Saturday, April 19, 2014

ලෝක ළමා පොත් දිනය වසර තිහක් අඛණ්ඩව සමරන වසන්ත ළමා කඳවුර

ලෝක ළමා පොත් දිනය වසර තිහක් අඛණ්ඩව සමරන වසන්ත ළමා කඳවුර

පොලොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ වී ගොවීන්ට මෙදා කන්නය සාරය. අස්වැන්නත් හොඳය. වීවලට ද හොඳ මිලක් ලැබේ. ඒ සතුට අස්සේ අනාගතය පිළිබඳ සැක ශාංකාවක් ද ඔවුන්ගේ සිතෙහි ගුළිවී තිබුණි. මුළු ප්‍රදේශයටම වැස්සක් දිගු කාලයකින් වැටුණේ නැත. වැස්ස නොමැතිකම නිසා ලබන කන්නයට මහවැලි ජලය නොදෙන බවට රාවයක් තිබුණි. ලබන කන්නයට ගොවිතැන් කටයුතු කර ගැනීමට නොහැකි වුවහොත් ආදායමක් ලැබෙන්නේ නැත. එනිසා මෙදා කන්නයේ ආදායම පරිස්සමින් වියදම් කළ යුතුය.
මැදිරිගිරිය, දිවුලංකඩවල ගමේ ගොවි මහතුන් දුවා දරුවන් සෑම වසරකම, කොළඹ ළමා පොත් සංගමයෙන් පැවැත්වෙන වසන්ත ළමා කඳවුරට නොවරදවාම සහභාගි වෙති. මාපියන්ට ප්‍රශ්නයක් වූයේ වැසි නොමැතිව ඉදිරි කන්නයෙහි ගොවිතැන් කටයුතු කර ගැනීමට නොහැකිවුවහොත් විය පැහැදම් පියවා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳවය. එවැනි තත්ත්වයක් යටතේ දරුවන්ට කොළඹ ගමනට දෙන මුදල ද ලොකු බරකි.
නමුත් පසුගිය බදාදා ගොම්මන් යාමයේ ඒ සියලු සැක සංකා පහ විය. මාස ගණනකට පසු ධාරාණිපාත වැස්සක් පොලොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයට ඇද හැලුණි. ගොවි සිත්වල බර තරමක් ලිහිල් විය. පසු දින කොළඹ බොරැල්ල රත්නාවලී බාලිකා විදුහලේ පැවැත්වෙන වසන්ත ළමා කඳවුරට සහභාගිවන දුවා දරුවන් සිතුවේ එම වැස්ස තමන්ගේ මෙම ගමනට ස්වභාවධර්මය විසින් සිදුකළ ආසිරි පැතීමක් බවය. ශ්‍රී ලංකාවේ දසත පුරා ජීවත්වන දුවා දරුවන්ගේ සහභාගිත්වයෙන් තිස්වන වරටත් සිදුවන වසන්ත ළමා කඳවුර මෙවර පැවැත්වුණේ කොළඹ බොරැල්ල රත්නාවලී බාලිකා විදුහලේදීය.
මැදිරිගිරිය දිවුලංකඩවල මහා විද්‍යාලයේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිල්මි ජයමාලී මෙයට පෙර වසර පහක්ම කොළඹ පැවැත්වුණ වසන්ත ළමා කඳවුරට සහභාගි වී ඇත. එහිදී පැවැත්වුණ තරගවලදී ඇය සහතික සහ තිළිණ ද දිනාගෙන ඇත. මෙවර ඇය අයත් වූයේ ආකිමිඩිස් කණ්ඩායමටය.
“අපි අයත් වන කණ්ඩායම මොකක්ද කියල අපිට කලින්ම කියල එවන නිසා අපි ඒ විද්‍යාඥයා ලේඛකයා ගැන ගොඩාක් තොරතුරු හොයාගෙන එනවා. ඒකට අපි හුඟාක් කියවන්න ඕන. එයින් අපේ දැනුම ඉබේම වර්ධනය වෙනවා” දිල්මි ජයමාලි පවසන්නේ වසන්ත ළමා කඳවුරට සහභාගිවීම නිසා දැනුම වර්ධනය වන එක් ආකාරයක් පිළිබඳවය.
