Thursday, May 1, 2014

යකුනේ බලාගෙනයි

ඉර මැදියමේ හෝ ගොම්මං වේලාවේ දියමංකඩ බැස දිය නාන යුවතියගේ දුහුල් සළුවට මුවා වූ අඟපසඟවලට ගැමි තරුණයින් පමණක් නොව යකුන් පවා ලොබ කරතියි ගැමියෝ විශ්වාස කළහ. එහෙත් නාන කාමරය තුළ සළු උනා කරාමය යට ජල ස්නානය කරන නවීකරණය වූ යුවතිය දෙස යකුන්ගේ හෝ බැල්ම වැටෙන බවක් වාර්තා නොවේ.

අනාදිමත් කාලයක සිට මිනිසා තුළ යක්ෂ, පේ‍්‍රත, කුම්භාණ්ඩ, ආදි අමනුෂ්‍ය බලවේග පිළිබඳ ව වූ අධි විශ්වාසයන් පැවතියේ ය. අතීතයේ දී යකුන් වැහීමෙන් ප්‍රලය වන කාන්තාවෝ රැයක් පහන් වනතුරු කට්ටඩියන් සමඟ තරගයට නටති. ඉතා කුඩා අවකාශවලින් රිංගීම ආදි විශ්වකර්ම ක්‍රියා සිදු කරයි.
ඇදුරු බසට අවනත නොවීමෙන්, පොල් මලෙන් හා මඩු වලිගයෙන් බැටකා, උදෑසන වන විට හොඳහැටි මට්ටු වී නිරෝගී වූවක ලෙස අලුත් දිනයක අරුණළු දකිති. මෙබඳු තොවිල් පවිල් එකල ගම්මාන පුරා සෑම කෙම්මුර දිනකම පාහේ පැවැත්වුණි. ගම් හතක් දෙවනත් කරමින් දිව යන දෙවොල් බෙර, ගැටබෙර, තම්මැට්ටම්, දවුල් ආදී හි හඬ, බියකරු අඳුරු රාත්‍රියේ මූසල බව දුරු කර හුදී ජනයාට දේවාශිර්වාදයක් එක් කළේ ය.
අතීතයේ ගැමියා ලෙඩරෝග දුටුවේ බියකරු යකුන් ලෙසිනි. ‘සන්නි’, ‘කෝල’, ‘වලිප්පු’ සුව කිරීමට ගැමි වෙදරාල පමණක් නොව කට්ටඩි රාල ද බොහෝ වෙහෙස විය. ක්ලමථය, ආතතිය, විශාධය, ප්‍රඥාපරාධ, ආදි නම්වලින් වර්තමානයේ හඳුන්වන විවිධ මානසික අවුල් වියවුල් එකල ගැමියාට ද පොදු විය. ගොවිතැන් පාළු වීම්, දියණි වරුන්ගේ නොමනා විවාහ, ස්වාමියාගේ පරඹු සේවන, අසම්මත ගැබ් ගැනීම්, හිතෛශීන්ගේ මරණ, ආදියේදී වර්තමානයටත් වඩා අතීතයේ ගැමියා බොහෝ කම්පා වීමට තරම් සංවේදී විය.
මේ සංවේදී බව නිසා ම සුළු සිද්ධියකදී පවා ගැමියාට මානසික වශයෙන් පීඩා විඳීමට සිදු විය. එයින් සිය ජීවිතයේ සතුට නැති වී විවිධ කායික හා මානසික ලෙඩරෝගවලට ලක්වීමට සිදුවිය.
මෙසේ අකාරුණික ලෙස සිය සතුට උදුරාගත් අනුකම්පා විරහිත මානසිකත්වය යක් ෂත්වය යයි සලකා තොවිල් නැටීමකින් සිය මනස නිරවුල් කරගැනීමට ගැමියාට හැකි විය. මෙය වත්මන් මනෝ චිකිත්සක ක්‍රියාවලින් අභිබවනය කරන්නේ නොවේ ද?
කායික රෝග ලෙස හඳුන්වන රෝගවලින් සියයට අනූවක් ම මනස මූලික ව සෑදෙන බව බටහිර වෛද්‍ය විද්‍යාව ද පිළිගනී. අනාදිමත් කාලයක සිට මේ බව දැන සිටි ගැමියා බොහෝ රෝගවලට පිළියම් වශයෙන් සිදු කළේ අධිවිශ්වසනීය වූ මානසික ප්‍රතිකාරයි. ගොම්මන් වෙලාවේ දියමංකඩට යන වැඩිවිය පත් ගැමිලිය හිටිහැටියේ ක්ලාන්ත වෙයි. අන්‍ය භාෂාවකින් කතා කරයි.
