Monday, April 21, 2014

සිරිල් බී. (බර්ට‍්‍රම්) පෙරේරා

සිරිල් බී. (බර්ට‍්‍රම්) පෙරේරා (1933 – 1991) කලා මාධ්‍ය කීපයකම ප‍්‍රතිභාව දැක්වූවෙකි. ඔහු මෙරට බිහිවුණු විශිෂ්ට ගණයේ පුවත්පත් කලාවේදියෙකි. ‘සිංහල ජාතිය’ පුවත්පතින් තම වෘත්තීය පුවත්පත් කලා ජීවිතය ආරම්භ කළ ඔහු එය හමාර කළේ 1978 දී ‘දෙසතිය’ පුවත් සඟාවේ ප‍්‍රධාන සංස්කාරකවරයා වශයෙනි.
සිරිල් නිර්මාණශීලී ලේඛකයෙක් ද වූයේ ය. ‘මරණ තුනක් ඇති මිනිහෙක්’, ‘නිඹුල්ලු’ ඔහු ලියූ නවකතාය. ‘සුදු මැණිකා’, ‘මොහොතින් මොහොත’ ඔහු ලියූ කෙටිකතාය. කටබස ලේඛනයට යොදා ගැනීම සිරිල් බී. අනුගමනය කළ ලේඛන සම්ප‍්‍රදායය විය.

සිරිල් බී. පෙරේරා චිත‍්‍රපට සඟා කීපයක් ද සංස්කරණය කර ඇත. ‘මිහිර’, ‘චිත‍්‍ර ලංකා’, ‘විචාරය’, ‘සිනමා ඒෂියා සිනමා ඇෆ්රිකා’ ඉන් කිහිපයකි.
1962 දී ‘අපේ කට්ටිය’ නම් වූ නාට්‍ය කලා සංවිධානය පිහිටුවා ගැනීමේ දී සුගතපාල ද සිල්වා සමඟ පුරෝගාමී දායකත්වයක් දැක්වූයේ සිරිල් බී. ය. ඔහු ‘අපේ කට්ටියේ’ සංස්කෘතික න්‍යායචාර්යවරයා බවට පත්වූයේ ය.
1967 දී චිත‍්‍රපට විචාරක හා ලේඛක සංගමය පිහිටුවීමට ද ඉන්පසු 1983 දී ශී‍්‍ර ලංකා සිනමා විචාරක සංගමය පිහිටුවීමට ද ඔහු දායක වූයේ ය.
සිරිල් බී. චිත‍්‍රපට තිරනාටක රචකයෙක් ද වෙයි. නීල් අයි. පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘ෆුට් ස්ටෙප් ඔෆ් ඇන් ඒෂියන් මාස්ටර්’ නම් වූ වාර්තා චිත‍්‍රපටයේ තිරනාටක රචකයා වූයේ ඔහු ය.
සිරිල් බී. අද්විතීය සිනමා විචාරකයෙක් වූයේ ය. එසේ ම වෙළෙඳ දැන්වීම්කරණයේ ද නිර්මාණශීලී ප‍්‍රතිභාවක් දැක්වූවෙකි.
1991 සිරිල් බී. පෙරේරා මිය ගියේ ය.
1961 වසරේදී ශී‍්‍ර ලංකා සාහිත්‍ය දිනය නිමිත්තෙන් ලංකා කලා මණ්ඩලය මඟින් පළ කෙරුණු ‘නූතන සිංහල ගද්‍ය සාහිත්‍ය’ ශාස්තී‍්‍රය නිබන්ධන සංග‍්‍රහයට සිරිල් බී. පෙරේරා මහතා ලියූ ලිපියක් ඇසුරිනි.
