Monday, April 21, 2014

ලොව්තුරු ගුරුවරයා

මහාචාර්ය නන්දදාස කෝදාගොඩ විසින් විරචිත මේ ලිපිය 1980 දිනමිණ වෙසක් කලාපයේ පළ විය. බුදුන් වහන්සේ මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම අධ්‍යාපනඥයා බව මේ ලිපියෙන් අවධාරණය වේ.
බුදුවරයින් ආචාර්යවරයින් පමණෙකැ යි යෙති. සැබැවි. ගෞතම බුදුන් වහන්සේ කිසිත් අයුරෙකින් නො දෙවැනි ආචාර්යවරයාණ කෙනෙක් වූ හ. බුද්ධත්වය ලැබීමෙන් පසු උන්වහන්සේ ම එසේ වදාළ හ. “අහං සත්තා අනුත්තරෝ” එහෙත්, බුදුන් උගත්තේ ගුරුවරයකු වෙතින් නො වේ. උන්වහන්සේ ලැබ ගත් දැනුම් සම්භාරය එක්රැස් වූයේ සංසාරයෙනි; පුන පුනා ලැබ ගත් භවයන් ආශ්‍රයෙනි. උන්වහන්සේ ප්‍රගුණ කොටැ ගත් අවබෝධය ලද්දේ භාවනාමය අධ්‍යයනයෙනි.
තමන් වහන්සේ සර්වඥ බව ලද ද, ධර්මය අනුනට උගැන්විය යුත්තක් ද යන්න පිළිබඳව එතුමෝ යම් සැක පළ කළ හ. ‘මෙම ධර්මය මා වටහා ගත්තේ අමාරුවෙනි. දැන් එය ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවෙක් නො වේ. කාමයෙනුත් ද්වේශයෙනුත් ඇළැලී ගියවුනට මේ පහසුවෙන් නොවැටැහෙනු ඇත. මෝ අන්ධකාරයේ ගිලුනවුන් ධර්මය නොදකිනු ඇත.’ ධර්මය දේශනා කොට වදාරන්නැ යි සහම්පතී බ්‍රහ්මරාජයාණන් ඉල්ලා සිටියේ මේ අවස්ථාවේ ලු.
බ්‍රහ්මයා ගේ පැමිණීම යනු බුදුන් වහන්සේ ගේ සිත තුළ සිට තර්ක – විතර්ක දැක්වීමේ සංකේතයක් දැ යි අපි නො දනිමු. කෙසේ වුවත්, ශ්‍රේෂ්ඨ ගුරුවරයාණ කෙනකු වූ බුදුන් මෙම ප්‍රශ්නය ගැන ගැඹුරින් සිතූ අයුරු යි. අවසනැ, තීරණයකට එළැඹි එතුමෝ වදාළ හ. “අමරණීයත්වයේ දොර ඔවුනට හැරී ඇත. දෙකන් ඇත්තෝ විශ්වාසී වැ අසා ගනිත්වා.” මෙසේ තීරණයක් ගැන්මෙහි ලා එතුමන් නිරත වූයේ ප්‍රතිග්‍රාහි ජනයාගේ් ගති ලක්ෂණ කවරේ දැ යි විග්‍රහ කිරීමෙන් පසුව ය. මින් සියවස් විසිපහකට පසු, අද, මේ ඉසෙට අධ්‍යාපනික මූලධර්මයක් යැ යි අපි මුර දෙමු!
පංචමහා විලෝකනය යනු හුදෙක් බුද්ධචරිත සිද්ධියක් පමණක් සේ නොගත මනා ය. එහි වැදගත් අධ්‍යාපනික මූල මූලධර්මයක් ගැබ් ව තිබෙනු වන්නට පිළිවන. පස්මහ බැලුමින් සිදු වූයේ අර්ථවත් අධ්‍යාපනික ක්‍රියාවලියක් දියත් කිරීම සඳහා උචිත වාතාවරණයක් වෙත් දැ යි උරගා බැලීමෙකි. බුදුන් වහන්සේ මෙලෝ ඉපැදීමට තෝරා ගත්තේ මෝහාන්ධකාරය ධර්මප්‍රදීපයෙක් පෙහෙළි කිරීමට අවශ්‍ය ව තිබුණු වකවානුවෙකි. බුදුන් වහන්සේ උපත ලද දේශය, අධ්‍යාත්මික දියුණු සඳහා වැර දැරුවන් ගහණ වූවෙකි. එතුමන් ලද රාජකීය සම්බන්ධය, එතුමන් පැහැයූ ඇතැම් මූලධර්මයනට පාදස්ථ විය. තමන් හිමිකම් දැරූ රාජ්‍යයක් පිටු අතින් වෙතින් ඉවත් නොකරන ලද නම්, “කම්මනා හෝති බ්‍රාහ්මණයෝ යැ යි එතුමන් කෙසේ දෙසන්නට ද?
