Thursday, June 19, 2014

නේපාල බෞද්ධ ප්‍රබෝධයේ ශ්‍රී ලාංකේය පහන් ටැඹ

නේපාල බෞද්ධ ප්‍රබෝධයේ ශ්‍රී ලාංකේය පහන් ටැඹ

නේපාලය බුදු හිමි උපන් දේශය වුවද එකම හින්දු රාජ්‍ය බවට පත්වීමත් සමඟම මෙහි විසූ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට නොයෙක් හිරිහැරවලට මුහුණ පෑමට සිදුවිය. නේපාලයේ ථෙරවාද බෞද්ධ තත්ත්වය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී ශ්‍රී ලංකාවේ සාසන හිතකාමී භික්ෂු පරපුරෙන් නිහඬ සේවයක් සිදු වී ඇත.
1946දී පමණ නේපාල පාලකයෝ ථෙරවාදී භික්ෂුන් එරටින් නෙරපනු ලැබූහ. එවිට මෙරට බෞද්ධ දූත පිරිසක් එහි පාලකයන් හමුවී කරන ලද සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට නේපාල භික්ෂූන්ට සිය මවුබිමේ යළි ධර්ම ප්‍රචාර කටයුතු කිරීමට ඉඩකඩ සැලසිණ. වෙසක් දිනය නිවාඩු දවසක් ලෙස නම් කරනු ලැබුවේ ද නාරද හිමියන්ගේ උනන්දුව නිසාය.
1951 නේපාල ජාතික අග්ගධම්ම භික්ෂූන්වහන්සේ සමඟ නේපාලය බලා වැඩම කළ මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණෝ නේපාල අගනුවරට කත්මන්ඩුවට වැඩම කර ආනන්ද කුටියෙහි ලැගුම් ගත්හ. 1951 ජනවාරි 22 අග්ගධම්ම, විවේකානන්ද යන තෙරණුන් දෙදෙන මහලු පැවිද්දෙහි පිහිටවූහ. මෙම කටයුත්තට උවදැවුවෝ නේපාල ජාතික කර්මශීල මහ ස්ථවරයෝ ය.
නේපාලයේ ලලිත් පුරයට වැඩම කළ මඩිහේ නාහිමියෝ එහි පැවති “යං මංගල විහාර” නමින්වූ පන්සලේ නම සිරි සුමංගල විහාරයයි, වෙනස් කර පන්සල් බිම සඟසතු කර 1951 මාර්තු 4 වෙනිදා මෙහි සීමාවක් සම්මත කළහ. මෙගමනෙහිදී නේපාලයෙහි ත්‍රිභුවන වීර වික්‍රම ගෘහදෙව රජතුමා හමුවූ බවක්ද වාර්තාවෙයි.
1956 අවුරුද්දේ නේපාලයෙහි කත්මණ්ඩු නුවර පැවැත්වුණු බුද්ධ ජයන්ති උත්සවයටද නේපාල ජාතික අමතානන්ද හිමිගේ ඇරියුම පරිදි මඩිහේ මහා නාහිමියෝ වැඩම කළහ. ලක්දිව භික්ෂු සමාජය එක්සත් කිරීමට මඩිහේ නාහිමියෝ නිතර ප්‍රයත්න දැරූහ. එමෙන්ම නේපාලයෙන් නෙරපා හරිනු ලැබූ ථෙරවාදී භික්ෂුන් වහන්සේලා තායිලන්තය, බුරුමය, ලංකාව ආදී කුමන රටක ඉගෙනීම කර ආපසු නේපාලයට වැඩම කළද නේපාල සංඝයා වශයෙන් වාසය කළ යුතු බවට සම්මුතියක් මඩිහේ නාහිමියෝ ඇති කළහ.
නේපාල දේශයෙහි වැඩම කළ භික්ෂූන් වහන්සේගේ පුහුණුවට වජිරාරාමයෙන් නොමද පිටුබලයක් ලැබුණි.
පැලෑනේ නාහිමියන්ගේ සිසු පිරිසට නේපාල් ජාතික භික්ෂූන් කීප නමක්ම ඇතුළත්වූහ. නේපාලී අමතානන්ද, නේපාලී සුබොධානන්ද, නේපාලී විමලානන්ද ආදී හිමිවරු මේ අතර කැපී පෙනෙයි.
අපවත්වී වදාළ ආචාර්ය ලබුදූවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ විසින් ආරම්භ කරන ලද එක් ශාසනික මෙහෙවරක් වූ ධර්මචක්‍ර විද්‍යාපීඨ පශ්චාත් උපාධි ආයතනය වත්මන් නේපාල බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමට ප්‍රබල පදනමක් දැමීය. ධර්ම චක්‍ර විද්‍යාපීඨ ආයතනයේ ඉගෙනීම සඳහා නේපාල ජාතික හිමිනමක් පළමුව වැඩම කළ අතර පසුකලෙක ධර්මචක්‍ර විද්‍යාපීඨයේම ශාඛාවක් වශයෙන් ආරම්භ කළ සාමනේර පුහුණු පාඨමාලාවට මුලින්ම ඇතුළත් කරගන්නා ලද්දේ නේපාල ජාතික සාමනේරවරු පස්නමකි. පොල්ලමුරේ සෝරත නාහිමි නේපාල දේශයේ සිට ධර්මචක්‍ර විද්‍යාපීඨයේ ඉගෙනීමට පැමිණි නේපාලයේ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ සමඟ නේපාල දේශයට වැඩම කළ වන්දනාගමනක දී මතුවූ අදහසක් අනුව නේපාලයේ බෞද්ධ පවුල්වලින් තෝරා ගෙනවිත් කුලදරුවන් නේපාල දේශයේදීම පැවිදි කරවීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කළහ. පසුව නේපාලයේ පැවිදි කළ භික්ෂුන් වහන්සේ ලක්දිවට වැඩම කරවා සුදුසු අධ්‍යාපන ආයතනවලට යොමු කිරී‍ෙම් වැඩ පිළිවෙළක්ද පොල්ලමුරේ ‍සෝරත මහා හිමියෝ ආරම්භ කළහ.
පසුගිය කාලය තුළ වරින්වර ලක්දිවට පැමිණ කොළඹ විදුදය, විද්‍යාලංකාර, මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලය මහරගම ධර්මායතනය ආදී විද්‍යාස්ථානවල අධ්‍යාපනය ලද නේපාල ජාතික භික්ෂූන් වහන්සේලා විශාල සංඛ්‍යාවකි. ශාසනික සේවයද වෙසෙසින් අවධානයට පාත්‍රවිය යුත්තකි.
මෙලෙස සුසීල, ගුණධර වියත් නේපාල ජාතික භික්ෂු පරපුරක් ඇති කොට එරට නූතන බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට මඩිහේ පඤ්ඤාසීහ මාහිමි ඇතුළු ශ්‍රී ලාංකික සඟ පරපුරෙන් ලැබුණ දායකත්වය සුවිශේෂය.
.

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.