Monday, July 14, 2014

“ග්‍රෑම් 200”....??? 200 gm...???

පලතුරු පරිභෝජනය ඉහළ නංවන්න ඉතිහාසයේ ප්‍රථම වරට පලතුරු ප්‍රවර්ධන සතියක්

කෘෂිකාර්මික අංශයෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවේ පලතුරු පරිභෝජනය ඉහළ නැංවීමේ අරමුණින් ඉතිහාසයේ පළමු වරට පලතුරු ප්‍රවර්ධන සතියක් හඳුන්වා දෙයි.
පලතුරු ප්‍රවර්ධන සතිය - 2014 “ග්‍රෑම් 200” පලතුරු ප්‍රදර්ශනය හා සැණකෙළිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණ, කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ දී ඊයේ (14) ආරම්භ කෙරුණු අතර එය ලබන 21 දා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානයකර ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරන මේ ප්‍රදර්ශනය හා සැණකෙළිය ශ්‍රී ලාංකික කෘෂිකර්ම ඉතිහාසයේ පළමුවරට පැවැත්වෙන අතර ඒ තුළින් ශ්‍රී ලාංකීය ජනතාව අතර පලතුරු පරිභෝජනය ඉහළ නැංවීම සහ දේශීය පලතුරු භාවිතය ප්‍රචලිත කිරීම අරමුණ වේ. ඊට අමතරව පලතුරු නිෂ්පාදය උනන්දු කරවීම තුළින් දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම මෙන්ම විදේශ ආනයනයන් නවතාළීම ද මේගින් අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකා පළකුරු සංගමය ස්ථාපිත කිරීම මෙන්ම පලතුරු වගාව සම්බන්ධ නව ව්‍යාපෘති 12ක් හදුන්වාදීමද මෙහිදී සිදුවිණි.
“ග්‍රෑම් 200” ලෙස නම්කර ඇති මේ ප්‍රදර්ශනය දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා විවෘතව තැබෙන අතර මෙහි දී වෙළෙඳපොළ තුළ පලතුරු සුලබ කිරීම සඳහා පලතුරු ගම්මාන ව්‍යාපෘතියක් ඇති කරමින් තෝරාගත් පලතුරු ගම්මාන කිහිපයක වගාකරුවන් සඳහා නොමිලේ පලතුරු පැළ ලබාදීම සිදුකෙරේ. ඊට අමතරව පලතුරු ගස් පුනරුත්ථාපනය කිරීමේ ජාතික ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පුහුණු කිරීමේ නිලධාරීන් හට විශේෂිත කප්පාදු කිරීමේ උපකරණ කට්ටල ලබාදීමද සිදුකෙරේ.
නිරෝගී ජීවිතයක් උදෙසා පලතුරු ආහාරයට එක්කර ගැනීම ඉතා වැදගත් වන අතර පුද්ගලයෙකු දිනකට පලතුරු ග‍්‍රෑම් 200ක් අවම වශයෙන් පරිභෝජනය කළ යුතු වුවද බොහෝ දෙනා දිනකට එක් පලතුරක් හෝ තමන්ගේ ආහාරයට එක්කර ගැනීමට උනන්දු වන්නේ නැත. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශීය පලතුරු පරිභෝජනය ඉතා අවම මට්ටමක පවතී.
වතු වගාවේ අතුරු බෝගයක් ලෙස පලතුරු වගා කිරීමේ ව්‍යාපෘතිය යටතේ තෝරාගත් වතු සමාගම්වලට නොමිලේ පැළ ලබා දීමටද, අවාරයේ මල් උත්තේජනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ තාක්ෂණික තොරතුරු පති‍්‍රකා කට්ටලයක් හා අදාළ හෝමෝන ඇතුළත් මල්ලක් නොමිලේ ලබා දීමටද පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය සැලසුම් කර තිබේ. පලතුරු ප්‍රවර්ධන සතිය තුළ පාසල් ළමුන් අතර පලතුරු පරිභෝජනය ඉහළ නැංවීම සඳහා තෝරාගත් පාසල් 10ක් තුළ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද නියමිතය.
මේ පලතුරු සැණකෙළියේ දී රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි රැසක් නැරඹීමට මහජනතාවට අවස්ථාව උදාවන අතර ගුණාත්මක තත්ත්වයේ පැළ මිලදී ගැනීමටද පොහොර, කෘෂි රසායනික හා උපකරණ මිලට ගැනීමටද පලතුරු වගාව සම්බන්ධයෙන් නොමිලේ උපදෙස් ලබා ගැනීමටද අවස්ථාව ලැබේ. රාජ්‍ය සහ පෞද්ගලික අංශවල මූල්‍ය ආයතන මඟින් පලතුරු ක්ෂේත‍්‍රය ආශ්‍රිත මූල්‍ය උපදේශනය හා පහසුකම් ලබා ගැනීමට ද පලතුරු සැණකෙළිය පැවැත්වෙන අවස්ථාවේ දී ජනතාවට ඉඩකඩ ලැබෙනු ඇත.
පලතුරු පැළ බද්ධ කිරීමේ ක්‍රමවේද, පැළ තවාන් පවත්වා ගෙන යාම, ගෘහ කර්මාන්තයක් ලෙස පලතුරු ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීම, අස්වැන්න නෙලීම හා ගබඩා කිරීම ආදි පලතුරු ක්ෂේත්‍රය ආශ්‍රිත පුහුණු වැඩසටහන් හා සම්මන්ත්‍රණ සඳහා ද පලතුරු ප්‍රවර්ධන සතිය තුළ ඉඩකඩ වෙන් වී තිබේ. මේ වැඩසටහන්වලට සහභාගී වී පලතුරු ක්ෂේත්‍රය ආශ්‍රිත දැනුම වර්ධනය කර ගැනීමට පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය ජනතාවට ආරාධනා කරයි.
පලතුරු සැණකෙළියට සහභාගී වන සැමට දැනුම, විනෝදය සපිරි සැණකෙළියක අසිරිය සමඟ නැවුම් අත්දැකීමක් ලබා ගැනීමට මෙහිදී අවස්ථාව උදාවන අතර වගාකරුවන්ට, ආයෝජකයන්ට, ව්‍යාපාරිකයන්ට, අපනයනකරුවන්ට, පර්යේෂකයන්ට, දේශකයන්ට, පරිසරවේදීන්ට, සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ට, දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ට ද පලතුරු තාක්ෂණය හා විද්‍යාත්මක දැනුම උකහා ගනිමින් පෙර නොවූ විරූ මිහිරක් අත්විඳින්නට මේ පලතුරු සැණකෙළිය ඉවහල් වෙයි.
ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, නියෝජ්‍ය ඇමැති වයි.කේ පද්මසිරි, පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී මීගස්මුල්ල, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

http://www.dinamina.lk/2014/07/15/_art.asp?fn=n1407152

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.