Saturday, April 19, 2014

සාහිත්‍යසූරී ඩබ්ලියු.ඒ.අබේසිංහ

ලේඛනය කලාවක් ලෙස යොදා ගන්නේ ලේඛකයා ය. තමාට ම ආවේණික වූ අනන්‍ය වූ ලේඛන ශෛලියක් හඳුනාගැනීම සහ එසේ හඳුනා ගොඩ නඟාගත් ශෛලිය නිර්මාණාත්මක ලෙස භාවිතා කිරීම ද මහත් සේ වැදගත් වෙයි.
අප රටේ ලේඛකයෝ බොහෝ වෙති. ඒ අය අතරින් කලාවක් ලෙස ලේඛනය හසුරුවන, භාවිතා කරන අය සංඛ්‍යාත්මක ව මහ ගොඩක් ඇත්තේ නැත. ඔවුන් අතරින් ද බස නිවැරැදි ලෙස තමන්ට ම අනන්‍ය වූ රටාවකට, ශෛලියකට හසුරුවන්නන් ඇත්තේ ද සීමිත ගණනකි. අප මේ සඳහන් කරන්නට යන්නේ මේ මාර්තු 31 දින ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ වයඹ මණ්ඩපය මඟින් සාහිත්‍ය සූරී ගෞරව උපාධියෙන් පිදුම් ලැබූ අධිනීතිඥ ඩබ්ලියු.ඒ.අබේසිංහ නම් වූ ලේඛකයා, දේශකයා, සාහිත්‍යධරයා පිළිබඳ ව ය.
අප දන්නා බොහෝ විද්වතුන් කිසියම් විෂය ක්‍ෂේත්‍රයකට සීමා වූ විෂය ප්‍රවීණයන් බව අපගේ අත්දැකීමයි. ඒ අතර තවත් අය නොදන්නා විෂයයක් කලාවක්, විද්‍යාවක් නැති ලෙස උදුම්මවා ගත් හිස් ඇති ව මාධ්‍ය ඔස්සේ තම දක්ෂතා ගැන පුරසාරම් දොඩති. එවන් ඇතැම් අය දන්නා දෙයක් ද නැති නොදන්නා දෙයක් ද නැති අය ලෙස හඳුනා ගනු වටී. අබේසිංහයන් ද සියල්ල දත් අයකු ලෙස හඳුන්වාදීමට යාම විහිළුවකි. එහෙත් ඔහු සිය ජීවිතයට බද්ධ කරගෙන ඇති කලාව හා සාහිත්‍යය ක්‍ෂේත්‍රයේ පුළුල් අවබෝධයක් ලබාගෙන ඇතුවා පමණක් නො ව පසුගිය දසක හතර හමාරක කාලය තුළ ඒවා භාවිතයට ගෙන සමාජගත කර ඇති බව ද පැහැදිලි ය.
පළමුකොට අබේසිංහයන් පිළිබඳ ව බොහෝදෙනා දන්නේ ගීත රචකයකු හැටියට ය. එය සත්‍යයකි. අපගේ ගීත සාහිත්‍යය ගැන විමසා බලන විට එහි විශිෂ්ටතම ගීත රචකයන් කීපදෙනා අතර අබේසිංහ නම ද ගැනෙයි. පණ්ඩිත් අමරදේවයන් ගයන අඩවන් වූ දෙනෙතින් ගලනා.... විශාරද නන්දා මාලිනිය ගයන මිහිමඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා... වික්ටර් රත්නායකයන් ගයන සීගිරි ළඳකගෙ පුළුලුකුලේ සැදි නෙරිය ලතාවයි..., ටී.එම්.ජයරත්නයන් ගයන ජනප්‍රිය ප්‍රබුද්ධ ගීතයක් වූ පාවී පාවී මේ එන්නේ... අතීතයේ සිට එන සුළඟයි.. වැනි ගීත කෙතරම් සමාජගත වූ ගීත දැයි අමුතුවෙන් කිව යුතු නොවේ.
