Thursday, May 1, 2014

ශ්‍රව්‍ය හා දෘශ්‍ය ආකෘති, අන්තර්ගත හා පිටපත් රචනය

කර්තෘ - සාලිය කුලරත්න
ප්‍රකාශනය - ඇස්.ගොඩගේ සහෝදරයා
මිල - 250/-
වර්තමානයේ ජනසන්නිවේදන විෂයය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි ඉගැන්වෙන ප්‍රකට විෂයයක් බවට පත්වී තිබේ. මේ විෂයය සම්බන්ධයෙන් විවිධ ලේඛකයන් මේ වන විට පොත්පත් රාශියක් පළකර ඇත. මේ අතරින් ”ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය ආකෘති, අන්තර්ගත හා පිටපත් රචනය” යන කෘතිය මේ ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මෑතකදී ප්‍රකාශයට පත්කර තිබෙන තවත් වටිනා ග්‍රන්ථයකි. මෙහි කතුවරයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අංශාධිපති සාලිය කුලරත්න මහතා වේ.
ලේඛකයාගේ මේ කෘතිය වැදගත් වන්නේ මූලික වශයෙන් කරුණු දෙකක් හේතුවෙති. එක් අතකින් මේ කෘතිය ජනසන්නිවේදන මූලිකාංග හා විෂය කරුණු සම්බන්ධයෙන් ආධුනිකයකුට වුවද මූලික අවබෝධයක් ලබාගැනීමට උපකාරී වේ. අනෙක් අතට ගුවන්විදුලියට හෝ රූපවාහිනියට සකස් කළ යුතු නිර්මාණාත්මක පිටපතක ස්වරූපය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට ද මේ කෘතිය පරිශීලනයෙන් හැකිවේ. පරිච්ඡේද පහක් මෙන් ම, උපග්‍රන්ථයක් ද ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය ආකෘති, අන්තර්ගතය හා පිටපත් රචනය කෘතියෙහි අඩංගු වේ.
කතුවරයා ප්‍රථම පරිච්ඡේදයෙන් සන්නිවේදනයෙහි හා ජනමාධ්‍යයෙහි ඉතිහාසය සම්බන්ධයෙන් වටිනා කරුණු රැසක් අප ඉදිරියෙහි තබයි. සන්නිවේදනයේ ඉතිහාසය ආරම්භ වී තිබෙන්නේ ප්‍රවෘත්ති වාර්තා කිරීම හා ප්‍රවෘත්ති සෙවීම පිළිබඳ කුතුහලය නිසා බව පෙනේ. මේ පරිච්ඡේදයේ මිනිසා කාලයෙන් කාලයට පාවිච්චි කළ සන්නිවේදන උපක්‍රම සම්බන්ධයෙන් සංක්ෂිප්ත ව සාකච්ඡා කර ඇත. අනතුරුව මේ ලේඛකයා ජන මාධ්‍යයේ ඉතිහාසය පිළිබඳ ක්‍රමානුකූලව හා කෙටියෙන් කරුණු අප වෙත ගෙන එයි. ජනමාධ්‍ය අතරෙන් ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබෙන්නේ මුද්‍රිත මාධ්‍යම බව මේ පරිච්ඡේදයෙන් ගම්‍ය වන්නේ ය.
දෙවැනි පරිච්ඡේදයෙහි ජනප්‍රිය සංස්කෘතිය, මාධ්‍ය සංස්කෘතිය හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය පිළිබඳ විමර්ශනයක් කර ඇත. ජනප්‍රිය සංස්කෘතිය යන්න ජන සංස්කෘතියෙන් පෝෂණය වී තිබෙන බව පෙනේ. 1970 ගණන්වලදී ජනප්‍රිය සංස්කෘතිය යන වචනය අපේ සමාජයට ආගමනය වූ ආකාරය මෙහි සාකච්ඡා කර තිබේ. මීට අමතරව විශිෂ්ට සංස්කෘතිය, වෙළඳ සංස්කෘතිය යන සංකල්ප පිළිබඳව ද කෙටියෙන් විමර්ශනය කෙරේ. මෙහි ඇති විශේෂත්වය නම් 1970 පටන් අපේ රටේ ඇතිවූ ජනප්‍රිය සාහිත්‍ය පිළිබඳ විමර්ශනයක් කර තිබීමය. කෙසේ වෙතත් මේ පරිච්ඡේදයේ දී සංස්කෘතිය යන්න පිළිබඳ ඉදිරිපත් වී තිබෙන විවිධ නිර්වචන හා එහි අඩංගු විය යුතු අංග ඉදිරිපත් කර පසුව අනෙකුත් උප සංස්කෘතික අංග ඉදිරිපත් කළේ නම් වඩාත් සුදුසු යයි මට හැඟේ.
