Friday, July 25, 2014

‘මුහුදු වැදි’


මෑත කාලයක් වන තුරු සැලකුණේ මෙරට වැදි ජනතාව සිටින්නේ ඌව පළාතේ ගම්මාන කිහිපයක පමණක් බවය. එහෙත් මීට වසර කිහිපයකට පෙර මඩකලපුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් ‘මුහුදු වැදි’ ජනතාව හඳුනාගැනීමත් සමඟ එම මතය වෙනස් විය. මෙරට ආදිවාසී අධ්‍යයන ඉතිහාසයේ ප්‍රථම වරට වවුනියාව, කිලිනොච්චි, මන්නාරම හා මුලතිවු දිස්ත්‍රික්ක අයත් වන්නි ප්‍රදේශයේ ආදිවාසී වැදි ජනතාව සිටින්නේද පිළිබඳව ‘සිළුමිණ’ පුවත්පත කළ ගවේෂණයක් පහතින් පළවේ. වන්නියේ ආදිවාසී වැදි ජනතාව පිළිබඳ මෙවැනි අධ්‍යයනයක් මෙරට ආදිවාසී අධ්‍යයන ක්ෂේත්‍රයේ සිදු කරන්නේ ප්‍රථම වතාවටය.
වවුනියාවේ සිට උතුරට ඒ-9 මාර්ගය ඔස්සේ ගමන් කළ අපි මෙරට එක් යුගයක දේශසීමාවක් බවට පත්ව තිබූ ඕමන‍්තෙයි පසුකර කිලෝමීටර් විස්සක පමණ දුරක් ගෙවා පුලියන්කුලම වෙත ළඟා වූයෙමු. අනතුරුව පුලියන්කුලම හන්දියෙන් හැරී මුලතිව් මාර්ගයේ ගමන් කළ අපේ ඉලක්කය වූයේ තවත් කිලෝ මීටර් තිහක පමණ දුරින් පිහිටි ඔඩ්ඩුසුඩාන්ය.
ඔඩ්ඩුසුඩාන් නගරය හමුවීමට පෙර අපි නෙදුන්කර්නී ප්‍රදේශය පසු කළෙමු. උතුරු පළාතේ වන්නි ප්‍ර‍දේශයට අයත් මේ සෑම ප්‍රදේශයක්ම ඊළමට ඓතිහාසිකව අයත් බවට දෙමළ ඊළාම්වාදීහු අයිතිවාසිකම් කියති. අවසන් වූ දශක තුනක ඊළාම් යුද්ධයේ දී කොටි ත්‍රස්තවාදීන් මේ ප්‍රදේශ පුරා භීෂණයත් රුධිරයත් වැගිරවූයේ දෙමළ නිජබිමක් බව කියමිනි.
නෙදුන්කර්නි පසුකර ඔඩ්ඩුසුඩාන් වෙත ළඟාවෙද්දී අපට මාර්ගය දෙපස දක්නට ලැබ‍ුණේ අපූරු දසුනකි. මාර්ගය දෙපස ජනතාව සිය ගණනින් රැස්ව සිටියහ. පිරිමි හැමකෙනකුම අත කොළ අතු මිටියක් තිබුණි. ඇතැම්හු කොළ අතු වලින් සැරසී සිටියේ වැද්දන්‍ සේය.
“ඔඩ්ඩුසුඩාන්වල නෙමෙයි දඹානෙ ඉන්නවා වගෙයි දැනෙන්නෙ” මේ වැදි දර්ශනය දුටු අප සමඟ සිටි මිතුරෙක් කීවේය.
අපගේ ගමනේ අරමුණ වූයේ ඔඩ්ඩුසුඩාන් හි පිහිටා තිබෙන තාන්තෝන්ඩි ඊශ්වරා කෝවිලය. කොළ අතු රැගත් හා පැලඳගත් ආදිවාසී පෙනුමැති ජනතාව ද ගමන් කළේ එම කෝවිලටමය. මෙම කෝවිල ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ තිබෙන ප්‍රධානම හින්දු කෝවිල ලෙස සැල‍ෙක්. කොළ අතු රැගෙන පැමිණි සියළු දෙනා කෝවිලේ ළි‍ඳෙන් ශරීරය හා කොළ අතු සෝදා ගන්නවාද දැකගත හැකි විය.