“වසන්ත ළමා කඳවුරට සහභාගි වන සියලුම ළමයි වයස් හා පංති අනුව එක් එක් කණ්ඩායම්වලට බෙදල ඒ කණ්ඩායම් විද්‍යාඥයින්ගේ ලේඛකයින්ගේ නම්වලින් හඳුන්වන කණ්ඩායම්වලට ඇතුළු කරනවා” වසන්ත ළමා කඳවුරට සහභාගිවන විවිධ වයස් හා දැනුම මට්ටමේ දරුවන් කාණ්ඩ කරනා අන්දම විස්තර කරන්නේ, කොළඹ පොත් සමාජයේ මෙන්ම වසන්ත ළමා කඳවුරේ නිර්මාතෘ හා සභාපති ආචාර්ය ධම්මදේශ අම්බලම්පිටියය.
වසර තිහක් පුරාවට අඛණ්ඩව වසන්ත ළමා කඳවුර පැවැත්වෙන්නේ ආචාර්ය ධම්මදේශ අම්බලම්පිටිය මහතාගේ අප්‍රතිහත කැපවීම හා පරිත්‍යාග නිසාය. තනි පුද්ගලයකුගේ මෙම ව්‍යායාම බොහෝ දෙනෙකු හඳුන්වන්නේ හාස්කමක් ලෙසය.
“මුල්ම වසන්ත ළමා කඳවුර අපි පැවැත්තුවෙ 1985 අප්‍රියෙල් දෙවැනිදා කොලඹ මහජන පුස්තකාලයේදීය. වැඩිපුරම ළමා පොත් ලියූ ඩෙන්මාක් ජාතික හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගෙ උපන් දිනය අප්‍රියෙල් දෙක. එනිසා එදින ළමා පොත් දිනය ලෙස සලකනවා. කොහොම හරි ආසියාවෙ මුල් වරට ළමා පොත් දින උලෙළක් පැවැත්තුවෙ අපි. ඒ ශ්‍රී ලංකාවේ වසන්ත ළමා උලෙළේ අතීතය ගැන ආචාර්ය ධම්මදේශ අම්බලම්පිටිය පවසන්නේ අභිමානයෙනි.
මැදිරිගිරිය දිවුලංකඩවල මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධූරය හොබවන්නේ ගරු විහාරගම සිරිනන්ද හිමිපාණන්ය. ශ්‍රී ලංකාව පුරා ප්‍රචලිත කාව්‍ය බණ දේශනා කරන යතිවරයාණන් වහන්සේ නමක් වූ එතුමා දිවුලංකඩවල, විහාරගම, පුරාණ දක්ෂිණගිරි රජමහා විහාරයේ විහාරාධිපති වහන්සේය.
“මම පැවිදි වුණේ අවුරුදු දොළහෙදියි. එදා ඉඳලම මම කොළඹ පොත් සමාජයේ සාමාජිකයෙක්. වයස අවුරුදු දොළහෙ ඉඳල මම වසන්ත ළමා කඳවුරට එනවා. තවමත් එනවා”, අතිගරු විහාරගම සිරිනන්ද හිමියන් තමන් වහන්සේ ඈත කාලයක සිට වසන්ත ළමා කඳවුරට සහභාගි වන බව වදාරන්නේ මහත් ආඩම්බරයෙනි.
උන්වහන්සේ පවසන්නේ පසුකාලීනව උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ ලැබූ ජයග්‍රහණයන් බොහොමයකට පදනම වැටුණේ වසන්ත ළමා කඳවුරෙන් බවය. නායකත්වය, නිර්මාණශීලීත්වය වැනි ගතිගුණ උන්වහන්සේට ලැබී ඇත්තේ වසන්ත ළමා කඳවුරේදී ලැබූ පුහුණුවීම්වලදීය.
දිල්මි ජයමාලි දැරිය සිය පියා සමග
“කථිකත්වය නිසා මට කවි බණ කියන්න පුළුවන්කම ලැබුණා. ළමා පොත් කඳවුරේදී ලේඛන කටයුතුවලට සහභාගි වීමෙන් මට බණ පොත් ලියන්න හැකියාව ලැබුණා” විහාරගම සිරිනන්ද හිමිපාණෝ පවසති.