මේ පරිච්ඡේදයෙහි මාධ්‍ය සංස්කෘතිය ගැන ද අවධානය යොමුකර තිබේ. රූපවාහිනී මාධ්‍ය මෙහි දී ප්‍රමුඛස්ථානයක් ගනී. කතුවරයා රූපවාහිනී මාධ්‍යයේ තිබෙන ධනාත්මක මෙන් ම, සෘණාත්මක අංශ දෙස සිය අවධානය යොමු කරයි. ජනප්‍රිය සංස්කෘතිය වර්ධනය වීමට වත්මන් රූපවාහිනිය සැලකිය යුතු අන්දමෙන් බලපා ඇති ආකාරය ලේඛකයා මෙහි දී විමර්ශනය කරන්නේ ය. වත්මන් රූපවාහිනී නාලිකා මෙහෙයවන බලධාරීනට, රූපවාහිනිය ගුණාත්මක ව භාවිත කළ යුතු අන්දම ගැන හොඳ වැටහීමක් ලබාගැනීමට මේ පොත පරිශීලනය කිරීමෙන් හැකිවනු ඇත.
ගුවන්විදුලි නාට්‍යය හා ගුවන්විදුලි සංස්කෘතිය පිළිබඳ විමර්ශනයක් කිරීම සඳහා තෙවැනි පරිච්ඡේදය වෙන්කර තිබේ.
ගුවන්විදුලිය ආරම්භ වූ යුගයේ සිංහල ගුවන්විදුලි නාට්‍ය නොතිබුණ බවත්, 1947න් පසු ඒවා ප්‍රචාරය වීමට පටන්ගත් බවත් සඳහන් වේ.
වේදිකා හා රූපවාහිනී නාට්‍යවලට වඩා ගුවන්විදුලි නාට්‍ය වෙනස්වන ආකාරය මේ පොතේ අපූරුවට පෙන්වා දී ඇත. ප්‍රේක්ෂකයන් ජනමාධ්‍ය කරා ඇදගැනීමට නිර්මාණාත්මක සන්නිවේදනය ඉවහල් වන ආකාරය ද කෙටියෙන් විමර්ශනය කර තිබේ.
මෙහි සිව්වැනි පරිච්ඡේදයෙන් නිර්මාණ රචනය හා මාධ්‍ය ආකෘති ගැන විමර්ශනයක යෙදේ. ගුවන් විදුලි වැඩසටහන් හා ආකෘති පිළිබඳ මේ පරිච්ඡේදයේ විවරණයක් කර ඇත. මේ ග්‍රන්ථයේ පස්වැනි පරිච්ඡේදයෙන් රූපවාහිනී නාට්‍ය විචාර සම්බන්ධයෙන් කතුවරයාගේ අදහස් දැක්වේ. ටෙලිනාට්‍ය විචාරයේ දී සාහිත්‍ය විචාර මූලධර්මවලට අමතර ව, සංගීතය, නර්තනය, ගායනය ආදිය පිළිබඳ ව ද අවධානය යොමුකළ යුතු බව මේ පොතෙන් හෙළි වේ. මේ කෘතියේ උපග්‍රන්ථයේ තිබෙන ගුවන්විදුලි මාධ්‍යයෙන් ඉදිරිපත් වූ වැඩසටහන් කිහිපයක ආදර්ශ පිටපත් සන්නිවේදනය හදාරන නවකයන්ටත්, පිටපත් රචකයන්ටත් මඟපෙන්වීමක් වශයෙන් ඉතා වැදගත් ය.
මේ ග්‍රන්ථයේ දෝෂයන් කිහිපයක් ද තිබෙන බව පෙනේ. මෙහි කතුවරයා නිරන්තරයෙන් ම වෙනත් ලේඛකයන්ගේ අදහස් අප වෙත ඉදිරිපත් කරයි. එහෙත් ඒවා පිළිබඳ තමා දරන අදහස් ඉදිරිපත් කරන්නේ ඉතා කලාතුරකිනි. එය කෘතියේ තිබෙන එක් දෝෂයකි. අනෙක් අතට මේ කෘතියේ ගුවන්විදුලිය, රූපවාහිනිය යන මාධ්‍යයන් ගැන පමණක් අවධානය යොමු කර තිබීම ප්‍රමාණවත් නොවේ යයි හැඟේ. සන්නිවේදනයේ ප්‍රබල මාධ්‍යයක් වන චිත්‍රපට කලාව සඳහා ද පරිච්ඡේදයක් වෙන්කර තිබුණේ නම් ඉතා අගනේ ය. කෙසේ වෙතත් මේ කෘතිය සන්නිවේදනය සම්බන්ධයෙන් කර ඇති වටිනා ඥාන ගවේෂණයකි.
මෙහි දක්වා ඇති පාදක සටහන් නිසා පාඨකයාට අවශ්‍ය නම් වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා පාදක සටහන්වල සඳහන් ග්‍රන්ථ ද කියවා මේ විෂයය සම්බන්ධයෙන් දැනට පවතින දැනුම තවදුරටත් පුළුල් කරගැනීමට හැකි වනු ඇත. මෙහි කතුවරයා යොදාගෙන තිබෙන ලේඛන ශෛලිය ද පාඨකයන් ඇදගැනීමට සමත් වේ. එබැවින් ආධුනිකයන්ට මෙන් ම, ප්‍රවීණයන්ට මේ ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් නවදැනුමක් ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත.

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.