Saturday, April 19, 2014

රිජ්වේ ගේ කැඳවීම අනුව එම්.එස්. ආවේය.

“කියලා වැඩක් නෑ”

ගායන ශිල්පි ටී.එම්. ගුවන් විදුලියේ කොරිඩෝවක් දිගේ යමින් සිටියේය. අතරමගදී මුණ ගැසුණු නිලධාරියෙක් “අද සරල ගී වලට මේ ගීතය ගයන්නැයි ගී පදවැලක් ඔහු අත තබා යන්නට ගියේය. එය රචනා කොට තිබුණේ විමලා කාන්ති පීරිස් නමැත්තියක විසිනි. ටී.එම්. එදින සරල ගී වැඩසටහන සඳහා ඒ ගීතය ගායනා කළේය.
“ඔබ හා මෙමා
අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා”
එය අතිශයින් ම ජනප්‍රිය ගීතයක් බවට පත්විය. මින් වසර ගණනාවකට පෙර නිර්මාණය වූ ඒ ගීතය අදටත් බොහෝ ජනප්‍රිය එකකි.
ටී.එම්. එවැනි ගී ඔස්සේ ජනාදරයට පත්වූ ගායකයෙක් බවට පත්විය. එහෙත් විමලා කාන්ති පීරිස් ඒ අයුරින්ම ජනප්‍රිය ගීත රචිකාවක වූයේ නැත. ඉන්පසු ඇගෙන් බිහිවූවා නම් ඒ නිර්මාණ එකක් හෝ දෙකක් පමණි.
විමලා කාන්ති පීරිස් යන නම කාට කාටත් අමතකව ගියේය. එහෙත් ගුවන් විදුලි සංස්ථාවේ ස්වර්ණමය යුගයේ සභාපතිවරයා වූ රිජ්වේ තිලකරත්න මහතා වියෝ වූ පසු ටී.එම්. ට යළිත් විමලා කාන්ති පීරිස් මතක් විය. ඒ අනෙකක් නිසා නොව විමලාකාන්ති පීරිස් නමින් ඒ ගීතය ලියුවේ රිජ්වේ තිලකරත්න බව දැනගන්නට ලැබුණු නිසාය.
මේ සුන්දර සිද්ධිය ඇතැම් අය මින් පෙර අසා ඇති එකක් විය හැකිය. එහෙත් මා එය මුල්වරට ඇසුවේ පසුගියදා ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ “සංහිඳ” වැඩසටහන මගිනි.
ඒ “සංහිඳ” මම රාත්‍රි දොළහවන තෙක්ම නැරඹ‍ුවෙමි. රෑ මැදියම ද ළඟා වනතෙක් රූපවාහිනි යන්ත්‍රයක් දෙස බලා සිටි දවසක් ගැන මට මතකක් නැත. එහෙත් මුළු ගෙදරම නොව “මුළු නුවර ම නිදිගත් මොහොතක” මම සංහිඳත් සමඟ අවදිව සිටියෙමි.
රිජිවේ තිලකරත්න නම් වූ විශිෂ්ට පරිපාලකයා තම කුශාග්‍ර බුද්ධියෙන් ගුවන් විදුලියේ හැඩරුව වෙනස්කොට එය ගුවන් විදුලි ඉතිහාසයේ ස්වර්ණමය යුගය බවට පත් කළ අපූරුව සංහි‍ඳෙන් මොනවට පැහැදිලිකර ලීය.
ප්‍රඥාවන්ත පරිපාලකයකු තුළ තිබිය යුතු විශිෂ්ට ගුණාංග රිජ්වේ තිලකරත්නයන් අතින් වඩාත් ඔපමට්ටම් වී දිදුලන තත්ත්වයට පත්වූ අයුරු ඉන්ද්‍රකීර්ති සුරවීර විසින් සිය වාග් මාලාව ඔස්සේ අපට කදිමට කියා දුන්නේය.
එවකට ගුවන් විදුලියේ ස්වදේශීය සේවය සාහිත්‍ය ශාස්ත්‍රීය වැඩසටහන් මෙන් ම සුභාවිත ගීතය මගින් වර්ණවත්කරද්දී වෙළෙඳ සේවය මුදලාලිකරණය වී තිබිණි. හින්දි සහ හින්දි කොපි ගීත වලින් වෙළෙඳ සේවය පිරී තිබුණේය. ගීතමය වැඩසටහන් සඳහා ගීත තේරුවේ මුදලාලිගේ අභිමතය පරිදිය.