ඇඟ සලිත කරමින් කෙස්වැටිය මුදා හිස කරකවයි. මෙබඳු රෝගීන් වර්තමානයේ දුලබ වුවත් අතීත සමාජයේ ඕනෑතරම් දක්නට ලැබුණි. කඩිමුඩියේ එතැනට පැමිණෙන කට්ටඩිරාල ඇයට ඇප නූලක් බඳී.
පසුව එළැඹෙන කෙම්මුර දිනෙක ඇය වෙනුවෙන් සියලු ගැමියන්ගේ සහභාගිත්වයෙන් තොවිලයක් නටති. බෙර හඬ හා කටකතා තොවිලය පිළිබඳ ව සන්නිවේදනය කරන්නේ ;කාපමණ දෙනකුට ද, එපමණක් දෙනා තොවිලයට සහභාගි වී ඊට ඇප උපකාර කරති. පරෝපකාරයට අතීත ගැමියාට බුලත් දිය යුතු නැත.
හාත්පස අඳුර ගලා එන සන්ධ්‍යාවේ ගොක්කොළ හා රඹ පතුරුවලින් අලංකාර කළ රඹ තොරන් ඉදිරිපිට සුදු වේට්ටි ඇඳ පච්චවඩම් බැඳි ඇදුරන් සිදුකරන නර්තන දැකගත හැක්කේ පන්දම් ආලෝකයෙනි. දින කීපයක සිට ගෙවල් මිදුල් පවිත්‍ර කොට තොවිලයට සුදුසු පරිසරයක් නිවසේ නිර්මාණය කළ අසල්වැසි ගැමි තරුණියෝත්, ඇටඇටිපස්වර්ගය, දියමස්, ගොඩමස්, තොලබෝ හීරැස්ස ආදි කොළ වර්ග, පොල් මල්, පුවක් මල්, විවිධ වර්ණවත් මල් වර්ග ඇතුළු තොවිලයට අවශ්‍ය කළමනා සපයා දුන් ගැමි තරුණයෝත්, එක ම මාගල් පැදුරක හෝ වියන ලද පොල් අතු ඇතුරූ මිදුලේ හිඳ ආතුරයා සමඟ තොවිලය නරඹති.
මේ තොවිල්පොල ඕපාදූප හා කටකතා කියන ගැහැනුන්ටත් පුරසාරම් හා පූචානම් දොඩන පිරිමින්ටත් සුරපුරක් බඳු ය. ඒ අතර නිවෙස්වලට හොරා පෙම් බැන්ද තරුණ තරුණියන්ගේ ජවනිකා ද අහුමුලුවල නැත්තේම නොවේ. මෙසේ රෝගී නිරෝගී විශේෂයකින් තොරව සියලු ම දෙනාට සිත නිදහස් කරගත හැකි රමණීය රාත්‍රියක් උදාකර දීමට යක්ෂයා වක්‍ර දායකත්වයක් සපයා ඇත.
දක්ෂ අභිමානවත් පෞර්ෂයකින් යුතු ඇදුරාගේ තියුණු බැල්මත් දුම්මල ආවේශයත්, කිසිවෙකුට නොපැරදවිය හැකි තාණ්ඩව නර්තනයත් බොහෝ නෙත් වශී කරති. එයින් ස්වයං මෝහනයට පත්වන ළාමක පිරිමිත්, ගැහැනුත්, විශේෂයෙන් ආතුරයාත් ප්‍රලය වෙයි. මෙය තොවිල් පලෙහි උච්චතම අවස්ථාවයි. මුලුගැන්වී සිතට වද දුන් සියලු සිතුවිලිත්, බියගුලු අදහසුත් සියල්ල වමාරමින් දෙනෝදාහක් ඉදිරියේ ඇදුරා හා සම සමව නර්තනයේ යෙදීමට ඔවුහු පෙලඹෙති. තවද උද්වේගකර බෙරහඬ විසින් පැමිණ සිටින සියල්ලන්ගේ ම ශරීරගත සියලු කේශනාලිකා කම්පිත කරමින් ඇති කරවන උත්තේජනය, ඔවුන්ගේ අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි දුරු කරයි.
බුදු වදනට අනුව සියලු පුහුදුන් ජනයා උමතු රෝගීහු වෙති. වත්මන් නිර්ණයන්ට අනුව රෝගී හෝ නිරෝගී යයි සලකන සියලු ජනයා තොවිල් පළට එක්වන අතර බුද්ධ දේශනාවට අනුගත නිරෝගී නිර්වාණ සුවය එහිදී ඔවුනට පසක් කරගැනීමට රුකුල් නොදෙන නමුත් යහපත් ලෙස සමාජයේ ජීවත් වීමට අවශ්‍ය විවිධ උපදෙස් හා පණිවිඩ එහිදී බොහෝ සෙයින් ලද හැකි ය. තොවිල් පලෙන් පිටව යන බොහෝ දෙනා මානසික ලිහිල් භාවයකින් හා මනා ජීවිත පරිඥානයකින් යුතු පුද්ගලයන් බවට පත් කිරීමට ඇදුරන් නිරන්තර උත්සාහයක නිරත වේ. යක්ෂත්වය හෝ වෙනත් සංකල්පයක් මූලික කරගෙන මෙබඳු සහන සමාජයක් ගොඩනඟන සාමූහික රෝග නිවාරණ ක්‍රමවේදයක් නූතන දියුණු යයි සම්මත සමාජවල දක්නට නොලැබේ.