තා කලාව වෙන බොහෝ රටවලට මෙන්ම අපේ රටට ද අමුත්තක් නොවේ. එහෙත් නූතන කෙටි කතාව සාහිත්‍යාංගයක් වශයෙන් සිංහල සාහිත්‍යයට එකතු වූයේ ඉංගිරිසි සාහිත්‍යයේ මාර්ගයෙනි. එහෙයින් නූතන කෙටි කතාව තේරුම් ගැනීම සඳහා ඉංගිරිසි කෙටි කතාවේ ඉතිහාසය මඳක් විමසා බැලිය යුතුව ඇත. ඉකුත් ශත වර්ෂයේ අවසාන භාගය වන තෙක් කෙටි කතාව සාහිත්‍යාංගයක් වශයෙන් ඉංගිරිසි සාහිත්‍යයේ ජනපි‍්‍රය නොවිය මහා ලේඛකයන් ලෙස ගැණෙන බොහෝ දෙනකු කෙටිකතා ලිවීම ගැන සැළකිල්ලක් දැක්වුව ද, කෙටි කතාව අදීන සාහිත්‍යාංගයක් ලෙස ඉංගිරිසි සාහිත්‍යයෙහි එක් වරම පලපදියන් නොවීය. එකල ලේඛකයන් විසින් ඉඳහිට ලියන ලද කෙටිකතා දිග කතා සමග එක් කොට පළ කරන ලදී.
කෙටි කතාව දියුණු සාහිත්‍යාංගයක් වශයෙන් විකාශනය වූයේ රුසියාවේ බව පෙනී යයි. කෙටිකතාව පිළිබඳ විචාර ලිපියක් Modern Reading  නම් පොත් පෙළේ 13 වැනි කලාපයට ලියන ඇල්.ඒ.ජී. ස්ටෙ‍්‍රාන්ග් (L. A. G. Strong) (1) නම් විචාරකයා මෙසේ කියයි. : “අදීන සාහිත්‍යාංගයක් ලෙස දියුණු වූ කෙටි කතාවේ තොටිල්ල රුසියාවය; එහෙත් රුසියන් භාෂාව තේරුම් ගැනීම සම්බන්ධයෙන් ඇති වූ දුෂ්කරතා නිසා රුසියන් කෙටිකතා කලාවේ බලපෑම ඉංගිරිසි කතා කරන රටවල් කෙරෙහි බල පවත්වන්ට වූයේ බෙහෙවින් ප‍්‍රමාද වී ය.”
කෙටි කතාව නවකතාවට වඩා නිර්මාණය අතින් උසස් යයි ද, කෙටි කතාවේ කෙටිකම නිසා ලේඛකයාට දැඩි සීමාවන් තුළ සිය කාර්යය කරන්නට සිදුවී ඇතැයි ද, කෙටි කතාවේ න්‍යාය ගැන ලියන පීටර් වෙස්ට්ලන්ඩ් (2) කියයි.
ඇමෙරිකානු කෙටි කතාවේ පියා ලෙස සලකනු ලබන එඩ්ගාර් ඇලන් පෝ කෙටි කතාව ගැන මෙසේ කීවේය. : “ප‍්‍රකාශයට පත් කළ යුතු එක් විශේෂ වින්දනයක් ගැන මුලින් සුපරීක්ෂාකාරීව සිතා මතා, අනතුරුව, (කෙටිකතාකරු) ඒ වින්දනයට අදාළ වූ, ඒ වින්දනය කුළුගන්වන සුලු වූ සිද්ධින් නිපදවයි; නිපදවමින් එකිනෙකට අමුනයි.” පෝ ගේ මේ කියුමෙන් ;කටිකතාව පිළිබඳව එක් කරුණක් පැහැදිලි වෙයි; එනම් කෙටි කතාවක තිබිය යුතු වැදගත් ලක්ෂණය වන ඒකාබද්ධතාවයයි. ආරම්භක වැකියේ සිට අවසන දක්වා කෙටි කතාවක තිබිය යුත්තේ එකම පරමාර්ථයකි; කෙටි කතාවකින් ප‍්‍රකාශයට පත් විය යුත්තේ එකම මූලික අදහසකි.
