Sunday, August 3, 2014

“මොන තූත්තුකුඩියක ද ගිහිල්ලා හිටියෙ”....?

තූත්තුකුඩි පල්ලියේ

මංගල්ලයට ශ්‍රී ලාංකිකයන් අදටත් යනවා


“කොයි තරම් වෙලා හෙව්ව ද? මොන තූත්තුකුඩියක ද ගිහිල්ලා හිටියෙ” අප කුඩා අවදියේ නිවෙසින් බැහැරව ගොස් ආපසු නිවෙසට පැමිණි විටෙක අපේ ආච්චිලා සීයලා අප විමසුවේ එසේ ය. තූත්තුකුඩිය අපේ ආච්චිලා සීයලාගේ කතා ව්‍යවහාරයට එසේ එක්ව තිබුණේ ඉතා ඈත කාලයක සිට ශ්‍රී ලංකාව හා තූත්තුකුඩිය අතර තිබූ සමහර සම්බන්ධතා නිසාය. එක් කරුණක් වූයේ අතීතයේ බොහෝ විටෙක අපේ බත්පත රසගැන්වූ කරවල මෙරටට ගෙන්වූයේ තූත්තුකුඩියෙන් නිසාය.
එයට වඩා වැදගත් හා සුවිශේෂී කරුණ වූයේ ශ්‍රී ලංකාවේ ජීවත්වන ජන කොට්ඨාසයක් වූ ශ්‍රී ලංකා භාරතයන් හෙවත් පරවර ජනතාවගේ ආදිතමයන් ශ්‍රී ලංකාවට පැමිණියේ තූත්තුකුඩියෙන් වීමය.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඔවුන්ගේ සමුද්‍ර යාත්‍රික කටයුතු පහසුකර ගැනීම සඳහා කොළඹ වරාය සංවර්ධනය කර ගැනීම ඔවුනට අවශ්‍ය විය. මේ සඳහා ඉංග්‍රීසින් සමුද්‍ර යාත්‍රික කටයුතු පිළිබඳ දැනුමක් ඇති පිරිසක් දකුණු ඉන්දියාවේ තූත්තුකුඩිය ප්‍රදේශයෙන් මෙරටට රැගෙන ආහ. ධීවර කර්මාන්තය පිළිබඳ දීර්ඝ අත්දැකීම ඇති දකුණු ඉන්දියාවේ වෙරළබඩ ජීවත්වූ මේ ජන කොට්ඨාසය හැඳින්වූයේ පරවර ජනතාව යනුවෙනි.
මෙලෙස කොළඹ වරායේ සේවය සඳහා පැමිණි පරවර ජනතාවගෙන් සමහර දෙනකු ආපසු තම උපන් බිමට නොගොස්, ශ්‍රී ලාංකික තරුණියන් විවාහ කරගෙන කොළඹ කොච්චිකඩේ කොටහේන, මෝදර වැනි ප්‍රදේශවල පදිංචි වූහ. එලෙස ඉංග්‍රීසි පාලන සමයේ තූත්තුකුඩියෙන් පැමිණි පරවර ජනතාව ගෙන් පැවත එන්නන් අදත් මේ ප්‍රදේශවල විශාල වශයෙන් ජීවත් වෙති.

