මා පවුලේ වැඩිමලා ය. මල්ලී දෙවැනියා ය. නංගී තෙවැන්නී ය.
අප පොඩි කාලයේ ම පියා මිය ගියේ ය. එතැන් පටන් අපි තිදෙනා මවත් සමඟ අසරණ වීමු.
අප ජීවත් වූයේ වරිච්චි ගේක ය. වහලට පොල් අතු ය. ගෙපිල ගොම මැටි ය.
පියා මිය ගිය අලුත නෑයෝ අපට උදවු කළහ. ටිකිනa් ටික ඒවා හීන වී නැත්තට ම නැති ව ගියේ ය. ඔවුන් ද අප මෙන් ම දුප්පතුන් ව සිටි බැවින් අපට දිගින් දිගට ම උදවු කිරීමේ හැකියාවක් ඔවුනට නොවී ය.
අම්මා හේනේත්, කුඹුරු කෑල්ලේත් වැඩට බැස්සා ය. අප දැක තිබූ ඇගේ රූ සොබාව අව්වට පිච්චී වැස්සට තෙමී ගියේ ය. ඉන් පසු ඇය අප වෙනුවෙන් නැහෙන කෙසඟ ගැහැනියක බවට පත් වූවා ය.
උදේ පාසල් ගිය අපි හවස අම්මා ගේ වැඩට උදවු කළෙමු. අපේ මහන්සිය අපතේ නොගියේ ය. අවුරුද්ද කන්නට වී ටික කුඹුරු කෑල්ලෙනුත්, අල බතල එළවළු පලා ටික හේනෙනුත් ලැබිණ.
ගංවතුර ඇතැම් කන්නයක දී කුඹුරු කෑල්ල පාළු කළේ ය. නියඟය හේන දවා අළු කළේ ය. අපි කුස ගින්නේ සිටියෙමු. අම්මා අප වෙනුවෙන් අනුන්ට අත පෑවා ය.
අම්මා වියපත් ගැහැනියක වන විට අපි හොඳ යෞවනයෝ වීමු. මම දුක උහුලමින් ඉගෙන ගතිමි. මල්ලී ගැරේජ් එකක වැඩට ගියේ ය. ඇතැම් විටෙක මගේ පෞද්ගලික පන්ති ගාස්තු ගෙවුණේ මල්ලී ඉපැයූ දෙයිනි. නංගී ද පාසල් ගමන නවතා අම්මාට තනි රැක්කා ය.
මගේ ඉගෙනීම අහක නොගියේ ය. මම ගුරු පත්වීමක් ලැබ ගතිමි. එදින අම්මා මා බදාගෙන සතුටු කඳුළු වැගිරෙව්වා ය. ඒ වන විට මට වඩා ශක්තිමත්ව සිටි මල්ලී තමා ගේ ම වැඩපළක් පටන් ගෙන තිබිණ.
මල්ලීත්, මමත් එකතු වී අලුත් ගෙයක් හැදීමු. ඉන් පසු අම්මාටත්, නංගීටත් දොරගුළු වැසූ උළු ගෙදරක රැකවරණ ලැබිණ.
වැඩිකල් යන්නට පෙර අපේ සොහොයුරිය දීග දෙන්නට අපට හැකි විය. මනාලයා ගුණ යහපත් කෙනෙකු වීම වාසනාවකි.
කෙමෙන් ව්‍යාපාරික ලෝකයේ ඉහළ නැගි මල්ලීට ප්‍රභූ පවුලකින් විවාහ යෝජනාවක් ආයේ ය. ඔහු ඒ වන විට අපේ ගේ කිට්ටුව ඉඩමක් මිල දී ගෙන දෙමහල් නිවෙසක් තනා තිබිණ.
‘පුතේ, අර කට්ටිය මල්ලිගෙ කසාදෙ ඉක්මන් කරනව. මල්ලි අහනව අයිය ඉන්දැද්දි මං කොහොම ද එකලාසයක් වෙන්නෙ කියල. උඹ හැමදාම ඔහොම ඉන්ඩ ද පුතේ කල්පනාව?’ දිනක් අම්මා රහසින් මගෙන් ඇසුවා ය.
‘මල්ලිට සුදුසු විදිහක් කරගන්ඩ කියන්ඩකො. මට ඔහෙ පස්සෙ බැරියැ’ මම ඇය අස්වැසීමි.
මල්ලී ගේ විවා මඟුල ඉහළින් ම සිදු විය. ඔහු සිය මනාලිය අලුත් ගෙට කැඳවා ගෙනැ'විත් නව දිවිය ඇරඹුවේ ය.
