Sunday, April 27, 2014

උඩරට අවුරුදු සිරිත්

ලංකාවේ මුල්කාලීන ව ක්‍රියාත්මකවී ඇත්තේ චන්ද්‍ර මාස ක්‍රමයයි. ඒ බව 12 වන සියවසේදී හමුවුණු සෙල්ලිපියක සඳහන් වන බව කියැවෙයි. සූර්යයා ලංකාවට මුදුන්වීම පදනම් කරගෙන අප්‍රේල් මස 13 – 14 දින අලුත් අවුරුදු උදාව සැමැරීම ඇරඹී ඇත්තේ ශත වර්ෂ ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟිනි. ගඩලාදෙණි සෙල්ලිපියට අනුව ලංකාවට ශතවර්ෂ ක්‍රමය ලැබී ඇත්තේ් ක්‍රි:ව: 14 වන සියවසේදී ය.
ශත වර්ෂ ක්‍රමය යනු හින්දු ආගම මුල්කරගත් ඉන්දීය නැකැත් ශාස්ත්‍රයට අනුව ගොඩනැගුණකි. අලුත් අවුරුදු උදාව සැමැරීම අද ද ලංකාවේ හඳුන්වන්නේ සිංහල හින්දු අවුරුද්ද නමිනි. ඊට හේතුව ඉන්දීය නැකැත් ශාස්ත්‍රයේ ආභාසයේ පැමිණි අලුත් අවුරුදු සැමරීම මෙරට සිංහල හා දෙමළ ජාතිකයන්ට පොදු ජාතික උත්සවය බවට පත්වූ බව ය. අතීතයේ පටන් මෙය ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධානතම ජාතික උත්සවය බවට පත්වීමට හේතු වූයේ එය රාජ්‍ය අනුග්‍රහය ලත් ප්‍රධානතම උත්සවයක් වූවා සේම ජන ජීවිතය හා බැඳි ජන සංස්කෘතියේ පැණ නැගී ඔපවත්වූ වැඩි දියුණු වූ උත්සවයක් වන බැවිනි.
උඩරට ප්‍රදේශයේ අවුරුදු සමරන ලද ආකාරය පිළිබඳ ව හමුවන ඉපැරණි ම සාක්‍ෂියත් උඩරට රාජධානිය සමයේ ලංකාවේ සිරකරුවකු ව සිටි රොබට් නොක්ස් විසින් රචිත එදා හෙළිදිව කෘතියෙහි සඳහන් වේ.
අලුත් අවුරුදු උත්සවය රාජකීය උත්සවයක් ලෙසින් සමරන ලද ආකාරය පිළිබඳ ව එහි මැනවින් විස්තර වේ.
ඒ අනුව අවුරුදු උත්සවය සඳහා නැකැත් රාලට සහ බෙහෙත් ගෙයි රාලට මේ කාලයේ වැඩ අධිකවෙයි. ඔවුන් මැදින් මස මුල් බාගයේ සිට ම මේ සඳහා පේවී කටයුතු කරයි. මේ අනුව මුලින් ම අවුරුදු උදාව සහ නියමිත නැකැත් පිළිබඳ ව නැකැත් රාල නැකැත් සකස් කරයි. එසේ සකස් කරන නැකැත් අතර නානු සකස් කිරීමට ද (හිසතෙල් ගෑම සඳහා) සිදු කරයි.
ඒ නැකත් අනුව බෙහෙත් ගෙයි රාල නානු සකස් කර ඇත්තේ නාථ දේවාලයේයි. දළඳා මාලිගයට සමීප ව ම පිහිටා ඇති නාථ දේවාලයේ නානු සකස් කර ඇත්තේ ආරක්‍ෂාව පිළිබඳ ව සැලැකිලිමත් වෙමිනි. ගස් කීපයකම කොළ, මුල්, පොතු එක්කර සාදන නානු ගැල්වීමෙන් ආයු, වර්ණ, සැප, බල වැඩෙන බව විශ්වාසයි. මෙසේ නාථ දේවාලයේ සකස්කරන ලද නානු බහාලන ලද භාජන සුදු පිරුවටයකින් ආවරණය කොට මාලිගාව වෙත යවා ඇත.
නැකැත් රාල පරණ අවුරුද්ද අලුත් අවුරුද්ද උදාව ආදිය පිළිබඳ ව සකස් කරන ලද නැකැත් වලට අනුව රජ මාළිගය මුල් කරගෙන චාරිත්‍ර ඉටුකර ඇත්තේ මාලිගයත් නගරයත් අලංකාර ලෙස සරසමිනි. මාලිගාවේ දොරටුවක් දොරටුවක් පාසා තොරණ ඉදිකර ඒවායේ කොඩි එල්වා අලංකාර කර තිබූ බව “නොක්ස්’ විස්තර කර තිබේ.