මුතු කිමිදීම

එයටත් පෙර කාලයක ශ්‍රී ලංකාවේ මුතු කිමිදීම සිදුකරන සමයේ වයඹදිග වෙරළ ප්‍රදේශයේ මුතු කිමිදීම සඳහා තූත්තුකුඩියේ පරවර මිනිසුන් මන්නාරම, අරිප්පුව, මුතු හලාවත වැනි ප්‍රදේශවලට පැමිණියහ. ඔවුන් අතරින් සමහර දෙනකු ද ආපසු තම මවු රටට නොගොස් එම ප්‍රදේශවලම බින්න බැස්සහ. අද ඒ ප්‍රදේශවල ජීවත්වන සමහර දෙනකු ද ඒ ආදිතම පරවර ජනතාවගෙන් පැවත එන්නෝ වෙති.
පරවර ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට තවත් ප්‍රධාන හේතුවක් වූයේ අප කලින් ද කී පරිදි තූත්තුකුඩිය හා ශ්‍රී ලංකාව අතර තිබූ කරවල වෙළෙඳාමය. වසර හැත්තෑවකට අසූවකට එහා අතීතයේ සිංහල මිනිසුන් බත් වේලට මස් මාළු එකතු වූයේ කලාතුරකිනි. නමුත් කරවල කැබැල්ලක් ඔවුන්ගේ බත් පතට ආගන්තුක කෑමක් නොවීය. එනිසා හොඳ කරවල වෙළෙඳාමක් එකල ශ්‍රී ලංකාවේ විය.
එකල මෙරටට අවශ්‍ය කරවල වැඩිපුර ගෙන්වූයේ තූත්තුකුඩියෙනි. තූත්තුකුඩියට සමීප ඉන්දියන් සාගරයේ පිහිටි ලක්ෂ්ද්ව් දූපත් සමූහය සම්පූර්ණයෙන් කරවල නිෂ්පාදනය කරන ස්ථාන විය. ඒවායේ කරවල ද යැවුණේ තූත්තුකුඩියටය.
ඉංග්‍රීසි යුගයේ පටන් ලංකාවේ කරවල වෙළෙඳාමේ මෙහෙයුම සිදුවූයේ කොළඹ බංගසාල වීදියේය. එම කරවල වෙළෙඳාමේ ඒකාධිකාරිය හිමිව තිබුණේ ද පරවර ජනතාවටය. එලෙස කරවල ව්‍යාපාරිකයන් වශයෙන් පැමිණි පරවර ජනතාවගෙන් කොටසක් ද ආපසු ඉන්දියාවට නොගොස් ශ්‍රී ලංකාවේම පදිංචි වූහ.
අද ක්‍රියාත්මක නොවූවත් එකල මීගමුව, හලාවත, කල්පිටිය, මන්නාරම යන ප්‍රදේශවල විදේශීය කුඩා නෞකාවන් යන එන වරාය විය. එම වරායන්හි ආනයනික බදු අය කිරීම සඳහා රේගුව ද එම ස්ථානවල ක්‍රියාත්මක විය. තූත්තුකුඩිය වරායෙන් කරවල සහ වෙනත් කුළුබඩු රැගෙන ආ සමුද්‍ර යාත්‍රාවල සේවය කළ සමහර පරවර පුද්ගලයන් ද ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා විවාහ වූහ. එම නිසා ඔවුන්ගෙන් පැවත එන පරවර ජනතාවක් ද මීගමුව, හලාවත, කල්පිටිය, මන්නාරම වැනි ප්‍රදේශවල ජීවත් වෙති.

