Sunday, August 3, 2014

අම්මයි තාත්තයි කන්න බොන්න දුන්නා චිත්‍රසේනයි මමයි නැටුවා


- වජිරා ඩයස්
මහරට ගිහින් පන්ති කරන්න බැරි නිසා කුඹුරු අරන් වැඩ කළා
ඔබේ සම්පූර්ණ නම?
නල්ලපෙරුම ආරච්චිගේ වජිරා රුක්මණි දමයන්ති පෙරේරා. ඒත් ‘වජිරා’ කියලා කෙටියෙන් කිව්වම තමයි කවුරුත් දන්නේ.
උපන් දිනය?
1932 මාර්තු 15.
ගම?
කළුතර.
පියා?
නල්ලපෙරුම ආරච්චිගේ චාර්ලිස් පෙරේරා. තාත්තා කළුතර නගර සභාවේ වැඩ කළේ.
මව?
ලිලියන් පෙරේරා. වෘත්තියෙන් ගුරුවරියක්. කළුතර මහා විද්‍යාලයේ ඉගැන්වූවා.
පවුලේ කී දෙනා ද?
හත්දෙනයි. සහෝදරියෝ පස්දෙනයි. සහෝදරයෝ දෙන්නයි. එක අක්ක කෙනෙක් පුංචි කාලේම මැරුණා. ඒ ඇදුම රෝගය උත්සන්න වීමෙන්.
ඉගෙන ගත් පාසල?
පුංචිම කාලේ හොරණ ශ්‍රීපාලියට ගිහින් තියෙනවා. ඒක රවින්ද්‍රනාත් තාගෝර්තුමා මුල් ගල තියලා පටන්ගත්තේ. ඊළඟට කළුතර බාලිකාව. තුන්වැනුව කොල්ලුපිටිය මෙතෝදිස්ත.
නැටුම්වලට කුඩා කාලයේ ඉඳන්ම ඔබේ සුවිශේෂ කැමැත්තක් තිබුණා ද?
මටත් වඩා අපේ අම්මට තමයි මාව නැටුම්වලට යවන්න වුවමනා කළේ. අනෙක ඒ කාලේ පාසල්වල නැටුම් පීරියඩ් එකක් තිබුණා. අධ්‍යාපන මට්ටමිනුත් නැටුම්වලට පිළිගැනීමක් තිබුණු බව එයින් පැහැදිලියි. අම්මලගේ ඉස්කෝලේ පවත්වන ප්‍රසංගවලට මම පොඩි පොඩි අයිටම්ස් ඉදිරිපත් කළා මතකයි.
ඔබට කොහොම ද චිත්‍රසේන මුණගැහුණේ?
චිත්‍රසේනගේ ‘විධුර’ නාටකය කළුතර නගර ශාලාවේ තිබුණා. මං කිව්වනේ අපේ තාත්තා වැඩ කළේ නගර සභාවේ කියලා. නගර ශාලාව භාරව හිටියෙත් තාත්තා. එහි යතුර තිබුණෙත් ඔහු අතේ. ඒ නිසා අපි කළුතර පවත්වන නාට්‍ය, නැටුම් බලන්න යනවා. ඒ විතරක් නෙමේ. ඒවා පවත්වන කලාකාරයෝ අපේ ගෙදරටත් එනවා. බොහෝ විට රෑ කෑම කන්නේ අපේ ගෙදරින්. මට මතකයි චිත්‍රසේන කණ්ඩායමත් ආවා. එතකොට මං හුඟක් පුංචියි. ඒ විදියට තමයි චිත්‍රසේන හඳුනගත්තේ. පස්සේ එයා කළුතර නැටුම් පන්ති පවත්වන්නත් ආවනේ.
ඒ කාලේ කවුද චිත්‍රසේනගේ සහායක නැටුම් ශිල්පිනිය?
චන්ද්‍රලේඛා. කළුතර ප්‍රසංගයේ නැටුවෙත් එයා.
චිත්‍රසේනගේ පවුල් පසුබිම මොකද්ද?
