Saturday, August 9, 2014

"කගක්‌" - "ක. ග."

ජන මතකයේ සදා රැඳුණු ජනශ්‍රැතිවේදියා
පියසේන කහඳගමගේ

"ආචාර්ය, මහාචාර්ය කමක්‌ නොතිබුණාට මෙතුමාගේ නැණ නුවණට සරිකළ හැකි දැනුමැත්තෙක්‌ අප අතර තවත් සිටිත් ද යන්න මට මහත් ගැටලුවක්‌"

මීට එකොළොස්‌ වසරකට පෙරාතුව අවමඟුල් සභාවක දහස්‌ සංඛ්‍යාත සංවේගික පිරිසක්‌ අමතා මෘතකලේබරයක්‌ හමුවේ මහාචාර්යතුමෙකු කළ ප්‍රකාශයකි ඒ. එදා එතුමා කළ එම ප්‍රකාශය මට මතකයෙන් යළි ඇහැරෙන්නේ අසීමිත දැනුම් සම්භාරයක්‌ පොතපත තුළින් ජනගත කළ විරල ගණයේ ජනශ්‍රැතිවේදියකු වූ පියසේන කහඳගමගේ සූරීන් දැයෙන් සමුගත් අද වැනි දවසක වූ නිසාය. ඒ 2003 අගෝස්‌තු මස 16 දාය.

මීට දසක පහකට ආසන්න දිනයක එනම්, 1966 ජනවාරි මස 08 දා පියසේනයන් මට නමෝවිත්තියෙන්ම හමුවන්නේ හිඟුරක්‌ගොඩ ගුරු අභ්‍යාස විද්‍යාලයේදීය. එවකට ගුරු විදුහල්ගත අපි සියල්ලෝම ශිෂ්‍ය ගුරුවරු වීමු. එහි පුහුණුව ලැබූ දෙවසර පුරාවටම දයාදර ජනප්‍රිය ගුරු සොයුරෙකුව සිටි පියසේනයෝ දැයෙන් සමුගන්නා තෙක්‌ම මාගේ යාවජීව මිතුරෙක්‌ ම වූහ. මාතර ඔහුත්, අනුරාධපුර මාත්, කයින් දුරස්‌ව සිටියත් සිතින් හා තොරතුරු ලිපි මගින් අපි සාකල්‍යයෙන්ම සහ සමීප වූවෝ වීමු.

කෙසේ නමුදු එදා ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් අප දෙවසරකින් අනතුරුව (1968) පිටවූ අතර පියසේනයන්ට පුහුණු ගුරුවරයෙකු ලෙස මුල් පත්වීම ලැබුණේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ මහඔය, උණුවතුර බුබුල නම් වූ විදුහලටය. අති දුෂ්කර වූ මෙම විද්‍යාලයේ අහිංසක දරු දැරියන්ගේ ශිල්ප පිපාසාව සංසිඳුවන රිසින්, පියසේන ගුරු සොයුරා නොගත් තැතක්‌ නැති තරම්ය. ඒ නිසාවෙන්ම දොa "මඩපැහැ" ගැණුන "පරඬැල්වී" ගිය ඇඳුම්වලින් යාන්තම් විලි වසාගෙන පාසලට පැමිණෙන කොලු කුරුට්‌ටන්ගේ පමණක්‌ නොව, කර්කශ ජීවන බරට උර කර දී හිරු සඳු සමඟ පොර බදමින් සිය දරු පැටවුන්ගේ හිස්‌ කුස්‌ යාන්තමින් හෝ පුරවාලීමට "නැඟෙන" දෙගුරුන්ගේද විද්‍යාලයීය ගුරු මඬුල්ලේද නොමඳ ගෞරවාදරයට පාත්‍ර වීමට තරම් පියසේනයෝ සමත් වූහ.

එසේම ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක්‌ තැබූ පිරිස්‌ අතර අම්පාර පුරා කැලෑගම් හි පාසල්වල විසිරී සිටින ගුරු භවතුන්ද සුවිශේෂ විය. ඊට හේතුව වූයේ පාසල් දරුවාගේ පමණක්‌ නොව, එදා එක්‌ වේලක්‌ පමණක්‌ හරිහමන් අයුරින් කුස පුරවා දෙවේලක්‌ කුසගිනි වළඳන මේ දුෂ්කර පාසල් ගුරු භවතුන්ගේද ඕනෑ එපාකම් බලධරයන් හමුවේ එක එල්ලේ එඩිතරව කියා පෑමට තරම් පියසේන කහඳගමගේ ගුරු සොයුරා නිර්භීත වූ හෙයිනි.