ගුරුවරයකු වෙත තිබිය යුතු යැ යි යෙන භෞතික ලක්ෂණ සියල්ල බුදුන් වහන්සේ හට තිබිණැ යි පතළ ය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්හි මේ සියල්ල ඇතුළත් වෙයි. හැරත් “මම් ලොවට අග වෙමි, දෙටු වෙමි, සෙට වෙම් මම් යි එතුමන් පැවැසූ හයි සඳහන් වේ. කෙතරම් දැඩි ආත්ම විශ්වාසයක් ඒ වචන තුළ ඇත් ද? ගුරු කමට පදනමයි ආත්ම විශ්වාසය.
තථාගතයින් වහන්සේ තුළ වූ ආත්ම විශ්වාසය එතුමන්ගේ හුදු පිරිසුදු බවින් මැ ජනිත වූ සේ ය. බුදුන් පසු පසැ අවි අමෝරා ගත් අඟුල්මල්හු දිවැ එන්නා හ. බුදුන් එක වනැ සිටිතත් උන්වහන්සේ දිවෙන සේ දකින සොරහු, පසු පසැ ලුහුබැඳැ හතියෙන් මුර දෙති “මහණ, සිටිනු” යි කියා වදාරති. බුදුහු “මම නැවතුනේ වෙමි” යි ඒ දහම පහදති උන්වහන්සේ.
සියල් සතුන් වෙතැ
කුරිරුකම් අත් හැරැලූ
මම් නැවතුණේ වෙම්
සසරේ පැතුම් බලයෙන්.
ඔබ ඔසොවති යුගත්
සෝවුරු ලෝ සතන් වෙත්
එබැවිනි ඔබ නොනැව තුණු
මම් සදා නැවැතුණු වෙම්”
කෙතරම් දෘඪ ආත්ම විශ්වාසයක් තුළින් නැඟුණු කියමනක් ද?
අධ්‍යයන අභිමතාර්ථ යනු අධ්‍යාපන විද්‍යා ක්ෂේත්‍රයේ අලුත් සංකල්පයක් ලු. එහෙත්, බුදුන් වහන්සේ එකලැ ම ඒ දුටු සැටි යි. උන්වහන්සේ ගේ අධ්‍යාපනික ක්‍රියාවලියෙහි පොදු පරමාර්ථය වූයේ නිර්වාණලාභය යි. ඒ පරමාර්ථය ළගා කැර ගැන්මට අවශ්‍ය වූ දැනුම් – හැකියා - ආකල්ප රටාව එතුමෝ ගැබ් කළ හ. චතුරාය¸ සත්‍ය සහ ආය¸ අෂ්ඨාංගික මාර්ග තුළ සසරින් මිදුමට නම්, දුක පිළිබඳ දැනුම අප තුළ තිබිය යුතුයි. දුකට හේතුව වටහා ගත යුතුයි. දුක නැති කිරීම පිළිබඳ ආකල්පය ස්ඵූට කර ගත යුතු යි. දුක නැති කිරීමේ මාර්ගය අවබෝධ කර ගත යුතුයි. දුක නැති කිරීම සඳහා අවශ්‍ය වන හැකියා සමුද්‍රය යි ආය්‍ය¡ අෂ්ඨාංගික සමුද්‍රය මඟින් උගැන්වෙනුයේ. සියවස් විසිපහකට ද ඈත අතීතයේ දී නිර්මාණය කරන ලද්දක් බව සැලකෙත් ම, මෙම අධ්‍යාපන සැලැස්මේ මහඟු බව වැඩි වෙයි!
අධ්‍යාපනය සඳහා බුදුන් වහන්සේ යොදා ගත්තා වූ ක්‍රමෝපාය ද අතිශයින් විද්‍යාත්මක ය. රාහුල තෙරුනට, සත්‍යය පැවැසීමේ වැදගත්කම සනාථ කරනු සඳහා බුදුන් යොදා ගත් ක්‍ර‍්‍රමය ම කෙතරම් අනැඟි ද? කළයෙහි තිබි දියෙන් පා දොවා ගත් එතුමෝ, නැවැත කළය උඩු අතට හරවා, එහි රැඳී තිබී දිය සිඟිත්ත දක්වා, වදාළ හ මෙසේ: “අර බඳු වැ නොපළයැ රහුලනි, බොරු පවසන්නට තරම් නිර්ලජ්ජි වන්නන්ගේ මහණකම.” ඉතිරි දිය බිඳ ද ඉවත ලූ බුදුහු මෙසේ ද වදාළහ. “බොරු කීමට නිර්ලජ්ජි වූවන්ගේ මහණකම එසේ ඉවත්යැ රහුලනි.” අනතුරු ව කළය මුණින් නවා ලූ එතුමෝ එබන්දන්ගේ මහණ බව නොපිට හැරී” යැ යි වදාළෝය. අවසන් වශයෙන් හිස් කළයද නැවැත ද උඩු දෙසට හැරැවූ තථාගත ගුරුන් වහන්සේ දෙසූ හ: “බොරු පැවැසීමට තරම් නිර්ලජ්ජි වූවන්ගේ මහණකම මෙසේ ම හිස් ය, රහුලනි” කියා. මෙබඳු මූලධර්මයක් මීට ද වඩා පැහැදිලි ව කවුරු කෙසේ දක්වත් ද?
