Sunday, August 3, 2014

කිරි අත්තට පෙන්ෂන් එකක් තියෙනවද?

කිරි අත්තට පෙන්ෂන් එකක් තියෙනවද?

එහෙම අහන නේතකී ගේ වගතුග කොහොමද?
වෙළෙඳ දැන්වීම්...
ඔබ මොනවද හිතන්නෙ වෙළෙඳ දැන්වීම් පිළිබඳ
අපෝ.... ඇඩ්ද...
කතා කරන්න එපා. ඒවා ගැන...
බොහෝ දෙනෙක් පවසන්නෙ එකයි.
මේ ඇඩ් නිසා ටෙලි නාට්‍යයක් බලන්න බෑ. අපිට ඕන වැඩසටහනක් බලන්න බෑ. අඩුම ගානෙ ප්‍රවෘත්තිවත් බලන්න බෑනෙ. මේ කෙහෙම්මල් ඇඩ් නිසා. එක අතකින් හිතෙනවා ඇඩ් අස්සෙ ද අපි අනෙක් වැඩසටහන් බලන්නෙ කියලා.
මා ඇඩ් ගැන වැඩිපුර ඇහැව්වොත් ඔබ තරමක් කේන්තියෙන් එහෙම කියාවි. මමත් ඒ මතයට ටිකක් එකඟයි. ඒ වුණාට අපි දකින නානාප්‍රකාර වෙළෙඳ දැන්වීම් අතරේ හරිම නිර්මාණශීලී ඒවා තියෙනවා නේද?
ඔව්. එහෙම ඇඩ් තියෙනවා. මේ දවස්වලත් නෙත සිත ඇඳ බැඳ තබාගන්නා වෙළෙඳ දැන්වීමක් විකාශය වෙනවා. එය ලංකා බැංකුව වෙනුවෙන් නිර්මාණය කරන ලද්දක්.
කිරි අත්තට පෙන්ෂන් එකක්.
දැන් මතකද ඒ වෙළෙඳ දැන්වීම. ඒත් සමඟම ඒ වාක්‍ය කණ්ඩය කියන පුංචි සුරතල් කෙලි පැටික්කිව නො අනුමානව ඔබේ සිතට එන්න ඇති. කෙටියෙන්ම කිව්වොත් ඒ දැන්වීම ආලෝකවත් වී තිනේනේ ඒ පුංචිත්තිය නිසා කියලයි මට නම් හිතෙන්නේ. ඇය තව පොඩි වෙලාවකින් සරසවිය පැත්තට එනවලු. මේ වනවිට එම දැන්වීම හරහා රටම ආදරය කරන්න පටන් අරන් තියන මේ සිඟිත්තිය කවුද?
අන්න.... කිරි අත්තට පැන්ෂන් දෙනකෙනා එනවා.
මගෙ එහා පැත්තෙ ඉන්න තිලානි කිව්වේ හිනාවෙන ගමන්. අම්මයි අප්පච්චිවයි මැදි කරගෙන එද්දි ඇයව මට පෙනුණෙ පුංචි තාරකාවියක් ගාණට.
මොකද පරක්කු වුණේ...
මං ඇහැව්වේ දූ සිඟිත්තගේ හිස අතගාන ගමං.
මෙයා ඉන්න ඇඩ් එක හිටිනිසා හැමෝම නවත්නව නවත්වා කතා කරනවා. සමහරු වඩා ගන්නවා.
ඇගේ මව එහෙම කිව්වේ දූ දිහා බල බලා.
මොකක්ද ඔයාගෙ නම
නේතකී විමුදනා...
ඇඹරි ඇඹරි ඇය නමෙහි අකුරු එකතු කළා.
රඟපෑවට හරි ලැජ්ජයි වගේ
මොන පිස්සුද බලන්නකො තව ටිකකින්.
නේතකීගේ අප්පච්චි කියලා කටගන්න ලැබුණෙ නැහැ, දොඩම් ගෙඩි දෙකක්වත් උස නැති මේ සිඟිති සුරතලිය දුවලා දුවලා ගිහින් නැංගා අපේ කර්තෘතුමාගෙ මේසෙ උඩට. එතනම හරි බරි ගැහිලා වාඩිවුණා. මාත් ළඟටම කිට්ටුවුණේ නේතකීගෙ තවත් විස්තර ටිකක් අහගන්න.
ඔන්න මං අහන ප්‍රශ්නවලට බබා හොඳට උත්තර දෙන්න ඕන
හැබැයි අමාරු ප්‍රශ්න දාන්න එපා.