ගෞරවාදරය

එම පරවර ජනතාවගෙන් පැවත එන්නන් දැන් ශ්‍රී ලංකාවේ හඳුන්වන්නේ “ශ්‍රී ලංකා භාරත” යනුවෙනි. ඔවුන් අතරින් ජෝන් රුද්‍රිගු, ජෝර්ජ් ආර්. මෝතා අපේ පාර්ලිමේන්තුව ද නියෝජනය කර ඇත.
නීතිඥ ජේ. විල්සන් ප්‍රනාන්දු, සෙල්වම් කෲස් මොරායස්, ජුවාන් ඩි කෲස්, ක්ලැරන්ස් ඩි කෲස්, ලාසරුස් දබරේරා පරවර ජාතිකයන් අතර කියැවෙන කීර්තිමත් නාමයන්ය.
ශ්‍රී ලාංකික පරවර ජනතාවගේ අප්‍රමාණ ගෞරවාදරයට පාත්‍ර වූ තූත්තුකුඩියේ තුෂාරයේ අප ස්වාමිදූගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සිදු කරනුයේ සෑම වසරකම අගෝස්තු පස්වන දින ය. පසුගිය දිනෙක ඉන්දීය “හින්දු” පත්‍රය පවසා තිබුණේ ඉන්දීය ශ්‍රී ලාංකික සබඳතාවය ප්‍රකට කරන තුෂාරයේ අප ස්වාමිදූගේ මංගල්‍ය අගෝස්තු 05 දින ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ ද සහභාගිත්වයෙන් සිදුවෙන බවත්, වාර්ෂික මංගල්‍ය උත්සවයේ මුල පිරීම ජූලි 26 දින කොඩි ගස එසවීමත් සමඟ සිදුවූ බවය.
ඈත අතීතයේ හින්දු භක්තිකයන් වශයෙන් සිටි තූත්තුකුඩියේ පරවර ජනතාව කතෝලික භක්තිකයින් බවට පත්වූයේ 1538 දීය. ඒ පේදුරු ගොන්සාල්වේස් නමැති කතෝලික පියතුමකු විසින් එම පරවර පිරිස බෞතීස්ම කිරීමෙනි.
එම වසරේම එහි කුඩා දේවස්ථානයක් ඉඳිවූ අතර, එය පේදුරු ගොන්සාල්වේස් පියතුමාගේ ආරක්ෂක මුනිවරයා වූ ශුද්ධ වූ පේදුරු තුමා වෙනුවෙන් කැප කරන ලදී. ඉන්දියාවේ අපෝස්තුලුවරයා ලෙස සැලැකෙන ෆ්‍රැන්සිස් සේවියර් මුනි තුමා ද මෙම දේවස්ථානයේ දීව්‍ය පූජාව පවත්වා ඇත.
එක්දහස් පන්සිය අසූ දෙකේදී මෙම දෙව් මැඳුර ජේසු නිකායික පියවරුන්ගේ භාරයට පත්විය. එම කාලයේ කොචින්හි ඉන්දියාවේ අගරදගුරු තුමා විසින් මෙම දේවස්ථානය “තුෂාරයේ අප ස්වාමි දූ” ගේ නමින් කැප කරන ලදී. තුෂාරයේ අප ස්වාමි දූ ඔවුන් සැලකුවේ ධීවර නාවුකයන්ගේ ආරක්ෂක මුනිවරිය ලෙසය.
1610 සිට තූත්තුකුඩිය තුෂාරයේ අප ස්වාමි දූගේ පල්ලියේ වාර්ෂික මංගල්‍ය අගෝස්තු පස්වන දින ඉතාමත් උත්සවාකාරයෙන් පවත්වනු ලැබේ.

