Sunday, May 4, 2014

මුළු ගතම වෙහෙසවා මී මැස්සා ඉගිල ගියේය


බිරිය ෆ්ලෝරන්ස් සිහිපත් කරයි
ජෝ BEE පෙරේරා
වසන්ත සමයේ දී ගහ වැල මල්පල ගැන්වී සිතට ශාන්ත බවක් ගෙන දුන්නත් ෆ්ලෝරන්ස්ට හා වරුණට නම් ඒ සුවය විඳින්නට අවකාශයක් නොවීය. අමල්ට ද තම රාජකාරි මධ්‍යයේ වුවද වසන්තයේ සිරි අසිරිය විඳින්නට අවස්ථාව නොලැබුණේ සිතට කිසිදු සහනයක් නොමැති නිසාවෙන්ය. ගයනි විදෙස් රටක සිටියත් තම සැමියා හා දරුවන් සමඟ ඒ සතුට බුක්ති විඳීමට නොහැකි වූයේ ඇය කෙරෙන් වූ අප්‍රමාණ පිය සෙනෙහස නිසාවෙනි. ඒ වසර තුනකට අධික කාලයක් රෝද පුටුවට වී රෝගාතුරව කාලය ගත කළ ගයනි, අමල් සහ වරුණ ගේ පියා සහ ෆ්ලොරන්ස් ගේ ආදරබර සැමියා වූ මේ ජනපි‍්‍රය කලාකරුවා නිසාය.
හැට හැත්තෑව දශකයන්හි දී මෙරට ජනතාව ආදරය කළ ජනපි‍්‍රය ගායන ශිල්පියකු වූ මේ සොඳුරු මිනිසා පසුගිය ජනවාරි මස දී තව තවත් ගිලන් බවට පත් වූයේ බටහිර වෙදකමත්, දේශීය වෙදකමත්, පවුලේ උදවිය ගේ හෙදකමත් උපරිම තලයක තිබිය දීය. ගායකයකු, වාදකයකු, තනු නිර්මාපකයකු වූ මේ සොඳුරු සිතැත්තාගේ නිර්මාණ දිවියට අඩසිය වසක් ගත වුණේ ද පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය.
මෙම වසරේ වසන්ත මාසය උදාවූවා පමණි. ඔහුගේ රෝගී තත්ත්වය වඩ වඩාත් ඔහුට දැණිනි. එම නිසාම ඔහුට දරු මුනුපුරන් සියල්ලම එකට දැකබලා ගන්නට ආශාවක් ඇති විය. මේ කාරණය හේතුකොට ගෙන පසුගිය 19 වැනි සෙනසුරාදා අමල් සහ ඔහුගේ දරුවනුත්, වරුණත් සිය මෑණියන් වූ ෆ්ලොරන්ස් ඇතුළු පිරිසත් මේ කලාකරුවාගේ නිවස්නය වූ ගම්පහ උඩුගම්පොළ පිහිටි ‘වසන්තය’ නිවහනට එක්විය. ඊට සුළු මොහොතකට පසු විදෙස් රටක සිට ගයනි ද පැමිණියේ තම දියණිය ද කැටුවය. ගයනි ගම පියාට අප්‍රමාණ සෙනෙහසක් දැක්වූවාය. එම නිසාම තම පියාගේ රෝගී තත්ත්වය දුටු ඇයගේ නෙතට කඳුළක් එක් වූයේ ඈට ද නොදැනීය. පියා දකීවී යන බියෙන් යුතුව ගයනි තම කඳුළ වහ වහා සඟවා ගත්තාය. ගත වූයේ පැය කිහිපයකි. තම දරු මුනුපුරන් අවසන්වරට දැකගත් මේ සොඳුරු කලාකරුවා සියල්ලන්ම තනිකර දමා අවසන් සුසුම් පොද වාතලයට මුසු කළේ කිතු සමිදාණන්ගේ මරණයෙන් නැගිටීම හෙවත් උත්තානය වූ දිනට එක් දිනයක් ඉතිරි කරමිනි.
ජෝ බී. පෙරේරා, කම්මල්කරුවාගේ ගීතය හෙවත් ‘මුළු ගතම වෙහෙසුණා’ ගීතයෙන් රටක් නැළ වූ හෙතෙම රටක් හඬවා රහසේම සැඟව ගොස්ය. ඔහුගේ සොඳුරු මතකයන් සමඟ මෙවර ‘පිය සටහන්’ සමඟ එක්වන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ වූ ෆ්ලොරන්ස් පෙරේරා, වැඩිමහල් දියණිය වූ ගයනි පෙරේරා, පුතුන් වූ අමල් සහ වරුණ යන පිරිසයි.