පරමාර්ථය ප‍්‍රකාශ කිරීමට උපයෝගී කරගන්නා අදහසේ උපත මෙහි ලා එතරම් වැදගත් නොවේ; අදහසක උපත ඇති වන්නේ කිසියම් කෙනකුගේ චරිතයකින් හෝ චරිතයේ විශේෂතා වලින් හෝ විය හැක; එසේම අදහස කිසියම් සිද්ධියකින් ප‍්‍රභවය ලබන්නට පුළුවන; එය කතාකරු විසින් කතාවක මාර්ගයෙන් පළ කරනු ලබන ඔහුගේ කිසියම් හැඟීමක් ද විය හැක.
කෙටි කතාවල උපත ප‍්‍රධාන කොටම ඇතිවන්නේ මේ තුන් විදිය අනුව යයි කියන, මා ඉහතින් සඳහන් කළ වෙස්ට්ලන්ඩ් නම් විචාරකයා, ඉතාම හොඳ කෙටිකතා කරුවන් බොහෝ දෙනකුට පි‍්‍රය මනාප වී ඇත්තේ මෙහි ලා මා තුන්වෙනුව සඳහන් කළ විදියට, එනම් කිසියම් හැඟීමක් කතාවක මාර්ගයෙන් පළ කිරීමට යයි කියයි. කෙටි කතාවේ න්‍යාය හා ශිල්පය පිළිබඳ අද්විතීය නිපුනත්වයක් දැක් වූ එඩ්ගා පෝ පි‍්‍රය කෙළේ ද මේ ක‍්‍රමයම යයි ඔහු තව දුරටත් කියයි.
කෙටි කතාවක උපත කවර ආකාරයකින් සිදු වුව ද එහි විකාශනයෙහි ලා ඒකාබද්ධතාවයක් අවශ්‍යයෙන් ම තිබිය යුතුය. ඒ ඒකාබද්ධතාවය කතාවේ මුල් වැකියේ සිට අවසන දක්වා ම ආරක්ෂා විය යුතුය.
කෙටි කතා කරණය පිළිබඳ ව පෝ දැක් වූ දැඩි රීතියක් මෙහිලා දැක්වීම උචිත යයි සිතමි : “... (කෙටි කතා කරුවකු) විසින් මුලින් අපේක්ෂිත වින්දනය ප‍්‍රකාශ කිරීමට උපයෝගී වී මෙහිලා ඔහුගේ මුල් වැකියම අපොහොසත් වුවහොත්, ඔහුගේ මුල් පියවර අසාර්ථක වූ බව කිව යුතුය. මුලින් අපේක්ෂිත එකම රටාවට කෙළින් ම හෝ අනියම් ලෙස තුඩු නොදෙන එකම වචනයක් වත් මුළු රචනයෙහිම නොතිබිය යුතුය. එවැනි මාර්ගයෙන්, එවැනි සැලකිල්ලෙන් හා කෞශල්‍යයෙන් අවසානයේ දී චිත‍්‍රයක් නිම වෙයි; එය රස විඳින සහෘදයා තුළ සම්පූර්ණ තෘප්තියක් ඇති වෙයි.”
වත්මන් දක්ෂ කෙටි කතා කරුවන් විසින් පෝ දැක් වූ නීතිය අකුරට ම අනුගමනය නො කෙරෙතුදු, ඔවුහු කෙටි කතාවක් මඟින් එක් ප‍්‍රධාන අදහසක් කීමට හා එක් පූර්ණ වින්දනයක් පාඨකයාට ලබා දීමට උත්සාහ කරති. මේ දෙ කරුණෙන් එක් කරුණක් සම්බන්ධයෙන් හෝ කෙටි කතාවක් අසාර්ථක වුවහොත් එය සම්පූර්ණයෙන් අසාර්ථක වූ කතාවක් ලෙස සැලකිය යුතුය.
