Monday, April 21, 2014

කවි කුලය බබුළුවා නිවී ගිය විමල කවි මිණි පහන

ජාතියේ හදවත් තුළ සදාදරය තැන්පත් කොට, කවියෙන් ගේය කාව්‍යයෙන් ගද්‍ය කාව්‍යයෙන් සාහිත්‍යයෙන් ජාතිය පිනවූ ඔහු ජාතියේ මහා කවියා විය.

දකුණු රෝහණ ජනපදයට අයත් දකුණු සිරිලක බෙන්තර වලල්ලාවිට කෝරලයේ බලපිටියේ වැලිතොට වැල්ලබඩ උපන් විමල් අභයසුන්දරට අත පොත් තබන ලද්දේ වැලිතොට පුෂ්පාරාමාධිපති ව වැඩ විසූ පණ්ඩිත ශිරෝමණී වැලිතොට ශ‍්‍රී ඥාණතිලක තිස්ස මහානායක මාහිමියන් විසිනි.
වැලිතර පිරිමි පාසලෙන් මූලික අධ්‍යාපනය ලබාගත් ඔහු වැලිතොට සුගත ශාසනෝදය පිරිවෙනේදී රාජකීය පණ්ඩිත අහුන්ගල්ලේ විමල කිත්ති තිස්ස මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ පා සෙවණේ පිරිවෙන් අධ්‍යාපනය ලබා ගන්නට පටන් ගත්තේ ය.
ඉක්බිති කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට බැඳී උසස් අධ්‍යාපනය ලැබුවේ ය. බද්දේගම ශ‍්‍රී පියරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පණ්ඩිත වැලිවිටියේ සෝරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පණ්ඩිත හෑගොඩ ධම්මින්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පණ්ඩිත තෙල්ලමුරේ පවරකිත්ති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන ශ්‍රේෂ්ඨ ආචාර්යයන් වහන්සේලා වෙතින් සිංහල පාලි සංස්කෘත ප‍්‍රකෘත යන භාෂා සාහිත්‍යයන් පිළිබඳ ගැඹුරු දැනීමක් ලබා පිරිවෙන් අධ්‍යාපනය අවසන් කෙළේ විශිෂ්ට කුසලතා දක්වමිනි.
 මේ අතර ඔහු හින්දි භාෂාව ද හදාළේ ය. ප‍්‍රාචීන පණ්ඩිත විභාගයෙන් සමත් වූයේ ය. මරදානේ ලෝරන්ස් විද්‍යාලය, ආනන්ද මහා විද්‍යාලය, පෙම්රොක් විද්‍යාලය යන විදුහල්වලින් ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලැබුවේ ය.
ලන්ඩන් පොදු අධ්‍යාපන උසස් පෙළ විභාගයෙන් සමත් විය. ජ්‍යෙෂ්ඨ ආදි ආනන්දීයයෙක් වූහ.
අධ්‍යාපනය අවසන් කළ විමල් අභයසුන්දර පුවත් පත් කලාවේදියකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කෙළේ ය.
පුවත් පත් කලාගුරු ඩී.ඩබ්ලිව්.වික‍්‍රමාරච්චි සූරීන් යටතේ සරසවි සඳරැස පුවත් පතේ උප කතුවරයා ලෙස 1949 දී පත්වීමක් ලබා එහි කටයුතු කරගෙන ගියේ ය.
ආචාර්ය ඒ.පී.ද සොයිසා, ජයන්ත වීරසේකර, හේමපාල මුනිදාස, ඩේවිඩ් කරුණාරත්න ආදී වියතුන් ගේ සමීප ආශ‍්‍රය ලැබූ ඔහු 1950 දී ලංකාදීප කර්තෘ මණ්ඩලයට බැඳුණේ ය.
ආචාර්ය ඒ.පී.ද සොයිසා මහතා පැවැත්වූ ධර්ම සමය සතිපතා පුවත් පතේ සංස්කරණ කටයුතුවලට සහය වූ හෙතෙම දියඇල්ල කවි මාසිකයේ සංස්කාරකවරයා ලෙස ද කටයුතු කෙළේය. මේ අතර අගනුවර සාහිත්‍ය සමාජයෙහි සභාපතිවරයා ලෙස ද විවිධ සාහිත්‍ය ව්‍යාපාරවල යෙදුණේ ය.
