු නිමාවට පත් විය.

ඒ සමගම ප්‍රධාන පීඨිකාවෙන් බැස අසල සිටි ස්‌වේච්ඡා හමුදා සේවයට අලුතින් එක්‌වූ විද්වතුන් අතරට ගිය යුද හමුදා ස්‌වේච්ඡා බළසේනා සේනා විධායක මේජර් ජෙනරාල් ලලිත් දවුලගල, ස්‌වේච්ඡා බළසේනා නියෝජ්‍ය සේනා විධායක මේජර් ජෙනරාල් ලෝරන්ස්‌ වික්‍රමසිංහ, ඔවුන් සමග සුහද පිළිසඳරක යෙදෙමින් විද්වත් පිරිසද කැටිව පුහුණු පාසලේ සම්මන්ත්‍රණ ශාලාව වෙත ගියේ නවක පිරිසට යුද හමුදාව පිsළිබඳ හඳුන්වා දීමක්‌ කිරීමේ අරමුණ ඇතිවය.

එහිදී යුද හමුදා ස්‌වේච්ඡා බළ සේනාවේ ඉතිහාසය පිළිබඳවද කරුණු පැහැදිලි කරමින් හරවත් දේශනයක්‌ පැවත්වූ මේජර් ජෙනරාල් ලලිත් දවුලගල අනතුරුව සියලු විද්වතුන් සමග තේ පැන් සංග්‍රහකටද එක්‌වීමෙන් අනතුරුව නව වැඩපිළිවෙළ පිළිබඳ මෙසේ මාධ්‍යයට කරුණු දක්‌වන්නට විය.

මේ වැඩසටහන ආරම්භ වෙන්නේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව "අපි ආමි" යන තේමාව යටතේයි. තිස්‌ වසරකට පසුවයි මේ අයුරින් විද්වත් කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්‌වේච්ඡා බළසේනාවට එක්‌ වන්නේ.

"අපි ආමි" කියන තේමාව තුළ කිසිදු ජාති ආගම් කුල බේදයක්‌ නැහැ. තිස්‌ වසරකට පසු ආරම්භ වන මේ වැඩපිළිවෙළේ පළමු කණ්‌ඩායම ලෙස යුද හමුදා ස්‌වේච්ඡා සේවයට එක්‌ වන මේ විද්වත් වෘත්තිකයන් අතර සිංහල, දෙමළ සහ මුස්‌ලිම් යන ජාතීන්ට අයත් මෙරට විවිධ ක්‍ෂෙත්‍රයන් නියෝජනය කරන විද්වතුන් සිටිනවා.

ඔවුන්ගේ දැනුම යුද හමුදාවට අවශ්‍යයි. ඒ දැනුමෙන් යුද හමුදාව පෝෂණය විය යුතුයි. ගැටලු නිරාකරණයේදී එය විශාල ශක්‌තියක්‌. මෙතුළින් යුද හමුදාවට හැම ක්‍ෂෙත්‍රයකම නියෝජනයක්‌ ලැබෙනවා.

මේ පිරිස අතර වෛද්‍ය, කළමනාකරණ අධ්‍යක්‍ෂ, ගණකාධිකාරි, ගුවන් ප්‍රවාහන ක්‍ෂෙත්‍රය, මහාචාර්ය, රේගු, මිනින්දොaරු, ඉංජිනේරු, ජනමාධ්‍ය ආදී ලෙසින් විවිධ වෘත්තිකයන් සිටිනවා.

මොවුන්ට මසක පමණ පුහුණුවක්‌ ලබා දීම සිදු වෙනවා. ඉන් කෙරෙන්නේ යුද හමුදාව පිළිබඳ අදහසක්‌ ලබා දීමයි. ඒ පුහුණුවෙන් පසුව මොවුන්ගේ සේවා පළපුරුද්ද, දැනුම ආදී නිර්ණායකයන් මත සිට ඔවුන් කර්නල්, ලුතිනන් කර්නල්, මේජර්, කපිතාන්, ලුතිතන් ආදී නිලයන්හි අධිකාරියට පත් කිරීම සිදු කෙරෙනවා.

මේජර් ජෙනරාල්වරයාගේ එකී කරුණු දැක්‌වීමෙන් පසු යුද හමුදා ස්‌වේච්ඡා බළසේනාවට පළමු කණ්‌ඩායම ලෙස අලුතින් එක්‌වූ විද්වතුන් දෙසට යොමු වීමටද අපි අමතක නොකළෙමු. එහිදී ඒ සියල්ලන්ගේ ඒකායන හඬ වචන ලෙසින් පිටවූයේ මෙලෙසිනි.

ඇත්තෙන්ම මේක අපට ලැබුණු මහඟු අවස්‌ථාවක්‌. රටේ යහපත වෙනුවෙන් අපේ දායකත්වය ලබා දීමට ලැබීම සතුටක්‌. අප අතරේ විවිධ ක්‍ෂෙත්‍ර නියෝජනය කරන අය සිටිනවා. ඒ සෑම ක්‍ෂෙත්‍රයක්‌ම යුද හමුදාව සමග සම්බන්ධ කරන්න මේ මගින් අපට අවස්‌ථාව ලැබෙනවා.

මේ පුහුණුවේදී අපට ගතයුතු බොහෝ දේ තිබෙනවා. ඒ වගේම සිවිල් නීතිය හා හමුදා විනය ඒකාත්මික වී රාජ්‍ය සේවයට සම්බන්ධ වීමකුත් මෙතුළින් සිදු වන තවත් වැදගත් කරුණක්‌. අද රාජ්‍ය සේවය කම්මැලි සේවයක්‌ ලෙසිනුයි සමාජය තුළ අර්ථ දැක්‌වෙන්නේ.

නමුත් මෙතුළින් කම්මැලියි කියන රාජ්‍ය සේවය ඉහළට ඔසවා තැබීමකුත් සිදු වෙනවා. එය රටට යහපත් දෙයක්‌. හැම දෙයක්‌ම විවේචනය කරන පිරිස්‌ ඉන්නවා. ඒත් මෙයින් සිදු වෙන්නේ රටට යහපතක්‌ බව නම් පැහැදිලියි.

මින් එහා ඒ පිළිබඳ කතා කරන්නට දෙයක්‌ අපටද ඉතුරුව නැත. මන්ද මේ සියලු අදහස්‌ දක්‌වනුයේ රටම පිළිගත් වෘත්තික මට්‌ටමේ විද්වතුන්ම වන නිසාය. එහෙයින් ඔවුන්ගේ ප්‍රකාශ තුළින් වර්තමානයේ කුහකත්වය සමග සියල්ල දෙස බලන වුන්ට අනාගතයටද සරිලන සේ පිළිතුරු ලැබෙන බව අවසන් වශයෙන් සටහන් කළ යුතුය.

ස්‌තූතිය - මේජර් ප්‍රජාත් විඡේසිංහට
සමන් ගමගේ

 
http://www.divaina.com/2014/07/27/feature21.html

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.