මේ ලිපිය ලියැවෙන විටත් ඔහු ජීවිත සයුරෙන් නික්ම ගොස් සතියක්වත් ඉක්මගොස් නැත. එම නිසාම ‘වසන්තය’ නිවෙසේ වූසේ දුක්බර ශෝකී පෙනුමකි. නිවෙසට පිවිසෙන ප්‍රධාන ගේට්ටුවට ඉහළින් ජෝ කලකට ඉහත දී ගිටාරයක් අතැතිව ගත් විශාල ප්‍රමාණයේ ඡායාරූපයක් සමඟ වූ ශෝක ප්‍රකාශයකි. එහි යනවිට අපව පිළිගත්තේ ගයනීය. ගයනි යනු ජෝ ගේ වැඩිමහල් දියණියයි. ජෝ ගේ දයාබර බිරිය පුත් වරුණ සමඟ පැමිණ ජෝ ගේ අතීත තොරතුරු එකිනෙක අප වෙත ගෙනහැර පෑහ. සිහින් සරින් හඬ අවදි කළ ෆ්ලෝරන්ස් ජෝගේ අතීතය සිහිපත් කළේ දුක සඟවා ගනිමිනි.
“ඒ 1960 දශකයේ අග කාලේ. මම ට්‍රේනිං කොලේජ් එකේ ඉගෙන ගන්නවා. දවසක් මගේ මිතුරියන් පිරිසක් සමඟ කටුනායක එයාර්පෝට් එකට ගියා. ඒ වෙනකොට ‘මී මැස්සෝ’ කියන සංගීත කණ්ඩායම හරිම ප්‍රසිද්ධයි. එහි නායකයා වූ ජෝ බී. පෙරේරාව ඒ ගමන නිසා හඳුනා ගත්තා. ටික කාලයක් යනකොට අපි මිතුරන් බවට පත්වුණා. අපි දෙන්නම කතෝලික ආගමේ එයා මීගමුවේ කුරන ප්‍රදේශයේ. එයා අපේ ගෙදරින් ඇවිත් ඇහුවා මාව විවාහ කර ගන්න. 1969 වසරෙ දි අපි විවාහ වුණා. පසුගිය සොඳුරු මතක සිහිකරමින් අතීත ස්මරණයක යෙදුනත් ඇගේ මුහුණෙන් දිස් වූයේ ශෝකාන්තයක සලකුණුය.
“1970 වසරෙ දී අපිට ගයනි දුවව ලැබුණා. ඒ වෙලාවේ ජෝ හිටියේ හරිම සතුටින්. මම ජීවිතේටවත් එයාගේ මුහුණෙන් ඒ සතුට දැකලා නැහැ. ඊට පස්සෙ 1975 අමල් හා 1977 වරුණ පුතාලා ලැබුණා. එයා එතකොට කලා කටයුතුවල නියැළුණත් ලංකා බැංකුවෙ සේවය කළා. මොන තරම් කාර්යබහුල වුණත් එයා මම වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළා. ඒ ‘සුදුමල්’ කියන ගීතය. ෆ්ලොරන්ස් එසේ පවසන විට ඇයටත් හොරා ඇගේ නෙතේ කඳුළු බිඳුවක් කොපුල් තලය දිගේ ගලාවිත් සිමෙන්ති පොළොව මතට වැටුණාය.
හදවතේ සඟවාගෙන සිටින දුක ගයනි ගේ මුහුණෙන් පෙණුනාය. මෙතෙක් වේලා නිහඬව සිටි ගයනි තම පියාගේ අතීත ස්මරණ අතරට අපව කැඳවාගෙන ගියේ දුක සඟවා ගනිමිනි.