මේ හැරුණුකොට ප්‍රකට ගායක ගායිකාවන් ගැයූ ගීත විශාල සංඛ්‍යාවක් ඔහුගේ ගීත සාහිත්‍ය නිර්මාණ අතරලා වැදගත් කොට සැලැකෙයි. කුලියාපිටිය මැදි විදුහල සිය තක්සලාව ලෙස සලකන අබේසිංහයන් තම පාසල් මාතාව පිදීමට ලියූ සාහිත පැරකුම් කිවි නැණ පහනින.. ආදී වූ කුලියාපිටිය මැදි විදුහලේ වත්මන් පාසල් ගීතය වෙනත් කිසිදු පාසල් ගීයක දක්නා නොලැබෙන අපූර්ව ගීතයක් බව අවිවාදිතය.
අබේසිංහයන් ගේ සාහිත්‍යය පිළිබඳ ව වූ දැනුම තුළින් මතුකර ගන්නා ප්‍රතිභාව සිය සාහිත්‍ය කලා මාධ්‍ය කීපයක් පුරා පතුරුවා හරියි. අනන්‍ය වූ බසක් සහිත කවියකු, කෙටිකතාකරුවකු, නවකතාකරුවකු, සාහිත්‍ය කෘති අනුවාදකයකු, නාට්‍ය පිටපත් රචකයකු, දේශකයකු, ව්‍යක්ත කථිකයකු මේ ආදී වශයෙන් වූ බොහෝ නම්වලින් හඳුන්වමින් කවුරුත් අන්තිමට කතා කරන්නේ සියල්ලෙන්ම පෝෂිත යහපත් මිනිසකු පිළිබඳ ව ය.
අබේසිංහයන්ගේ අපූරු නිහතමානී පැවැත්ම හා බැඳී පවතින ආකර්ශනීය වූ සුන්දර පෙනුමයි. මේ පුංචි සුන්දර මිනිසාට ඒ සුන්දරත්වය ලැබෙන්නේ ජාතික හා ජාත්‍යන්තර තලයේ වූ කලා හා සාහිත්‍ය සේවනය සමඟ වූ පුළුල් සුවිශාල අත්දැකීම් සම්භාරයයි.
කෙතරම් ඉහළ තනතුරු ඔහු දැරුවත් ඊට ඉහළින් එන අණකිරීම්, බලකිරීම්, ඔහුට හිතට එකඟ නො වූ විට ඔහු ඊට එරෙහි වෙයි. ඉහළින් දෙන නියෝග ක්‍රියාත්මක කරන එහෙයියකු වී තනතුර ආරක්ෂා කරගෙන පැවැත්මට කුමක් හෝ කරන්නට ඔහු කටයුතු නො කළේය. ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ හා උපදේශක තනතුරේ සිටියදී අබේසිංහයන් ජනාධිපති චන්ද්‍රිකාට ද අවනත වූයේ නැති බව ප්‍රකට කරුණකි. ඒකාලයේ එක් දිනක් මම ලේක්හවුසියේ ඔහුගේ රාජකාරි කරන කාමරයට ගියෙමි. අප විනාඩි කීපයක් කතාකරමින් සිටින අතර එක්තරා පුවත්පතක සංස්කාරකවරයකු ඔහු වෙත ලිපියක් රැගෙන ආවේය.
“සර් මේ ලිපිය ... ඇමැතිතුමා එවල තියෙන්නෙ දාන්න ම කියල .. අනුමත කර දෙන්න... වෙනව...” සංස්කාරකවරයා ඉල්ලුවේය.
”ආ.. ඌ මහා මැරයෙක්නෙ.. මොකක්ද තියෙන්නෙ ඕකෙ.. වැඩක් ඇති ඒවා නො වෙයිනෙ... අල්ලල වීසි කරනවා.. මොකට මෙහෙ ගේන්නෙ...” අබේසිංහයන් බැණගෙන බැණගෙන ගියේ ය.