නොගැඹුරු මුහුද

එක්දහස් නවසිය අසූ දෙකේදී තූත්තුකුඩියේ තුෂාරයේ අප ස්වාමි දූගේ දේවස්ථානයේ හාරසිය වැනි ජුබිලිය සමරන ලදී. ඒ නිමිතිකොට දෙවන ජුවාම් පාවුළු පාප් තුමන් 1982 ජූලි 30 දින නිකුත් කළ අපෝස්තලික ලිපියෙන් එම දේවස්ථානය බැසිලිකාවක තත්ත්වයට උසස් කරන ලදී. පසුව දෙවන ජුවාම් පාවුළු පියතුමා ඉන්දියාවට සපැමිණි අවස්ථාවේදී තූත්තුකුඩිය තුෂාරයේ අප ස්වාමිදූගේ බැසිලිකාවට ද සපැමිණ ඇත.
“තූත්තුකුඩිය එහෙම නැතිනම් ටියුටිකොටන් වරාය කොළඹ වරාය තරම් ලොකු නැහැ. එහි තියෙන්නෙ නොගැඹුරු මුහුද. ඒ වගේ ම කීප පැත්තකින් ගොඩබිමෙන් ආවරණය වෙලා තියෙන නිසා වාරකන් කාලයට වුණත් බත්තල් රුවල් ඔරු දෙතුන් සීයක් ඒ වරායෙ නවත්වල තියන්න පුළුවන්” තූත්තුකුඩිය වරාය පිළිබඳව එම තොරතුරු හෙළි කරන්නේ සමුද්‍රාගමනය පිළිබඳ දීර්ඝ අත්දැකීම් ඇති ඇන්ටනි ජයකොඩිය.
ඔහු පවසන ලෙස එක්දහස් නවසිය හැට ගණන්වල ඉන්දියාවට යෑමට ගමන් බලපත්‍ර අවශ්‍ය වූයේ නැත.
“ඒ කාලෙ මේ ජාතික හැඳුනුම්පත කියල දෙයකුත් නැහැනේ. ඒ කාලෙ ඉන්දියාවට යන්න ක්ලියරන්ස් පේපර් කියල එකක් දෙන්නෙ. නමුත් පදිංචි ප්‍රදේශයේ ඩී. ආර්. ඕ. කන්තෝරුවට ගියාම කොළයක නම, තොරතුරු ලියල ක්ලියරන්ස් පේපර් එක දෙනවා. ඒක රේගුවට ඉදිරිපත් කළාම ඉන්දියාවට යන්න පුළුවන්” ඇන්ටනි ජයකොඩි පවසන්නේ එක්තරා යුගයක ඉන්දියාවට යෑමට ගමන් අවසර ලබාගත් අන්දම පිළිබඳවය.
ඔහු පවසන ලෙස එයට පසු කාලයක “ඉන්ඩියා ඔන්ලි” යනුවෙන් සටහන් කළ පාස්පෝට් එකක් නිකුත් විය. ඒ සඳහා රුපියල් දහයක මුදලක් අය කෙරුණි. වසර පහක් සඳහා නිකුත් කෙරුණ එය වාර්ෂිකව අලුත් කරගත යුතු විය.
ධීවර සංස්ථාවේ බහුදින ධීවර යාත්‍රාවල නැව් පති සහ කුඩා වෙළෙඳ නැව්වල ප්‍රධාන නිලධාරී ලෙස වසර ගණනාවක සේවා අත්දැකීම් ඇති පමුණුගම සෙත්තප්පාඩුවේ ඇන්ටනි ජයකොඩි එම වෘත්තිමය කටයුතුවලදී කීප වාරයක්ම තූත්තුකුඩියට ගොස් ඇත.