මට මාරුවක් ලැබිණ. එහි තරුණ ගුරුවරියකුත්, මාත් අතර ළෙන්ගතුකමක් ඇති විය. වැඩි කල් නොගොස් අපේ විවාහය ද සිදු විය. ඒ ගෙදර එක ම දරුවා ඇය වූයෙන් මම බින්න බැස්සෙමි.
අම්මා ඉතා සතුටින් මහ ගෙදර විසුවා ය. මල්ලී ඇගේ දුක සැප සොයා බැලුවේ ය. මසකට වරක් නංගීත්, මමත් අම්මා බැලීමට ගියෙමු. මා සමඟ මගේ බිරිය ආවේ කැමැත්තෙනි. නංගී සිය සැමියා කැටුව ආවා ය. අප එහි යන දිනයේ මල්ලී වැඩ නවත්වා සිය බිරිය ද සමඟ මහ ගෙදරට වී සිටියේ ය. අම්මාත්, අප හැමෝමත් ඉහළ ම සතුට වින්දේ මේ යුගයේ දී ය.
වසර කිහිපයක් ගෙවී ගියේ ය. අපි මාපියෝ වීමු. එතැන් පටන් අපි දරු පැටවුන් ද වඩාගෙන අම්මා බැලීමට ගියෙමු. දරුවන් ලොකු මහත් වන තුරු ම මේ සිරිත පැවතිණි.
අම්මා හොඳට ම වියපත් ය. ඒත් ඇය කඩිසර ය. ඇය බලෙන් මෙන් පැමිණ මල්ලී ගේ ගෙදර වැඩපළ කර දී දරුවන් ද බලා ගත්තා ය. අම්මා ගේ පැරණි වැඩ මල්ලී ගේ බිරියට නොගැළපිණ. ඇතැම් විට දෙදෙන නොහොඳ නෝක්කාඩු වූහ. අම්මා ඇය හා උරණ වී මහ ගෙදර ගියා ය. මල්ලී එවැනි ගැටුම් අකා - මකා දමා දෙදෙනා මිතුරු කළේ විහිළු තහළුවෙනි.
දිනක් මල්ලී ගේ දියණිය හඬනු ඇසී අම්මා ඉක්මන් ගමනින් කන්ද බැස මල්ලී ගේ ගේ දෙසට ආවා ය. බොරලු ගොඩේ පා ලිස්සා ගිය ඇය නොසිතූ ලෙස ඇද වැටුණා ය.
අහෝ! අම්මා ගේ උකුල් ඇටය බිඳිණ!
එතැන් පටන් ඇය එක් තැන් වූවා ය.
මල්ලී කළේ ඇය තම නිවෙසෙහි තබා ගෙන උවැටන් කිරීම ය. එහෙත් අම්මා නිතර - නිතර ලේලිය හා රණ්ඩු කර ගත්තා ය. කරදරයේ ඉවරයක් නැති තැන මල්ලී සාකච්ඡාවක් සඳහා අප කැඳෙව්වේ ය.
‘අනේ මාව අපේ ගෙදර අරං පලයං ලොකු පුතේ!’ අම්මා මගේ දෑත බදාගෙන හඬා වැටුණා ය.
අපි ඇය මහ ගෙදරට කැඳවාගෙනැ'විත් උවැටන් කළෙමු. එහෙත් එය දිගින් දිගට ම නොකළ හැකි වූයේ අප අපේ රස්සාවල්වලට යා යුතු බැවිනි. මේ නිසා යළි මල්ලී ගේ ගෙදරට යෑමට අම්මා හිත හදා ගත යුතු විය. මල්ලී බලෙන් ම අම්මා සිය නිවෙසට ඔසවාගෙන ගියේ ය.
අම්මා එක්තැන් වීමේ පළිය ගන්නට මෙන් මල්ලී ගේ බිරිය සමඟ නැවත නැවත ද ගැටුම් ඇති කර ගත්තා ය. මල්ලී ගේ ගෙදර සිනහව කඳුළක් බවට හැර වී තිබිණ.
දිනක් අප එහි යන විට මල්ලී ගේ බිරිය හඬමින් සිය මාපියන් වෙත ආපසු යෑමට සූදානම් වෙමින් සිටි අතර මල්ලී ද හඬමින් අම්මාට කෑ ගසමින් සිටියේ ය.
