Saturday, May 3, 2014

යකඩ හී වැල් මීයෝ කෑවා වාගේ

යකඩ හී වැල් මීයෝ කෑවා වාගේ

කූටවාණිජ ජාතකය යකඩ හීවැල් මීයෝ කෑවා වාගේ යනුවෙන් ව්‍යවහාර වන ප්‍රස්තාව පිරුළට මූලය වී තිබේ. එය ජාතක කථාවල 211 වැන්න යි. “හී වැල” යනු නඟුලේ පොළොව හැරෙන යකඩ පළුවට යෙදෙන නමකි. එවැනි ‘යපළු’ තොගයක් කේන්ද්‍ර කොටගෙන මේ කථාව ප්‍රකාශ වේ. බුදුරජාණන් වහන්සේ මේ ජාතක කථාව දේශනා කොට වදාළේ තත්සමයෙහි සිටි එක්තරා සොර වෙළෙන්දකුගේ ක්‍රියාවක් අරමුණු කොටගෙන ය. ‘කූට වාණිජ’ යන්නෙහි අර්ථය සොර වෙළෙඳාම යන්න යි.
එවක සැවැත්නුවර පණ්ඩිත වෙළෙන්ඳා ය, සොර වෙළෙන්ඳා ය යනුවෙන් නම් වූ දෙදෙනෙක් වාසය කළහ. ඔවුන් දෙදෙනා එක් ව වෙළෙඳාමේ යෙදී ආපසු පැමිණි කල්හි වෙළෙඳාමෙන් ලද දෑ සම සේ බෙදා ගැනීමට පණ්ඩිත වෙළෙන්ඳා යෝජනා කළේ ය. සොර වෙළෙන්දා ඊට එකඟ වුව ද ඔහුගේ සොර සිත කීවේ සියල්ල තනි ව අත්පත් කර ගැනීමට ය. දුෂ්කර වූ වෙළෙඳ ගමනේ දී රළු ආහර ගනිමින් නිදි නොලබා වෙහෙස ව පැමිණි හෙයින් පණ්ඩිත වෙළෙන්ඳා තම නුවර දී රසවත් ආහාර වැඩියෙන් කා බී එය දිරවා ගත නොහැකි ව නින්දේ දී ම මිය යතැයි සොර වෙළෙන්ඳා සිතී ය.
ඔහු මළ කල සියල්ල අයිති කර ගැනීමේ අදහසින් හෙතෙම වස්තුව බෙදා ගැනීම අතපසු කරන්නට විය. මෙය තේරුම් ගත් පණ්ඩිත වෙළෙන්ඳා වෑයම් කොට වස්තුව බෙදා ගෙන තමන්ගේ කොටස අත්පත් කර ගැනීමට සමත් වූයේ ය. මෙයට අදාළ වූ පූර්ව කථා පුවත මෙසේ ය:
එකල සොර වෙළෙන්ඳා බරණැස් නුවර වෙළෙන්දකු ලෙසින් ද පණ්ඩිත වෙළෙන්ඳා පිටිසර ගමක වෙළෙන්දකු ලෙසින් ද ඉපිද සිටි හිත මිතුරෝ වූහ. එක් දිනක් පිටිසර වෙළෙන්ඳා බරණැස් නුවර සිටි තම හිතවතා වෙත පැමිණ යපළු පන්සියයක් ඔහුට භාරදී ආරක්ෂා කොට තබන ලෙස දන්වා ආපසු ගියේ ය. සොර වෙළෙන්ඳා ඒ යකඩ රිසි සේ විකුණා වියදම් කොට යපළු තිබූ තැන මී බෙටි විසුරුවා හැර තැබුයේ ය.