කොඩි ගස

“මම තුන් පාරක් විතර තූත්තුකුඩියේ තුෂාරයේ අප ස්වාමි දූගේ බැසිලිකාවට ගිහිල්ලා තියෙනවා. පල්ලියෙ කොඩි ගස ඔසවන වෙලාවට වගේ ම පල්ලියෙ මංගල්ලයටත් ගිහින් තියෙනවා” ඔහු සිතන්නේ එය කතෝලිකයකු වශයෙන් ඔහුට හිමි වූ වාසනාවක් බවය.
තුෂාරයේ අප ස්වාමි දූගේ බැසිලිකාව පිහිටා ඇත්තේ තූත්තුකුඩිය නගරයට සමීපවය. තූත්තුකුඩිය වරායේ සිට නගරයට යෑමට බස් රථයක් ඇත. ඒවා ලී බොඩිවලින් යුක්ත, ඉඳ ගැනීම දෙපැත්තේ බංකු පේළි දෙකක් ඇති පරණ පන්නයේ ඒවාය.
“තූත්තුකුඩියෙ පල්ලියෙ කොඩි ගස ඔසවන්නෙ ජුලි විසිහයවැනි දිනක. අඩි හැත්තෑ පහක් විතර උස ඒ ලී කොඩි ගහ නිල් පාටින් වර්ණ ගන්වා තියෙන්නෙ” හෙතෙම එලෙස විස්තර කරන්නේ කතෝලික පල්ලියක වාර්ෂික මංගල්‍යය ආරම්භ කරන පිළිවෙළ පිළිබඳවය.
සවස් කාලයේ සිදු කෙරෙන කොඩි ගස එසවීමේ චාරිත්‍රයේදී තූත්තුකුඩියේ එක් එක් පැතිවල ජීවත්වන කතෝලිකයින් කොඩි ගසේ එල්ලීම සඳහා කොඩි රැගෙන නාගසලම් සංගීතයත් සමඟින් දේවස්ථානය ඉදිරිපිටට ළඟා වෙති.
“අපේ ගම්වල කොඩි ගහ උස්සද්දි කිරිබත් දානය දෙනව වගේ තූත්තුකුඩියේ පල්ලියේ කොඩි ගස ඔසවද්දි ‘පුක්ක’ කියල කෑමක් දානයට දෙනවා. ඒක මුංඇට තම්බල සීනි දාල හදන එකක්. අපේ කිරියා වගෙයි. ඒ පාටමයි. ලොකු තඹ භාජනවල දාගෙන ‘පුක්ක’ ගේනවා. කොඩි ගහ ඉස්සුවයින් පස්සෙ හැඳිවලින් නුග කොළ වගේ ඒවට බෙදලා දෙනවා. ටිකක් ඝනකම් නිසා ඇඟිලි දෙකෙන් පහසුවෙන්ම කෑවැකි” ඒ තූත්තුකුඩියේ අමුතු ආහාරය පිළිබඳ තොරතුරුය.

ධීවර ගම්මාන

තූත්තුකුඩියේ තුෂාරයේ අප ස්වාමිදූගේ මංගල්‍ය පවත්වන්නේ අගෝස්තු පස්වන දිනය. එදිනට ඉන්දියාවේ බොහෝ ධීවර ගම්මානවලින් මෙන්ම ශ්‍රී ලංකාවේ සමහර ධීවර ගම්මානවලින් ද පිරිස් එම මංගල්‍යයට සහභාගි වෙති.
“අපේ පල්ලිවල මංගල්‍යවලට වගේ විකාර විලාසිතා එහෙ පල්ලියෙ නැහැ. පල්ලියට එන හැම පිරිමි කෙනෙක්ම සුදු වේට්ටිය සුදු කමිසය හරි සුදු අත් දිග බැනියමක් ඇඳල තමයි එන්නෙ. ගෑනු අය ඔක්කොම සාරි අඳින්නෙ.
පල්ලිය ඇතුළදී සාරි පොටෙන් ඔළුව වහගන්නවා.” කවුරුවත් සපත්තු සෙරෙප්පු දාගෙන පල්ලියට ඇතුළු වෙන්නෙ නැහැ, ඇන්ටනි ජයකොඩි එලෙස පැහැදිලි කරන්නේ තූත්තුකුඩිය කතෝලික බැතිමතුන්ගේ ආගමික ශ්‍රද්ධාව පිළිබඳවය. දේවස්ථානය ඇතුළත හරහා ඇවිද යෑම, දේවස්ථානය තුළ කථා කිරීම සිදුවන්නේ නැත.
දේවස්ථානයන්හි ආගමික කටයුතු සඳහා පැමිණෙන බැතිමතුන් දේවස්ථානය අසල ඇති වතුර බක්කිවලින් ස්නානය කිරීම අනිවාර්යයෙන් සිදුවන්නකි.
“පල්ලිය ළඟම තාප්පයකින් වට කළ ස්ථානයක පිරිමින්ට සහ කාන්තාවන්ට නාන්න වෙනම ස්ථාන දෙකක් තියෙනවා. අපේ ඉණ ගාවට වගේ උසින් පුංචි සිමෙන්ති ටැංකි හදල තියෙනව. හැම තිස්සෙම ඒවායෙ වතුර පිරිල තියෙනවා. පුංචි බාල්දියක් දෙනව නාගන්න. නෑවයින් පස්සෙ ඉන්දියානු රුපියලක් වගේ මුදලක් දෙනවා එතැන වැඩ කටයුතු කරන අයට” ඇන්ටනි ජයකොඩි වැඩිදුරටත් පවසන ලෙස එලෙස පැමිණෙන ඉන්දියානු බැතිමතුන් පල්ලියට පැමිණීමේදී ඇඳගෙන ආ ඇඳුම්වලින්ම ස්නානය කරන බවය.
තූත්තුකුඩිය තුෂාරයේ අප ස්වාමි දූගේ බැසිලිකාව සමීපයේ ඇති එක් මාර්ගයක් දෙපසම පිරී ඇත්තේ බාබර් සාප්පුවලිනි.
“සමහර අය පල්ලියට ඇවිල්ල එක් එක් භාරහාරවලට හිස සම්පූර්ණයෙන් මුඩු කරන සිරිතක් එහි තියෙනවා. පල්ලිය ඇතුළෙ මිනිස්සු දාහක් හිටියොත් අඩු ගණනෙ තිහ හතළිහක්වත් හිසකේ සම්පූර්ණයෙන් මුඩු කළ අය ඉන්නවා.” අපේ සංචාරකයා මේ විස්තර කරන්නේ අපේ රටේ දක්නට නොලැබෙන නමුත් එහිදී දක්නට ලැබෙන අපූරු භාරහාර වීමක් පිළිබඳවය. මෙලෙස පල්ලියට ගිය එක් අවස්ථාවකදී මංගල ඇඳුමෙන්ම පැමිණි මනාලියක් ඇයගේ හිසකේ සම්පූර්ණයෙන් මුඩුකර පල්ලිය ඇතුළු වූ විලාශය දුටු බවය.