මේ නිසාම ස්‌වකීය ගුරු සේවයේ නිරතවී කෙටි කලකදී ඔහු ගුරු සිත් දිනාගෙන ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ප්‍රාදේශීය නායකත්වයට තේරී පත් විය. එතැන් පටන් ගුරු සේවාවේ ගෞරවය හා අභිමානය වෙනුවෙන් ඇප කැප වූ ක්‍රියාශීලී ප්‍රාදේශීය නායකයකු මෙන්ම අවංක නායකත්ව නියමුවෙකුව සිටි පියසේනයෝ ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ජාතික තලයේ නායකත්වයෙන් ද පිදුම් ලැබූහ.

ගුරු විදුහල් වකවානුවේ සිටම කවියට ප්‍රියකරන, පුවත්පත් සඟරා ආදියෙන් කළඑළිබට පියසේනයන්ට විදුහල් ගුරු සොයුරන් ඇමතුවේ "කවියා" යන අන්වර්ථ නාමයෙනි. මේ කවිකම තව තවත් සුමට කරගනිමින් අම්පාර දිස්‌ත්‍රික්‌ ගුරු භවතුන්ගේ "කවිතාව" නඟාසිටුවීමේ පරම ෙච්තනාවෙන් ම ඔහු "ගරු රැස" නමින් විකල්ප කාව්‍ය පත්‍රයක්‌ ආරම්භ කර එහි සංස්‌කාරකවරයා ලෙස ද ක්‍රියා කළේය. එනයින් අම්පාර දිස්‌ත්‍රික්‌කයෙන් දේශයට ජනප්‍රිය කවි කිවිඳියන් බිහිවූ බව මෙහිලා සඳහන් කරනුයේ පියසේන කහඳගමගේ ගුරුතුමාට පිං පැමිණවීමක්‌ වශයෙනි. එමෙන්ම කිරාවැටෙමින් තිබූ ඇතැම් වෘත්තිය සංගම් යළි අවධිකර යුක්‌තිය, සත්‍ය හා අයිතිවාසිකම් වෙනුවෙන් අවිහිංසාවාදී ජන අරගල නායකයකු ලෙස පෙරමුණ ගත් පියසේනයෝ බලවතුන්ගේ ගර්ජන, තර්ජන හා අසාධාරණකම් හමුවේ "කගක්‌" (අසිපතක්‌) සේ නැගී සිටියහ. ඒ ගාම්භීරකම නිසාවෙන්ම ඔහු රට පුරා ප්‍රචලිත වූයේ "ක. ග." යන නමිනිs.

නිරතුරුවම බුලත්විටෙන් රතුවූ දෙතොල් අතරින් පීදෙන අහිංසක සිනාවකින් කාහට වුවද ඔහු සංග්‍රහ කළේ මානව දයාදරවය. කාලයාගේ ඇවෑමෙන් මේ පුංචි මිනිසාගේ යුක්‌තිගරුක ප්‍රතිපත්ති විෂවූ ඇතැම් බලධාරීහු ඔහුට රිදවන්නට හැකි සෑම විටකම උත්සුක වූහ. ඒ අනුව ඔහුගේ සේවා කාලයෙන් හරි අඩකටත් වඩා ගෙවුණේ පිට පිටම ලැබුණු දුෂ්කර ස්‌ථානමාරු කන්දරාව නිසාමයි. තමාට ඇතැම් පාසල්වල සේවයට වාර්තාකර මසක්‌ හෝ සේවයේ යෙදෙන්නට ඉඩහසර ඇහිරී ගියේ එකපිට එක ඔහු කරා ගලා ආ "වහාම ක්‍රියාත්මක ගුරුමාරු නියෝග" එල්ල වීමෙනි. කෙසේ නමුදු ලැබෙන සෑම ගුරු ස්‌ථාන මාරුවක්‌ම තමා ලද අමිල දායාදයන් ලෙස ඉතා මනාපයෙන් භාරගත් පියසේනයෝ තමා ආණ්‌ඩු මට්‌ටු කරන්නට බලවතුන් ස්‌ථාන මාරු හරහා දියත් කළ අසාධාරණ සටනට ඔහු අවිය කරගත්තේ පෑනය.