“ඇයි ඔයාලා කොළ අතු අරගෙන එන්නෙ? ඇයි නාන්නෙ?” අපි ඔවුන්ගෙන් විමසුවෙමු.
“අද තමයි වේට්ටෙයි තිරුවෙලා එහෙම නැත්නම් වේදර් තිරුවෙලා දවස. ඒකට අපි සූදානම් වෙනවා.”එම සූදානම ගැන අපගේ විමසුමට පිළිතුරු දුන් ඔවුන් අනතුරුව කෝවිලට මඳක් ඈතින් පිහිටි කැලෑව දෙසට ‍ගොස් එක් තැනකට රැස් වූහ.
අනතුරුව තාන්තෝන්ඩි ඊශ්වරා කෝවිල තුළට ගිය අප මුලින්ම හමුවූයේ කෝවිලේ ප්‍රධාන භාරකරු වන නඩරාජා රාජා රාම් කුරුක්කල්තුමාය. කෝවිලේ ඉතිහාස කථාව විමසූ විට කුරුක්කල්තුමාගෙන් ලැබුණේ මෙවන් පිළිතුරකි.
“මේ ‍කෝවිලේ ඉතිහාසය අවුරුදු සිය ගණනක් වෙනවා. ඉස්සර මේ පැත්තෙ වැද්දො ඉඳල තියෙනවා. ඒ කාලෙ මේ කෝවිල තියෙන භූමිය කුඹුරු වගාව කරපු බිමක් උනත් එක සැරයක් කුරක්කන් වගා කරලා තියෙනවා. ඊට පස්සෙ අස්වැන්න ගන්න කැපුවත් පහුවෙනිදා වෙද්දි කුරක්කන් වැවිලා තිබිලා.
දින කීපයක්ම ඔය විදිහට කපන්න කපන්න නැවත නැවතත් කුරක්කන් වැවිලා. කරන්නම දෙයක් නැති තැන ගිනි තියලා. එහෙම කරලා තියෙන්නෙ වී වගාව කරන්න ඕන නිසා. ගිනි තියලා පහුවෙනිදා ඇවිත් බලද්දි ඔක්කොම ගිනිගත්තත් එක තැනක් විතරක් ගිනි අරගෙන නැතිව කුරක්කන් ඉතිරි වෙලා තිබිලා.
ඊට පස්සෙ උදැල්ලක් අරගෙන ඉතිරි වුණ කුරක්කන් පඳුරු ටික උදලු ගාලා ලොකුවට හැදිලා තිබුණ කුරක්කන් පඳුරක් උදුරන්න උදැල්ලෙන් බිමට කොටද්දි ටාං ගාලා ශබ්දයක් ඇවිත්. ඊට පස්සෙ හොඳින් බලද්දි තමයි දැකලා තියෙන්නෙ ‍ෙපාළව යට තියෙන ගල් ප්‍රතිමාවක්.
උදළු පාර වැදුණ තැන ගල ටිකක් කැඩිලා. එතිනින් ලේ ඇවිත් තියෙනවා. ඊට පස්සෙ ඒ වගා කටයුතු කරපු වැදි අය මේ ශෛලමය ප්‍රතිමාව ගොඩ අරන් වඳින්න පටන් අර‍ෙගන. පස්සෙ කෝවිලක් හදලා. මෙතන ගොඩක් හාස්කම් තියෙනවා. මිනිස්සුන්ගෙ ගොඩක් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා.” කුරුක්කල්තුමා ‍කෝවිලේ ආරම්භය පැහැදිලි කළේය.
