Sunday, April 27, 2014

‘යකඩ තලන්නා’ ගීතයෙන් ජනප්‍රිය වූ ජෝ. බී. පෙරේරා අවසන් ගමන් යයි

‘යකඩ තලන්නා’ ගීතයෙන් ජනප්‍රිය වූ ජෝ. බී. පෙරේරා අවසන් ගමන් යයි

මෙරට කණ්ඩායම් සංගීතයේ උපත හැටේ දශකයේ සිදු වුවද පූර්ණ පිබිදීමක් සහිත එහි ස්වර්ණමය කාල පරිච්ඡේදය හැත්තෑවේ දශකයයි. එම කාල වකවානුවේදී ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ මධුර කණ්ඩායම් ගී අතර වූ එක්තරා අපූරු ගීතයක් වෙත බොහෝ දෙනකුගේ අවධානය යොමු විය. අසරණ කම්මල්කරුවකුගේ ජීවන අරගලය සිතුවම් කළ ‘යකඩ තලන්නා’ නම් වූ එම ගීතය මුලින්ම ප්‍රචාරය වූයේ වර්ෂ 1964 දීය. ගීතයට සුවිශේෂ ජීවයක් එක් කිරීමට යකඩයකට තට්ටු කරන හඬක් ද ඊට මුසු කර තිබුණෙන් එය බහුතර ශ්‍රාවක ජනතාවකගේ සිත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් විය. එකල එය ගායනා කළේ ‘ලොස් මුචාචෝස්’ නම් ගායක කණ්ඩායමක් වුවද එම ගීතයේ පද රචනය ද තනු නිර්මාණය ද ප්‍රධාන ගායනය ද කළේ එවකට මීගමු පුරවරයේ විසූ ජෝ. බී. පෙරේරා නම් තරුණයෙකි.
ජෝගේ කලා ජීවිතයට සම්ප්‍රාප්තිය සිදු වූයේ ගායකයකු වශයෙන් නොවේ. මුලින් ඔහු රංගන කලාවේ යෙදුණෙකි. අයිවෝ ඩෙනිස් පවසන පරිදි පනහේ දශකයේ මෙරට කිතුනු කලාකරුවන්ගේ එකමුතුවෙන් පැවැති ‘රසාංජලි’ නම් කලා කවයේ ජෝ ද සාමාජිකයෙකි. අර්නස්ට් පෝරුතෝට ගරු පියනමගේ උපදේශකත්වයෙන් පිහිටුවන ලද එම කලා කවයේ සෙසු කිතුනු සාමාජිකයන් අතර ප්‍රකට නළු ටෝනි රණසිංහ ද, ඔහුගේ සොයුරු රැලෙක්ස් රණසිංහ ද, ජෝ දඹුළුගල ද, මර්සලීන් ජයකොඩි ගරු පියතුමා ද තමා ද සිටි බව මතක් කරන අයිවෝ, එම කලා කවය මඟින් නිෂ්පාදනය කරන ලද ‘එසේ ය අපි ඔහු මැරුවෙමු’, ‘සින්නක්කරය’, ‘බිත්ති හතර’ යන වේදිකා නාට්‍යයන්හි ජෝ බී පෙරේරා රංගනයෙන් දායක වූ බව පවසයි. මේ නාට්‍ය තුනම ලෙස්ලි බොතේජු ගේ කෘති ය.
රංගන හැකියාව තිබුණ ද ජෝ ගේ සිත් ගත්තේ ගායනය බව පසු කලෙක ඔහු ගමන් කළ මඟ විපරම් කිරීමේ දී අනාවරණය වෙයි. ගිටාරය වාදනයට දක්ෂයකු වූ ඔහු නිතරම ගී ගැයුවේ එය වයමිනි. කිසියම් වේදිකාව ප්‍රසංගයක ඔහු සිය ගිටාරය ද අතැතිව ගායනයක් ඉදිරිපත් කරන කල ඔහුගේ ආරෝහ පරිනාහ දේහ ලක්ෂණ සහිත රූපයෙන් හා සුමධුර පැහැදිලි ශක්තිමත් කටහඬින් එහි රැස්ව සිටි සියලු දෙනා මෝහනයට පත් කරන ගතියක් පැවැතිණ. මීට වසර තුනකට පමණ ඉහත එක්තරා ශල්‍යකර්මයක් හේතුකොට ගෙන ඔහු ඔත්පලව නිවාස අඩස්සියේ සිටි සමයේදී ද ඔහු බැහැදැකීමට ගිය පිරිස අතර සිටි මම ඔහුගේ ගායන හැකියාවේ හා පෞරුෂත්වයේ වැඩි වෙනසක් සිදුවී නොතිබීම පිළිබඳ සැබැවින්ම විස්මයට පත්විමී.
වර්ෂ 1937 නොවැම්බර් 27 දින උපන් ජෝ පසුගිය 19 වන දින මෙලොව හැර යන තෙක්ම බොහෝ විට සිනහමුසු මුහුණින් විහිළුවෙන් තහළුවෙන් කල් යැවූ පුද්ගලයෙක් විය. මෙරට පමණක් නොව ඕමානය, ඩුබායි වැනි රටවල ද ඔහු ගායන ප්‍රසංග පවත්වා ඇත. ‘යකඩ තලන්නා’ හැරුණු කොට ඔහු විසින් ගයා පටිගත කරන ලද ‘ආදරේ කරලා ඇති කරලා’ (මාල ගිරව්), ‘සුදු මල්’, ‘සිරිපා ගමන’, ‘සඳ ගමන’ වැනි ගීත ද ජනප්‍රියත්වයට පත් වී ඇත.
ජෝ නම් කලාකරුවා වෙතින් මා දුටු එක්තරා සුවිශේෂ ගුණාංගයක් නම් අන් අයගේ නිර්මාණ නිර්ලෝභී අන්දමින් අගය කිරීමේ ප්‍රවණතාවයයි. ඔහු බොහෝ දෙනකුගේ කළණ මිතුරෙකු වූයේ ද එම නිසාම විය යුතුය.

http://www.silumina.lk/2014/04/27/_art.asp?fn=av14042712

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.