Sunday, April 27, 2014

ජන සාහිත්‍ය පෝෂණය වූයේ අපේ අවුරුද්ද නිසයි

 සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය
මුදියන්සේ දිසානායකයන් සමඟ සිංහල අලුත් අවුරුද්ද හා බැඳි ජන කෙළි පිළිබඳ ව කෙරුණු සාකච්ඡාවක් පහත දැක්වේ.
වර්තමානයේ අප සිංහල ජන ක්‍රීඩා ලෙස දකින ඇතැම් ජන ක්‍රීඩා අපට ආවේණික සම්ප්‍රදායට හා චින්තනයට අනුකූල නොවන බව ඔහු මෙහිදී අවධාරණය කරයි.
ජන ක්‍රීඩා සහ ජන නැටුම් ලෝකයේ කවර රටකත් දක්නට ලැබෙනවා. ඒ අතර ශ්‍රී ලංකාවේ ජන ක්‍රීඩා සහ ජන නැටුම්වල දක්නට ලැබෙන සුවිශේෂත්වය වන්නේ ඒවා සිංහල අලුත් අවුරුද්ද සමඟ බැඳී පැවැතීමයි. මේ ජන කෙළි සහ සිංහල අලුත් අවුරුද්ද අතර පවතින්නේ කුමන ආකාරයේ සම්බන්ධයක් ද?
පෙර’පර දෙදිග ජනකෙළි (ජන ක්‍රීඩා සහ ජන නැටුම්) අතරින් ශ්‍රී ලංකාවේ ජනකෙළි විශේෂ වන්නේ එය සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම හා බැඳී පැවැතීම යි. හින්දුන්ගේ පමණක් නෙවෙයි සූර්ය ඇදහිල්ල අපගේත් ඉපැරණි ඇදහිල්ලක්. රාවණ යුගයේ පටන් සූර්ය ඇදහිල්ල දක්නට ලැබුණා. සූර්ය දෙවියන්ගේ බලය නැත්නම් රවි ග්‍රහයාගේ බලපෑම අපි විශ්වාස කරනවා. සූර්ය වන්දනය මුළු පෙරදිගටම පොදුයි.
ඒ නිසා මේ ප්‍රධාන පිදවිල්ල වටා නොයෙකුත් ජන ක්‍රීඩා, ජන නැටුම්, ජනකවි, ජන කතා, ශාන්තිකර්ම ආදිය ගොඩ නැගෙන්න පටන් ගත්තා. මෙසේ ගොඩනැගුණු ජන ක්‍රීඩා සහ ජන නැටුම් විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා.
අපි නාමික ව ඒ ගැන සඳහන් කරනවානම්, ඔලිඳ කෙළිය, භූ කෙළිය, පතුරු කෙළිය, ගුස්ති ඇල්ලීම, චක්ගුඩු, වළකජු ගැසීම, එළුවන් කෑම, ජවුසන් නැටීම, කතුරු ඔන්චිල්ලා, පන්දු කෙළිය, ලී කෙළි, පොල් කෙළි, පංච කෙළිය, මේවර කෙළිය, ලේන්සු හැංගීම ආදි වශයෙන් ජන ක්‍රීඩා විශාල ප්‍රමාණයක් එදා සමාජයේ දක්නට ලැබුණා.
මේ ඇතැම් ජන ක්‍රීඩා අලුත් අවුරුද්දට ම සිදු කිරීමට විවිධ හේතුන් දක්නට ලැබෙනවා. උදාහරණ ලෙස වළ කජු ගැසීමට කජුත් ඔලිඳ කෙළියට ඔලිඳත් ලැබෙන්නේ අලුත් අවුරුදු කාලයේ ය. ඒ විදියට ස්වභාවික පරිසරයත් සමඟ බද්ද වීමත් අපේ ජන ක්‍රීඩාවල දකින්න ලැබෙනවා.
අනෙක් කාරණය තමයි අක්යාල වෙන්කර (දෙවියන් වෙනුවෙන් වෙන් කරනු ලබන අස්වැන්නේ මුල් කොටස) අස්වනු ගෙට අරන් පත්තිනි, වීරමුණ්ඩ, කොහොඹා වැනි දෙවිවරු වෙනුවෙන් දාන මංගල්ල පවත්වන්නේත් මේ කාලයේම යි. මේ දෙවිවරු, (විශේෂයෙන් පත්තිනි) සමඟ අපේ ජනක්‍රීඩාවල අත්‍යන්ත වූ බැඳීමක් දක්නට ලැබෙනවා.