එම කතාව, ශෛලිය, භාෂාව, චරිත නිරූපනය ආදි කවර කරුණක් හෝ ඒ හැම කරුණක් ම අතින් සාර්ථක වුවත්, එය එකම අදහසක් කීමට හා එකම වින්දනයක් කියවන්නාට ලබා දීමට අපොහොසත් වුවහොත් එය කෙටි කතාවක් වශයෙන් සාර්ථක කෘතියක් නොවේ. ඇතැම් විට එය හොඳ ගද්‍ය රචනයක් වශයෙන් පමණක් හඳුන්වන්නට පුළුවන් වනු ඇත.
සාහිත්‍යාංගයක් සම්බන්ධයෙන් මෙවැනි දැඩි රීතියක් පැනවීම ගැන විරුද්ධ වන්නෝ සිටිති. රීතිය පිළිබඳ කඨිනත්වයක් නිර්මාණාත්මක සාහිත්‍ය සම්බන්ධයෙන් ඇති නොවිය යුතු ය. ප‍්‍රතිභාසම්පන්න සාහිත්‍යකරුවකුගේ ආත්ම ප‍්‍රකාශනය පිළිබඳ මාධ්‍යයක් වශයෙන් ගත් කල, කෙටි කතාව පිළිබඳ සම්මත නීති බාධකයක් වන්නේ නම් ඒවා බිඳ දැමීම අවශ්‍යයෙන් ම සිදු විය යුත්තකි.
එහෙත් අවබෝධයෙන් තොරව, ඉවක් බවක් නැතිව, සංවරයක් නැතිව ලියනු ලබන කතා කොතරම් දුරට අසාර්ථක වන්නේ දැයි, රස සුන් බොළඳ පල් හෑලි බවට පත් වන්නේ දැයි තේරුම් ගැනීමට අපේ බොහෝ සඟාවල හා විශේෂයෙන්ම ඉරිදා පත‍්‍රවල පළ වන කෙටි කතා හොඳම නිදසුන්ය. කිසිම නීතියකට, රීතියකට නැති ව, කිසිම අවබෝධයකින් තොරව ලියනු ලබන මේ කතා බොහොමයකින් පාඨකයන්ට ලැබෙන රසයක් හෝ සාහිත්යික අත්දැකීමක් හෝ නැත. පත‍්‍රවලට කෙටි කතා ලියන කතා කරුවන්ගේ නිෂ්පාදන, සංඛ්‍යාව අතින් නම් ඇත්ත වශයෙන් ම විශ්මය ජනක වන නමුදු, නෛසර්ගික සාහිත්යික වටිනාකම අතින් ඒවා රස සුන් බොළඳ රචනා ය.
හොඳ කතාවලත්, රස සුන් බොළඳ රචනා වලත් වෙනස තේරුම් ගැනීමට නම් පත‍්‍ර සඟා වල පළ වන බොහෝ කතා සමඟ පෝ(Poe), ඕ. හෙන්රි (O. Henry), බර්ස් (Bierce), බ්‍රෙට් හාට් (Bret Harte), හෝතෝන් (Harthorne), ඇන්ටන් චෙකොෆ් (Anton Chekov), එච්.ඊ. බේට්ස් (H. E. Bates), ඇලන් සිලිටෝ (Alan Sillitoe), අර්නස්ට් හෙමිංග්වේ(Ernest Hemmingway) වැනි විදේශීය ලේඛකයන්ගේ කතාත්, මාර්ටින් වික‍්‍රමසිංහ, ගුණදාස අමරසේකර, ජී. බී. සේනානායක, කේ. ජයතිලක, මඩවල රත්නායක, අජිත් තිලකසේන වැනි සිංහල කෙටි කතා කරුවන් ගේ කතාත් සසඳ්‍ර බැලිය යුතුය. ඔවුන්ගේ කතාවලින් කියවන්නාට බොහෝ විට ජීවිතයේ කිසි දිනක අමතක නොවන පූර්ණ සාහිත්යික අත්දැකීමක් ලැබේ. ඔවුන් ගේ කතා වල දේශජ ලක්ෂණ මෙන්ම, විශ්ව සාර්ව භෞමික වින්දන දක්නට ලැබේ.