ඉර මැදියමේ හෝ ගොම්මං වේලාවේ දියමංකඩ බැස දිය නාන යුවතියගේ දුහුල් සළුවට මුවා වූ අඟපසඟවලට ගැමි තරුණයින් පමණක් නොව යකුන් පවා ලොබ කරතියි ගැමියෝ විශ්වාස කළහ. එහෙත් නාන කාමරය තුළ සළු උනා කරාමය යට ජල ස්නානය කරන නවීකරණය වූ යුවතිය දෙස යකුන්ගේ හෝ බැල්ම වැටෙන බවක් වාර්තා නොවේ.
එමෙන්ම රීරියකා, මහසොහොනා, ගොපල්ලා ආදි යකුන් ගැසීමෙන් මියගිය මිනිසුන් පිළිබඳව ගම්මානයේ විවිධ කටකතා පැතිරේ. පුලුටු බැද ජාම වේලාවල්වල කෑම නිසා, මල ගෙදරක ගොස් රාත්‍රියේ තනිව පැමිණීම නිසා, පාන්දර ගව පට්ටිය වෙත යාම නිසා, ආදි සමාජය නොපිළිගත් විවිධ ක්‍රියා කරණ කොට ගෙන මෙසේ යකුන් ගසා මියගිය පිරිස් අතීතයේ විය. මියැදුණු අයගේ පිට ප්‍රදේශයේ යකුගේ ඇඟිලි පහේම සලකුණු පිහිටා තිබු බව ඇතැම් ගැමියෝ පවසති. කෙසේ වෙතත් පිට ප්‍රදේශයේ ඇඟිලි පහක ආකාරයේ රුධිර නාලිකා පිහිටා ඇති බව වෛද්‍යවරුන්ගේ මතයයි.
බෙල්ලේ ඇති රුධිර නාල හිරවීම ආදියකදී ඉහත රුධිර නාලිකා අවහිර වී මරණයට පත්විය හැකි බවත් ඒ අවස්ථාවල මෙසේ ඇඟිලි පහක සලකුණු සේ මේවා දිස්විය හැකි බවත් උගතුන්ගේ මතයයි. ගැමියෝ මෙයට කුමන අර්ථ කථනයක් දුන්න ද ඉන් මිදීමට ද යක්ෂ සංකල්පය හා බද්ධ වූ ප්‍රතිකර්මයක්ම නිර්මාණය කරගත්හ. යක්ෂයාගේ අඩි ශබ්ද හෝ වෙනත් ශබ්ද ඇසෙන විට එකවරම පිටුපස නොබලා අත යටින් බැලීම ඒ සඳහා තිබු ප්‍රතිකර්මයයි.
අත යටින් බැලීම දුෂ්කරය. එය වේගයෙන් සිදුකළ නොහැකි ය. මේ නිසා කුමන කැලඹිලි ස්වභාවයක් මනස තුළ හෝ පරිසරය තුළ සිදු වුවද ඒ සඳහා මිනිසා දක්වන සරල ප්‍රතික්‍රියාව වන හැරී බැලීම පවා සෞඛ්‍යාරක්ෂිතව සිදුකිරීමට මෙම යක්ෂ සංකල්පය හරහා ගැමියාට උපදෙස් ලැබුණි.
අතීතයේදී යකුන්ගේ විවිධ හඬ නැගීම් කැලෑබද කඳුකරයෙන් ඇසුණු බවත්, යකුන්ගේ ගඳ පවා දැනුණු බවත් ඉංගි‍්‍රසි ජාතික ‘රොබට් නොක්ස්’ සිය අත්දැකීම් පසුබිම් කරගනිමින් එදා හෙළදිව කෘතියේ දක්වා ඇත.
එහෙත් වත්මන් නවීකරණය වූ සමාජයේ විද්‍යුත් උපකරණවල හඬ මිස මේ කිසිවක් ඇසෙන්නට නැත. කැලෑ විනාශ වීම, කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදිවීම, ගම ජනාකීර්ණ වීම ආදිය නිසා එදා ගැමියා යක්ෂත්වයට ආරෝපණය කළ, හැන්දෑවට හඬලන දුර්ලභ සත්ත්ව විශේෂයක වඳ වීමත්, සන්ධ්‍යාවේ දී යම් රසායනයක් නිකුත් කරනු ලබන දුර්ලභ පැලෑටියක වඳවී යාමත් නිසා මෙසේ නවීකරණය වූ සමාජයෙන් ජන විඥානගත අවිහිංසක සංකල්පමය යක්ෂයා ද නිරායාසයෙන්ම නික්ම යන්නට ඇත.