සිරිනන්ද හිමියන් පවසන පරිදි විද්‍යාපීඨ ගුරුවරයකු වශයෙන් බැඳීමට පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයේදී වසන්ත ළමා කඳවුරේ පැවැති තරගවලට සහභාගි වී ලද ජාතික මට්ටමේ සහතිකවලට විශේෂ ලකුණු කීපයක් ලැබුණ බවය.
වසන්ත ළමා කඳවුරට සහභාගිවීමේදී තමන් අදාළ කුටියේ ලේඛකයා ගැන හෝ ලේඛකයාගේ නිර්මාණ හෝ ඔහු උපන් ගම නගරය ආදි තමන් කැමැති මාතෘකාවක් ගැන විනාඩි දෙකක කථාවක් පැවැත්විය යුතුය. එයට අමතරව වසන්ත ළමා කඳවුරට සහභාගි වන සෑම දරු දැරියක්ම, ගී සින්දු කවි විරිඳු රංගන, සංගීත භාණ්ඩ වාදන ආදි ඕනෑම කුසලතාවයක් විනාඩි දෙකක කාලය ඇතුළත ඉදිරිපත් කළ යුතුය.
ඒ සෑම නිර්මාණයකම තේමාව තමන් නියෝජනය කරන සාහිත්‍ය කුටියේ ලේඛකයාට කිසියම් ආකාරයකින් සම්බන්ධ විය යුතුය. නිර්මාණාත්මක කුසලතාවය ප්‍රකට කිරීම සඳහා කණ්ඩායම බිත්ති පුවත්පතක් නිර්මාණ කළ යුතුය. එහිදී ලේඛකයාගේ ඡායාරූප නිර්මාණ කොටස්, ජීවන තොරතුරු ඇතුළත් හැකිතරම් කරුණු ඉදිරිපත් කළ යුතුය. මෙම කරුණුවලින් සෑම සහභාගි වන අයෙකුටම ශ්‍රී ලාංකික හෝ විදේශ ලේඛකයකු පිළිබඳ විශාල තොරතුරු ප්‍රමාණයක් දැන ගැනීමට ලැබෙයි.
ලෝකයේ කිසිම රටක එකම දිනක එකම වේලාවක අති විශාල සිසු සිසුවියන් පිරිසක් ලේඛකයන් පනස් දෙනෙකු පිළිබඳව අධ්‍යයනයක යෙදෙන මොහොතක් ගැන වාර්තා වන්නේ නැත.
මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබන අමාෂා තෙන්නකෝන්, තම අම්මාත් සමඟ වසන්ත ළමා කඳවුරට සහභාගි වීමට පැමිණියේ කඳවුර පවත්වන දිනට දින දෙකකට පෙරය. මහරගම පුංචි අම්මලාගේ නිවසේ නතර වූ ඔවුන් බ්‍රහස්පතින්දා උදෑසනින්ම පුංචි අම්මාත් සමඟ බොරැල්ල රත්නාවලී බාලිකා විදුහලට පැමිණියහ. මෙම වසන්ත ළමා කඳවුර පුංචි අමාෂාට සුවිශේෂය. අමාෂාම ලියා ඇයම චිත්‍ර ඇන්ද “හොඳ ළමයා” පුංචි කතා පොත වසන්ත ළමා කඳවුර අවසානයේ දොරට වැඩීම සිදුවිය. පුංචි අමාෂාට ඒ ගැන ගොඩාක් සතුටුය.
මහව කෝන්වැව මහා විද්‍යාලයේ හයවන වසරේ ඉගෙනුම ලබන ටී. රූත් ප්‍රසාදිනීගේ ගම කෝන්වැවටත් කිලෝමීටර් දහයකටත් එහා කට්ටබුවාව හිය. දහවන වසරේ ඉගෙනුම ලබන තිලිනි ප්‍රියදර්ශනී අක්කා ද සමඟ වසන්ත ළමා කඳවුරට පැමිණියාය. මහව දුම්රිය පොළෙන් පාන්දර තුනහමාරේ කෝච්චියෙන් අම්මාත් සමඟ හිමිදිරි යාමයේ ඔවුන් මරදාන දුම්රිය පොළට පැමිණියහ.