එහෙත් ඒවා තේරුම් ගැනීමට හා වින්දනය කිරීමට පාඨකයන් වශයෙන් අපට ද සුදුසුකම් තිබිය යුතුය. මේ සුදුසුකම් නම් දියුණු රසඥතාවයක් හා ජීවිතය පිළිබඳ එක්තරා ප‍්‍රමාණයක හෝ මේරූ අත්දැකීම් ය. ජීවිත අත් දැකීමෙන් තොර, ජීවිතය පිළිබඳ සජීව වින්දනයෙන් තොර, රස විචාර නොමේරූ පාඨකයන්ට ඇලන් සිලිටෝ නම් ඉංගිරිසි කතා කරුවාගේ හෝ ගුණදාස අමරසේකර ගේ හෝ කතා කියවා රස විඳිය නො හැක. හැම කෙනකුට ම දක්ෂ කෙටි කතාකරුවන් විය නො හැක. ඒ සඳහා සහජ ප‍්‍රතිභා ශක්තියක්, ජීවිතය පිළිබඳ ඉතා පුළුල් අත්දැකීමක් හා කතා කලාව පිළිබඳ නිපුනත්වයක් හා කෞශල්‍යයක් අවශ්‍ය බැවිනි. එහෙත්, උවමනා නම්, බොහෝ දෙනකුට හොඳ පාඨකයන් විය හැක. පාඨකයන් වශයෙන් සුදුසුකම් ඇතිකර ගැනීම ද සාහිත්‍යයක උන්නතිය සම්බන්ධයෙන් දිය හැකි විශාල රුකුලකි.
කෙටි කතාව පිළිබඳ ව අප කොතරම් පර්යේෂණ කළ ද, කෙටි කතාව එක්තරා උච්ච අවස්ථාවකට පැමිණි දහ නව වැනි සියවසේ කෙටි කතාව පිළිබඳ ව මහත් නිපුනත්වයක් ලබාගත් ලේඛකයන් විසින් පනවන ලද රීතිය සම්පූර්ණයෙන් එක් විට ම ඉවත නො ලෑ යුතු යයි ඇතැම් විචාරකයෝ කියති.
අපේ ජන කතා ආර අනුව කතාවක් ආරම්භ වන්නේ එකම විදියකට ය: “එකෝමත් එක රටක රජ කෙනෙක් හිටියා...” ආදි වශයෙනි. එහෙත් නූතන කෙටි කතාවේ එවැනි එකාකාර ආරම්භයක් දක්නට නැත. කියන්නට යන කතාවේ කුමන තැනකින් වුවද ආරම්භ කොට, අවශ්‍ය පරිදි කතාව ක‍්‍රමික ව ඉදිරියට හෝ ආපස්සට හෝ ගෙන යා හැක. එසේ ම අතීතයත් වර්තමානයත් මිශ‍්‍රණයෙන් කතාවක විකාශනය කළ හැක. එසේත් නැතිනම් පරිසරය වැණීමෙන් කෙටි චරිත නිරූපනයකින් හෝ සිද්ධියකින් කතාව ඇරැඹිය හැක. වෙනත් වචන වලින් කියතොත්, කතාවේ ඒකාබද්ධතාවයට බාධා නොවන පරිදි කුමන ක‍්‍රමයකට වුවද කතාවක් පටන් ගෙන, විකාශනය කොට, අවසන් කළ හැක.