එයාගේ තාත්තා සීබට් ඩයස්. වැඩ කළේ ලේක්හවුස් එකේ එකවුන්ටන් කෙනෙක් විදියට. ඔහු නූර්ති යුගයේ ප්‍රකට නාට්‍යකරුවෙක්. වැඩියෙන්ම කළේ ශේක්ෂ්පියර්ගේ නාට්‍ය. එයා ශයිලොක්ටත් රඟපාලා තියෙනවා. චිත්‍රසේනගේ අම්මා ක්‍රිස්තියානි. සර් ඩී. බී. ජයතිලක ඒ ගොල්ලන්ගේ පැත්තෙන් ළඟම ඥාතින්නේ. ඔවුන් බටහිර පන්නයට නැඹුරු වුණු අය. පල්ලි ගිය, ගීතිකා කියපු කට්ටිය. චිත්‍රසේන නටනවට වුණත් ඒ අය කැමැති වුණේ නැහැ. ඔවුන් හිනාවුණා මිසක් කවදාක්වත් චිත්‍රසේනව අගය කළේ නැහැ. ඔවුන්ට ඕනැ වුණේ චිත්‍රසේන නීතිඥයෙක් කරන්න. චිත්‍රසේනගේ තාත්තා තමයි එයාට කලාකාරයෙක් වෙන්න පසුබිම සකස් කළේ.
ඔබ කොළඹට ආවේ?
අක්කා මෙඩිකල් කොලේජ් එකට තේරුණා. ඒ නිසා අපිට කොළඹ එන්න සිද්ධ වුණා. අපි නැවතුණේ කොල්ලුපිටියේ චිත්‍රසේනගේ ගෙදර. ඉස්කෝලේ ගියෙත් එහෙ ඉඳන්. කොල්ලුපිටියේ මෙතෝදිස්ත එකට.
එතකොට කලායතනය පටන් අරන් ද?
ඔව්. කලායතනය පටන්ගත්තේ 1944 දි. සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, එඩ්වින් සමරදිවාකර, අමරදේව, සෝමබන්දු විද්‍යාපති, ගංගානාථ මේ ඔක්කොම හිටියේ එහේ. ඒගොල්ලන්ට වෙනම කෑල්ලක් තිබුණා. අපි හිටියේ වෙනත් පැත්තක. සෝමබන්දු තමයි චිත්‍රසේනගේ පළමු නැටුම් ශිෂ්‍යයා. ප්‍රේමකුමාර්, ශේෂා පලිහක්කාර, ගංගානාථ එහි සමකාලීන ශිෂ්‍යයෝ. මාත් එක්ක පද්මා අල්විස් කියලා කෙනෙක් හිටියා නැටුම් ඉගෙන ගන්න.
ඔබ ඔය කියන කලාකාරයෝ ඔක්කොම චිත්‍රසේනගෙන් ද යැපුණේ?
චිත්‍රසේනගෙන් නෙමෙයි එයාගේ තාත්තගෙන්. චිත්‍රසේනට ආදායමක් තිබුණේ නැහැ. නැටුම් කරලා එයා අතින් පාඩු විඳ ගත්තා මිසක් ආදායමක් ලැබුවෙ නැහැ. මං දන්නෙ නැහැ ඔය කලාකාරයෝ චිත්‍රසේනලට මාසෙකට කීයක් හරි ගෙව්ව ද නැද්ද කියලා. මොකද මං එතකොට පුංචියි. අපි වුණත් කසාද බැන්දයින් පස්සෙ අපිට කන්න බොන්න දුන්නේ චිත්‍රාගේ අම්මයි තාත්තයි. චිත්‍රසේනගේ සහෝදරියෝ දෙන්නෙක් හිටියා කසාද නොබැඳපු. ඒ අයයි අපේ අම්මයි තමයි අපේ දරුවන් බලාගත්තේ. චිත්‍රයි මමයි නැටුවා විතරයි. නැටුවේ නැත්තේ ළමයි හම්බු වෙද්දි විතරයි. ඒ හම්බුවෙලා කිරි දෙන ගමනුත් නැටුවා.
ඔබ චිත්‍රසේනගේ මුද්‍රා නාට්‍යයකට මුලින්ම සම්බන්ධ වුණේ මොකකට ද?
‘විධුර'ට. මම ඒකේ නාග කන්‍යාවක් විදියට රඟපෑවා. ‘විධුර’ සංගීතවත් කළේ ජේ. සාදිරිස් මාස්ටර්. ඒ කියන්නේ ෂෙල්ටන් ප්‍රේමරත්නගේ තාත්තා. ඔය කාලේ ‘පැජන්ට් ඔෆ් ලංකා’ කියලා සංදර්ශනයක් තිබ්බා. චිත්‍රාගේ තාත්තා ඒකට අයිටම් දෙකක් ඉදිරිපත් කළා. එකක් ‘විජය සහ කුවේණි’ අනෙක ‘රාවණා හා සීතා’ මම ‘රාවණා හා සීතා’ හි මුව පොව්වකුට හිටියා.