විහාරගම සිරිනන්ද හිමි
ධම්මදේශ අම්බලම්පිටිය
“වසන්ත ළමා කඳවුරෙන් හුඟාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියල අහල තියෙනවා. නායකත්ව හැකියාවන් වර්ධනය කරගන්න අවස්ථාවන් ලැබෙනව කියල අහල තියෙනවා. ඒකයි ඈතම ඈත ඉඳල අමාරුවෙන් හරි ආවෙ”, මහව කට්ටබුවාවහි රූත් ප්‍රසාදිනි අසීරු ජීවිතය සාර්ථක කර ගැනීමට පෙරුම් පුරන්නේ එසේය.
බවින්ද පබසරා සමරනායක මොනරාගල රාජකීය ජාතික පාසලේ එක වසරේය. නාද්යා මෙලිශා ප්‍රනාන්දු එම පාසලේම තුන වසරේය. මේ දෙදෙනාගේම මවුවරු දෙදෙනා මිතුරියන්ය. පුවත් පතක දැන්වීමක් දුටු මේ අම්මාවරුන් දෙදෙනා ඈත මොනරාගල සිට මේ කුඩා දැරියන් දෙදෙනා කොළඹ වසන්ත ළමා කඳවුරට සහභාගි කරවීමට තීරණය කළහ.
පුංචි බවන්දි පබසරා චිත්‍රපට කිරීමට හැබෑවට ආශාය. නාද්යා මෙලිශා පොත් ගුල්ලියක්ය. මොනරාගල නගරයේ ඇති පුස්තකාල දෙකකම ඇය සාමාජිකත්වය දරන්නේ එම නිසාය. සිබිල් වෙත්තසිංහගේ කුමාරණතුංග මුනිදාසයන්ගේ ළමා කථා පොත් කියවීමට නාද්යා බොහෝ කැමැතිය.
“වසන්ත කඳවුරෙන් ළමයින්ට අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලැබෙන බව තේරුණා. ඒකයි මොනරාගල ඉඳල මේ පුංචි පැටික්කියො එක්කන් ආවෙ” බවින්දි පබසරාගේ සහ නාද්යා මෙලිශාගේ මවුවරුන් දෙදෙනා පැවසූහ.
මැදිරිගිරිය, දිවුලංකඩවල එම්. පී. රංජිත් ගුණවර්ධන දවසේ රුපියල් අටසියයේ පඩියට කුලී වැඩ කරන අයෙකි. දිවුලංකඩවල මහ විදුහලේ තුන වසරේ ඉගෙනුම ලබන මෙත්මි ප්‍රාර්ථනා ඔවුන්ගේ එකම දියණියය.
“ඉස්කෝලෙ ලොකු මහත්තයා රැස්වීමක් තියලා කිව්වා වසන්ත ළමා කඳවුරට සහභාගි වන එක ඉගෙන ගන්න එකට උදව්වක් කියලා. උගන්නපු දෙයක් විතරනේ ඉතුරු මහත්තයො. නැතිනම් අවුරුදු කටේ මේ ආවෙ සල්ලි තියෙන කමකට නෙවි” රංජිත් ගුණවර්ධන සේම බොහෝ මාපියන් තමන්ගේ දුවා දරුවන් වසන්ත ළමා කඳවුරට සහභාගි කළේ එම සිතුවිල්ල නිසාය.
“රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය ඇතිව ත්‍රිවිධ හමුදාවෙම සහාය අපිට මේ වසන්ත ළමා කඳවුර සාර්ථක කරගන්න ලැබුණා. ඒ ගැන ඒ ඇත්තන්ට මම ස්තුති කරනවා” ආචාර්ය ධම්මදේශ අම්බලම්පිටිය මහතා පුන පුනා කීවේය.
http://www.silumina.lk/2014/04/20/_art.asp?fn=cr1404201

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.