Thursday, January 9, 2014

මනමේ නාටකය, සංස්‌කෘතික ඉතිහාසය හා සංස්‌කෘතික විචාරය

මනමේ නාටකය, සංස්‌කෘතික ඉතිහාසය හා සංස්‌කෘතික විචාරය

ලියනගේ අමරකීර්ති

මනමේ ප්‍රත්‍යාවලෝකනය නමින් ප්‍රයෝජනවත් කරුණු සහිත ග්‍රන්ථයක්‌ මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සහ පී. බී. ගලහිටියාව යන වියතුන් විසින් සංස්‌කරණය කෙරිණ. මනමේ නම් කලා කෘතියේ පමණක්‌ නොව එම සංස්‌කෘතික වස්‌තුවේ වැදගත්කම වටහා ගැනීමේදී ප්‍රයෝජනවත් වන ලිපි එකතුවක්‌ එහි වෙයි. මනමේ වැනි විශිෂ්ට කලා කෘති හුදෙක්‌ කලා කෘති පමණක්‌ නොව සිංහල සංස්‌කෘතික ඉතිහාසයේ ස්‌ථම්භකයන් වන සංස්‌කෘතික වස්‌තුද වෙයි. මෙම රචනය එම මනමේ ප්‍රත්‍යාවලෝකනය කෘතිය දොරට වැඩිදා මා කළ දේශනය ඇසුරින් සැකසුණකි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ මනමේ නාටකය පිළිබඳ ප්‍රත්‍යවලෝකනයක යෙදෙන විට ප්‍රවේශ කිහිපයක්‌ ගත හැකිය. මෙහිදී මා ගන්නේ සංස්‌කෘතික විචාරකයාගේ ප්‍රවේශයයි. මනමේ නම් සංස්‌කෘතික වස්‌තුව විසි එක්‌ වැනි සිය වස සඳහා අලුතින් වටහා ගන්නේ කෙසේද? එහි එන තේමාත්මක හරයත්, ඒ කෘතිය නිර්මාණය වූ ඓතිහාසික පසුබිමත් ඇසුරින් වර්තමානයේ අපට ඉගෙනගැනීමට ඇති දේ මොනවාද යන ප්‍රශ්න අප විසින් අලුතින් සිතා බැලිය යුතුය.

මනමේ නාට්‍ය ඇතුළු සරච්චන්ද්‍රගේ නාට්‍ය කලාව ගැන කතා කරන විට බොහෝ දෙනෙක්‌ එහි භාෂා විශිෂ්ටතාව ආදිය ගැන කතා කරති. මෑත ඉතිහාසයේ අපට සිටි වදනිසුරු බවින් අගතැන්පත් ලේඛකයෙකු වන ඔහුගේ කලාව ගැන කතා කරන විට ඔහුගේ කවීත්වය ගැන කතා නොකර බැරිය. එහෙත් මේ රචනයේදී මා ඒ අංශය ගැන කතා කරන්නේ මඳ වශයෙනි. සිංහල කාව්‍ය සම්ප්‍රදාය නම් කෘතියේදී ගුණදාස අමරසේකර විසින් සරච්චන්ද්‍ර හැඳින්වෙන්නේ විසි වැනි සියවසේ සිටි විශිෂ්ටතම කවියෙකු වශයෙනි. එය ඒත්තු යන තර්කයකි. කිසිම කවි පොතක්‌ නොලියූ සරච්චන්ද්‍රයන්ට විශිෂ්ට කවියෙකු වන අමරසේකර විසින් පිදෙන එම ගෞරවය අප විසින්ද පුදනු ලැබිය යුතුය. එහිලා මෙම රචනයේදී මම තරමක්‌ වෙනස්‌ ප්‍රවේශයක්‌ ගනිමි.

සංස්‌කෘතිය හා කලාව

ඕනෑම යුගයක විශිෂ්ට කලාව ඒ කෘතිය පහළ වන සංස්‌කෘතිය සම්බන්ධයෙන් ප්‍රවේශ දෙකක්‌ ගත යුතුය. එකක්‌ නම් සංස්‌කෘතික සංරක්‌ෂණයයි. අනෙක සංස්‌කෘතික සංස්‌කරණයයි. මනමේ නාටකය මේ කාරණය සම්බන්ධයෙන් විශිෂ්ට නිදර්ශනයකි.