හැම සාහිත්‍යාංගයක් සම්බන්ධයෙන් ම පොදු ලක්ෂණයක් කෙරෙහි මෙහි ලා අපගේ අවධානය යොමු විය යුතුය. කෙටි කතාව ද සැබෑ ජීවිතයට නෑකම් කියන්නක් විය යුතුය. කෙටි කතාවකින් ජීවන සුවඳ වහනය වන්නේ එවිටය. කෙටි කතාවක් සැබෑ ජීවිතයට නෑකම් කියන්නට නම් එය තාත්වික විය යුතුය. මා මෙහිදී තාත්වික යනුවෙන් අදහස් කරන්නේ කෙටි කතාවක චරිත හා සිද්ධින් ඒවා සඳහා තෝරාගෙන ඇති පරිස්ථිතියට හැම අතින් ම අනුකූල වීමට ය.
කෙටි කතාව ප‍්‍රබන්ධ සාහිත්‍යාංගයක් වශයෙන් වඩාත් කිට්ටු වන්නේ නවකතාවට වඩා නාටකයටයයි සමකාලීන කෙටි කතා නම් ඉංගිරිසි කෙටි කතා පෙළේ තුන් වැනි සංග‍්‍රහයට හැඳින්වීමක් ලියන මොරිස් බෝඩින් (ජ්‍යෙෂ්ඨ) කියයි. කෙටි කතාවක කෙටි කම ඕනෑකමින් කරනු ලබන්නක් නොවේ; කෙටි කතාවක සංක්ෂිපිත ස්වභාවය එහි අවශ්‍ය අංගයක් වන අතර, කෙටි කතාවක තිබිය යුතු ‘එක වින්දනයක්’ ලබා දීමේ ගුණය රැකදීමට ද එය ආධාර වෙයි. සංකීර්ණ සිද්ධින් ලේඛකයාගේ දීර්ඝ සැලකිල්ලට භාජනය වන්නටත්, සිද්ධින් හා චරිත ස්වභාවයන් හේතු ඵල වශයෙන් සලකා බලන්නටත් සුදුසු ක්ෂේත‍්‍රය නව කතාවයි. කෙටි කතාවකට හසු කොට ගන්නා සිද්ධිය හෝ චරිතය හෝ හැඟීම හෝ බොහෝ විට සංකීර්ණත්වයෙන් තොර ය; සරල ය.
නූතන සමයේ කෙටි කතාව විකාශයට පත් වී ඇත්තේ මා මේ සැකෙවින් විස්තර කළ අයුරිනි. එහෙත් කෙටි කතාවේ නිර්මාණය හා ශිල්පය පිළිබඳ දැනුම කෙටි කතා රචකයකුට ප‍්‍රමාණවත් නොවේ. කතාවේ විකාශනයට අදාළ වන එක් එක් කොටස් පිළිබඳ දැනුම කොතරම් තිබුණ ද කතාව එකම රටාවක්, සම්පූර්ණ ඒකකයක් කිරීමට හා එය අංග සම්පූර්ණ සාම්‍යයෙන් අනූන කිරීමට අවශ්‍ය ශෛලියක් ද කතා කරුවකුට තිබිය යුතුය. ශෛලිය යනු මෙන්න මේයයි ඇඟිල්ල දිගු කොට පෙන්විය හැකි දෙයක් නොවේ. ඒ වූ කලි ලේඛකයාගේ පෞද්ගලිකත්වය හා පෞරුෂත්වය කතාවකට ආරෝපනය කරන විශේෂ ලක්ෂණය යි.
1910 හරියේ දී ඉංගිරිසි කෙටි කතාව සම්බන්ධයෙන් විප්ලවයක් ඇති වීයයි ඇල්.ඒ.ජී. ස්ටෝන්ග් Modern Reading No. 13 නම් පොතේ පළ කොට ඇති විචාර ලිපියෙහි ලා සඳහන් කරයි. මේ විචාරකයා සඳහන් කරන මේ විප්ලවය නම්, කතාවක වස්තුව සම්බන්ධයෙන් නොව, මානසික සම්පූර්ණත්වය සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්වූ කෙටි කතාකරුවන් පරපුරක් ඇති වීමයි. ඔවුහු කිසියම් සිද්ධියක්, එම සිද්ධියෙන් ලැබෙන රසය සඳහා ම විස්තර කිරීම බැහැර කොට, සිද්ධිය චරිත නිරූපනයට අදාළ කරුණක් වශයෙන් පමණක් සලකන්ට වූහ.