තමන් ගේ අධ්‍යාපනික අභිමතාර්ථයන් සඳහා අවශ්‍ය වූ දැනුම පමණක් තෝරා බේරා දීම ද බුදුන් ගේ ශ්‍රේෂ්ඨ ගුණයක් වූ සේ යි. “ලෝක විෂය අචින්තෙය්‍ය” යනුවෙනුත්, “සත්ව විෂය අචින්තෙය්‍ය” යනුවෙනුත් එතුමන් වදහළේ ඒ අධ්‍යාපනික මූලධර්මය පදනම් කොට වියැ යුතු යි. තමන් ගේ ම ඉගැන්වීමෙහි සීමාවන් දැක්වීමෙහි ලා එතුමන් උපයෝගී කැර ගත් ක්‍රමය අගනේ ය. කැලයෙන් කොළ මිට අතට ගත් එතුමෝ “සමණෙනි මෙතෙක් මා - ඔබ වෙත දැක්වූ දහම මෙ පත් මිට පමණි – අන් දැනුම් මේ වලැ පත්” යැ වදාරා තම මතය පහන් කළ හ.
අචිරවතී නදී තිරයෙහි බ්‍රාහ්මණයෙන් ජීවත් වූයේ ය. හේ් අවිද්‍යාවෙහි ගැලී සිටියෙකි. ඔහුට නිවන් මග පසක් කරන්නට සුදුසු අවස්ථාවක් යෙදෙන තුරු යි බුදුන් වහන්සේ කල් බැලුයේ.
එක් වසරෙක, අචිරවතිය දෙගොඩ තලා ගලා ගියේ ය; බ්‍රාහ්මණයා ගේ වතු පිටි විනාශ විණ. දුකින් බර වූ හේ කල්පනාවෙහි නිමග්න ව සිටියේ ය. බුදුන් දහම් දෙසුමට ලබා ගත් අවසරය එය විය. ප්‍රතිග්‍රාහී මනැසෙකින් යුත් වූ බ්‍රාහ්මණයා සෝථාපන්නයට පත් වී. අධ්‍යාපනයක් දීමට වූව, සුදුසු මානසික පසුබිමක් වියැ යුතු බැවු දත් හ සම්මා සම්බුදුහු.
අධ්‍යාපනඥයකු වශයෙන් තිලෝගුරුන් සියල්ලන් අභිබවා ගිය තැනෙකි, කාලාමයනට දේශනා කළ අවස්ථාව.
”ඇසූ දුටු පමණින්
නො අදහනු ලොවැ කිසි දේ
සමණකු වුව ද දෙසු
කම් නැහැ කාලාමයෙනි.
නැණැ’සින් දකිත් නම්
නිවරද සෙ විමැසෙත් නම්
දරනු අදහනු වනු
පිළිගෙනැ අනු වැ දිවි යනු”
ලෝරදුන් ගේ අධ්‍යාපන ක්‍රමෝපායෙහි ශ්‍රේෂ්ඨතම අදියරයි, ඉගැනීමේ ඵල නෙළීම පිළිබඳ ව උන්වහන්සේ දේශනා කළ අවස්ථාව. සද්ධර්මය මගින් ළැඟෙන ප්‍රතිඵලය වූ නිවන කවර දා ලැබ ගත හැකි වේ ද?
”නිවන ඔබ වෙත ඇත
අද, මෙහි මැ වේ ඔබ අතැ.
දිරිය යි යුතු පවන
කුමන දිඟු කරනු මෙසසර සත?”
එසේ නම්, තිලොවැ අසම වූ ගුරුන් ගේ අධ්‍යාපන ක්‍රමෝපාය සාර්ථක වී යැ යි අගැයිය හැකි ද? මෙතෙක් ඒ මඟැ ගොස් අජරාමර වූ සියල් සත්හු ඊට දෙස් දෙත්වා.

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.