Sunday, August 3, 2014

‘බයිසිකලේ කියන්නම්. හැබැයි මට ඇම්බියුලන්ස් එකක් ලෑස්ති කරලා තියන්න’.

සිරිපාදේ සමනල කන්ද නැග සැදෑ අඳුරේ සැඟව ගිය වින්සන්ට් ද පෝල් පීරිස්

වර්ණ දර්ශනයක මුලින්ම රඟපෑ අපේ නළුවා
“සිරිපාදේ සමනල කන්ද පෙනේ
ආලෝකය සමන් කුළේ
හඳපානේ මහවන දිහා බලන්
සුදු රිදී කඳන් හමුවේ......”

ඒ අදටත් විනෝද චාරිකාවක දී, නැතහොත් පි‍්‍රය සම්භාෂණයක දී කාගෙත් මුවග රැව් දෙන අතිශය ජනපි‍්‍රය ගීතයකි. සමන් දෙවි රැකවරණය නිසාදෝ එම ගීතය වෙනත් බොහෝ පැරැණි ගීත මෙන් කාලයේ වැලි තලාවෙන් යටපත්ව ගියේ නැත.
ගෙවුණු වෙසක් පුන් පොහෝ දින ලේක්හවුස් “අමාදහර” බැති ගී ප්‍රසංගයේ දී වින්සන්ට් ද පෝල් පීරිස් එම ගීතය ගයනු මා මෙන්ම සෙසු පිරිසද බලා සිටියේ විස්මයකින් යුතුවය. වින්සන්ට් ද පෝල් පීරිස් එම ගීතය මුලින්ම ගායනා කළේ මෙයින් දශක හයකට පමණ පෙරාතුවය. එනම් 50 දශකයේ දීය. අප විස්මයෙන් මෙන්ම කිසියම් වූ ගෞරවනීය හැඟීමකින් යුතුව එදෙස බලා සිටියේ ඔහු පෙරසේම නිවැරදි ස්වරස්ථාන මත පිහිටා, කිසිදු අපස්වරයක් නොගයා එම ගීතයට උපරිම සාධාරණයක් ඉටුකළ බැවිනි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු අනූ දෙකකි. තමාගේම ගීත වේදිකාවේදී ශ්‍රැතියෙන් බැහැරව ගයන ගායකයන් ඉන්නා රටක එය විස්මයක් නොවේදැයි යළිත් මට සිතේ.
පසුගිය වසර කිහිපය පුරා, වින්සන්ට් ද පෝල් පීරිස් “අමාදහර” බැති ගී ප්‍රසංගයට සහභාගි වූයේ ටවර් හෝල් ශිල්පීන් වෙනුවෙනි. ප්‍රසංගයට දින කිහිපයකට පෙරාතුව ඔහු මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදීම සිරිතක් කොට ගෙන තිබුණේය. ඒ එම ප්‍රසංගය සම්බන්ධීකරණය කරනු ලබන්නේ මා වන බැවිනි.
‘පුතා මම සින්දු කීයක් කියනවද’....?
ඔහු මගෙන් විමසයි.
‘සිංදු තුනක් විතර’....
මම පිළිතුරු දෙමි.
හොඳයි, එහෙනම් මම “සිරිපාදේ”, “ඇවිලේ සැමදා”, “මල් මාල ගොතා” සිංදු තුන කියන්නම්.
ඔහු යළි පවසයි. මට පුංචි විහිළුවක් කරන්නට සිතේ.
‘විශේෂ ඉල්ලීමක් ආවොත් “බයිසිකලේ - බයිසිකලේ” සිංදුවත් කියමු.’
‘බයිසිකලේ කියන්නම්. හැබැයි මට ඇම්බියුලන්ස් එකක් ලෑස්ති කරලා තියන්න’.
කොක් හඬලමින් ඔහු පවසන්නේ වෙසක් බැති ගී ප්‍රසංගයක එබඳු ගීයක් ගැයීම “ගුටිකන” වැඩක් බව නොකියා කියමිනි.
 