“පවුලේ වැඩිමහල් දරුවා විදියට තාත්තා මට ගොඩක් ආදරේ කළා. ඒ වගේම මල්ලිලා දෙන්නටත් එහෙමයි. මම පුංචි කාලේ තාත්තා ගුවන් විදුලියේ විකාශය වෙන මුවන් පැලැස්ස නාට්‍යය අහනවා. මම එයාගෙ ඔඩොක්කුවේ තියාගෙන එයා ඒක අහන්නේ. එතකොට විටින් විට මුවන් පැලැස්ස නාට්‍යයේ තේමා වාදනය යනකොට මම තාත්තිගෙන් අහනවා දැන් ඉවරද, දැන් ඉවරද කියලා. අදටත් මට ඒ සිදුවීම මැවිලා පෙනෙනවා. එයා අපි පොඩි කාලෙ ළඟට අරන් කතන්දර කියලා දෙනවා. විවිධ රටවල් ගැන තොරතුරු කියලා දෙනවා. අපි පල්ලියේ ගීතිකා කියනකොට එයා හරිම ආශාවෙන් බලාගෙන ඉන්නවා. තාත්තිගේ ආසාවක් තිබුණා අපේ කවුරු හරි තාත්ති වගේ සංගීතය පැත්තට යොමු වෙයි කියලා.
“පසුගිය කාලයේ මම විවාහ වෙලා විදෙස් රටක ජීවත් වුණේ. මට මුලින්ම ලැබුණේ පුතෙක්. එයාගේ නම ‘විනෝද්’ තාත්ති එයාගේ මුනුපුරාට කොච්චර ළෙන්ගතු ද කියනවා නම් එයාගේ අතීත තොරතුරු හැම එකක්ම එයාට කියලා දුන්නා. පසුගිය අවුරුදු තුන ඇතුළත තාත්ති ගොඩක් අසනීප වුණා. තාත්තා 1997 ලංකා බැංකුවෙන් විශ්‍රාම ගියා. ඊට පස්සෙ එයා සංගීත කටයුතුවල වැඩි වශයෙන් නියැළුණා. මීට අවුරුදු තුනකට විතර ඉස්සර වෙලා තාත්ති ගොඩක් අසනීප වුණා. ඊට ඉස්සරවෙලා ප්‍රසංග වේදිකාවේ ගීත ගයන්න ගියා. එයා වැඩියෙන්ම කැමැති ‘මුළු ගතම වෙහෙසුණා’ ගීතය ගායනා කරන්න. ඒ ගීතය නිර්මාණය වුණු හැටිත් මට තාත්ති කියලා දීලා තියෙනවා.
දවසක් ඔහු පොඩි කාලේ තුඩැල්ල කියන ගමේ ඔහුගේ සීයාගේ ගෙදර ගිය වෙලාවක කම්මලක් දැකලා තියෙනවා. ඒකේ කම්මල්කරුවා මහන්සිවෙලා යකඩ තලන හැටි, පිහි හදන හැටි දවස් ගාණක් තාත්ති දැකලා තියෙනවා. ඒක පොඩි කාලෙ තාත්තිගේ හිතට තදින්ම දැනිලා තියෙනවා. පසු කාලෙදි ඒ සිද්ධිය මතක් කරලා මුළු ගතම වෙහෙසුණා කියන කම්මල්කරුවා ගේ ගීතය නිර්මාණය කළා කියලා තාත්ති අපිට කියලා තියෙනවා.
මේ කතාබහ අතරේ බොහොම නිහඬව සිටි වරුණ ද කතාවට එක්වුණේ තම හද පත්ලේ ඇති සිය පියාගේ ආදරණීය මතකයන් අවදි කරමිනි.
“පසුගිය කාලෙම අයියාවත්, අක්කාවත් ළඟ නැති නිසා තාත්ති ළඟින්ම හිටියේ මමයි අම්මයි. තාත්තියි, මමයි කම්මැලිකම යන්නත් එක්ක අපේ ගෙදර ඉදිරිපිට පොඩි ග්‍රොසරි එකක් දැම්මා. අර පේන සෙන් පීටර්ස් ඉස්කෝලෙ ළමයි නිතරම කඩේට එනවා. තාත්ති ළමයින්ට හරිම ආදරෙයි. ඒ වගේම පුදුම මානව දයාවක් තියෙන්නේ. කාගෙවත් හිතක් රිදවන්න කැමැති නැහැ. ඒ වගේම මේ ලොකේ වෙන හැම දෙයක් ගැනම හොඳ අවබෝධයකින් ජීවත් වුණේ. එයා හැම වෙලේම ඉන්ටර්නෙට් එක භාවිත කළා. ෆේස් බුක් එකට ගියා. ස්කයිප්වලින් නිතරම අක්කට කතා කරනවා. අපේ රටේ වෙන දේවල් හැම දෙයක්ම අක්කට කියනවා. ඒ වගේම අක්කා ඉන්න රටේ මොනම වාතාවරණයක් තිබුණත් අක්කට ඉස්සරවෙලාම කියන්නේ තාත්ති. එයා මේ ලෝකෙ වෙන දේවල් ගැන පුදුම අවබෝධයකින් හිටියේ. වරුණ එලෙස පවසා නිහඬ වුණේ සිය පියා ගැන උපන් ශෝකයෙන් හදවත වෙලාගත් නිසාවෙනි.
