සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ
නන්දසේන රත්නපාල ලකුණ
80 වන ජන්ම දින සැමරුම නිමිත්තෙනි.
සිංහල සාහිත්‍යය ක්ෂේත්‍රයට මෙන් ම, සමාජ විද්‍යා ක්ෂේත්‍රයට අනල්ප සේවාවක් කළ විද්වතකු වශයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාලයන් හැඳින්විය හැකි ය. එතුමා 1935 මැයි මස 19 වෙනි දින ඌව පළාතේ, බණ්ඩාරවෙල, කුරුකුදේ නම් පිටිසර ගම්මානයේ උපත ලැබුවේ ය. රත්නපාලයන්ගේ පියා කුරුකුදේ රජයේ පාසලේ විදුහල්පතිවරයා වූ අතර මව ඒ පාසලේ ගුරුවරියක් වූවා ය. රත්නපාල මහතා පවුලේ වැඩිමහල් දරුවා වූ අතර ඔහුට බාල සහෝදරයෝ දෙදෙනෙක් ද, සහෝදරියෝ තිදෙනෙක් ද වූහ.
රත්නපාල ශිෂ්‍යයා මූලික අධ්‍යාපනය ලැබුවේ කුරුකුදේ රජයේ පාසලෙනි. මේ පාසල සතු කුඩා පුස්තකාලයේ තිබුණ සියලු ම පතපොත පරිශීලනය කිරීමට රත්නපාලට අවස්ථාව ලැබිණි. පසුව රත්නපාල ශිෂ්‍යයා උසස් අධ්‍යාපනය හැදෑරීමට පාණදුරේ ශාන්ත ජෝන් විදුහලටත්, අනතුරුව කොළඹ රාජකීය විදුහලටත් ඇතුළු වෙයි. 1955 වර්ෂයේ දී හේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් සරසවි පිවිසුම් පෙළ උසස් ලෙස සමත් වී පේරාදෙණිය සරසවියට ඇතුළු වන්නේ ය.
සරසවියේ ඉගෙනුම ලබමින් සිටි අවධියේ රත්නපාල සිසුන් අතර දීප්තිමත් තරුවක් විය. 1955 වර්ෂයේ දී විශ්වවිද්‍යාලයේ පැවැත් වූ කථික තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා රත්නපාල තරුණයාට රන් පදක්කමක් හිමි වෙයි. මීට අමතරව, ඒ වර්ෂයේ දී ම විශ්වවිද්‍යාලයේ පැවැත් වූ කෙටිකතා තරගයෙන් එතුමාගේ “බළල් පවුල” නමැති කෙටිකතාව ප්‍රථම ස්ථානය දිනා ගන්නේ ය. ඔහු සරසවියේ ඉගෙනුම ලබන අවධියේ බෞද්ධ සංගමයේ සභාපති ධුරය ද දැරුවේ ය.

එතුමාට එහි නූතන සිංහල අංශයේ ප්‍රධානත්වය ලැබෙයි. නොබෝ කලකින් නූතන සිංහල සාහිත්‍යයේ උන්නතිය උදෙසා රත්නපාලයෝ විශාල සාහිත්‍ය සේවාවක් කළහ. 1960 - 1963 දක්වා කාලය තුළ නූතන සිංහල අංශය ඉතා ජනපි‍්‍රය ස්ථානයක් බවට පත්වන්නේ රත්නපාලයන්ගේ අප්‍රහිත ධෛර්යය හා නොපසුබට උත්සාහය නිසා ය. එහෙත් එතුමා තුළ තිබුණ දක්ෂතාව නො ඉවසූ ඇතැම් උගත් ගැටමාන්නලාගේ කූට උපක්‍රම නිසා නූතන සිංහල අංශය 1963 දී වැසෙයි. මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් එම්. ඒ. උපාධිය ද රත්නපාල මහතා සමත් වී සිටියේ ය. නූතන සිංහල අංශය වසා දැමීම නිසා බලවත් ලෙස කලකිරෙන තරුණ රත්නපාල ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ජර්මනිය බලා පිටත් වෙයි.