අතීත සිංහල ජන ක්‍රීඩා යම් ඇදහිල්ලක් මූලික කරගෙන නිර්මාණය වී ඇති බව දක්නට ලැබෙනවා. මේ අතර ඇතැම් ජන ක්‍රීඩාවන් සෘජු ලෙස ම යාතුකර්මීය ලක්ෂණ පෙන්නුම් කරනවා නේද?
අපි ප්‍රධාන වශයෙන් සූර්යයා මූල කොටගත් ඇදහිලි විශ්වාස සම්ප්‍රදායක් බිහි කරගත් ජාතියක්. දෙමළ ජාතියත් එසේ ම යි. ඒ වගේම ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සිංහල දමිළ ජනයා අතින් එකසේ පිදුම් ලබන එක ම දේවතාවිය වන්නේ පත්තිනිය යි. පත්තිනිය ආරක්ෂාවත් සශ්‍රීකත්වයත් උදා කරන බව ගැමියන් විශ්වාස කරනවා. අපේ ජන ක්‍රීඩා නිර්මාණය වෙන්නේ මේ පත්තිනි ඇදහිල්ලත් සමඟ යි.
ඔබ සඳහන් කළා වගේ ඇතැම් ජන ක්‍රීඩා තිබෙනවා යාතු කර්ම ලෙසින්ම පවත්වන. ඒවා ව්‍රත චාරිත්‍ර නමින් හඳුන්වනවා. පත්තිනි හා පාළඟ සපුමල් කැඩීමට කැලයට ගිය අවස්ථාවක ඔවුන්ගේ කෙකි එකට පැටලී තිබුණා. පත්තිනියට තමන්ගේ කෙක්ක ගලවා ගැනීමට නොහැකි වූ නිසා ඒ අසළින් ගමන්ගත් මලය කුමාරවරු තිදෙනාට එය ගලවා දෙන්න යයි කීවා.
මේ කුමාරවරු තිදෙනා එක වලියටම කෙක්ක ඇද ගලවා දුන් නිසා පත්තිනිය ඔවුන්ට වලියක්කු යයි නම් තැබුවා. මහනුවර විෂ්ණු දේවාලයේ වලියක් මංගල්ලය පවත්වන්නේ මේ තිදෙනා වෙනුවෙන්. පත්තිනි හා පාළඟ ගේ මේ කෙක් පටලැවිල්ල සිහිකිරීම සඳහා තමයි අංකෙළිය නම් ජන ක්‍රීඩාව සිදු කරන්නේ.
පොල් කෙළිය (පොර පොල් ගැසීම) සිදු කරන්නේ වීරමුණ්ඩ දෙවියන් සහ පත්තිනි පිදීමක් වශයෙනුයි. පොර පොල් ගැසීමට පොල් ලබාගන්නා පොල් ගස් පත්තිනිට වෙන් කර තිබෙනවා. ඒවා පත්තිනි ගස් කියලත් නම් කරනවා. අඟල් කාලක් පමණ ගනකම් වූ කටුවක් සහිත උල් හැඩැති කුඩා පොල් ගෙඩි තමයි පොල් කෙළියට යොදාගන්නේ. මේ ජන ක්‍රීඩාවලින් අස්වනු සරුවී, ලෙඩ රෝග දුරු වී සෞභාග්‍යය උදාවෙන බවක් අතීතයේ සිට ගැමියන් විශ්වාස කරනවා. මේවා ගැමියන්ගේ ශාන්තිකර්ම යි.
මේ ජනකෙළි ගැමියාට කොතරම් හෘදයංගම වූවාද කියනවානම් ඒ හා බැඳුණු ජන සාහිත්‍යයක් ද නිර්මාණය වී තිබෙනවා නේද?
ඔව්. අලුත් අවුරුද්ද හා ජනකෙළි සමඟ බද්ධ වූ බරපතළ ගීත, කාව්‍ය හා ජනකතා සාහිත්‍යයක් අපට තියෙනවා. එයින් නිරූපණය වෙන්නේ ජනතාව කොයිතරම් දුරට ඒ ක්‍රීඩාව සමඟ හෘදයංගම වූවාද කියන කාරණයයි.
“ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ
ඔලිඳ තිබෙන්නේ බංගලි දේසේ”
ඔලිඳ අපේ රටට බංගලාදේශයෙන් ගෙනාවක් කියලයි ගැමියන් විශ්වාස කරන්නේ.