1951 දී පෙරමුණ සතිපතා පුවත් පතේ සහකාර සංස්කාරකවරයා වශයෙන් බැඳුණු ඔහු එහි අවුරුදු දෙකක් පමණ සේවය කෙළේ ය.
එවක පෙරමුණ පුවත් පතේ අග‍්‍ර සංස්කාරකව සිටි වෙ.වි. අභයගුණවර්ධන සූරීන් සමඟ පෙරමුණ වෙසක් කලාප දෙකක් සංස්කරණය කෙළේ ය.
ඉක්බිති 1953 දී දිනමිණ පුවත් පතේ කර්තෘ මණ්ඩලයට බැඳුණු ඔහු, දිනමිණ ප‍්‍රධාන කර්තෘ පියසේන නිශ්ශංක පුවත් පත් කලාවේදියාණන් යටතේ, අවුරුදු දෙකක් පමණ සේවය කෙළේ ය.
ඒ අවදියේ දී මහා නවකතා කතුවර ඩබ්ලිව්.ඒ.සිල්වා සූරීන් ගේ ළඟ ඇසුර ලැබූ ඔහු ඩී.ඇෆ්.කාරියකරවන ආදී ජනමාධ්‍යකරුවන් සමඟ ද සමීප සබඳකම් පවත්වාගෙන ආවේ ය.
දිනමිණ සංස්කාරක මණ්ඩලයෙන් අස් වූ විමල් අභයසුන්දර සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මඟින් සම්පාදනය කරවන ලද සිංහල විශ්ව කෝෂයේ සහකාර සංස්කාරකයකු ලෙස පත් ව ගියේ ය.
එහි ප‍්‍රධාන සංස්කාරක ධූරන්දර ව සිටි මහාචාර්ය ඩී.ඊ.හෙට්ටිආරච්චි විද්වතාණන් යටතේ විශ්වකෝෂ කරණය හා පර්යේෂණ කාර්යයෙහි පුළුල් පුහුණුවක් ලබා ගැනීමට ඔහුට හැකි විය.
සිංහල විශ්වකෝෂ කාර්යාලය කොළඹ සිට පේරාදෙණියට ගෙන යෑමෙන් පසු පේරාදෙණි විශ්වවිද්‍යාලයයේ මහා පුස්තකාලය ආශ‍්‍රය කිරීමේ අවස්ථාව ද ඔහුට ලැබුණේ ය.
විමල් අභයසුන්දර ගේ පළමු වැනි කෙටි කතා පොත 1954 දී එළි දුටුවේ ය. සිරිමලී නම් වූ මේ කෙටි කතා එකතුව සීමාසහිත ඇම්.ඩී.ගුණසේන සමාගමෙන් ලිහිණි පොතක් ලෙස පළ විය.
මේ අවදිය වන විට ඔහු ග‍්‍රන්ථකරණය කෙරෙහි වඩ වඩා නැඹුරු වෙමින් සිටියේ ය. සිංහල ගීත නාටක සංකල්පය විශ්ලේෂණය කරමින් ‘නිෂාදි’ නම් විචාරපූර්ණ ග‍්‍රන්ථය ලියැවුණේ ඔහු පේරාදෙණියේ ගත කළ කාලයෙහි දී ය.
මේ ග‍්‍රන්ථයට 1960 දී පළමු රාජ්‍ය සම්මාන පළමුවැනි ත්‍යාගය හිමි විය. සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් වර්ෂයේ හොඳ ම ග‍්‍රන්ථවලට ත්‍යාග පිරිනැමීමට පටන් ගත්තේ එම අවුරුද්දේ ය. ගරු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය අතින් තෑගි පිරිනැමුණේ අනුරාධපුරයේ දී ය.
