Sunday, June 22, 2014

මේ පොත් දෙක දෙවිදියක, ඒත් අපූරු පොත් දෙකක්.

පොත් කියැවීමේ පුරුද්ද විමසන මෙම ප්‍රශ්න මාලාව ඇරැඹෙන්නේ, පාඨක ඔබටත් ගත හැකි යමක් එහි ඇති බැවිනි.
ඔබේ ප්‍රියතම ප්‍රබන්ධ කෘතිය...
සයිමන් නවගත්තේගමගේ ‘සංසාරණ්‍ය අසබඩ'. මේ පොතේ බොහොම ගැඹුරු දර්ශනයක් දිවෙනවා. අනික ඔහු තමයි ලංකාවේ ප්‍රබන්ධ සාහිත්‍යයට, ගැමි සාහිත්‍යය එකතු ‍කළේ.
ප්‍රබන්ධ නොවන කෘතිය...
මම අතට අහුවෙන පත්තර කෑල්ලෙ ඉඳලා හැම වර්ගයක ම පොත් කියවන කෙනෙක්. ඒ නිසා ‍මගේ තෝරා ගැනීමට සීමාවක් නැහැ. ප්‍රබන්ධ නොවන කෘති කියලා මට විශේෂයක් නැත්තේ ඒ නිසා.
මේ දිනවල ඔබ කියවන්නේ...
මම පොත් දෙකක් කියවනවා. එකක් තමයි, ශ්‍යාම් සෙල්වදොරේගේ ‘ෆනි බෝයි’ මුල් කෘත‍ියෙන් සුගපාල ද සිල්වා පරිවර්තනය කළ ‘අමුතු ඉලන්දාරියා'. අනික තමයි, ගාමිණී වියන්ගොඩගේ ‘මායා බන්ධන'.
මේ පොත් දෙක දෙවිදියක, ඒත් අපූරු පොත් දෙකක්.
කෙනකුට කියවන්න යැයි ඔබ නිර්දේශකරන කෘතීන් තුනක්...
මට එහෙම පොත් තුනකට සීමා වෙන්න බැහැ. අතට අහුවෙන පත්තර කෑල්ලෙ ඉඳලා ලැබෙන හැම පොතක් ම කියවන්න කියලයි මම කියන්නේ. මොකද මමත් එහෙම කියවන කෙනෙක්. හොඳයි නරකයි කියා පොත් වෙන් කරන්නේ නැතිව එහෙම කියවද්දියි, ඒ හොඳ සහ නරක පිළිබඳ වෙනස අත්දකින්නත් පුළුවන් වෙන්නේ.
පොතක ඔබ වඩා වැදගත්කොට සලකන්නේ රචනා ශෛලියද... අන්තර්ගතයද... නැතිනම් අවසානයද...
ඔය කාරණා තුන වගේම ආකෘතියත් මට වැදගත්. ඕනෑ ම පොතක් සාර්ථක වෙන්න නම් ඔය කාරණා සියල්ල සම්පූර්ණ විය යුතුයි. ග්‍රන්ථ ලේඛන කලාවේ නිරත වන සෑම කෙනෙකු ම එය තරයේ සැලකිය යුතු කාරණාවක් ලෙසයි මා දකින්නේ.
ඔබ ළමා කාලයේ කියැවූ හොඳම පොත...
පුෂ්පා රම්ලිනි රත්නායකගේ ‘අම්මා මගේ රත්තරන්'. ඔය පොත කියවද්දි මට
අවුරුදු 10 ක් ඇති. අදත් මතක් වෙද්දි හරිම ආසයි.
ඊටත් පොඩි කාලේ කියවපු පව්ලෝ නම් රුසියානු ලේඛකයාගේ පොතකින් දැදිගම ඒ.වී. රොද්‍රිගූ පරිවර්තනය කළ ‘පිංතූර කතා’ පොතත් මට කවදාවත් අමතක වෙන්නෑ.
ඔබ කියැවීමට කැමැති විශේෂ වර්ගයක පොත් තිබෙනවාද...
අතට අහුවෙන හැම පොතක් ම කියැවීම මගේ පුරුද්ද වුණාට ඉතිහාසය, පුරාවිද්‍යාව මෙන් ම විද්‍යා පොත් කියවන්න මං හුඟක් කැමැතියි.
මෙතෙක් කියැවූ පොත් වලින් ඔබේ ජීවිතයට ලැබුණු දේ...
බෞද්ධයෙක් විදියට ජීවිතය පිළිබඳ ගැඹුරු දර්ශනයක් ලැබුණේ පොත් කියැවීමේ පුරුද්ද නිසා. ඒ විතරක් නෙවෙයි, ජීවිතේ හුදෙකලාව, පාළුව, දුක, තනිකම... වගේ ඔය කොයි හැඟීමෙදිත් මගේ ළඟින් හිටියේ පොතක්. ඒ අතින් පොත් කියන්නේ මගේ ළඟම හිතවතෙක්. මිත්‍රයෙක්, ඥාතියෙක්.
ලෝකය පිළිබඳ අවබෝධය පුළුල් වුණා වගේ ම සන්සුන් මනසකින් ජීවිතය දකින්න පුළුවන් වුණෙත් පොත් කියැවීමේ පුරුද්ද නිසයි.
ඔබට අනුව පොතකින් තැනුණු හොඳම චිත්‍රපටය...
මහගම සේකරයන්ගේ ‘තුංමං හන්දිය'. සේකර ඒ පොත ලියුවේ තමනුත් ඒ පොතේ චරිතයක් බවට පත්වෙමින්. සේකර හොඳ චිත්‍ර ශිල්පියෙක්.
පොත ලියද්දි ඔහුගේ හිතේ මැවුණු චිත්‍රය ඔහු, හරි අපූරුවට සිනමාරූපීව මතු කළා. එහෙම කරන්න පුළුවන් වුණේ, ඔහුම ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ නිසා. පොතෙන් එන දේ ඊටත් වඩා මනරම්ව සහ සාර්ථකව චිත්‍රපටියෙන් අපි දුටුවෙත් ඒ නිසයි.
ඔබ ඉහළින් ම අගයන කතුවරයා...
කුමාරතුංග මුණිදාසයන්. සිංහල සාහිත්‍ය සංස්කෘතිය සහ භාෂාව අභාවයට යමින් තිබූ යුගයෙක පුරාතන පද්‍යයෙන් අපේ සාහිත්‍යයට ප්‍රබෝධයක් ගෙනාවේ ඔහු. පෝෂණය කළේ ඔහු. මේ සියල්ල තරම් වැදගත්, ඔහු සාහිත්‍යයට එක් කළ හර බර ගැඹුර.
ඔබේ ප්‍රියතම සම්භාව්‍ය කෘතිය...
ධම්ම පදය. අපේ ජීවිත දර්ශනය මෙය විය යුතු යැයි පහදා දෙන ධම්ම පදය මා හඳුන්වන්නේ ‘බෞද්ධයන්ගේ බයිබලය’ ලෙසයි. ජීවිතයට අවශ්‍ය ඕනැම මොහොතක් පිළිබඳ පණිවුඩය එහි තිබෙනවා.
ඔබේ ප්‍රියතම පරිවර්තන කෘතිය...
ලියෝ ටෝල්ස්ටෝයිගේ මුල් කෘතියෙන් සිරිල් සී. පෙරේරා පරිවර්තනය කළ ‘යුද්ධය සහ සාමය'.
ඒ පොත මට නම්, මුළු ලෝකයේ ම මිනිස් ජීවිතවල හරස්කඩක්.

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.