Saturday, April 19, 2014

එදා ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක් වෙන්න ශ්‍රේණි තුනක්වත් සමත් වෙන්න ඕනෑ

එදා ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක් වෙන්න ශ්‍රේණි තුනක්වත් සමත් වෙන්න ඕනෑ

සුමනා ජයතිලක
ගුවන් විදුලිය හා මගේ තියෙන්නෙ ආත්ම ගණනක ඉඳල තියෙන සම්බන්ධයක් කියලයි මට හිතෙන්නෙ. මගේ ජීවිතය ම ගුවන් විදුලියයි. එය එදා වගේම අදත් එහෙමයි. ගුවන් විදුලියෙන් තොර ජීවිතයක් මට නැහැ. මගෙ ගුවන් විදුලි නාටක ඉතිහාසය පිළිබඳ මතකය අවදි කරනකොට එය පනහ දශකය තරම් ඈත කාලවකවානුවකට දිව යනව. ගුවන් විදුලියෙ හඬ පරීක්ෂණයෙන් මා විශිෂ්ට ශ්‍රේණියට පත් වුණායින් පසුව 1957 හෝ 1958 වසරෙදි මම මගේ පළමු ගුවන් විදුලි නාටකයට සම්බන්ධ වෙනවා. ඒ නාට්‍යය තමයි කුලසිරි අමරතුංග මහතා නිෂ්පාදනය කරන ලද “නෝරාගෙ සෙල්ලම් ගෙදර” ගුවන් විදුලි නාටකයෙ ප්‍රධාන චරිතය වන “නෝරා” ගෙ භූමිකාව. එය ඉතාම ජනපි‍්‍රය ගුවන් විදුලි නාට්‍යයක් වුණා. එහි සාර්ථකත්වය නිසා ඊට පස්සෙ ගුවන් විදුලි නාටක ගණනාවකටම මට සම්බන්ධ වෙන්න ලැබුණා.
ඒ අතර අමතක නොවන නාටකයක් තමයි සුගතපාල ද සිල්වා නිෂ්පාදනය කළ “වැල්ලට ගිය ගැහැනිය” ගුවන් විදුලි නාටකය. එහි වැල්ලට ගිය ගැහැනියගෙ ප්‍රධාන චරිතය කළේ මම. ඒ නාට්‍යය පිළිබඳ අදත් කතා වෙනව. ඒ නාට්‍යය මට වගේම සුගතපාල ද සිල්වාටත් ඉතා වැදගත් වෙනව. ඔහු ගුවන් විදුලි නාටක ඉතා විශාල ප්‍රමාණයක් රචනා කළ, නිෂ්පාදනය කළ ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවෙක්. ඔහුගේ සෑම නාට්‍යයක් ම පාහේ එකසේ වැදගත් වුණත් “වැල්ලට ගිය ගැහැනිය” නාටකය පිළිබඳ තිබෙන මතකය බොහෝ දෙනෙක්ගෙන් තාම පහවී ගිහින් නැහැ. එවැනි සාර්ථකත්වයන් ට ප්‍රධාන හේතුව වුණේ එකල නිෂ්පාදකවරුන් වගේ ම ශිල්පීන් ඒ සඳහා කරනු ලැබූ කැප කිරීම. ඔවුන් නිවැරදි වෙලාවට, නිවැරදි දිනයට පුහුණුවීම් වලට ආවා. බොහෝ විට පුහුණුවීම් තියෙන්නෙ එක දවසක, පටිගත කිරීම් තියෙන්නෙ තව දවසක. නමුත් කිසිම කෙනෙක් එය කරදරයක් කොට සිතුවෙ නැහැ.
ඔවුන් ඒ සඳහා කැපවී සිටියා. අද තත්වයට ඊට හාත්පසින්ම වෙනස්. ගුවන්විදුලි නාට්‍ය ක්ෂේත්‍රයෙ නියැළිලා ඉන්නෙත් ඉතා සීමිත පිරිසක්. ඔවුන් පවා අතිශය කාර්ය බහුල තත්වයකට පත්වෙලා. පුහුණුවීම් සඳහා බොහෝ විට එන්නෙ නැහැ. හැම දෙයකටම ඉන්නෙ ඉතාම සුළු පිරිසක් කියා ඔවුන්ව නිසි වෙලාවට ගෙන්න ගන්න බැරි තත්වයකට පත්වෙලා. මෙය ඔවුනට පමණක් හිමි වූ ලක්ෂණයක් නොවේ. ජීවත් වීමේ අරගලය මත සිදුවන්නක්. එයට අපට දොස් කියන්න