ගුවන් විදුලි විචිත‍්‍රාංග නිෂ්පාදනයට අලුත් මුහුණුවරක් ගැන්වූ විමල් අභයසුන්දර නොයෙක් විෂය ක්‍ෂේත‍්‍රවල විවිධ විචිත‍්‍රාංග රචනා කොට නිෂ්පාදනය කළ අතර බාහිර පිටපත් රචකයන් ගේ ද විචිත‍්‍රාංග වැඩසටහන් නිෂ්පාදනය කෙළේ ය.
 සතිපතා විචිත‍්‍රාංග වැඩ සටහනක් ප‍්‍රචාරය කිරීමට සැලැස්සීම ඔහු ගේ වගකීම විය.
 සතිපතා පද්‍යාවලිය නම් කවි වැඩ සටහන නිෂ්පාදනය කිරීම හා ඉදිරිපත් කිරීම ඔහු විසින් කරන ලද අතර, දෙසතියකට වරක් ප‍්‍රකාශ කළ ගුවන් විදුලි සඟාවේ සිංහල අංශය සකස් කරන ලද්දේ ඔහු විසිනි. නාට්‍ය නිෂ්පාදනය ද ඔහු අතින් සිදු විය.
මුල් ම අවදියේ මුවන් පැලැස්ස නාට්‍යය නිෂ්පාදනය කෙළේ ඔහු ය.
බි‍්‍රතාන්‍ය ගුවන් විදුලි සංස්ථාවේ පුහුණුව ලැබීම පිණිස 1964 දී විමල් අභයසුන්දර ලන්ඩන් නුවරට ගියේ පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලැබීමෙනි.
බි‍්‍රතාන්‍ය ගුවන් විදුලි ආයතනයේ ගුවන්විදුලි වැඩසටහන් හා රූපවාහිනී වැඩ සටහන් පිළිබඳ ව සමසක පුහුණුවක් ලැබීමට ඔහුට අවස්ථාව සැලැසුණේ ය.
පෙරළා සිය රටට පැමිණි ඔහු ගුවන් විදුලි වැඩ සටහන්වල නොයෙකුත් අත්හදා බැලීම් කළේ ය. වාචික වැඩ සටහන්වල මෙන් ම සංගීත වැඩසටහන් වල පරිපෝෂණයට ද ඔහු ගෙන් ලැබුණු දායකත්වය විශිෂ්ට ය.
විචිත‍්‍රාංග , ප‍්‍රණීතාංග , විශේෂ වැඩසටහන්, සංගීතමය විශේෂාංග මහත් රාශියක් ඔහු විසින් රචනා කොට නිෂ්පාදනය කරන ලදී. ඔහු ගේ පළමු වැනි ගුවන් විදුලි ගීත නාටකය ප‍්‍රචාරය වූයේ ඔහු ගුවන් විදුලියට බැඳෙන්නටත් පෙර ය.
‘නිෂාදි’ නම් වූ එයට සංගීතය සපයන ලද්දේ සංගීත විශාරද ලයනල් එදිරිසිංහ මහතා විසිනි. නිෂ්පාදන කෙළේ තේවිස් ගුරුගේ මහතා ය. සිංහල ගීත නාටක ක්ෂේත‍්‍රයේ වර්ධනයට අද්විතීය සේවයක් කළ ඔහු විසින් සිය ගුවන් විදුලි කාලය තුළ ගීත නාටක හා සංගීතමය ප‍්‍රණීතාංග 37 ක් පමණ රචනා කොට නිෂ්පාදනය කර ඇත.
මෙම ගීත නාටකවලින් වැඩි ගණනකට සංගීතය නිර්මාණ කෙලේ ගුවන් විදුලි සංගීත අංශයේ ප‍්‍රධානයා ව සිටි සංගීත විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා මහතා ය.
 ඔහු ගේ ගීත නාටක ගණනාවකට ම මහාචාර්ය සනත් නන්දසිරි විසින් සංගීතය නිර්මාණය කරන ලදී. මහාචාර්ය සනත් නන්දසිරි ගුවන් විදුලියෙන් පළමුවෙන් ම ගැයූ ගීතය විමල් අභයසුන්දර ගේ නව දැලි හේන ගීත නාටකයට ඇතුළත් වූවකි.