වන්දනාකරුවෝ

ඉටිපන්දම් පත්තු කරන ස්ථානය සමීපයෙහි තඹවලින් නිර්මාණය කළ කුඩා මිනිස් සිරුරු, කුඩා කකුල්, කුඩා අත් වැනි දේවල් දක්නට ලැබෙන බව ඇන්ටනි ජයකොඩි පවසයි.
“ඇඟට ඇඟක්, කකුලට කකුලක්, අතට අතක් භාරවෙන සිරිතක් ඔවුන්ගේ තියෙනව. කකුලක ආබාධයක් තිබුණම එය සනීප වෙන්න කකුලට කකුලක් බාර වෙනවා. කුඩා තඹ කකුලක් පූජා කරල තමයි ඔවුන් එය ඔප්පු කරන්නෙ. පෝස්ට් කාඩ් ප්‍රමාණයේ ඡායාරූපත් ඒ බාරහාර වෙන තැන එල්ලා තියෙනවා මම දැක්කා. මම කෙනෙකුගෙන් අහපුවම කීවෙ අතුරුදන් වුණ අයගෙ ඡායාරූප එහෙම එල්ලන්නෙ ඔවුන් සොයා දෙන්න කියලයි”, ඇන්ටනි ජයකොඩි නොනවත්වාම විස්තර කරන්නේ තූත්තුකුඩියේ තුෂාරයේ අප ස්වාමිදූගේ පල්ලියේදී දක්නට ලැබෙන අපූරු ආගමික වත් පිළිවෙත් පිළිබඳවය.
පල්ලියට නුදුරින් ඇති එක් මාර්ගයක දෙපස පිහිටා ඇති කඩ හාරසියයකට වැඩි ප්‍රමාණයක් පිරී ඇත්තේ ඉස්තරම්ම වර්ගයේ සුදු යකඩ, තඹ, පිත්තල හට්ටි මුට්ටි වළං ආදියෙනි.
“තූත්තුකුඩි යන අපේ වන්දනාකාරයො බොහෝ විට මේ භාජන මිලදී ගන්නවා. එයට අමතරව ඉස්තරම්ම සඳුන් තෙල්, රත් හඳුන්, සුදු හඳුන්, ඇ‍ඟේ තවරන කහ කුට්ටි තූත්තුකුඩියෙන් මිලදී ගන්න පුළුවන්.”
ඇන්ටනි ජයකොඩි පවසන ලෙස තූත්තුකුඩියෙහි ඇති ආපන ශාලාවල ඇති ආහාර ඉතා රසවත්ය. ආපන ශාලා සමීපයෙන් යන විට ද එහි ඇති ආහාරවලින් නික්මෙන කුළුබඩු සුවඳින් නැහැපුඬු පිරී යයි. එහි ආහාර පිළියෙල කිරීමේදී මිරිස් වැඩිපුර භාවිත වන්නේ නැහැ. නමුත් සූදුරු, මාදුරු, කොත්තමල්ලි වැනි කුළුබඩු යහමින් භාවිත වෙයි.