අවුරුදු දා උදෑසන මාලිගය ඉදිරිපිට සන්නාහ සන්නද්ධ සේනාවන් පෙළපාලි පවත්වා ඇත. අවුරුද්ද දා උදෑසන රජු අලංකාර ලෙස සැරසී සිංහාසනරූඩව සිට ඔහු බැහැදැකීමට පැමිණි මහඅධිකාරම් ඇතුළු නිලමේවරුන්ගේ තෑගි පිළිගැනීම සිදුකර ඇත. මේ අනුව නිලමෙවරු විසින් ඇත්දත්, මුතු, මැණික්, ආබරණ, ඇඳුම්, ලෝහ භාණ්ඩ හා මුදල් තෑගි වශයෙන් පිරිනමා ඇත.
අවුරුදු සමයේදී මහජනතාවට රජ බැහැදැක තෑගි දීමට අවස්ථාව ලැබී ඇති අතර මීපැණි, ධාන්‍ය, දුම්කොළ ආදිය මෙසේ රට වැසියන් රැගෙන පැමිණි බවද ඔවුන් ඒ තෑගි රජුගේ අතට ම දීම සඳහා මාසයක් වුව මාලිගය අසල රැඳී සිටින බවද නොක්ස් සඳහන් කර ඇත.
උඩරට රජ මාලිගයේ අවුරුදු උත්සවය සැමරීමේදී හිස තෙල් ගෑමට ප්‍රධාන තැනක් ලැබී ඇත. මෙය ප්‍රධාන අධිකාරම් හා ප්‍රාදේශීය නායක නිලමේවරුන්ගේ ද සහයෝගය ඇතිව රජු සිංහාසනාරූඪ ව සිට හිසට ඉහළින් කොළ එල්ලා පයට පෑගෙන සේ කොළ තබා රජුට ආශිර්වාද කරමින් අදිකාරම් සහ නිලමේවරු තෙල් ගෑම සිදුකර ඇත.
රජ මාලිගයේ අවුරුදු සැමරීමේ නැකැත් නිලමේවරු හරහා ගම් වලටත් ලැබී ඇති අතර ගම්වලද අවුරුදු උත්සව නැකැත් මුල් කරගෙන උත්සව ශ්‍රීයෙන් සැමරූ බව නොක්ස් විසින් සඳහන් කර ඇත.
මහා කන්නයේ අස්වනු නෙලා අවසන් වීමත් සමඟ ම ලැබෙන විවේක කාලය අලුත් අවුරුද්දට සූදානම් වීමට හොඳ අස්වැසිල්ලකි. ගෙවල් මකුළු දැල් කඩා ගොම පිරියම් කිරීම, හුණුපිරියම් කිරීම, කුස්සිය පිරිසිදු කර ගැනීම වසරක් පුරා ම භාවිතය නිසා කැඩී බිඳී යන ලිප් ගල් ඉවත්කර අලුතින් ගල් බැද ලිප් සකස් කිරීම අවුරුදු උදාවට පෙර සිදු කරන පිළිවෙත් ය. මෙය එදා සිට අද දක්වා ම විවිධ වෙනස්කම්වලට ලක්වෙමින් වුවද තවමත් සිදු වෙයි.
ජන ආගමේ චාරිත්‍රයක් ලෙස ඇරැඹි අවුරුදු සැමරීමේ උත්සවය පසුව බෞද්ධ ආගමික ඉගැන්වීම් හා වත් පිළිවෙත් අනුව සකස්වී ඇති බවද හඳුනාගත හැකියි.
අවුරුද්දට වැඩ වැරීමක් හෙවත් නොනගත කාලයක් එළැඹෙයි. මේ වැඩ වැරීමේදී මුළුතැන්ගෙය සම්පූර්ණයෙන් ම නිදහස් කරයි. මෙහිදී මුළුතැන්ගෙයි ගින්දර නිවා දමයි. උඩරට පළාතේ ද කුණු මුන්න පිදීම යනුවෙන් චාරිත්‍රයන් ඉටු කරයි. ලිපෙහි ඉවත් කරන අළු මුළුතැන් ගෙයින් ඉවත් කරන කුණු එකතු කර කැවිලි වර්ග සහ බුලත් විටික් සමඟ නොනගත උදාවට පෙර කතාබහ නොකර මුළුතැන් ගෙයින් පිටවී එළිමහනෙහි තැනක තබා පැමිණෙවි. මෙය වැඩි වශයෙන් ඉටු කරන්නේ ගෘහණිය විසිනි.