පිටිසර වෙළෙන්ඳා ආපසු පැමිණි කල ඔහු කීවේ යකඩ හීවැල් මීයන් කා දමා ඇති බව යි. පිටිසර වෙළෙන්ඳා අමනාපයක් නො පෙන්වා ගඟට නෑමට යන්නෙමැයි සොර වෙළෙන්ඳාගේ පුත්‍රයා ද කැඳවාගෙන ගොස් දරුවා තැනක සඟවා තබා ආපසු පැමිණ දරුවා උකුස්සකු විසින් ඩැහැගෙන යන ලදැයි කීවේ ය. එය පිළිගත නොහැකි බැවින් සොර වෙළෙන්ඳා කිපී අධිකරණ නායක වෙත පැමිණිලි කළේ ය.
අධිකරණ නායක තැන දෙපාර්ශ්වයේ ම කරුණු විමසා යපළු පන්සියය මීයන් විසින් කා දැමිය නො හැකි බවත් දරුවා උකුස්සකු විසින් ඩැහැගෙන යා නො හැකි බවත් මෙය එකට එක කිරීමක් බවත් පහදා දුණි. ඒ අනුව පිටිසර වෙළෙන්ඳාට තම යකඩ හී වැල් ද සොර වෙළෙන්ඳාට තම දරුවා ද ආපසු ලැබුණි.
මේ පුවතින් පිළිබිඹු වන්නේ ප්‍රයෝගය ප්‍රයෝගයකින් ම ජය ගැනීමකි. මෙහි එන කථා පුවත් දෙක ම එක සේ අර්ථවත් ය. මුල් කථාවේ සොර වෙළෙන්ඳාගේ චරිතයෙන් ඔහුගේ මසුරුකමත් ගුණමකු කමත් අධමකමත් හෙළි වේ.
තමන්ගේ ලාභය වාසිය තකා ඔහු තම මිතුරාගේ විනාශය අපේක්ෂා කරන තරමේ නපුරෙකි. ඒ මිතුරා යනු තමා හා එක් ව කා බී එක් ව ගමනේ යෙදී එක් ව වෙළෙඳාමේ යෙදුණු සහචරයා බව ඔහු අමතක කරනුයේ අධික ලෝභකම හේතුවෙනි. වෙළෙඳ ගමනේ දී පණ්ඩිත වෙළෙන්ඳා විඳි දුක් කරදර ගැන හරි හැටි දැන සිටියේ ද සොර වෙළෙන්ඳා ය.
ඔහුගේ සිතිවිල්ල පැවසෙනුයේ මෙලෙසිනි: ‘.... මෙතෙක්දා කටුක අහර කෑමෙන් දුක්ඛ වූ සයන ආදී වූ දෙයෙහි සැතපී රෑ පාන නිදිවරා බොහෝ දුක් විඳින ලද, එසේ හෙයින් මිහිරි වූ භෝජනය කා යහපත් වූ යහන්වල සැතපුණු කලට අජීර්ණ වූ ආහාරය හෙයින් දිරවාගත නො හී මියෙන්නේ ය.’ ඔහුගේ දුෂ්ටභාවය මෙපමණකින් ම හෙළි වේ.
මේ මිත්‍රද්‍රෝහියා බරණැස් නුවර වෙළෙන්ඳාව සිටිය දී ද සිය මසුරුකම, වංචාව වැනි දුර්ගුණ අත් නොහළ අසද් පුරුෂයෙක් ම විය. තමන් කෙරෙහි විශ්වාසය තබා ආරක්ෂාව පිණිස යපළු තබා ගිය හිතවතාට ඔහු වංචා කළේ ය; මිත්‍ර ධර්මය කෙලෙසූයේ ය; ඔහුට අයත් දෑ සොර සිතින් ගත්තේ ය; සොරකම වසා ගැනීමට අමූලික බොරු කීවේ ය.