“එළුවන් කන්නයි මං ආවේ, එළුබෙටි කාපන් තුන්බීරේ” කියමින් කුඩා දරුවන් එළුවන් කෑම කරනවා. ඒ කාලෙ ගම් ගෙවල්වල හරක් එළුවන් ආදී සතුන් ගාල්කර තිබුණු කොටුවලට කොටි වගේ සත්තු පැනලා හරක් ටික, එළුවො ටික කාල යනවා. මේ සංසිද්ධිය තමයි දරුවන් මේ අනුරූපණය කරන්නේ.
ඒ වගේම, උඩුපිලායි යටිපිලායි - උඩුපිලායි යටිපිලායි
පොල් කෙළි මල් කෙළි සැණකෙළි ආසි ද මුතු කෙළි...
කියමින් පොල් කෙළිය පවත්වනවා. තවත් තැනක දරුවන් රංඩු ගැහිලා
“නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල්
අප දුටුවේ නැත මේවරයා...” කියමින් මේ වර කෙළියේ යෙදෙනවා. අලුත් අවුරුද්ද ජන කවියෙන් පිරි සැණකෙළියක්. ඒ අතර තව ළමයි පිරිසක් වයසක සීයා කෙනෙක් අසල ඉඳගෙන මහදැනමුත්තගෙ කතාව, වීරවරුන්ගේ කතා ආදිය අහනවා. එතන තියෙනවා අපේ දරුවන්ගේ විචාර බුද්ධිය වර්ධනය වන කතා කලාව. වෙන රටවල කෙටිකතාව, නවකතාව බිහිවෙන්න කලින් අපි ජාතක පොත කියෙවුව ජාතියක්.
මේ ජන සාහිත්‍යය ගොඩ නැඟීම කියන දේ අපට ආවේණික දෙයක්. අපි කොච්චර දියුණු ජාතියක් ද කියනවානම් හැම වැඩකදීම අපි කවිය සම්බන්ධ කරගත්තා. කුඹුර හෑවෙ, ගොයම් හිටෙව්වේ, කොළ පෑගුවෙ, ඔරුව පැද්දේ, කරත්තයේ ගියේ පැල් රැක්කේ, දරුවා නැළැවුවේ කවි කියමින්. අපි මරණයේදීත් වෙස්සන්තර ජාතක කාව්‍යය කියෙවුවා.
ජනකෙළි පිළිබඳ සමාජ විද්‍යාත්මක අගය පිළිබඳ ව අවධානය යොමු කළොත්?
ගමේ සිටින වැඩිහිටි තරුණ බාල සියලු දෙනා කලඑළි බහින්නේ අවුරුදු කාලයට යි. ඇත්තෙන් ම මෙතන වැඩිහිටියන්ට අමුතු අවස්ථාවක් නෑ. තරුණ තරුණියන්ට සහ ළමයින්ට තමයි මේ අවස්ථාව එළැඹෙන්නේ. විශේෂයෙන් චක්ගුඩු පැනීමකදී, පොල්කෙළියකදී, අං ඇදීමකදී ජවුසන් නැටීමකදී තරුණියන් හඳුන ගන්නවා හොඳ කාය ශක්තිය තියන තරුණයින් ව.
ඒ වගේම ඔවුන් සතු තීක්ෂණභාවයත් මැන ගත හැකි වෙනවා. මේවා බලා සිටින වැඩිහිටි මව්පියවරු හඳුනා ගන්නවා තමන්ගේ පවුලට ගැළැපෙන තරුණයා කවුද කියලා. ඒ වගේ ම තමයි තරුණියන්ටත්, ඔවුන්ට වෙන්වූ ක්‍රීඩා තිබෙනවා. පංච දැමීම, ඔලිඳ කෙළිය වැනි දේවලින් මැන බලන්නේ ඔවුන් සතු කළමනාකරණයයි.
ඒ කාලෙ ඉස්කෝලෙ ගිහින් වීජ ගණිතය, ජ්‍යාමිතිය, අංක ගණිතය කළමනාකරණය ඉගෙන නොගත්තත් තරුණියන් සතුව මේ හැකියාවන් වර්ධනය වුණේ ජන ක්‍රීඩා හරහායි. නිවසක සැලසුම්කරණය හා කළමනාකරණය කරන්නේ කාන්තාවයි. ඒ නිසා නිවසකට කැන්දාගෙන එන යුවතිය මනා සැලැසුමක් ඇති තැනැත්තියක ද යන්න පිළිබඳ සොයා බැලීම වටිනා දෙයක්. ගමේ වැඩිහිටියන් ගැමි යුවතියන්ගේ මේ ලක්ෂණ බලාගන්නේ ජනක්‍රීඩා හරහායි. ඒ අනුව තමයි වැඩිහිටියන් තමන්ගේ පවුලට ගැළැපෙන දියණි කෙනෙක් තෝරාගන්නේ.