1966 වර්ෂයේ දී ආචාර්ය උපාධිය දිනාගෙන දිවයිනට පැමිණෙන රත්නපාල මහතා වසර කිහිපයක් සිංහල අංශයේ සේවය කළේ ය. 1972 වර්ෂයේ දී එතුමා සිංහල අංශයෙන් සමාජ විද්‍යා අංශයට අනුයුක්ත කෙරේ. අනතුරුව සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා එතුමාගෙන් විශාල සේවාවක් සිදු වේ.
රත්නපාල මහතාගෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයට සිදුවූ සේවාව පමණක් සාකච්ඡා කිරීමට මේ ලිපියෙන් අපේක්ෂා කෙරේ. එතුමාගෙන් සිංහල කෙටිකතා ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා සුවිශාල සේවාවක් සිදුවිය. රත්නපාල කෙටිකතා සංග්‍රහ තුනක් පළ කළේ ය. “නොලියූ පොත (1955)” එතුමා විසින් රචිත ප්‍රථම කෙටිකතා සංග්‍රහයයි. අනතුරු ව හෙතෙම රිදී පෝරු (1969) හා ඒඩ්ස් සහ තවත් කතා (1992) පළ කළේ ය. මොහු විසින් තරුණ අවධියේ දී පළ කරන ලද “කෙටිකතා විචාර මූලධර්ම” නමැති විචාර ග්‍රන්ථය කෙටිකතා ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා මහත් සේ දායක විය.
රත්නපාල මහතාගෙන් සිංහල නවකතා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ද සුවිශාල සේවාවක් සිදුවේ. 1972 දී රත්නපාලයන් විසින් රචිත “නොදනිමි කාගෙ දොසා” නමැති නවකතාව ඔහුගේ ප්‍රථම නවකතා නිර්මාණයයි. පසුව උදා හිරු, අහස කඩා වැටෙයි, ජය ශ්‍රී ඇමති තුමනි, සයිමන් බාස් සහ බිරින්දෑවරු හා ඇවිලෙන ගිනිදැල් යන නවකතා රත්නපාලයෝ පළ කරති. මේ නවකතාවලින් වත්මන් සමාජය කදිමට ප්‍රතිනිර්මාණය කෙරෙයි.
රත්නපාලයන් විසින් සිංහල පද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ද සැලකිය යුතු සේවාවක් කර තිබේ. එතුමා 1960 දී සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන “මරණින් එහා” පළ කළේ ය. අනතුරු ව 1973 දී “ආන්ත්‍රාවයි” නමින් කාව්‍ය සංග්‍රහයක් හේ රචනා කරයි. රත්නපාලයන් විසින් රචිත අවසාන නිර්මාණය වන්නේ “කලවානේ දී ලියු කවි” නමැති කාව්‍ය සංග්‍රහයයි. මෙය තවමත් ප්‍රකාශයට පත්කර නැත.
රත්නපාලයන්ගෙන් සාහිත්‍ය නිර්මාණ ක්ෂේත්‍රයට මෙන් ම, සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයට ද සුවිශාල සේවාවක් සිදුවිය. “ග්‍රන්ථ විචාර” නමැති සඟරාව ඒ අතරින් මුල් තැනක් ගනී. “සිංහල පද්‍ය විචාරය” “කුංකුම චන්දන” ඔහු ෂසින් රචිත සාහිත්‍ය විචාර ග්‍රන්ථවලින් කිහිපයකි. මේ ලේඛකයා අ.පො.ස (සා.පෙළ) හා අ.පො.ස. (උ.පෙළ) සිංහල විෂය නිර්දේශ අනුව පතපොත ලියමින් ද සිසුනට අතිමහත් සේවාවක් කළේ ය.
සිංහල සාහිත්‍යය, භාෂාව, සමාජ විද්‍යාව, ජනශ්‍රැති විද්‍යාව, මානව විද්‍යාව හා අපරාධ විද්‍යාව යන විවිධ අංශයන්ට කැපී පෙනෙන සේවාවක් කළ මහාචාර්ය නන්දසේන රත්නපාල 2007 අගෝස්තු මස 07 වෙනි දින හදිසියේ අභාවප්‍රාප්ත විය. එතුමාගේ අභාවයෙන් පසු ඇතිවූ හිදැස පිරවීමට සමත් විද්වතකු තවමත් සාහිත්‍ය හා සමාජ විද්‍යා ක්ෂේත්‍රවලින් පහළ වී නැත.
0 comments:
Post a Comment
ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.