වික්ටර් රත්නායකයන් ගුවන් විදුලියෙන් ගීත නාටක සංගීතමය ප‍්‍රණීතාංගවලට ගැයූ පළමු වැනි ගීතය ද විමල් අභයසුන්දර විසින් රචනා කරන ලද්දකි. විශාරද නන්දා මාලිනී විසින් ගුවන් විදුලියේ ස්වදේශීය සේවයෙන් ගයන ලද පළමු වැනි ගීතය රචනා කෙළේ ද විමල් අභයසුන්දර ය.
1960 පළමු වැනි බණ්ඩාරනායක අනුස්මරණ වැඩ සටහනට රචනා කරන ලද බණ්ඩාරනායක අනුස්මරණ ගීතයයි ඒ. එම ඓතිහාසික ගීතයට දැන් වසර පනහකට කිට්ටු ඉතිහාසයක් ඇත. අද ද හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියස පැවැත්වෙන ගුණානුස්මරණ උත්සවයේ දී ගයන්නේ ද ඒ පැරැණි ගීතය ම ය.
සිංහල ගුවන් විදුලි සේවයට ඔහු විසින් අලුතින් හඳුන්වා දෙන ලද වචන මහත් රාශියකි. විශේෂ වැඩසටහන් ප‍්‍රණීතාංග ආදියට හා සරල ගීත ගුවන් විදුලි ගීත නාටක ආදියට ඒ අතින් ලැබුණු පරිපෝෂණය ඉතා උසස්ය.
නිතිපතා ප‍්‍රචාරය වන ඇතැම් වැඩ සටහන්වලට දුන් සිරස්තල අදත් ගුවන් විදුලියෙන් ඇසේ. ගුවන් විදුලි පද්‍යාවලිය ඉතා දීර්ඝ කාලයක් නිෂ්පාදනය කෙළේ ඔහු ය. ගුවන් විදුලි සේවයෙන් විශ‍්‍රාම ලැබූ පසු ද පද්‍යාවලිය සහ නාට්‍ය වැඩ සටහන් ඔහු විසින් ඉදිරිපත් කරන ලදී.
විමල් අභයසුන්දර විසින් ලියන ලද ලොකු කුඩා පොත් සියයකට වැඩි ය. ඒ පොත් අතුරෙන් නිෂාදි (1960) යුග යුග බැඳි හදවත (1975) නව බග සඳ (1979) ප‍්‍රබුද්ධ ශක්තිය (1979) යන කෘති රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනා ඇත.
 බණ්ඩාරනායක චරිතාපදානය (1971) බණ්ඩාරනායක අපදාන කාව්‍යය (1972) සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් හා දෙපාර්තමේන්තුවෙන් පවත්වන ලද සමස්ත ලංකා ග‍්‍රන්ථ රචනාවලින් ප‍්‍රථම ස්ථානය දිනා ගෙන තෑගි හිමිකරගත් පොත් ය.
යුග යුග බැඳි හදවත (1975) සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය මඟින් පවත්වන ලද දීප ව්‍යාප්ත ග‍්‍රන්ථ රචනා තරගයෙන් මුල් තැන දිනා ගත් කාව්‍යමය නිර්මාණයකි. ඒ සම්මේලනය මඟින් ඔහුට ‘කවි සාහිත්‍යභූෂණ’ සම්මානය පිරිනමන ලද්දේ මේ කෘතිය අගය කරමිනි.
සිංහල සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ නොයෙක් අංශවලට අයත් ශාස්තී‍්‍රය වූ ද නිර්මාණාත්මක වූ ද විචාරාත්මක වූ ද ග‍්‍රන්ථ කරණයෙහි යෙදුණු විමල් අභයසුන්දර නවකතා ලිවීමට ද පිවිස ඇත. ඔහු විසින් ලියන ලද ‘මිණිහිරිය ‘ (1984) ඓතිහාසික නවකතාවකි. ‘සුදුවැලිතලාවේ සෙල්ගී ‘ අනිබද්ධ මහා කාව්‍යයකි. වැලිතොට පින්බිම මූලාශ‍්‍ර කරමින් රචනා කළ පද්‍ය 2000 ක පමණ නිර්මාණ සංග‍්‍රහයකි.