එය සංස්‌කෘතික සංරක්‌ෂණය කරන්නේ කෙසේද? එය ආකාර කිහිපයකින් සිදු වේ. මනමේ නාටකයකට විෂය වන්නේ ජාතක කතාවකි. එය චුල්ලධනුද්ධර ජාතකය නම් වේ. එමගින් සරච්චන්ද්‍ර ජාතක කතාව නම් සංස්‌කෘතික උරුමය සංරක්‌ෂණය කරයි. එනම් ජාතක කතාව විසිවැනි සියවස කරා ගෙනැවිත් ඊට නව අදාළත්වයක්‌ ලබා දෙයි. ජාතක කතාව අලුත් යුගයක්‌ වෙත කතා කරවයි. ජාතක කතාව නම් ශානරය (genre) තුළ අඩංගු වන අර්ථමය හා ආඛ්‍යානමය විභවතා අලුත් පරම්පරාවක්‌ වෙත විවෘත කරයි. එමගින් අපේ සංස්‌කෘතියේ වැදගත් උරුමයක්‌ වන ජාතක සාහිත්‍යය සංසරක්‌ෂණය කරයි. විශිෂ්ට කවියෙකු වන සරච්චන්ද්‍ර සිය නාට්‍ය සඳහා ජාතක කතා පදනම් කර නොගත්තේ යෑයි මොහොතකට සිතන්න. එසේ වී නම් ජාතක කතාව නම් සාහිත්‍යයට අපේ නූතන සාහිත්‍ය ඉතිහාසය තුළ හිමි වන වැදගත්කම කෙසේ වෙනු ඇද්ද? මට නම් සිතෙන්නේ සරච්චන්ද්‍ර නිසා සිංහල ජාතක කතාවට නව වැදගත්කමක්‌ ලැබුණ බවයි. යම් පැරණි යුගයකට සාහිත්‍ය ශානරයකට නව යුගයකදී නව වැදගත්කමක්‌ ලැබීමට නම් ඒ අලුත් යුගයේ සිටින විශිෂ්ටතම කලාකරුවන් ඒ පැරණි ශානරය උරුම කර ගත යුතුය. සිංහල ජාතක කතාවට සරච්චන්ද්‍ර වෙසින් මුණ ගැසෙන්නේ විසි වෙනි සියවසේ විශිෂ්ටතම සාහිත්‍යකරුවෙකි. ඒ අතින් සරච්චන්ද්‍ර ජාතක කතාවට කළ මෙහෙය සදාතනික එකකි.

කෝට්‌ටේ කවි බස

ජාතක කතාවට අමතරව සරච්චන්ද්‍ර විසින් සිංහලයේ එක කාව්‍ය භාෂා ධාරාවකටද විසි වැනි සියවසේදී නව අදාළත්වයක්‌ දෙයි. ශ්‍රී රාහුල හිමියන්ගේ කවි බස හා කවි යෙදුම් එහෙම පිටින්ම පාහේ සරච්චන්ද්‍රගේ නාට්‍යවල එන බව ප්‍රකට කරුණකි. සැලළිහිණියේ එන ඇතැම් යෙදුම් (ලප නොමවන් සඳ") මනමේ නාටකයෙහි එලෙසින්ම දැකිය හැකිය. ශ්‍රී රාහුල හිමිගේ වචන පමණක්‌ නොව රූපකාර්ථවත් යෙදුම්ද සරච්චන්ද්‍ර අලුත් අර්ථදීම සඳහා භාවිත කරයි. එමගින් ඔහු කෝට්‌ටේ යුගයේ කවි බසට විසි වැනි සියවසේදී නව අදාළත්වයක්‌ දෙයි. මේ වූකලී සංස්‌කෘතික සංරක්‌ෂණයකි. විශිෂ්ට කලාකරුවන් සංස්‌කෘතිය රකින්නේ නව සංස්‌කෘතියක්‌ නිර්මාණයේලා පැරණි සංස්‌කෘතික උරුමය භාවිතයෙනි. එමගින් අර සංස්‌කෘතික උරුමයට නව මුවහතක්‌ද ලැබේ.