තාත්ති නිතරම ෆේස් බුක් එකෙන්, ස්කයිප් එකෙන් අපිට කතා කරනවා. එයා ආසාවෙන් හිටියේ විනොද් එයා වගේ සිංදු කියයි කියලා. ඒත් ‘නිරුදි’ නම් සීයා වගේම සංගීතය පැත්තට ටිකක් දක්‍ෂකමක් දක්වනවා. ඒත් ඒවා දකින්න අද තාත්ති මේ ලෝකෙ නැහැනේ.
මේ කතාබහ දෙස නිහඬව බොහෝ වෙලා බලානසිටි ෆ්ලොරන්ස් නැවත ජෝගේ අතීත සැමැරුම් මඟ එක්වුණාය.
“එයාගේ නම හැදුනේ හරිම අපූරු විදියට. එයාගේ නම ජෝසප් බෙනඩික් පෙරේරා. පසු කාලීනව ජෝ බී. පෙරේරා වුණා. එයාගේ හොඳම යාළුවා වුණේ ලාල් හේවාපතිරණ. එයා කිව්වා බී කියන එක ‘ඕඥඥ’ අකුරුවලින් භාවිත කරන්න කියලා. එතකොට මී මැස්සෝ කියන සංගීත කණ්ඩායමේ නම සමඟත් ගැළපෙනවා නේ. එයාගේ සංගීත කණ්ඩායමේ ෂර්ලි බී. පෙරේරා, සිසිල් ජෝ පෙරේරා, ස්ටැන්ලි පෙරේරා යන පිරිවර හිටියා. එයා පසු ගිය කාලෙ වීල් චෙයාර් එකේ ගියේ. උදේම නැගිට්ට ගමන්ම යන්නේ කම්පියුටරේ ළඟට.
ගිහින් ඉන්ටර්නෙට් එකේ තමයි වැඩියෙන්ම ගත කරන්නේ. එයාගේ කලා ජීවිතේට වසර පනහක් පිරීමේ උත්සවෙත් තියන්න තිබුණේ පසුගිය දෙසැම්බර් මාසේ. අසනීප වුණු නිසා ඒකත් තියන්න බැරි වුණා. එයා අසනීප වුණාට පස්සෙ මෙල්රෝයි ධර්මරත්න, රජිව් සෙබස්තියන් වගේ කලාකරුවෝ නිතරම මෙහේ ආවා ගියා. රජිව් නෙළුම් පොකුණේ තිබුණ ෂෝ එකකට එයාට කතා කළා. එතකොට සිංදු කියන්න පුළුවන්. හැබැයි කිහිලි කරුවලින් ගියේ. ඒ නිසා ජෝ කිව්වා මම හොඳට වේදිකාවේ ෆර්ෆෝර්ම් කළ ගායකයෙක්. මාව මේ විදියට මගේ රසිකයන් දකිනවාට මම කැමැති නැහැ කියලා. එයා කිව්ව ගීත අතර සුදුමල්, මීගමු මී මැස්සෝ, ආදරය කරලා, සිරිපා ගමන, සඳ ගමන, මුළු ගතම වෙහෙසුණා අදටත් ජනපි‍්‍රයයි.
පසුගිය සිකුරාදා 18 අපේ ජේසු සාමිදාණන් කුරුසේ ඇණ ගහපු මහ සිකුරාදා ඊට පහු වෙනිදා සෙනසුරාදා අපි හිතපු නැති වෙලාවක අපිව මේ ලොකෙ තනි කරලා එයා ස්වර්ගස්ථ වුණා”. යනුවෙන් පවසමින් ඕ අප හට සමුදුන්නාය. ජෝ බී. පෙරේරා සමාදානයේ සදාකල් සැතපේවායි ‘සරසවිය’ මිතුරන් පතයි.

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.