වෙනත් හින්දු කෝවිල් මෙන්ම තාන්කෝන්ඩි ඊශ්වරා කෝවිල ද වාර්ෂිකව පවත්වන පූජාවට කියනු ලබන්නේ ‘තිරුවිලා දිනම්’ ලෙසයි. ඔඩ්ඩුසුඩාන් කෝවිලේ දින 16ක් පුරා මෙම පූජා උත්සවය පැවැත්වේ. එම කාලයට ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයම සැණකෙළි සිරියක් ගනී. දැන් යුරෝපා ආදි රටවලට සංක්‍රමණය වී පදිංචි වී සිටින ඔඩ්ඩුසුඩාන්හි හින්දු භක්තිකයෝ පවුල් පිටින් මේ සමයේ දී සිය නිවාඩුව ගතකිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම සිරිතක් කරගෙන තිබේ.
දින 16ක් පුරා පැවැත්වෙන තිරුවිලා උත්සවයේ 10 වන දිනය නම් කර ඇත්තේ “වේට්ටෙයි තිරුවිලා” හෙවත් “වේදර් තිරුවෙලා” ලෙසය. වේට්ටෙයි හෝ වේදර් යනු “දඩයම හා වැදි යන අර්ථය සහිතය. එසේම මේ උත්සවය පැවැත්වෙන්නේ වැදි සමාජයක් සිහි ගන්වන ආකාරයෙන් වීම විශේෂත්වයකි.
“වැදි චාරිත්‍ර ඉටු කරන්න වැදි පවුල් මෙහෙ ඉන්නවාද?” යන අපගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉදිරිපත් වූයේ එස්.නිමලබාලගුරු මහතාය. වෘත්තියෙන් අධ්‍යාපන නිලධාරියෙකු වන ඔහු කෝවිල් භාරකාර මණ්ඩ‍ලයේ සභාපතිවරයා වේ.
“ඉස්සර මේ පැත්තෙ ඉඳල තියෙන වැද්දො දවසක් සිව දෙවියන්ව හමු වෙලා ඉල්ලලා තියෙනව කැලේදි තමන්ව වන සතුන්ගෙන් ආරක්ෂා කරල මී පැණි දඩමස් වැඩියෙන් ලබා දෙන්න කියලත් තමන්ගෙ හේන් වන සතුන්ගෙන් ආරක්ෂා කරල දෙන්නත් කියල.
ඒ වෙනුවට දෙයියන්ට මී පැණි දඩමස් දෙන්නත් වැද්දො පොරොන්දු වෙලා. දෙයියොත් වැද්දන්ගෙ ඉල්ලීම පිළි අරන් ඉෂඨ කරල දීලා. ඊට පස්සෙ සිව දෙවියො ඒ කාලෙ වරින් වර කැලේට ගිහින් වැද්දො හමුවෙලා මීපැණි පලතුරු එහෙම අරගෙන එනවලු.
ඒත් දෙයියන්ගෙ මේ ගමනට දේවිය පුලෝගනී කැමැති වෙලා නැහැ. ඉතින දෙවියො හොරෙන් ගිහින් තියෙන්නෙ. තමන්ගෙ අකමැත්ත පිට ගිය නිසා දෙවියෝ කෝවිලෙන් එළියට ගිය ගමන් දේවිය දොර වහල. වැද්දන්ගෙන් මී පැණි දඩමස් අරගෙන දෙයියො ආවාම දේවිය දොර අරින්නෙ නැහැ.
එතකොට සිව දෙවියෝ ගොඩක් කනිපින්දම් කියල බැගෑපත් වෙලා කළ වරදට සමාව ඉල්ලලා තමයි දොර ඇරගෙන තියෙන්නෙ. ඉතින් මේ සිදුවීම වර්තමානයේදීත් වේට්ටෙයි (වේදර්) තිරුවිලා දවසේ චාරිත්‍රයක් විදිහට අපි නැවත රඟදක්වනවා. හැබැයි දැන් මේ පළාතෙ වැද්‍දො නම් නැහැ” නිමලබාලගුරු මහතා පැවසුවේය.