‘ඇයි අම්මෙ, අපිට සැනසිල්ලෙ ඉන්ඩ දෙන්නෙ නැත්තෙ? අම්මට මොනවැයින් ද අඩු? හැම සැප සම්පතක්ම අපි අම්මට දෙන්නෙ නැද්ද? එහෙම කරලත් අම්ම ඇයි මල්කාන්තිව කන්ඩ හදන්නෙ? ඇයි තමන්ගෙ දුවකුට වාගෙ එයාට සලකන්ඩ බැරි?’
මල්ලිලා ගේ පවුලට තාවකාලිකව හෝ සැනසුමක් දෙනු රිසින් මම අම්මා ඔසවා ගෙන යළිත් අපේ මහ ගෙදරට ගෙන ගියෙමි.
‘මේ වැඩේ හරියන්නෙ නෑ. මං අම්මව අරගෙන යන්නං.’ නංගී එක හඬින් ම කියා සිටියා ය.
එතැන් පටන් අම්මා ජීවත් වූයේ නංගී ගේ ගෙදර ය. නංගී ගේ සැමියා ද දරුවා ද අම්මාට සෙනේවන්ත වූහ.
අම්මා නංගී ගේ ගෙදරට ගිය දා පටන් හැම දෙසතියකට ම වරක් මල්ලීත්, මමත් ඇය බැලීමට ගියෙමු. නංගීට අම්මා ගේ බර නොදැනෙන්නට ඉස්පාසුව සැලසීමු. එතැන් පටන් ඊළඟ වසර හත හෝ අට අම්මා ගත කළේ නංගී සමඟ ය. අවසාන කාලයේ දී අම්මා සිහි විකල්ලෙන් නංගීට දස වධ දුන්නා ය. එහෙත් නංගී ඒ සියල්ල විඳ ගත්තා ය.
අම්මා ගේ අන්තිම හුස්ම යන්නට පෙර අපි ඇය යළිත් මහ ගෙදරට රැගෙන ආවෙමු. මහ ගෙදරට පැමිණ සතියක් ඉක්මවීමට පෙර ඇය මිය ගියා ය.
අම්මා ගේ අවසන් කටයුතු සිදුවන අවස්ථාවේ දී අවමඟුල් සභාව මෙහෙයැ වූ ගමේ ප්‍රභුවරයෙක් මල්ලීත්, මාත් අම්මාට සැලකූ ආකාරය වර්ණනා කරන්නට වූයේ ය. ඒ අසා නංගී ගේ මුහුණ මැළවෙනු දුටු මට මහත් ශෝකයක් දැනිණ.
වැරැද්ද වහාම නිවැරදි කළ යුතු බව මම මල්ලීට කීමි. ඒ පිළිගත් මල්ලී අර ප්‍රභුවරයාගේ කතාව අවසන් වන විට ම පුංචි කතාවක් කළේ ය.
ඒ මෙබඳු ය.
‘සංවේගයට පත් ඥාති මිත්‍රාදීනි, අම්මගෙ මිනිය උස්සන්ඩ කලින් මං මේ ටික කියන්ඩ ඕනෑ. අපිට පුළුවන් උපරීම ආකාරයෙන් යුතුකම් ඉෂ්ට කෙරුව. ඒක අපේ අම්ම ඇවිදගෙන ගිය මේ මහ පොළොව දන්නව. මේ ගහකොළ දන්නව. හැබැයි මේ මහ පොළොවත්, මේ ගහකොළත් නොදන්න දෙයක් තියනව. පහුගිය අවුරුදු හතක් අටක් තිස්සෙ අයියත් නෙමේ, මාත් නෙමේ අපේ රත්තරං නංගියි, එයාගෙ මහත්තයයි, එයාගෙ දුවයි තමයි අපේ අම්මව බලා ගත්තෙ. ඒක මං මේ වෙලාවෙ කිව්වෙ නැත්තං මං අපාගත වෙනව. ඒ හින්ද ඒ තුන් දෙනාට මං මේ වෙලාවෙ පින් දෙනව. මේ සංසාරෙ මතු මතුත් අපේ අම්ම අපේ අම්ම ම වෙන්ඩ කියලත් අපේ සහෝදරී අපේ සහෝදරී ම වෙන්ඩ කියලත් මායි, අයියයි ප්‍රාර්ථනා කරනව.’
මේ කතාවෙන් විස්මයට පත් අය හෙමිහිට සාදුකාර දෙනු ඇසිණ.
අනන්‍යතාව සඟවා සිටීමට කැමති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.
http://www.silumina.lk/2014/08/03/_art.asp?fn=as14080311