“බයිසිකලේ - බයිසිකලේ
දුප්පත් අපගේ බයිසිකලේ”
වින්සන්ට් ද පෝල් පීරිස් ගැයූ එම ගීතය ද “සිරිපාදේ” මෙන්ම ජනපි‍්‍රයත්වයේ ඉහළම තලයක අදටත් රැදී තිබේ. “නැගලා යන සිංදුවක්” යැයි කියූ විගස තවමත් අප කියන්නේ ඔහුගේ “බයිසිකලේය”. නැතහොත් සී. ටී. ප්‍රනාන්දු ගේ “බරබාගේ” ය. ඒවා පාරම්පරික විහිළු බවට පත්ව ඇත්තේ එකී ගීත ලොකු කුඩා කා අතරත් අතිශය ජනාදරයට පත් වූ බැවිනි.
වින්සන්ට් ද පෝල් පීරිස් මෙලොව එළිය දුටුවේ 1922 නොවැම්බර් 03 වැනි දින කොළඹ මෝදර දීය. සිය කුඩා කාලය පිළිබඳ ඔහු වරෙක පුවත්පතකට කරුණු හෙළි කර තිබුණේ මෙලෙසිනි.
“අපේ පවුලේ අයියලා දෙන්නයි, අක්කයි, මමයි. බඩ පිස්සා වුණේ මම. මගේ පියා නැව්වලට බඩු සැපයූ ව්‍යපාරිකයෙක්. කලිසමට උඩින් රෙද්දක් ඇඳලා, කෝට් එකකුත් ඇඳගෙන තොප්පියකුත් දාගෙන තමයි ඔහු ගමන් බිමන් යන්නේ. අපට කාර් තුනක් තිබුණා. සැපවත් ජීවිතයක් තමයි අපි ගත කළේ. මට මතකයි ගෙදර පියානෝ එකකුයි, වයලින් හතරකුයි තිබුණා. හැන්දෑවට අපි හතර දෙනා එකතු වෙලා ඒවා වාදනය කරනවා. මම තමයි සිංදු කියන්නෙත්. කොහොම හරි මගේ ගායන හැකියාව පාසලේත් ප්‍රසිද්ධ වුණා. පාසලේ හිටපු චෙක් ජාතික පියතුමා පාසලේ පැවැති සෑම විවිධ ප්‍රසංගයකටම මාව සහභාගි කරවා ගත්තා. පල්ලියේ ගීතිකා කණ්ඩායමටත් එක්ක ගියා.
එවකට කම්කරු නායකයකුව සිටි ඒ. ඊ. ගුණසිංහ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ උත්සවයක ගීයක් ගයමින් වින්සන්ට් ද පෝල් පීරිස් ප්‍රසිද්ධ වේදිකාවේ ගී ගැයීම ආරම්භ කළේය. ඉන්පසු යටත් විජිත සමයේ මවුන්ට් බැටන්ට් සාමිවරයා පැමිණි රාජ්‍ය උත්සවයක ගී ගැයීමටත් ඔහුට වරම් ලැබිණ. සර් ඔලිවර් ගුණතිලක වැනි රාජ්‍ය නායකයන් ඉදිරියේ ද ඔහු ගීත ගායනා කළේය.
මේ නැවතත් ඔබ හමුවේ දිග හැරෙන්නේ ඔහු ගේ මතක ආවර්ජණයකි.
1946 දී මම රේඩියෝ සිලෝන් එකට ඉල්ලුම් පත්‍රයක් දැම්මා සරල ගී පරීක්‍ෂණයට. ඒ කාලේ රේඩියෝ සිලෝන් එක තිබුණේ බොරැල්ල කොටා පාරේ නිවෙසක. ඒ සරල ගී පරීක්‍ෂණයෙන් මම සමත් වුණා. මුලින්ම ලැබුණේ විනාඩි 15 ක වැඩසටහනක්. ඒ කාලෙ ගීත එළියේ පුුහුණු වෙලා ගිහින් ප්‍රවෘත්ති කියලා ඉවර වෙනකොටම මැදිරියට ගිහින් සජීවීව ගායනා කරන්න ඕනෑ. වාදක මණ්ඩලයත් ඒකට සූදානම් වෙලා ඉන්නේ. මුලින්ම මම ගුවන් විදුලියෙන් ගායනා කළේ “පෙම්බර මෑණී” ගීතය. ඊට පස්සෙ ‘සෙක්කුව, ‘කෝච්චිය’ වගේ ගීත ගායනා කළා.
ඔහු තවත් රසබර මතකයකට අප කැඳවා යන්නේ එම පුවත්පත් සාකච්ඡාවේදීමය.