වේට්ටෙයි තිරුවිලා දිනය සැමරීම සඳහා සැදී පැහැදී සිටින හින්දු බැතිමතුන් කෝවිල අවට දක්නට ලැබේ. ඔවුහු කැලෑවට වැදී තමන් විසින් රැගෙන එනු ලැබූ කොළ අතුවලින් සැරසී අඟුරු කුඩු ශරීරය පුරා තවරාගෙන වැද්දන් ලෙස සැරසේ. මේ අතර කෝවිල තුළ රැඳී සිටින පිරිස ඊශ්වරා දෙවියෝ කැලෑවට වැඩම කිරීමට සැරසෙති.
එනම් අතීතයේ සිව දෙවියන් මී පැණි හා දඩමස් සොයා වැද්දන් හමුවීමට, වනයට ගිය ගමන නැවත නිරූපණය කිරීමටය. මුලින්ම දෙවියන් වෙනුවෙන් සිදු කරන පූජා විධි ඉටු කිරීමෙන් පසු දෙවියෝ වැද්දන් හමුවීමට කැලෑ වදිති.
එය නිරූපණය කිරීම සඳහා කෝවිලේ සිටින කුරුක්කල්වරු දෙවියන් සුදු අශ්ව පිළිමයක් මත තබා ඔසවාගෙන කෝවිලෙන් පිටතට රැගෙන යති. අනතුරුව කෝවිල් භූමියෙන් නික්ම ගමන් කරන මේ පෙරහර කැලෑ ප්‍රදේශයක දී නවතයි. අනතුරුව එහි රැස්ව සිටින වැදි ජනතාව දෙවියන්ව භාර ගනී.
අනතුරුව වැද්දන් ලෙස සැරසුණු සිය ගණනක් පිරිස අලංකාරව ආවරණය කරන ලද ස්ථානයට දෙවියන් කැඳවාගෙන යති. එහිදී කැලෑවේ සිට රැගෙන එනු ලැබූ මී පැණි දඩමස් හා පලතුරු වැද්දෝ දෙවියන්ට පූජා කරති. ඇතැමුන් හැබෑ දඩමස් වෙනුවට කහ සහ හුනු එක් කර රතුපැහැ වර්ණය හදා ඒවා කපු පුළුන් මත තවරා කෘත්‍රිම දඩමස් සකස් කර පූජා කරයි. ඒවා ලබා ගැනීමෙන් පසු නැවත දෙවියෝ කෝවිල කරා එන්නේ වැද්දන්ගේ කර මතිනි. එහෙත් ඒ එන විට කෝවිලේ ප්‍රධාන දොරටුව වසා ඇත. එබැවින් කෝවිලේ දොරට තට්ටු කරන දෙවියෝ,
“දේවිය දොර අරින්න” යැයි ඉල්ලා සිටිති.
“මට බැහැ දොර අරින්න මම එපා කියද්දි, මම කියන දේ අහන්නෙ නැතිව ඔහේ කැලේට ගියා. මට බැහැ දොර අරින්න” එහෙත් සිව දෙවියන්ගේ බිරිය සිටින්නේ දෙවියන් වැද්දන් සමඟ යාම පිළිබඳව දැඩි කෝපයෙනි.
“මම වැරදි ගමනක් ගියෙ නැහැ. මම පැණි ගේන්න ගියේ. මේ බලන්න මම ඒවත් අර‍ෙගන ආවේ. මට සමාව දීලා දොර අරින්න ආයි මම ඔයා එපා කියද්දි යන්නෙ නැහැ” දොරකඩ සිටින දෙවියෝ බැගෑපත් වෙති.
“එහෙනම් අදට සමාව දීලා දොර අරින්නම්. හැබැයි ආයිත් මම එපා කියද්දි යන්න එපා” යැයි කියන දේවිය අනතුරුව කෝවිලේ ප්‍රධාන දොරටුව විවෘත කරන්නීය. ඒ සමඟ දෙවියෝ වැදි ජනතාව ද සමඟ කෝවිල තුළට යති. ඉන්පසු සුපුරුදු ලෙස හින්දු ආගමික වතාවත් සිදු කෙරෙති.