කුළුබඩු සුවඳ

“කෑමට එළවළු දෙකකුයි මාළුයි බත් එකකට ලැබෙනවා. අඟල් දෙකයි, තුනේ මාළු කෑල්ලක් ග්‍රෑම් එකසිය පනහක් විතර බරයි. පොල් කිරි දාන්නෙ නැහැ. ඒත් කෑමට මුදවපු කිරි, එළඟි තෙල්, තල තෙල් ආදිය දානවා. එළගි තෙලුයි කුළුබඩුයි දාපු මුරුංගා හොද්ද යෝගට් එකක් වගේ මිදිලා.
ඇඟිලි දෙකෙන් හොදි අරගෙන කෑවැකි” ඇන්ටනි ජයකොඩි වැඩිදුරටත් පවසන ලෙස එවැනි ආහාර වේලකදී සමහර ආපන ශාලාවකදී අඟල් තුනක් පමණ දිග අලුවා කෑල්ලක හැඩයට කපන ලද පොල් කෑල්ලක් ද ලැබෙයි. ඒ තෙලෙන් බදින ලද මිරිස් කරල් සමඟ හපා කෑමටය. මෙවැනි ආහාර වේලකට ගෙවිය යුත්තේ ඉන්දියානු රුපියල් විසිපහක් පමණි.
තූත්තුකුඩියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ මෙහි විවාහ වී අලුතෙන් ජීවිතය ඇරැඹු පරවර ජනතාව ඔවුන්ගේ ආගමික විශ්වාසය මෙහිදී ඇරඹූහ. එයින් සමහර දෙනෙකු මීගමුව පෙරියමුල්ල තුෂාරයේ අපි ස්වාමිදූගේ දේවස්ථානයක් ඉඳිකළහ. කොළඹ අවට ජීවත්වන එම ජනතාව පිටකොටුව පිලිප්නේරි පල්ලියේදී අගෝස්තු පස්වන දින තුෂාරයේ අප ස්වාමිදූගේ මංගල්‍ය පැවැත්වීමට පුරුදු වූහ.
“තූත්තුකුඩියට කෙළින්ම ඥාතිකම් තිබුණ මුල් කාලයේ හුඟාක් දෙනා ලංකාවෙන් තූත්තුකුඩිය මංගල්‍යයට ගියා. ඔවුන්ගේ දරු මුනුපුරන් දැන් ඉස්සර වගේම යනවා අඩුයි. ඒත් ධීවර යාත්‍රිකයන් සමහර දෙනා තවමත් තූත්තුකුඩියෙට යනව තුෂාරයේ අප ස්වාමිදූගේ මංගල්‍යයට සහභාගිවීමට” ඇන්ටනි ජයකොඩි වත්මන් තත්ත්වය එසේ විස්තර කරයි.

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.