බටහිර සංස්කෘතියට දැඩි ලෙස ගොදුරු වී සිටින වර්තමාන පරපුර වෙතින් ජනකෙළි ප්‍රතික්ෂේප වීමක් සිදුවේ යැයි සිතිය හැකි ද?
1505 නොවැම්බර් 15 වැනිදා පෘතුගීසි ආක්‍රමණයත් සමඟ අපේ සමාජය දූෂිත වුණා. අප අද ජනක්‍රීඩා ලෙස දකින ඇතැම් දේ බුදුන් පවා අනුමත නොකළ සූදු හෙවත් දාදු ක්‍රීඩා ලෙසයි නම් කළ හැකි වන්නේ. අද ගම්වල කැට ගහනවා බූරු ගහනවා වැනි මුදල් හෝ වෙනත් ඔට්ටු ඇල්ලීම් මත පදනම් වූ ක්‍රීඩා තමයි දක්නට ලැබෙන්නේ. මේ බොහෝ ක්‍රීඩා මුදලට පාවා දිය හැකි ක්‍රීඩායි.
මේවා අපට ආවේණික දේවල් නෙවෙයි. එතන අපේ සම්ප්‍රදාය නෑ. අතීතයේ කතුරු ඔන්චිල්ලාව බඳින්නේත් පත්තිනි පූජාවක් ලෙසයි. ඔන්චිල්ලාව ගලවා ගම්මඩුවක් ද පවත්වනවා. අද තිබෙන්නේ මත්ද්‍රව්‍ය භාවිත කර බූරු ගැසීම් නම් මේ දෙක අතර තිබෙන වෙනස අප කාටත් හඳුනාගන්න හැකි වෙනවා. ඒ වගේම තමයි අද අපි අවුරුදු උත්සවවල දකින ජනක්‍රීඩා සියල්ල ම අපේ ම ජන ක්‍රීඩා කියල හඳුන්වන්න අමාරුයි. වර්තමානයේ දකින්න ලැබෙන කඹ ඇදීමේ තරගයක දී ඇතිවෙන්නේ පාර්ශව දෙක අතර තරගයක් හා වෛරයක්.
අපේ ජන ක්‍රීඩා වලින් වෛරයක් ඇතිවුණේ නෑ. අං ඇදීම කළේ, පොල් කෙළිය කළේ පූජාර්ථයන් ඒ තුළ තිබුණේ ආශිර්වාදාත්මක හැඟීමක්. ඒ වගේම හෘදයංගම ව මේ ක්‍රීඩා කළ නිසා කාව්‍ය සාහිත්‍යයක් ද බිහි වුණා.
අද කඹ ඇදීමකදී හෝ කොට්ට පොරයකදී කාව්‍ය හෝ වෙනත් සාහිත්‍යයක් නිර්මාණය වී තිබෙනවා ද? එසේනම් මේ චින්තනයන් අතර වෙනසක් තිබෙන බව පැහැදිලියි. අපි වර්තමානයේ අවුරුදු කුමරිය තේරීමේ තරඟ පවත්වනවා. අපේ සිංහල සමාජයේ කාන්තාව රූප සෝභාව පෙන්වීම සඳහා වේදිකාවට නැංගුවෙ නැහැ. ඇය අනාගත මාතාවක් නිසා ඇගේ ගෞරවය රැකීමට සමාජය පෙලඹුණා.
කාන්තාවගේ වැඩුණු අඟපසඟ ප්‍රදර්ශනය කිරීම හොඳ දෙයක් නෙවෙයි. ඒ වගේ ම තමයි අපි දැක තිබෙනවා අද විකට ඇඳුම් තරග වලදී දකින්න ලැබෙන්නේ රජ කෙනෙක්ගේ, නිලමෙ කෙනෙක් ගේ, හිමිනමකගේ, ගොවියකුගේ වැනි ගෞරවණීය චරිත නිරූපණයක්. මේවා විසුළු චරිත ද? මෙවර අවුරුද්දේ දී වත් මෙබඳු අවිචාරවත් ජන ක්‍රීඩාවලින් මිදී අර්ථාන්විත වූ අපේ ජන ක්‍රීඩාවලට යොමු වෙනවානම් යහපත්.

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.