මේ ගුරුතුමා පාසල් කාලසීමාවෙන් අනතුරුව ඒ ඒ දුෂ්කර පාසල් අවට පිහිටි ගම්බිම් හා පාරිසරික සැබෑ තොරතුරු පර්යේෂණ මට්‌ටමින් ගමින් ගමට පයින්ම ගොස්‌ උපයා, සපායාගෙන ප්‍රාදේශීය ජනවහර හා ජනශ්‍රැතීන් පිළිබඳව කරන ලද ගැඹුරු අධ්‍යයනයක නිරතවෙමින් දේශයේ අනන්‍යතාව හා ජාතියේ අභිමානය වෙනුවෙන් පර්යේෂණ පොත පත ජනගත කළේ අගනා වස්‌තු සම්භාරයක්‌ ලෙසටය.

ඒ අනභිභවනීය කෘතීන් අතර මෙතුමාගේ කුළුදුල්ම කෘතිය වූයේ 1979 යේ ලියු "ඉබේම නැගවියන් පුතේ" නම් වූ කාව්‍ය සංග්‍රහය යි. ඉනික්‌බිතිව "බින්තැන්නේ විත්ති" ඇතුළු විත්ති සාහිත්‍ය කෘති දෙකක්‌ද, යොවුන් සාහිත්‍ය කෘති හයක්‌ද, නවකතා පහක්‌ද, ළමා කතා තුනක්‌ ද, එදා මෙදා තුර වියතුන් අතර අත්පොත් සේ පරිශීලන කාර්යයට තුඩු දෙන "කමත" ඇතුළු ශාස්‌ත්‍රීය පර්යේෂණ කෘති හතක්‌ ද වේ.

දේශයේ පිනට පහළවූ මෙම අපූරු ලේඛකයාගේ කෘතින් අතරින් "කමත (1992)", "දිගාමඩුලු ජනවහර (1995)", "වනතරණය (2002)" යන විශිෂ්ට ගණයේ කෘතීන් සඳහා එතුමෝ තෙවරක්‌ම රාජ්‍ය සාහිත්‍ය සම්මානයන්ගෙන් පිදුම් ලැබූහ. එසේම ටෙලිනාට්‍ය ගතවූ "බැද්දේ සෙනෙහස" නම් වූ නවකතාව ඉතාම ජනප්‍රියත්වයට පාත්‍ර වූ අතර, මාර්ටින් වික්‍රමසිංහ සම්මානය, අධ්‍යාපන අමාත්‍යාංශ සම්මානය, විෙද්‍යාaදය සම්මානය හා ගොඩගේ සම්මානය ඇතුළු දේශයේ පිළිගත් සම්මාන ගණනාවක්‌ම උරුමවූයේ පියසේන කහඳගමගේ ජනශ්‍රැති වේදියාගේ අගනා කෘතීන්වලටය. ඊට අමතරව ජනප්‍රිය ළමා සාහිත්‍ය කෘතීන් කිහිපයක්‌ද, පාසල් දරු දැරියන්ට අතිරේක කියවීම් පොත් බහුතරයක්‌ද පියසේනයන්ගේ පෑන් තුඩින් ගෙත්තම්ව ජනගත විය.

මේ ආදී අති විශාල සාහිත්‍ය මෙහෙවරක්‌ කළ පියසේන ගුරුතුමාට ද ලෝ දහම පරිදි උපත සමඟ උරුම වන විපත පොදු ධර්මතාවක්‌ම විය. එය පසක්‌ කරමින් මෙතෙක්‌ දේශයේ අනන්‍යතාව, ප්‍රෙෘඪත්වය, මානව හිතවාදිත්වය. මෙන්ම රැහේ ප්‍රබලත්වය හඬ නඟා ප්‍රකාශ කළ පියසේන කහඳගමගේ නම් වූ මේ යුග පුරුෂයාණෝ මුළු මහත් දේශයම හඬවමින් 2003.08.16 දින සදහටම අපෙන් සමුගත්හ.

සදාදර සහෘදයාණෙනි, ඔබ අප අතරින් වියෝ වී අදට එකළොස්‌ වසරක්‌ ගෙවී ගියද ඔබ කරන ලද අනුපමේය ජාතික මහා මෙහෙවර මනුස්‌මෘතියෙන් පමණක්‌ නොව ඇළ දොළ ගහවැල සතා සිව්පාවා තුළින් ද සදාකල් ඇකී, මැකී නොයනු නියති. දැයක්‌ සනසන, ලොවක්‌ පුබුදන ඔබේ පොතපත තුළින් අපි සදාකල් ඔබ දකිමු. ඔබ වැනි දේශාභිමානනීය පුත්‍ර පුත්‍රිකාවෝ අප අතර යළි යළිත් මේ දේශයේ ජනිත විය යුත්තෝහුමය.


- කේ. බී. මානෑව


http://www.divaina.com/2014/08/10/nimna02.html

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.