අද වන විට වැදි චාරිත්‍රවලට පමණක් සීමා වුවද අතීතයේ දී මෙම ප්‍රදේශයේ ද වැදි ජනාවාස තිබී ඇතැයි කීවේ ප්‍රදේශවාසියෙකු වන එස්.සිවපෙරුමාල් මහතාය. දැනට ජීවිතයේ සැඳෑ සමය ගෙවන ඔහු දන්නා පරිදි මෙහි ඉතිහාසය මෙසේය.
ඔඩ්ඩුසුඩාන්වලට නුදුරින් පිහිටි පාවට්ටිවලෙයි නමැති කන්ද (මලෙයි යනු දෙමළ භාෂාවෙන් කන්දයි) වැදි ජනාවාසයක් පැවති ස්ථානයකි. අද එහි ගල්ගුහා හා ශෛලමය නටබුන් ඇතැයි පැවසේ. කන්දේ වාසය කළ වැද්දන්ට දිනක් කන්දෙ යම් තැනක වළ දමා තිබූ නිධානයක් හමුවී තිබේ.
එම නිධානයෙන් ලැබෙන මුදලින් ඔවුහු කෝවිල් තුනක් ඉදිකරති. එක් කෝවිලක් වන්නේ පනිනිඩ්‍රාන් අම්මාල් කෝවිලයි. අනෙක සම්මලන්කුලම් පුල්ලෙයාර් කෝවිලයි. තෙවන කෝවිල වන්නේ ඔඩ්ඩුසුඩාන් තාන්කෝන්ඩි ඊශ්වරා කෝවිලයි. වේට්ටෙයි හෙවත් වේදර් තිරුවෙලා උත්සවය නොකඩවා වාර්ෂිකව සිදු කරන්නේ මෙම කෝවිල් සෑදීම සඳහා අතීතයේ වැදි ජනතාව දැක්වූ දායකත්වයට ඔවුන්ගේ අයිතියක් වශයෙනි.
මෙම වේට්ටෙයි (වේදර්) තිරුවිලා උත්සවය පැවැත්වුණු අවස්ථාවේ ප්‍රදේශයම කොළ අතු ඇඳගත් වැද්දන්ගේ භූමියක් බවට පත්ව තිබුණි. එවැනි දර්ශනයක් දඹානේදීවත් දකින්නට ලැබෙන්නේ නැත. එහෙත් උත්සවය අවසන් වීමෙන් පසු සිය වැදි සැරසිලි ගලවා දැමූ සිය ගණනක් පිරිස වැදිකමෙන් අත්මිදුනහ.
පැරණි ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව ශ්‍රී ලංකාවේ වන්නි ප්‍රදේශයේ ද (යාපනය හා අනුරාධපුර රාජධානිය අතර ප්‍රදේශය) අතීතයේ වැද්දන් වාසය කර තිබේ. ඔඩ්ඩුසුඩාන් කෝවිලේ ඉහත සඳහන් වාර්ෂික උත්සවය එම ප්‍ර‍දේශයේ අතීතයේ ප්‍රදේශයේ ආදිවාසී වැදි ජනතාව සිටි බවට සාක්ෂියකි.
නඩරාජා රාම් කුරුක්කල්තුමා හා නිමල බාලගුරු මහතා
එහෙත් එම උත්සවයට සහභාගි වූ ජනතාවගෙන් වර්මානයේදීත් වැදි ජනතාව හෝ ඔවුන්ගේ පැවතෙන්නන් දැකිය හැකිදැයි විමසූ විට ඔවුන්ගෙන් ලැබුණු පිළිතුර වූයේ එවැන්නන් නොමැති බවය. අතීතයේ දී පමණක් වැද්දන් වාසය කර ඇති බවය.
මෙහිදී පැනනඟින ගැටලුව වන්නේ අතීතයේ වැද්දන් ප්‍රදේශයේ ජීවත්ව සිටියා නම් ඔවුන්ට කුමක් වූයේද? යන්නය. ඔවුන්ගෙන් පැවතෙන්නන් නොමැති ද? යන්නය.