එසේම "නාඩගම" නම් ගැමි නාටක විශේෂයද සරච්චන්ද්‍ර ඉතා නිර්මාණශීලී ලෙස විසි වෙනි සියවස කරා ගෙන එයි. එමගින් නාඩගම නම් නාට්‍ය විශේෂයද නාඩගම් සංගීතයද අපේ යුගය වෙත එයි. ශ්‍රී රාහුල හිමිගේ කවි බසත් ගැමි නාටක විශේෂයක්‌ වන නාඩගමත් විසි වෙනි සියවසේදී විශිෂ්ට කලාවක්‌ නිර්මාණයට දායක කරගන්නා නිසා සරච්චන්ද්‍ර අතින් විදග්ධ සාහිත්‍ය සම්ප්‍රදාය සේම ජනකලා සම්ප්‍රදායත් විසි වෙනි සියවසේදී සංරක්‌ෂණය වේ. මේ වූකලි කලාකරුවෙකුට තමන්ගේ සංස්‌කෘතිය සම්බන්ධයෙන් දැක්‌විය හැකි හොඳම ප්‍රතිචාරයයි.

සංස්‌කෘතික සංස්‌කරණය

විශිෂ්ට කලාව ඒ කලාව බිහි වන සංස්‌කෘතිය සංස්‌කරණය කරන්නටද දායක වේ. එය සිදුවන්නේ කෙසේද? මනමේ නාටකයට ජාතක කතාවක්‌ විෂය කරගත්තද සරච්චන්ද්‍ර ඒ ජාතක කතාවේ හරයෙහි එන එක වැදගත් අංගයක්‌ ප්‍රශ්න කරයි. ජාතක කතාව වූකලි ස්‌ත්‍රිය යනු ස්‌වභාවයෙන්ම පාපයට නැඹුරු කෙනෙකිය යන දෘෂ්ටිවාදය දරන්නකි. සරච්චන්ද්‍රයෝ මේ දෘෂ්ටිවාදය ප්‍රතික්‌ෂේප කරති. මනමේ නාටකයේ එන හැටියට මනමේ කුමරිය වැද්දා ඝාතනය කිsරීමට කඩුව නොදෙන්නේ ඇය වැද්දා කෙරෙහි ලිංගික ආකර්ෂණයකින් යුක්‌ත වන නිසා නොවේ. ඇය කරන්නේ ආචාරධාර්මික තර්කනයකි. හොඳ-නරක විනිශ්චයකි. තම ගෝලයන් ලවා මනමේ කුමරා පහසුවෙන්ම ඝාතනය කර දමන්නට හැකියාව තිබියදී වැදි නායකයා තනියම සටනට එළඹුණේ යුද වැදීම හා සටන් කලාව පිළිබඳ නිශ්චිත ආචාරධර්ම පද්ධතියක ඔහු පිහිටා සිටින හෙයිනි. ඔහු සතුරා අත්අඩංගුවට ගෙන වධදී මරා නොදමයි. ඒ නිසා ඔහු ශිෂ්ට නායකයෙකි. වනාන්තරයේ සිටියත් ඔහු රකින මේ ආචාරධර්ම පද්ධතිය මනමේ කුමරියගේ ප්‍රසාදයට හේතු වේ. ඇය සිය සැමියාට පෙන්වා දෙන්නට තැත් කරන්නේ වැද්දාගේ ආචාරධාර්මික බවයිs.