”නෑ සර්.. නො දැම්මොත් ප්‍රශ්නයක් වෙයි”
”මොන ප්‍රශ්නයක්ද? ප්‍රශ්න වෙනව කියල මිනිස්සුන්ට කියවන්න පත්තරවල දාන්න ඕනෑ ඔය එක එකාගෙ බහුබූත කුණු කන්දල් ද?...” සංස්කාරකවරයා ආපසු පිටවී ගියද වහා යළිත් පැමිණියේ ය.
”සර්.. මේක නොදා බෑ.. කොහොම හරි දාන්න වෙනවා... ඇමතිතුමා...” සංස්කාරකවරයා හෙමින් මිමිණුවේ ය.
”දැන් සැරයක් කිව්වනෙ මම.. අල්ල විසිකරන්ඩයි කිව්වෙ.. ඔය කුණු කන්දල්වලින් පත්තරේ පුරෝල පුළුවන්ද, උන්ට තේරෙනව ද පත්තරයක යන්න ඕන මිනිසුන්ට වැඩක් ඇති දෙයක් ගැන කියල.. ඕව උන්ට තේරුම් කර කර ඉන්ඩ ඕනැ නෑ. කාලෙ නාස්ති කරන්ඩ ...”, අබේසිංහයන් කෝපයෙන් කෑගැසූ හැටි මට මතකය. මෙවැනි නාහෙට අහන් නැති වැඩ නිසා දිගු කලක් තම තනතුර දරා සිටීම පහසු නැත.
තම පාසල් මව වන අප මධ්‍ය විද්‍යාලයට ඔහු ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වන්නේ මහත් අභිමානවත් හැඟීමකිනි. මෑතකදී ආරම්භ වූ උසස් පෙළ ව්‍යාපෘති ඇසුරින් පාසල් භූමියේ නොයෙකුත් අලුත් අලුත් සංවර්ධන වැඩ කෙරීගෙන යන අතර දිනක් ඔහු මට කතා කළේ තරමක කෝපයෙනි.
”කරුණෝ... ඔයාලගෙ ඇස් පේන්නෙ නැද්ද? මේ ඉස්කෝලෙ වත්තෙ ගහල තියන බෝඩ්වල, වැරදි කොච්චර තියනවද? අක්ෂර වින්‍යාසය ගැන ළමයින්ට උගන්වන්නෙ ඔහොමද? දන්නෙ නැත්තං මට ගෙනත් දෙන්ඩ ඕව ගලවල... මං හදල දෙන්නම්... තේරෙන් නැද්ද ළමයි තුන්දහක් විතර නිතර ගැවසෙන තැනක වැරදි අකුරක් තිබුණොත් ඒකෙ බලපෑම කොච්චරද? ළමයි කියන්නෙ අනුකරණය කරන්ඩ කැමැති පෙලැඹෙන අය... පොතක තියනවටත් වඩා මේක එන යන හැම දෙනාට ම පේන තැනක් නිසා මේක බරපතළයි.” අබේසිංහ නො නවතා කියාගෙන ගියේ දැඩි දෝෂාරෝපණයක් අප වෙත එල්ල කරමිනි.
දේශපාලනය පිළිබඳ පොතපත හිඟ අවධියේ ඒ විෂයය පිළිබඳ විමර්ශනාත්මක ලිපි ඇතුළත් පොත් පෙළ එකල විභාග අපේක්ෂක ගුරු සිසු සැමට ම මහත් ඵලදායී විය. දසක හතර හමාරක පමණ කාලය තුළ සියතින් ලියූ පොත් සංඛ්‍යාව 156කි. මෙයින් 12ක් කාව්‍ය සහ ගීත පිළිබඳ ව ය. ඉන් නවකතා සහ කෙටිකතා ද 14ක් පරිවර්තන ද 24ක් සාහිත්‍ය විචාරද, 11ක් විවරණ සහ සංස්කරණ ද, 9ක් ශාස්ත්‍රීය (දේශපාලන හා ආණ්ඩුක්‍රම නීතිය) ද, 8ක් විවිධ ලෙස ද, වෙනත් නිර්මාණ ලෙස 2ක් ද, යෞවන සාහිත්‍ය හා යෞවන සාහිත්‍ය අනුවාද 7ක් ද ළමා සාහිත්‍ය කෘති 65ක් ද වෙයි.