මෙරට වැද්දන් ජීවත්වන්නේ ඌව පළාතේ දඹාන, රතුගල, හෙන්නානිගල හා පොල්ලෙබැද්ද යන ප්‍රදේශවල පමණක් බව මෙරට මෑත යුගයේ මතය විය. එහෙත් ඒ මතය වෙනස් වූයේ මඩකලපුව හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලින් නැ‍ඟෙනහිර වෙරළබඩ ආදිවාසීන් හෙවත් මුහුදු වැද්දන් හඳුනාගැනීමත් සමඟය.
ඓතිහාසික මූලාශ්‍ර අනුව නැ‍ඟෙනහිර වෙරළබඩ ආදිවාසීන් හෙවත් මුහුදු වැද්දන් එම ප්‍රදේශවලින් හඳුනාගත්තේත් ඔවුන් පිළිබඳ දැනුම මෙරටට සමාජගත කිරීමට පුරෝගාමී වූයේ ද මෙම ලේඛකයන් දෙදෙනාමය.
මුහුදු වැද්දන් පිළිබඳ අධ්‍යයනයේ දී ද අතීතයේ නැ‍ඟෙනහිර පළාතේ සිටි බවට සඳහන් වැදි ජනතාවට කුමක් වූයේ ද? හා ඔවුන්ගෙන් පැවතෙන්නන් නොමැතිද? යන ගැටලුව මතුවිය.
එහිදී අප අධ්‍යයන කටයුතු සිදු කළේ ප්‍රධාන අනුමාන තුනක මතය. එයින් පළමුවැන්න නැ‍ඟෙනහිර පළාතේ අතීතයේ විසූ ආදිවාසී ජනතාව සියලු ‍ෙදනා සමූල ඝාතනයක් මඟින් විනාශ කිරීම නිසා ඔවුන්ගෙන් පැවතෙන්නන් දක්නට නොමැති බවය.
දෙවැනි උපකල්පනය වූයේ අතීතයේ විසූ වැදි ජනතාව වසංගතයක් වැනි රෝගී තත්ත්වයක් හේතුවෙන් සහමුලින්ම විනාශ වීම නිසා ඔවුන්ගෙන් පැවතෙන්නන් නොමැති බවය. එහෙත් ශ්‍රී ලංකා ඉතිහාසයේ මානව වර්ගයක් සමූල ඝාතනය කිරීමක් පිළිබඳව සාක්ෂි ලැබෙන්නේ එක් අවස්ථාවක පමණි.
එය ද ජනශ්‍රැතියෙනි. කුමන වනයේ වැද්දන් නිට්ටෑහෙල නම් ස්ථානයේ දී එහි සිටි නිට්ටෑවන්ව සමූල ඝාතනය කළ බවට එයින් පැවසේ. ඒ හැර අන් සාධක නොමැති හෙයින් මුල් අනුමානය අත්හරිනු ලැබුවෙමු. දෙවැන්න කිසියම් වසංගත තත්ත්වයක් නිසා නැ‍ඟෙනහිර ආදිවාසී ප්‍රජාව විනාශ වීමයි.
එහෙත් එවැනි සාක්ෂි ද නොමැති නිසා එම අනුමානය ද අත හැරීමට සිදුවිය. අප තුන්වන උපකල්පනය ලෙස තෝරාගත්තේ අතීතයේ ජීවත් වූ ආදිවාසීන්ගෙන් පැවතෙන්නන් වර්තමානයේ දී සිය පැරණි සංස්කෘතියෙන් මිදී වෙනත් සංස්කෘතියකට අව‍ශෝෂණය වීම හේතුවෙන් එම ප්‍රජාව වර්තමානයේ දක්නට නොමැති බවය. එම උපකල්පනය මත කටයුතු කළ අපට නැ‍ඟෙනහිර පළාතේ මුහුදු වැද්දන් හඳුනාගැනීමට හැකිවිය.

ලබන සතියේ වන්නියේ වැද්දන් සමූල ඝාතනය කරලා ද? වසංගතයකින් විනාශ වී ගිහින්ද?

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.