ඔවුන්ගේ කතාවල ආ චරිත සම්බන්ධයෙන් වූ සිද්ධීන්ට වඩා ඔවුහු එම චරිත පිළිබඳවත්, එම චරිත සිතූ පැතූ දේ පිළිබඳවත් වැඩි ඕනෑකමක් හා සැලකිල්ලක් දැක්වූහ. නූතන කෙටි කතාවේ මහා ශූරයා ලෙස සලකනු ලබන රුසියන් ලේඛක චොකොෆ්ගේ කතා ඉංගිරිසියට පරිවර්තනය වෙන්නට පෙර ම මේ විප්ලවය පිළිබඳ ලක්ෂණ ඉංගිරිසි කෙටි කතාවේ දකින්නට ලැබිණැයි ස්ටෙ‍්‍ර¤න්ග් කියයි. චෙකොෆ්ගේ බලපෑම නූතන සිංහල කෙටි කතා සාහිත්‍යය කෙරෙහි දැන් පැහැදිලිවම දක්නට ලැබෙයි.
ඩබ්ල්යු. ඒ. සිල්වා ගේ කෙටි කතා සම්බන්ධයෙන් බෙහෙවින් බලපෑවායයි සිතිය හැකි ඇමෙරිකන් ලේඛක ඕ. හෙන්රි හා ප‍්‍රන්ස ලේඛක මෝපසාං හා එලෙසම සිධි කථනය උසස් කොට සැලකූ එච්.ජී. වෙල්ස් (H. G. Wells) කොනාන් ඩොයිල්(Conan Doyle) හා කිප්ලිං (Kipling) වැන්නන්ගේත්, මනෝ විද්‍යාත්මක කෙටි කථාව උච්ච අවස්තාවකට ගෙන ගිය ඇන්ටන් චෙකොෆ්ගේත් කථා කලා එක්තැන් වූ අවස්ථාවක් හැටියට සමර්සෙට් මෝට් (Summerset Maughm) නමැති ඉංගිරිසි ලේඛකයාගේ කෙටි කතා ඇතැම් විචාරකයන් විසින් හඳුන්වනු ලැබේ.
නූතන කෙටි කතාවේ විකාශනය ඇති වූයේ මෙසේ වතුදු එය අද එක් තැන පල්වෙන සාහිත්‍යාංගයක් ලෙස නොසැලකිය යුතුය. කෙටි කතාව තත් කාලීන ලේඛකයන්ගේ ආත්ම ප‍්‍රකාශනය පිළිබඳ ප‍්‍රමාණවත් මාධ්‍යයක් කර ගැන්ම සඳහා විවිධ පර්යේෂණ පවත්වාගෙන යනු ලැබේ. සජීව සාහිත්‍යයක් හා කලාවන් පිළිබඳව සදහටම සම්මත රීති හා නියමිත රාමු ඇති විය යුතු නැත. නූතන විදේශීය කෙටි කතා ආර අනුව හැඩ ගැසුනු සිංහල කෙටි කතාව අද දේශීය වශයෙන් පර්යේෂණයට භාජනය විය යුතුව ඇත. එහෙත් මෙය හිතා මතා උවමනාවෙන්ම කළ හැක්කක් නොවේ. කෙටි කතාව ද සාහිත්යික මාධ්‍යයක් වශයෙන් පර්යේෂණයට භාජනය විය යුත්තේ කෙටි කතා කරුවන්ගේ වින්දනයේ හා ආත්ම ප‍්‍රකාශනයේ හා අවශ්‍යතාවයන් අනුව ඉබේටමය.

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.