එදාට වඩා සංකීර්ණ වූ සමාජයේ මිනිසා තුළ මානසික අවුල් වියවුල් ද සංකීර්ණ මෙන්ම ප්‍රබල වන බව දක්නට ලැබේ. රැකියාව, ගමනාගමනය, ආර්ථිකය, ආහාර, විලාසිතා ආදි මේ සියල්ල තුළින් මිනිසා තව තවත් මානසික පීඩාවට ලක්වෙයි.
දවස තිස්සේ කායික හා මානසික පීඩනයට පත්වන ඇතැම් පුද්ගලයින් සන්ධ්‍යාවේ සිය පවුලේ සාමාජිකයන් සමඟ සතුටු සාමීචියේ යෙදෙනවාට වඩා පෙලඹෙන්නේ රූපවාහිනී ටෙලිනාට්‍යයක රසය විඳ ගැනීමටයි. එහෙත් වත්මන් ජනපි‍්‍රය සංස්කෘතියේ ටෙලි රචනා සැබැවින් ම මනස නිරවුල් කරන්නේ ද යන්න සැක සහිත ය.
ඒ කෙසේ වෙතත් අතීත ගැමියා තුළ තිබු ඉහත සඳහන් කළ ධාර්මික වින්දන ප්‍රතිපත්තිය හා මෙය සමකළ හැකි ද? මනස සංවේදී කිරීමත් ඒ මඟින් විවිධ ගැටලු නිරාකරණය කිරීමේ දියුණු ක්‍රමවේදයත් මෙම ධාර්මික වින්දන ක්‍රියාදාමයේ අන්තර්ගත වී ඇත. වර්තමානය වන විට මානසික ආතතිය ආදිය දුරු කිරීමට ජනයා තෝරාගන්නා මනස සේදීමේ බොහෝ ක්‍රියාකාරකම් මඟින් සිදුවන්නේ මිනිසා අසංවේදී වීමයි. ඒ නිසා එහි විපාක ලෙස සමාජය තුළ අපරාධ, දූෂණ, වංචා ආදියෙහි වර්ධනය වීමක් දක්නට ලැබේ.
ඒ නිසා මෙසේ මනස නිරවුල් කරගැනීමේ නව වින්දන ප්‍රතිපත්තිය අතීත ගැමියා ධාර්මික වින්දනයෙන් බිහි කරගත් තුලිත සමාජය බිඳ දමා අසමතුලිත කර ඇත.
අප අතීතයේ ආරක්ෂාව පතා ගෙළ පැලඳි සුර, යන්ත්‍ර, පංචායුධ ආදිය වෙනුවට නවීකරණය වූවෝ පොල්කටු කැබලි, ප්ලාස්ටික්, යකඩ, පිත්තල පතුරු ගෙල පලඳා ගනිති. එයින් පෙනී යන්නේ අතීත ගැමියා සිය සතුටට හෝ නිරෝගී බවට වින කළ විවිධ මානසික හෝ අධිභෞතික යක්ෂ බලවේග පිටුදැකීම සඳහා භාවිත කළ දියුණු උපක්‍රම නවීන පරපුර විසින් ඉවත දමා ඇති ආකාරය යි.
අප ප්‍රාථමික යයි සලකන වර්තමානයේ දුලභ වශයෙන් දැකගත හැකි යක්ෂ සංකල්පය සැබෑ ලෝකයේ භෞතිකත්වය හා ගැළපුණා ද නොගැළපුණා ද ඒ මඟින් අතීත ගැමියා නිර්මාණය කරගත් යහපත් මෙන්ම සාර්ථක සමාජ සංස්කෘතික සංකල්ප සියල්ල, නිතැතින්ම පොදුජන යහපතට යොමු වූවක් බව පැහැදිලි ය.
සංකීර්ණ නවීන සමාජයේ යකුන් ගැහීම යකුන් වැහීම ඉතා දුර්ලභ ය. ගම ජනාකීර්ණ වී කාර්මිකකරණයට නතු වීමෙන් ස්වභාවික පරිසරයේ ඇතිවූ විවිධ වෙනස්කම් පමණක් මීට බලපා ඇතැයි කිව නොහැකි ය. මානසික වශයෙන් අප තුළ ඇතිවී ඇති පරිවර්තනය ද මීට හේතු වී ඇත. කෙසේ වෙතත් අප ඒ සොඳුරු යක්ෂයා ජන විඥානයෙන් එළවා දමා ඇත.

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.