බැරි වුණත් නිර්මාණ කටයුත්තක් එසේ සිදු කරන්න බැහැ. ඒ සඳහා කැපවීමක් පෙර සූදානමක් අනිවාර්යෙන් ම තිබිය යුතුයි. නෙතලි නානායක්කාර, රත්නාවලී කැකුණවල වගෙ අපේ ජ්‍යෙෂ්ඨ ශිල්පීන් සියලු දෙනාහටම එම කැපවීම තිබුණා. ඒ කාලෙත් අපි හැමටම ප්‍රශ්න නොතිබුණා නොවේ. නමුත් වැඩක් බාරගත්තට පස්සෙ එම කටයුත්තට කැපවීම අපි සියලු දෙනා ළඟ ම තිබුණා. ඒ නිසා තමයි තාමත් අපිව ශ්‍රාවකයො අඳුනන්නෙ. අපේ කට හඬ ඇහෙන කොට තාම මිනිස්සු දන්නව ඒ හඬ කාගෙද කියල. අපේ ගුවන්විදුලි රඟමඬලෙ වාදනය යනකොට දන්නව ඒ ගුවන් විදුලි රඟමඬල කියල. ‘හඳ මාමා’ වැඩසටහන වුණත් එහෙමයි.
ඒ කාලෙ ගුවන් විදුලියෙ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන්න ඉතා අමාරුයි. පරීක්ෂණ තුනක් තියල එයින් සමත් වුණොත් පමණයි තෝර ගන්නෙ. ඒ නිසා ඒ කාලෙ බිහිවුණ ශිල්පියො, ශිල්පිනියො සැබෑ දක්ෂතා ඇති අය. ගුවන් විදුලි නාටකයකට සම්බන්ධ වෙන්න ඉස්සෙල්ල ඔවුන් හැම දෙනාටම නිවැරදිව වචන උච්චාරණය කරන ආකාරය පිළිබඳ මනා වැටහීමක් ලබාදෙනව. ඕනම වචනයක් විවිධ අරුත් දෙන ආකාරයට උච්චාරණය කළ හැකියි. නමුත් අවශ්‍ය උච්චාරණය ඒ ආකාරයට නොලැබී ගියහොත් ඉන් නාටකයෙ අර්ථයට සිද්ධවෙන්නෙ විශාල වරදක්. ඒ නිසා ඉතා කුඩා වචනයක, අකුරක, නැවතීමක තියෙන සැබෑ අර්ථය මතු කර ගැනීමට අවශ්‍ය දැනුම ඒ කාලෙ නිෂ්පාදකවරු හරහා අපට ලැබුණා.
නමුත් දැන් එවැනි දේ ගැන බරපතල ලෙස සිතන්නෙ නැති බව පෙනී යනව. ඒ දවස්වල නාට්‍ය පිටපත් වලට අවශ්‍ය පදෙස් දෙන්න දයානන්ද ගුණවර්ධන වැනි අය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු වූවා. ඒ වගේම සරත් විමලවීර, සුගතපාල ද සිල්වා, නන්ද්‍ර ජයමාන්න වගෙ ක්ෂේත්‍රය පිළිබඳ හොඳ දැනුමක් තිබුණ නිෂ්පාදකවරු හිටිය. ඒ හැම කෙනෙක් එක්කම වැඩ කරපු කාලය හරිම රසවත්. ශ්‍රාවකයො එක සතියක නාට්‍යය අහල ඊගාව කොටස අහනකං ඒ දවස්ණල හිටියෙ නොඉවසිල්ලෙන්. නමුත් අද ගුවන් විදුලි නාට්‍ය ගැන එවැනි අවබෝධයක් නැහැ. හොඳ ගුවන් විදුලි නාට්‍ය ප්‍රචාරය වනවා නම් අදත් ඒව අහන්න පිරිස ඉන්නව. නමුත් අද එවැනි දේ ගැන ප්‍රමාණවත් ප්‍රචාරයක් ලැබෙන්නෙ නැහැ. මිනිස්සු රූපවාහිනියට වහල් වීම ද තවත් දකින්න පුළුවන් ලක්ෂණයක්. අද සමාජෙට අවශ්‍ය වෙලා තියෙන්නෙ හරවත් දෙයකට වඩා එවෙලෙ හිනාවෙලා බලන්න පුළුවන් දේ විතරයි. එහෙත් එවැනි දේ හරහා ඔවුන් ඔවුන්ට ම සිනාසෙන බව දන්නෙ නැහැ.
http://www.silumina.lk/punkalasa/20130728/_art.asp?fn=ar1307286

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.