එලෙස තබා පැමිණ අපි “ඉකුණුමුන්න පුදා ආවා” යයි සැමට ඇසෙන්නට කියයි. එසේ කියන්නේ නොනගත වේලාව උදා වී ඇති බවත් ඒ කාලයේදී මුළුතැන්ගේ කිසිදු කටයුත්තක් සිදු නොවන බවටත් ඇඟවීම සඳහායි.
නොනගතය අවසාන වී අවුරුදු උදාවී නැකැත් ඇරැඹෙන අතර ලිප ගිනි මෙලැවීම ප්‍රධාන වේ. නැකැත් චාරිත්‍ර අනුව සුදුසු වර්ණයෙන් යුත් වස්ත්‍රාභරණයෙන් යුතුව නියමිත දිශාව බලා ලිප් ගිනි මෙලවීම සිදු කරයි. මෙහිදී සෙත් පිරිත් පොත ගෙන හෝ කටපාඩම් පිරිත් කීම බොහෝ ගෘහණියන්ගේ සිරිතකි. එළැඹෙන අවුරුද්ද පුරා අඩුපාඩුවක් නොවී කිරි ඉතිරෙන ලෙසත් භව බෝග සම්පත් වලින් අඩුවක් නොවේවායි ප්‍රාර්ථනා කරමින් කිරි ඉතිරෙන තෙක් නොඉවසිල්ලෙන් පසු වෙයි.
මින් අනතුරුව එළැඹෙන වැදගත් ම නැකැත ගනුදෙනු කිරීම හා වැඩ ඇල්ලීමය. ආහාර අනුභවය ද මේ සමඟම යෙදේ. ගනුදෙනු කිරීමේදී ගෘහණිය වසර පුරා ජලය දුන් ළිඳ සමඟ ගනුදෙනු කරයි. මෙහිදී පෙර වසරේදී ලබාගත් වතුර පිරවූ භාජනයෙහි වූ වතුර ළිඳ ට දමා අඟුරු කාසියක් සහ මල් ද ළිඳ ට දමයි. ඉන් අනතුරු ව ඒ භාජනය නැවත වරක් පුරවාගෙන ගෙදරට ගෙනවිත් පරෙස්සම් ඇතිව ඊළඟ වසර තෙක් ම තබාගනී. ඒ වතුර වසරක් ගෙවීමේදීත් නරක් නොවන බවට විශ්වාසයක් පවතී.
මේ අවස්ථාවේදී ගෘහ මූලිකයා ගෙවත්තෙහි පැළයක් සිටුවීම හෝ කිරි ගහක් කෙටීම සිදු කරයි. බොහෝවිට අඹ, පොල්, පැඟිරි, කොහොඹ ආදී වූ ගසක් සිටුවීම සිදු කරයි. හත්මාලුව ප්‍රමුඛව කැවුම් කිරිබත් කෙසෙල් ආදියෙන් යුතු ව සකස් වෙන අලුත් අවුරුදු කෑම මේසය නිරතුරුව ම සතුටු සාමිචියේ පිරී යන්නේ අවුරුද්ද සමඟ සිදුවන නෑදෑ හිත මිතුරන්ගේ පැමිණීම හේතුවෙනි.
නෑදෑයින් එක්වීම නිසා ඔන්චිලි, පංච කෙළි ආදියට ද අවස්ථාව උදාවෙයි. හිස තෙල් ගෑමද අවුරුද්දේ ප්‍රධාන චාරිත්‍රයකි. එය පන්සල මූලික කරගෙන සිදුවෙයි. ගමේ පිරිමින්ගේ හිසේ තෙල් ගෑම පන්සලේ හාමුදුරුවන් විසින් සිදුකරන අතර ගමේ වෙද මහතා කාන්තාවන්ගේ හිසේ තෙල් ගැල්වීම සිදු කරයි.
ස්නානය කිරීමේ නැකැතින් අවුරුදු චාරිත්‍ර අවසන් වුවද වෙසක් මාසය දක්වා ම නෑ ගමන් යාම සිදුවෙයි. උඩරට අවුරුදු සිරි විසිතුරු වෙන ප්‍රදේශයන්ගෙන් වෙනස් වන්නේ එසේ ය.

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.