ගුවන්විදුලි හා රූපවාහිනී මාධ්‍යවලින් ද මුද්‍රිත මාධ්‍ය වලින් ද ඔහුගේ ගීත පිළිබඳ ව කතා බහ කිරීම කෙසේ වෙතත් ඉහත සඳහන් කෙරුණු පොත් පත් 156 පිළිබඳ ව ප්‍රමාණවත් විමසුමකට භාජන වී ඇත්දැයි ප්‍රශ්නයකි. කොටින් ම කීවොත් අබේසිංහ ගැන කතා කරනවාට වඩා ඔහුගේ නිර්මාණ පිළිබඳ ව සාකච්ඡා කිරීම, විමසුම අපගේ සාහිත්‍ය ගැන කතා කිරීමේ දී වැදගත් වනු ඇත.
1938.09.13 දින උපත ලද අබේසිංහයන් මුලින් ඉංග්‍රීසි ගුරුවරයෙකි. විශේෂ ඉංග්‍රීසි පුහුණුවත්, උපාධියත්, හැරුණුකොට අධිනීතිඥවරයකු ලෙස වෘත්තිය වෙනස් කළ ද විටින් විට බොහෝ තනතුරු දරමින් පුළුල් අත්දැකීම් රැසක් ලැබුවේ ය. නොසැලී සිටීමට පන්නරය ලැබුණේ ඒ අත්දැකීම්වලිනි. දිනමිණ, ඇත්ත, සිරිලක වැනි පුවත්පත්වල උපකර්තෘ, විශේෂාංග කර්තෘ වැනි ධූරවලද ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රචාරක ආයතනයක විධායක තනතුර ද, ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල උපදේශක හා අධ්‍යක්ෂ ධූර ද ඉසිලී ය.
ආසියා බෞද්ධ සාම සම්මේලනයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති වැනි තනතුරුවල වරින් වර කටයුතු කළේ ය.
වයඹ පළාත් කලාපති තනතුරින් පිදුම් ලැබුවේ 1990 දී ය. ළමා සාහිත්‍ය කෘතීන් සඳහා 1980, 1990, සහ 1997 වසරවල රාජ්‍ය සම්මාන ලැබුවේ ය. අබේසිංහ සූරීන් ජාත්‍යන්තර වශයෙන් සහභාගිවූ සම්මන්ත්‍රණ කීපයක් ද සඳහන් නොකර ම බැරි ය. මෙයින් 1966 දී සෝවියට් දේශයේ පැවැති ආසියා අප්‍රිකා ලේඛක සම්මන්ත්‍රණය 1967 දී ලෙබනනයේ පැවැති ලේඛක සම්මේලනය 1969 දී සයිප්‍රස් හි පැවැති ලෝක සාම සම්මේලනය, 1988 දී ඉන්දියාවේ පැවැති කවිතා ඒෂියා කාව්‍ය මංගල්‍යය ද, මොස්කව්, මොන්ගෝලියාව, දිල්ලිය යන නගරවල රටවල 1978 සහ 1984 වසරවල පැවැති ආසියා බෞද්ධ මහා සම්මේලනය ද නියෝජනය කිරීම වැදගත් වෙයි.
ජාතික සහ ජාත්‍යන්තර තලයේ අත්දැකීම් බහුල ව්‍යක්ත කථිකයකු, දේශකයකු, ලේඛකයකු... මේ ආදී විවිධ ආකාරයට හැඳින්විය හැකි අධිනීතිඥ ඩබ්ලියු.ඒ. අබේසිංහයන් විෂයය ක්‍ෂේත්‍ර ගණනාවක දස්කම් පෙන්වා, භාවිත කර, සමාජගත කර තිබීමත් ඊට කෘතවේදී ව වයඹ සරසවිය මඟින් ම ගෞරව බහුමානයට ලක්කිරීමත් කෙතරම් නම් ප්‍රශංසනීය ද?

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.