මහාචාර්ය රතන්ජංකර් පඬිතුමා ඉන්දියාවේ ඉඳලා ඇවිත් පවත්වපු සරල ගී පරීක්‍ෂණයට මමත් පෙනී සිටියා. විනාඩි 30 බැගින් සිංහල හා ඉංගී‍්‍රසි බසින් ගීත ගයන්න වැඩසටහන් දෙකක් මට ලැබුණා. භාෂා දෙකෙන්ම ගී ගයන්න තේරුණ එකම ශිල්පියා මමයි. බොරැල්ලේ ඉඳන් ටොරින්ටන් චතුරශ්‍රයට ගුවන් විදුලිය ගෙනාවට පස්සේ සෑම මාසයකම පැය භාගය ගානේ සරල ගී වැඩසටහනක් ලැබුණා.
“මාසික රැඟුම” එකල ගුවන් විදුලියේ අතිශය ජනාදරයට පාත්‍ර වූ වැඩසටහනකි. පිට පළාත්වල දී පටිගත කෙරුනු එම වැඩසටහන සඳහා එවකට බොහෝ විට සහභාගි වූයේ නිත්‍ය ගායක, ගායිකාවන් පිරිසකි. සී. ටී. ප්‍රනාන්දු, ලතා වල්පොල, මොහිදීන් බෙග්, කාන්ති වක්වැල්ල, ශීලා පීරිස් මෙන්ම විස්නස්ට් ද පෝල් පීරිස් එම පිරිසට ඇතුළත් වීය.
කාර්ගීල්ස් සමාගමේ ආරාධනයෙන් ඩ්. ර්. ඍ. තැටි සඳහා ගී ගැයීමට ඔහුට අවස්ථාව උදාවූයේ ග්‍රැමෆෝන් ගීතය ඉහළම ජනපි‍්‍රයත්වයක් හිමිකර ගෙන සිටි අවදියකය. ගුවන් විදුලි තැටියකට ගැයූ “සිරිපාදේ” ගීතය යළිත් ඔහු ඩ්. ර්. ඍ. තැටියකට ගායනා කළේ ඉන් අනතුරුවය. ඇවිලේ සැමදා, බයිසිකලේ, කැලෑමල නොවේ, මල් මාල ගොතා, පෙම්බර මෑණී, දුම්රිය ලංකාවේ, පොසොන් දිනේ, කණා මැදිරියෝ, රික්ෂෝ කාරයා, ශෝභමාන මේ උදේ ඔහු එසේ ඩ්. ර්. ඍ. තැටිවලට ගැයූ ගීත කිහිපයකි.
වින්සන්ට් ද පෝල් පීරිස් ගේ හඬ ගැඹුරුය. එහෙත් ලයාන්විතය. සැබැවින්ම මයික්‍රෆෝනයක් නොමැතිව වුව ශාලාවක ගී ගැයීමේ හැකියාව ඔහු සතුව පැවතුණි. බොහෝ විට ඔහුගේ ගීතවල අප දකින්නේ බටහිර සංගීතයට වඩාත් නෑකම් කියනා ගීත ශෛලියකි. පල්ලියේ ගීතිකා කණ්ඩායමේ ගීතිකා ගායනා කරමින් ලත් ආභාසය ඒ සඳහා ඔහුට කිසියම් බලපෑමක් කරන්නට ඇතැයි මට සිතේ. ඔහුගේ ගීත සඳහා වැඩි වශයෙන් තනු හා සංගීත නිර්මාණය කර ඇත්තේ සංගීතඥ බී. ඇස්. පෙරේරා යැයි මම අසා ඇත්තෙමි.
දූ දරුවන් සත් දෙනෙකුගේ දයාබර පියාණන් වූ වින්සන්ට් ද පෝල් පීරිස් පරම්පරා හතරකට අයත් සිය දූ දරුවන් හා මුනුපුරු, මිනිබිරියන් සමඟ “සිරිපාදේ විත් ෆෝ ජෙනරේෂන්” සංගීත ප්‍රසංගය ඉදිරිපත් කළේ ද ඉකුත් වසෙර්ය.
වින්සන්ට් ද පෝල් පීරිස් චිත්‍රපට නළුවකු බව ඇතැම් විටෙක ඇතැමුන් නොදන්නවා විය හැකිය. ලංකාවේ වර්ණ දර්ශන ඇතුළත් ප්‍රථම චිත්‍රපටය වූ “ගම්බද සුන්දරී” එක් ප්‍රධාන භූමිකාවක් නිරූපණය කළේ ඔහුය. චිත්‍රපටයේ ඔහු රඟපෑවේ ද පෝල් නමිනි. සෙසු ප්‍රධාන චරිත රඟපෑවේ කිංස්ලි ජයසේකර හා ශීලා පීරිස්ය. ඉන්පසු “ප්‍රේම තරගය”, “පොඩි පුතා” චිත්‍රපටවලද රඟපෑ ඔහු මෑතකදී “තැන්ක් යූ බර්ටි” චිත්‍රපටයේ ද චරිතයක් නිරූපණය කළේය.