ඔබ චිත්‍රසේන එක්ක විවාහ වුණේ?
1950 දී.
කවුද මුලින්ම ප්‍රේමය ප්‍රකාශ කළේ?
මං එයාගේ නංගි කෙනෙක් වගෙයි හැදුණේ. වයස් පරතරයත් අවුරුදු 11 ක් විතර. අනෙක එකටමයි හිටියේ. ඒ නිසා බැඳීම් ඇතිවුණා ඉබේම වගේ.
සංසාරික බැඳීම්?
වෙන්නත් ඇති. නැත්නම් මේ විදියට එක තැනකට එක්කහු වෙන්නෙ නැහැනේ.
ඔබ සාමාන්‍යයෙන් ගෙදරදි චිත්‍රසේනයන්ට කතා කළේ ‘චිත්‍රා’ කියල ද?
ඔව්. බඳින්න කලින් නම් කොහොම කතා කළා ද කියලා මට මතකයක් නැහැ.
කොහොම ද පවුල් ජීවිතේ?
එයාට හරියට කේන්ති යනවා. රණ්ඩු වුණාම තරහ වෙලා එහෙ මෙහෙ යනවා සමහර දවස්වලට යාපනයටත් යනවා. මම රණ්ඩු වුණාම කරන්නේ බැවිලගමුවේ ලපයා ගුරුන්නාන්සේගේ ගෙදරට (කුරුණෑගල) යන එකයි. මම උඩරට නැටුම් ඉගෙන ගත්තෙ එහෙදිනේ. මම මාස දෙකක් නැවතිලා නැටුම් ඉගෙන ගත්තා.
පියෙක් විදියට?
එයා ළමයින්ට බොහෝම ආදරෙයි. ළමයි නාවන්නෙ ඇ‍ඟේ තෙල් ගාලා අව්වෙ තියලා තියන්නෙ එයා.
චිත්‍රසේනයන් බොහෝම හැඩිදැඩි පුරුෂයෙක්නේ. ඔහු තමන්ගේ ශරීරය ගැන හුඟක් සැලකිලිමත් වෙන්න ඇති.
අපොයි ඔව්. එයා ඇඟ හදාගන්න හුඟක් වෙහෙසුණා. එයා වැල්ලවත්ත පැත්තේ මුහුදට යනවා පීනන්න. ඒක හොඳ ව්‍යායාමයක්නේ. අනෙක හුඟ වෙලාවක් මුහුදේ නෑමෙන් ලෙඩ හොඳ වෙනවයි කියලා එයා විශ්වාස කළා.
‘නල දමයන්ති’ මුද්‍රා නාට්‍යයේ ඔබ හංසයා? මේකට රුසියාවේ ‘ස්වෝන් ලේක්’ එකේ ආභාසය තියෙනවා කියලා විචාරකයන් කියලා තියෙනවා?
නම් අපි ‘ස්වෝන් ලේක්’ එකේ ආභාසය ගත්තා. නැතුව නෙමෙයි. ඒකේ ඇඳුම් නිර්මාණ කළේ සෝමබන්දු. රුසියාවේ බොල්ෂෝයි රඟහලේ ‘ස්වෝන් ලේක්'වල නැටුම් ඇනා පව්ලෝවාගේ. ඇය ලෝකයේ ශ්‍රේෂ්ඨතම මුද්‍රා නාට්‍ය ශිල්පිනියක්. එතකොටනං එයා වයසයි.
මාර්තා ග්‍රැහැම්?
ඇය නූතන ඇමෙරිකානු මුද්‍රා නාට්‍ය කලාවේ පුරෝගාමි චරිතයක්. 1956 දි විතර ඇය ලංකාවට ආවා. ඇයව ගුවන් තොටුපළේදි පිළිගත්තෙත් චිත්‍රසේනයි මමයි.
‘කරදිය’ නිර්මාණය කළේ තනිකරම ඔබ වෙනුවෙන් යැයි අප අසා තිබෙනවා.