විමල් අභයසුන්දර විසින් 1950 ගණන්වල සිට සංගීතයට හා සංගීත සාහිත්‍යයට කරන ලද සේවය ඉතා විශිෂ්ටය. ඔහු විසින් 1969 දී ලියන ලද “නිෂාදී” නම් ග‍්‍රන්ථය පර්යේෂණාත්මක ශාස්තී‍්‍රය කෘතියකි.
සිංහල ගීතය හා ගීත රචනා පිළිබඳ ශාස්තී‍්‍රය පදනම ගැන වැඩි අවබෝධයක් නොපැවැති එම අවධියේ දී මේ කෘතිය නිසා අපේ ගීත රචනා ක්ෂේත‍්‍රයෙහි ගීතාත්මක වූ ද සංගීතාත්මක වූ ද ව්‍යුහය පිළිබඳ ව ශාස්තී‍්‍රය සිද්ධාන්ත හෙළිදරව් වූයේ ය. ගීත ක්ෂේත‍්‍රය නව මඟකට යොමුවීමට මෙයින් කරන ලද මඟ පෙන්වීම තවමත් නොදෙවැනි තැනක පසුවෙයි. මෙය රාජ්‍ය සම්මාන ලැබූ කෘතියකි.
1963 ප‍්‍රකාශයට පැමිණි ඔහු ගේ “සංගීත සංහිතා” නම් අති විශාල කෘතිය මේ විෂයය පිළිබඳ ව ලියැවී ඇති සංගීත විශ්වකෝෂයක් වැන්නකි.
 පෙරදිග සංගීතයේ ආදිම අවස්ථාවේ පටන් වර්තමානය දක්වා ක‍්‍රම විකාශය ක‍්‍රම විද්‍යානුගත ව ඉදිරිපත් කොට ඇති මෙහි භාරතීය විද්‍යාත්මක අංශයත් ප‍්‍රායෝගික අංශයත් මැනැවින් නිරූපණය වෙයි.
මේ ග‍්‍රන්ථය රචනා කිරීමේ දී ඔහු විසින් හඳුන්වා දෙන ලද සම්භාව්‍ය සංගීතය පිළිබඳ නව පාරිභාෂික වචන දැන් පොදුවේ බොහෝ දෙන අතර භාවිත වෙයි.
ඔහු ලක්බිම දුටුවේය, ‘ලක් පොළොව දුටුවේ ය. ලක් දෙස දුටුවේය. ලක් රැස දුටුවේය. ලක් බස දුටුවේය. ලක් හරය දුටුවේය .
හිරු සඳු තරු මුහුද ගඟ ඇළ දොළ මුළු මහත් පරිසරය ම දුටුවේ ඔහු මේ හැම ප‍්‍රිය වස්තුවක් ම දැක උකහා ගන්නා ලද්දේ, හඳුනා ගන්නා ලද්දේ,, වටහා ගන්නා ලද්දේ, පසක් කර ගන්නා ලද්දේ කවියේ සියුම් දැකීමෙනි.
හරයෙනි. අර්ථයෙනි. සැබවින් ම ඔහු ඉදිරියේ පොදු ජන කවි හද විවර ව පැහැදිලි ව පෙනී සිටින්නට විය.
දුල්ලභො පුරිසාජඤ්ඤා
නසො සබ්බත්ථ ජායති
යත්ථසො ජායති ධීරො
තං කුලං සුඛ මෙධතී
- ධම්මපද
උත්තම පුද්ගලයෝ දුර්ලභ වෙති. එබඳු උතුම් පුද්ගලයෝ සියලු තන්හී ම පහළ නො වෙති. යම්කිසි තැනෙක එබඳු බුද්ධිමත් උත්තම පුද්ගලයකු පහළ වූ විට එම ජාතියට සෙත සැලැසෙයි.
අභයසුන්දර මහ කවියා ද එබඳු උත්තම පුරුෂයාණ කෙනකි.

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.