යළිත් මගේ මතකය දිව යන්නේ ගෙවුණු ‘අමාදහර’ වෙසක් බැති ගී ප්‍රසංගය වෙතය. ඔහු එදින ලේක්හවුසියට පැමිණියේ සියලුම ගායක, ගායිකාවන්ට පෙරාතුවය. සුදු කලිසමකින් හා අත් දිග කමිසයකින් සැරසී සිය දියණියක් හා මිනිබිරියක් සමඟ ඔහු ලේක්හවුසියේ අමුත්තන්ගේ ශාලාව වෙත පිය මැන්නේ නව යොවුන් තරුණයකු මෙනි. “මට මහලු වයසේ බැරිය ගී ගායනා පෙරසේ” නොකියූ මේ ආඩම්බරකාර තරුණ මහලු මිනිසා කෙරෙහි සත්තකින්ම එවෙලෙහි මසිත ඇති වූයේ ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමකි.
ප්‍රථමයෙන් පැමිණියද එදින ඔහු ගී ගැයුවේ ගායක, ගායිකාවන් කිහිප දෙනකු ගී ගැයුවාට පසුය. ඔහු තමන්ගේ වාරය එනතුරු වේදිකාව අබියස අසුන්ගෙන සිටියේ පොඩි දරුවකු මෙනි. ඔහුට පසුව වේදිකාව අබියසට පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනියක වූ විවියන්ද සිල්වා බොරලැස්සට ද ප්‍රථමයෙන් ගී ගැයීමට ඔහු අවස්ථාව උදාකර දුන්නේ “අපි එකම කාලේ ක්ෂේත්‍රයට ආපු උදවියනේ. මේ විනාඩි පහළොවක්, විස්සක් ඉවසන්න බැරිද” යැයි සිනහා මුසුව පවසමිනි. ඊට කෘතගුණ දැක්වීමට දෝ ගී ගැයීමෙන් අනතුරුව විවියන් ද සිල්වා කලාකාරිනිය, වින්සන්ට් ද පොල් පීරිස් ගී ගයනු වේදිකාව ඉදිරිපිටම අසුනක හිඳ නරඹනු මම දුටුවෙමි.
වින්සන්ට් ද පෝල් ගී ගයා වේදිකාවෙන් බසිනා විට මම සුරත දිගු කොට ඔහුට සුබ පැතුවේ “ෂා නියමයි පෝල් මහත්මයා” කියමිනි. “ඇත්තද පුතා” යනුවෙන් ඔහු අවිහිංසක ලෙස සිනාසුනේය. ප්‍රසංග සම්බන්ධීකරණයෙන් මට සහාය වූ ප්‍රසාද් සමරතුංග ද, නිවේදන කටයුතු කළ සංජීව සම්පත් ද එවෙලෙහි ඔහුට සුබ පැතුවා මට මතකය. එහෙත් එය අපේ අවසාන හමුවීම යැයි මට නිකමටවත් සිතුණේ නැත. එළැඹෙන 25 වැනි ලේක්හවුස් “අමාදහර” ප්‍රසංගයට වින්සන්ට් ද පෝල් පීරිස් නොඑනා වග දන්නා නිසා හිතට ඇති වන්නේ දුකකි. සංවේගයකි.
වින්සන්ට් ද පෝල් පීරිස් රෝගාතුරව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව මෙන්ම ඔහු මිය ගිය පුවත ද මට මුලින්ම සැලකළේ ‘සරසවිය’ ප්‍රධාන කර්තෘ අරුණ ගුණරත්නයන්ය. ලොව නියත දහමට අවනත වූ ඒ සොඳුරු මිනිසාගේ යෝධ රූපකාය අසුරු සැනින් මා නෙත් මානයේ සැරිසරන්නට වූයේ දෙනෙතට සිහින් කඳුළක් ද එක් කරමිනි.
 
‘සිරිපාදේ සමනල කන්ද පෙනේ
ආලෝකය සමන් කුළේ.....
යළිත් ඒ ගැඹුරු හඬ මා දෙසවනේ රැව් පිළිරැව් දෙන්නේ නිරායාසයෙනි. සිරිපා සමයේ මෙන්ම අවාරයේ සිරිපා කරුණා කරන බැතිමතුන් හට එකී ගී නද සදාකාලික “දිව මතුරක්” වනු ඇතැයි මට සිතේ.....

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.