ඔව්. ඒක ඇත්ත. මම ඊට කලින් මුද්‍රා නාට්‍යවල රඟපෑවේ සත්තුන්ගේ චරිත. මුවා, හංසයා වගේ. ‘කරදියේ’ ප්‍රධාන කාන්තා චරිතය (සිසී) කළේ මම. මන්නඩිරාල විදියට තමයි චිත්‍රා රඟපෑවේ.
‘කරදිය’ හදපු හැටි මතක ද?
මතකයි. චිත්‍රසේනගේ යාළුවෙක් හිටියා මාතර. එයාගේ දුවලට නැටුම් උගන්වන්න චිත්‍රා කෝච්චියේ මාතරට යනවා. ඉතිං එයාට දකින්ට ලැබෙන්නේ උදේට මාළු දැල් ගොඩට අදින ධීවරයෝ. ඒක තමයි මූලික අත්දැකීම. ‘හෝයියා හෝයියා’ ගීතය පවා මුලින්ම මිමුනුවේ ඔහු. පසුව අමරදේව ඒක වර්ධනය කළා. චිත්‍රසේනට සංගීතය පිළිබඳ දැනුමක් තිබුණා. ශාන්ති නිකේතනයේදී රාගධාරි සංගීතයත් ඉගෙන ගෙන තිබෙනවා. ඕනෑම රාගයක් ගැන එයා දන්නවා.
‘නල දමයන්ති'. ඒකත් විශිෂ්ට නිර්මාණයක් එකෙත් තිබුණා විශිෂ්ට ගීතයක්. අමරදේවයන් ගයන ‘ඈත කඳුරක හිමව් අරණේ'.
ඔව්. එය චිත්‍රසේන කලායතනයේදීම මහගමසේකරයි, අමරදේවයි එක්වෙලා කරපු නිර්මාණයක්. අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඒ වගෙ කලාකාරයෝ නැතිකම. දැන් බලන්න, සෝමබන්දු. ඒ වගෙ කෙනෙක් ආයේ බිහිවුණේ නැහැනේ.
ඇත්තටම චිත්‍රසේනයන් මෙරට කලාවට කරපු සේවය ඔබ දකින්නේ කොහොම ද?
එක්තරා කාලයක නැටුම, පහත් පෙළේ දෙයක්, අඩු කුලේ අයගේ කලාවක් විදියටයි සැලකුණේ. ඒ ආකල්පය වෙනස් කළේ චිත්‍රා. අපේ යාතුකර්මවල තිබුණු නැටුම්, නූතන වේදිකාවලට සරිලන විදියට අරගෙන එයින් කිසියම් කතාවක් කලාත්මකව ඉදිරිපත් කිරීමක් තමයි ඔහු කළේ. ඒක හරියට මහාචාර්ය සරච්චන්ද්‍ර නාට්‍ය කලාවට කළා වගෙ සේවයක්. සරච්චන්ද්‍රයන් පැරණි නාඩගම් රංග රීතිය උපයෝගි කරගෙන එය නූතනවාදී ප්‍රකාශනයක් විදියට ඉදිරිපත් කළා. අනෙක අපිට අතීතයට දිවෙන මුද්‍රා නාට්‍ය සම්ප්‍රදායක් නැහැ. ඒක ගොඩ නැංවූයේ චිත්‍රා. තවත් කාරණාවක් තමයි ඒ සඳහා ප්‍රේක්ෂක පිරිසක් බිහි කිරීම. බෙර හඬක් ඇහුණාම නැටුමක් දැක්කම ‘හූ’ කියන තත්ත්වයක් එදා තිබුණේ. ඒ තත්ත්වය නැති කරලා මේක කලා මාධ්‍යයක් බව තහවුරු කළේ චිත්‍රසේන.
ඔබත් ස්වාධීනව මුද්‍රා නාට්‍ය කීපයක් නිර්මාණය කර තිබෙනව නේද?
මම හුඟක් කළේ ළමා මුද්‍රා නාට්‍ය. ‘කුමුදිනි’ තමයි මගේ මුල්ම නිර්මාණය. එය ආනන්ද සමරකෝන්ගේ ළමා ගීයක් ඇසුරෙන් නිර්මාණය කළා. සමරකෝන් කොහොමත් අපේ බැලේවලට සින්දු ලිව්ව රචකයෙක්. ‘විධුර’, ‘චණ්ඩාලිකා’ ගීත ලිව්වේ ඔහු. ඊට පස්සේ ‘හිම කුමරිය’, ‘සේපාලිකා’, ‘රන් කිකිළි’, ‘ගිනි හොරා’, ‘නිල් යකා’, ‘හපනා’ වගේ බැලේ කළා. ‘ගිනි හොරා’ සිබිල් වෙත්තසිංහගේ කතාවක්.