නේතකීගේ හුරතල් හඬ දැන් සරසවිය පුරා පැතිර යයි.
නේතකීගේ වයස කීයද? මොන්ටිසෝරි නේද යන්නෙ?
ඔව්. ඔව්. අවුරුදු හතරයි මාස අටයි. ඕ.කේ.අයි. පෙර පාසලටයි යන්නෙ.
රඟපාන්න ආසද?
ආසයි. ආසයි. දැන් ඇඩ් ගොඩාරියක් කළා. නූරි කියලා ටෙලි නාට්‍යයකත් රඟපෑවා. භාතිය සන්තුෂ් අංකල්ලගෙ වීඩියෝ එකකත් ඉන්නවා.
ගොඩක් මාමලා නැන්දලා ඔයාව දැනගත්තෙ පැන්ෂන් ඇඩ් එකෙන් නේද?
නේතකී ඒ ප්‍රශ්නෙට ඔළුව වැනුවා.
කවුද ඒකට දූට කතා කළේ?
වසන්ත දුක්ගන්නාරාළ. එයා මගෙ ලොකු අප්පච්චි. එයා තමයි මේ ඇඩ් එක කළේ.
ඒ ඇඩ් එක ෂූටිං කරන දවසෙ නේතකී සැරින් සැරේ ඇඬුවා කියලා මට දැනගන්නට ලැබුණා...?
අනේ එදා මගෙ වයසෙ යාළුවො කවුරුවත් හිටියෙ නැහැ. ඒකයි ඇඬුවෙ.
එදා තව පොඩ්ඩෙන් නේතකී බයිසිකලයෙන් වැටෙනවලු නේද?
වෙලාවට අප්පච්චි ළඟ හිටියා. ලකී අංකල් තමයි මාවත් තියාගෙන බයිසිකලය පැදගෙන ආවෙ. ෂූට් එක ඉවරවෙද්දි එයා නවත්වලා බයිසිකලෙන් බැස්සා. අංකල් හිතාගෙන ඉඳලා තියෙන්නෙ ඒක කවුරුහරි අල්ලගෙන ඉන්නවා කියලා. ඉතින් ලකී අංකල් බයිසිකලය අතෑරපු ගමන් ඒක පෙරලුනා. අප්පච්චි ටක් ගාලා මාව අල්ලගත්තා. නැත්නම් ඩොග් ගාලා මමත් බිම දොයි.
ඇඩ් එක දැකලා මොන්ටිසෝරියෙ යාළුවො මොනවද කියන්නෙ?
පෙන්ෂන් ඉල්ලනවා. එයාලා විතරක් නෙවෙයි දකින් දකින හැමෝම පෙන්ෂන් ඉල්ලනවා.
මටත් පෙන්ෂන් එකක් දෙනවද?
මා ඇසූ ඒ පැනයට නේතකී සිඟිති ඇඟිලි මුවමත තබාගෙන හයියෙන් හිනාවුණා.
නේතකී විමුදනා කියන නමේ තේරුම මොකක්ද?
අප්පච්චි නම් කියන්නෙ ඒකේ තේරුම නීතිය සහ විමුක්තිය කියලා.
නේතකීගේ අම්මයි අප්පච්චියි ගැන කියමුකො...?
අම්මා කෞශල්‍යා රණසිංහ, අප්පච්චි අශේන් නිශාන්ත. මං නිතරම ඉන්නෙ අච්චි අම්මත් එක්ක.
එතකොට ගෙවල් කොහෙද?
මුල්ලේරියාව නව නගරයේ.
නේතකී ගෙදර ඉන්න වෙලාවට මොකද කරන්නෙ?
මං ආසයි මගෙ ටෙඩි බෙයාර්ලට උගන්වන්න. තව.... සිංදු කියනවා, නටනවා.
නේතකී නිතරම ඉල්ලන කෑමක් ගැන අප්පච්චි මට කිව්වා?
අපොයි. අප්පච්චි කිව්වද මං ආසම කෑම කොත්තු කියලා. කොත්තු තියනවානම් මට මුකුත් ඕන නැහැ.
නේතකී ඒක කියපු විදිහට අපි හැමෝටම බකස් ගාලා හිනා ගියා. මේ සොඳුරු සුරතලිය ඊළඟට අපේ මාලන් අයියාගේ කැමරාව ඉදිරියේ ඡායාරූප කිහිපයකට පෙනී සිටියේ කිසිම බයකින් තොරව.

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.