ඒ කිසිවක් ගැන ඔහු ළතැවුණු බවක් නො පෙනේ. ඔහු කම්පාවට පත්වූයේ ඔහුට විපතක් වූ වේලේ ය. ‘තෝ මාගේ දරුවන් කොයිබ දෝ සඟවා පියා අවුත් උකුස්සා ගෙන ගියේ යයි බොරු කියයි ද’යි සොර වෙළෙන්ඳා පවසන විට ඔහුට වංචාවේත් බොරුවේත් බරපතළකම වැටහී යන්නට ඇතුවා නිසැක ය.
පිටිසර වෙළෙන්ඳා සූක්ෂ්ම බුද්ධියෙන්යුත් අයෙක් විය. විශ්වාසය තැබූ හිත මිතුරා කපටිකමින් තමන් රවටා පාඩු සිදු කළ විට ඔහු ඉක්මන් වී කලබල වූයේ නැත. ඔහු සත්‍යය එළිදරව් කර ගැනීම පිණිස උපක්‍රමශීලී ව ක්‍රියා කළේ ය. ඔහුගේ චරිතයේ ඇති ඉවසිලිවන්ත භාවය කථා යුගලයෙහි ම පිළිබිඹු වේ.
සොර වෙළෙන්ඳාට දිගින් දිගටම බොරුවේ රැඳී සිටිය නො හැකි බවත් ඔහුට කෙසේ හෝ නිවැරැදි තැනට ඒමට සිදු වන බවත් පිටිසර වෙළෙන්ඳා කල්තබා ම දැන සිටියේ ය. දරුවා උකුස්සකු විසින් ඩැහැගෙන ගියේ යැයි ඔහු මුසාවක් ප්‍රකාශ කළේ සම්‍යක්ප්‍රයෝගයක් වශයෙන් පමණි. ඔහු ප්‍රකාශ කළේ ද සොර වෙළෙන්ඳා ප්‍රකාශ කළ ආකාරයේ සිදු විය නො හැකි තාලේ සිදු වීමක් ම ය. යුක්තිය පසිඳලන ඥානවන්තයකු අබිමුවට යෑමට ඒ අනුව මග පෑදිණි.
මෙහි එන අධිකරණ නායක චරිතයෙන් බුද්ධිමතකුගේ තීක්ෂණ ඥානය ප්‍රකට වේ. පැමිණිලිකරුගේ පමණක් නොව විත්තිකරුගේ ආයාචනයට ද ඔහුගේ සවන් එක සේ යොමු වූ බැව් පැහැදිලි ය. එබැවින් වංචාකාරයා කවුරු දැයි ලෙහෙසියෙන් හඳුනා ගත හැකි විණි.
‘මීයන් යපළු කෑ කල උකුස්සා කුඩා කොල්ලා රැගෙන යාමේ අපූර්වය කිම් දැ’යි විමසන අධිකරණ නායක තෙමේ ‘වංචාවට ප්‍රතිවංචා කළ නියාව යහපතැ ... තොප මුන්ගෙන් තිබූ යපළු පන්සියය දී පියන්නා තොපගේ පුතා පාවා දෙති’ යි යනුවෙන් විනිශ්චය ප්‍රකාශ කරනු දැකිය හැකි වේ.
අනුන්ගේ දෑ නිර්දය ලෙස අත්පත් කර ගැනීමට තැත් කරන සොර වෙළෙන්ඳා වැන්නවුන් ද අර්බුදයක දී උපක්‍රමශීලී ව කටයුතු කරන පිටිසර වෙළෙන්ඳා වැන්නවුන් මෙන් ම විචක්ෂණ’ව ගැටලුව දෙස බලා එය විසඳා ලිය හැකි අධිකරණ නායක වැන්නවුන් ද සමාජයේ හිඳිති. ඇදහිය නො හැකි ආකාරයේ බොරුවලින් බරපතළ වැරදි වසා ගන්නට තැත් කෙරෙන අවස්ථාවල මේ ප්‍රස්තාව පිරුළ පැවසෙනු අසන්නට පිළිවන.

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.