ඔබ වෙස් බැන්දේ නැද්ද?
මං පුංචි කාලේ වෙස් ඇඳුම ඇඳගෙන පින්තූරයක් එහෙම අරන් තියෙනවා. ඒත් වෙස් බැන්දෙ නැහැ. ගැහැනු වෙස් බඳින්න හොඳ නැහැයි කියලා සාමාන්‍යයෙන් පිළිගැනීමක් තියෙනවනේ. අනෙක පිරිමි ඇඳුම ගැහැනු අඳිනවට මං කැමැති නැහැ. අපි කරන්නේ පිරිමි නැටුම නෙමෙයිනේ. තාණ්ඩව, ලාස්‍ය කියලා දෙවර්ගයක් තියෙනවනේ.
1982 දි කොල්ලුපිටියේ කලායතනයෙන් ඔබලාට යන්න සිද්ධ වෙනව නේද?
කොල්ලුපිටියේ ගේ අයිතිව තිබුණේ බෝගල පතලේ හිමිකරු වූ ඊ. පී. ඒ. ප්‍රනාන්දු මහතාට. එයා චිත්‍රාගේ තාත්තගේ යාළුවෙක්. එයාගේ එකවුන්ට්ස් බැලුවෙත් චිත්‍රසේනගේ තාත්තා. එයා තමයි පරිත්‍යාගයක් විදියට මේ ගේ කලායතනයක් පවත්වගෙන යන්න දීලා තිබුණේ. හැබැයි නිත්‍යානුකූල අයිතියක් විදියට නෙමේ. එයා මැරුණයින් පස්සේ එයාගේ ඥාතීන් අපිට යන්න කිව්වා. අපි මහරට ගියේ ඉන් පස්සේ.
එතකොට මේ ගේ ගිනි තිබ්බේ කවුද?
චිත්‍රගේ අදහසක් තිබ්බා කවුරුහරි වුවමනාවෙන්ම ගිනි තිබ්බ කියලා. නමුත් මං හිතන්නෙ නැහැ; අල්ලපු ඉඩමේ ලොකු බිල්ඩින් එකක් හදමින් තිබුණා. එතැන වැඩ කරපු මනුස්සයෙක් සිගරට් එකක් බීලා කොටය මේ පැත්තට විසි කරලා. ඒ දවස්වල අපි කංකාරියක් නටන්න පොල් අතු මඩුවක් හදලා තිබුණා. ඒකට ගිනි ඇවිළිලා ඒ ළඟ තිබුණු අපේ කාර් එකත් ගිනි ගත්තා. ඕකයි සිද්ධ වුණේ.
ඒ කියන්නේ දේශපාලනමය වශයෙන් සැලසුම් සහගතව කවුරුහරි කරපු දෙයක් නෙමෙයි.
නැහැ. මං හිතන්නෙ නැහැ. හැබැයි චිත්‍රා නම් එහෙම හිතුවා.
ඔහු කියලා තියෙනවා, ප්‍රේමදාස ආණ්ඩු කාලේ තමා පැන්නු බව.
ඔව්. නමුත් මේකට දේශපාලනයක් සම්බන්ධ නැහැ.
මහරට ගිහින් මොකද කළේ?
එහෙ ඉඳන් පන්ති කරන්න බැහැනේ. ඒ නිසා චිත්‍රා කුඹුරු වගයක් අරන් වැඩ කළා. කොළඹින් ගෙයක් ගන්න අපිට සල්ලි තිබ්බෙ නැහැ. පන්ති වුණත් තිබ්බේ අතන මෙතැන. වයි. එම්. බී. එකේ තිබුණා, මිලාගිරිය සෙන්ට් පෝල් එකේ තිබ්බා. ඊට පස්සෙ තමයි නාරාහේන්පිට ඉඩම අපිට දුන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය. දැන් එතැන පන්ති පවත්වගෙන යනවා.
ඔබෙත් චිත්‍රසේනගෙත් දේශපාලන දර්ශනය වුණේ මොකද්ද?