“මීට පස්සෙ අපට ඕනැ ගීත තමයි තෝරන්නෙ. මුදලාලි අකමැති නම් ඒ ගොල්ලන්ගෙ දැන්වීම් ටිකත් අරගෙන යන්ඩ කියන්ඩ.”
රිජ්වේ තිලකරත්න මහතාගේ හඬ සිංහනාදයක් බඳු වීය. ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය නිර්මාණය වූයේ නිර්මාණශීලිත්වය, ප්‍රඥාවන්ත බව මෙන්ම මේ ආදීනත්වය ද නිසා බැව් එදා සංහිඳට සහභාගි වූ නිව්ටන්, අසෝක, වික්ටර්, ටී.එම්, බුද්ධි වැනි වියත්තු සැමදෙනම කියා පෑහ.
“එම්.එස්. ට එන්ඩ කියන්ඩ” රිජ්වේ ගේ කැඳවීම අනුව එම්.එස්. ආවේය.
“පැය භාගයක සරල ගී වැඩසටහනක් දෙනවා... ඔබට”
එම්.එස්. උඩ ගියේ ය. බයිලා ගායකයකු වූ තමාට ගුවන් විදුලියේ පැය භාගයක වැඩසටහනක්...! සිතන්නටවත් නොහැකි ය. ඒ රිජ්වේ ගේ චින්තනයේ හැටිය. “බෝල බෝල මැටි එක එක ගෙනෙනවා” යන ගීතය එම්.එස්. ගායනා කළේ ඒ වැඩසටහනටය.
සංහිඳ මේ සියල්ල අපූරුවට පෙළගස්වා මැදියම් රැය අපටත් නොදැනීම එනතෙක් හරබරව, මනහරව, රසබරව ඉදිරිපත් විය.
අදටත් අප අතර වැඩිපුර රැඳී ඇත්තේ ඒ යුගයේ නිර්මාණය වූ ගීත නොවෙදැයි ටී.එම්, වික්ටර්, සනත්, සෝමතිලක, නීලා, මාලිනී වැන්නවුන්ගේ ගී ඇසෙනවිට මට සිතේ.
රිජ්වේ අසාමාන්‍ය පරිපාලකයෙක් මෙන් ම අසාමාන්‍ය රසිකයකු ද වූ නිසා ගුවන් විදුලියේ අසාමාන්‍ය යුගයක් නිර්මාණය කිරීමට ඔහුට හැකි විය. මේ අසාමාන්‍ය එනම් ස්වර්ණමය යුගයේදී ගුවන් විදුලි කොරිඩෝව හරහා බොහෝ වාරයක් ගමන් කිරීමට මට ද වාසනාවක් ලැබිණි. ඒ සුගත් අයියාගේ (සුගතපාල ද සිල්වා) ගුවන් විදුලි රඟමඩලට සහ කෙටිකතාවට පිටපත් රචනයෙන් දායක වූ බැවිනි.
වැඩසටහන පටිගත කොට අවසානයේ පරිප්පු වඩේ එකක් කා ප්ලෙන්ටියක් බොන්නට ගුවන් විදුලි කැන්ටිමට යන අතරමගදි, රිජ්වේ තිලකරත්නයන් විසින් මතුකර ගත් දැවැන්ත ගුවන් විදුලි නිෂ්පාදකවරුන් බොහොමයක් සමඟ වචනයක් දෙකක් කතා කිරීමේ වාසනාව ද බොහෝ තරුණ වියේදීම මට ලබාගත හැකි විය.
ඩෝල්ටන් ගේ ශාන්ත ස්වරය ද ප්‍රේමකීර්තිගේ උපහාස ‍ස්වරය ද දයානන්ද විදග්ධ ගැඹුරු ස්වරය ද එච්.එම්. ගේ බොහෝ ළෙන්ගතු ස්වරය ද මට දැනුදු දැනෙන්නාක් මෙනි.
සංහිඳ වැඩසටහන දෙස මැදියම් රැය වන තෙක් ම බලා සිටියේ රිජ්වේ තිලකරත්න නම් වූ යුග පුරුෂයා පිළිබඳව ඓතිහාසික කරුණු දැනගැනීම පිණිසම නොවේ. එම වැඩසටහන නීරස වී නම් දහයමාර එකොළහ වනවිට යහන් ගතවන්නෙමි. එහෙත් එදා මම අවදිව සිටියෙමි. මන්ද යත් “සංහිඳ” ඒ තරමට රසවත් වූ බැවිනි. ඒ ගැන පවසන්නට ඇත්තේ මෙපමණකි.
“කියලා වැඩක් නෑ...

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.