අපි දෙන්නම සමාජවාදි අදහස් තිබුණු අය. අපේ නිර්මාණවලින් පවා ඉදිරිපත් කළේ ඒ වගෙ දර්ශනයක්. වරක් චිත්‍රසේනට ඇමෙරිකාවට යන්න වීසා දුන්නෙ නැහැ, එයා කොමියුනිස්ට්කාරයෙක් කියලා. ඒත් අපි ක්‍රියාකාරී දේශපාලනයක හිටියේ නැහැ. අපි මහර ඉද්දි චිත්‍රා අබලන් වෙච්ච ළිඳක් අලුත්වැඩියා කරලා දුන්නා ගම්මුන්ගේ පාවිච්චියට. මං හිතන්නේ රුපියල් හාරදාහක් විතර වියදම් කරලා. ගම්මු හිතුවේ එයා දේශපාලනය කරන්න යනවා කියලා.
චිත්‍රසේන මියගියේ කොහොම ද?
පිළිකාවකින්.
පැය 24 ක් ඇතුළත අවසන් කටයුතු හමාර කළ යුතුයි කියලා ඔහු කියලා තිබුණයි කියැවෙනවා.
මමයි කියලා තිබුණේ. මං ඒක පොතක ලියලා තිබුණා. චිත්‍රා ඒක දැකලා එයාටත් ඕනැ වුණා එහෙම කරන්න. දැන් බලන්න ගාමිණි ෆොන්සේකා මැරුණු වෙලේ එයාගේ බොඩි එක කොයි කොයි තැන්වලට අරන් ගියා ද? ඒක මියගිය කෙනාට අගෞරවයක් නේ.
දැන් ඔබේ සාමාන්‍ය දින චර්යාව මොකද්ද?
මං සුමානෙකට තුන් දවසක් පන්ති කරනවා. සෙනසුරාදා නම් මුළු දවසම වගෙ පන්ති කරනවා. මම දැන් භාවනා කරන්න ඉගෙන ගන්නවා. අපේ ගුරුවරයා වන්නේ ඉන්දීය ජාතිකයෙක්. බොම්බායේ තමයි ඔහුගේ භාවනා මධ්‍යස්ථානය තියෙන්නේ.
දැන් ඔබේ කී වැනි පරපුර ද නටන්නෙ?
මේ හතරවැනි පරම්පරාව. මගේ දරුවන් ගෙන් නැටුමට සම්බන්ධ නොවුණේ පුතා අනුදත්ත ඩයස් විතරයි. ඉස්කෝලේ යනකොටත් එයා ක්‍රිකට් ගැහුවා මිසක් නැටුවෙ නැහැ. එයා දැන් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෙක්.
අද නැටුම හුඟක් පිරිහිලානේ. ඔබේ ගෝළයන් වන චන්න විජේවර්ධන වගේ අය චිත්‍රපට නළු නිළියන්ව නටවනවා.
ඒ ගැන මං මුකුත් කියන්නෙ නැහැ. අපි වගෙ සාම්ප්‍රදායික නැටුම් කරලා සල්ලි හම්බ කරන්න බැහැනේ. ඒ අය දැනගන්න ඕනැ තමන්ගේ ගෞරවය තියාගෙන වැඩ කරන්න.
වරක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඔබට ආචාර්ය උපාධියක් දෙන්න බැහැ කිව්වලු නේද?
මට පස්සෙ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලැබුණා.
මහාචාර්ය තිස්ස කාරියවසම් හා මහාචාර්ය මුදියන්සේ දිසානායක පොතක් ලියලා තියෙනවා ‘ශ්‍රී ලාංකේය නව නර්තන කලාවේ පුරෝගාමියෝ’ කියලා. ඒ පොතේ පද්මිණි දහනායක, සිරිමති රසාදරි වෙනුවෙන් පරිච්ඡේද වෙන්වෙලා තිබුණත් ඔබ වෙනුවෙන් එකම පරිච්ඡේදයක් ලියැවී නැහැ.
පද්මිණි නම් මගෙන් නැටුම් ඉගෙන ගත් ශිෂ්‍යාවක්. මුදියන්සේ දිසානායක අපේ බැලේ එකකත් රඟපෑවා. (ශිව රංග) අපිත් එක්ක තරහවක් නැහැ. ඒත් මං දන්නෙ නැහැ ඇතුළෙන් කොහොම ද කියලා.



 http://www.silumina.lk/2014/08/03/_art.asp?fn=ay1408031

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.