එහෙත් ස්‌ත්‍රිය යනු පිරිමි දෘෂ්ටිවාදයම පුනරුච්චාරණය කරන කෙනෙකු මිස තමාගේම ස්‌වාධීනත්වය හා ස්‌වච්ඡන්දතාව ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති කෙනෙකු හැටියට මනමේ කුමරාට නොපෙනේ. ඔහු හැදී වැඩී ඇති දෘෂ්ටිවාදී ලෝකයත් ඔහු විසින් අන්තරීකරණය කරගෙන ඇති දෘෂ්ටිවාදත් නිසා මනමේ කුමරාට කුමරියගේ ප්‍රකාශය ආචාරධාර්මික තර්කනයක්‌ ලෙස වටහා ගත නොහැකිය. ඔහුට එහිලා ඇති එකම විවරණය ස්‌ත්‍රිය ස්‌වභාවයෙන්ම චපලය යන ගතානුගතික තර්කනය පමණය. මනෙම කුමරා පමණක්‌ නොව විසි වෙනි සියවසේ මැද ලංකාවේ විසූ පිරිමින් වැඩිදෙනෙකුද මෙවැනි දෘෂ්ටිවාදය අඩුවැඩි වශයෙන් අන්තරීකරණය කරගෙන සිටියේ යෑයි අනුමාන කළ හැකිය. ලෝක ස්‌ත්‍රීවාදී ව්‍යාපාරය නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජවලට කරන ලද යහපත් එකතු කිරීම් අනන්තය. ඒවා නොදන්නා අල්පශ්‍රැතයෝ ස්‌ත්‍රීවාදය යන වචනයට පවා ගරහති. ඒ නිසා සරච්චන්ද්‍ර සිය මනමේ කුමරිය පිරිමියාගේ ඕනෑම දෘෂ්ටිවාදයක සුවච කීකරු සේවිකාවක නොකර තමාගේම වූ අදහස්‌ දරන්නියක බවට පත් කිරීම ප්‍රගතිශීලී කාර්යයකි. සරච්චන්ද්‍රගේ මනමේ කුමාරිය යනු කාරක ශක්‌තිය ඇත්තියකි. ඇය තමාම ක්‍රියා කරන්නියකි. බලගතු පිරිමින් අනුකරණය කරන්නියක නොවේ. තමාගේම ස්‌වච්ඡන්දතාව ක්‍රියාවට නගන්නියකි.

තම සංස්‌කෘතියෙන් ගත් ජාතක කතාවේ අන්තර්ගත ගතානුගතික දෘෂ්ටිවාදය මෙසේ ප්‍රශ්න කිරීම ඒ සංස්‌කෘතිය සංස්‌කරණය කිරීමකි. සංස්‌කෘතිය යනු එසේ සංස්‌කරණයෙන් වැඩෙන්නකි. යම් යුගයක විශිෂ්ට කලාකරුවෝ ඒ සංස්‌කෘතික සංස්‌කරණයට හෙවත් සංස්‌කෘතිය අලුතින් නිර්මාණයට දායක වෙති. විශිෂ්ට කලාව සංස්‌කෘතික සංරක්‌ෂණය සහ සංස්‌කෘතික සංස්‌කරණය යන කාර්යන් දෙකම එකවර කරයි. මෙකල ප්‍රධාන ධාරාවේ කලාකරුවන් කරන්නේ සංස්‌කෘතිය යෑයි තමන් හඳුනාගන්නා දේ සංරක්‌ෂණය පමණය. ඒ අය සරච්චන්ද්‍රගේ කලාවෙන් උගත යුතු වැදගත්ම පාඩම නූගත් චූල කලාකරුවෝ වෙති.

ස්‌ත්‍රිය සහ ද්‍රව්‍යකරණය

විසි වැනි සියවසේ මුලදී ලංකාවේ ලියවෙන හා නිෂ්පාදනය වන මනමේ නාටකය ස්‌ත්‍රිය සහ නූතන සමාජය පිළිබඳ ලෝක ව්‍යාප්ත නූතන කතිකාවෙන් ආභාසය ලැබූ බව අපට පෙනේ. ජාතක කතාව නාට්‍යයක්‌ බවට පත් කිරීමේදී සරච්ච්න්ද්‍ර ලිබරල් මානවවාදී චින්තනයෙන් ආභාසය ලැබූ බව පෙනේ. එය න්‍යායිකව මානවවාදී දර්ශනයෙන් ආභාසය ලැබීමක්‌ද එකල ප්‍රකටව පැවැති ලෝක කලාව ඔස්‌සේ ඔහු වෙත සම්ප්‍රේෂණය වූ අවබෝධයක්‌ද යන්න නිශ්චිතව කිව නොහැකිය. එහෙත් ස්‌ත්‍රිය සහ නූතනත්වය පිළිබඳ හෙන්රික්‌ ඉබ්සන් වැනි නාට්‍යකරුවන් කළ නිර්මාණද යුරෝපීය විශිෂ්ට නවකතාවද ඔස්‌සේ සරච්චන්ද්‍ර මේ චින්තනය උරා ගත්තේය. ඉබ්සන්ගේ සෙල්ලම් ගෙයහි නෝරාත් මනමේ කුමරියත් යනු එකම අන්දමේ නූතන සංවේදීතා ප්‍රකාශ කරන සාහිත්යික සහෝදරියෝ වෙති. ඇනා කැරනිනා, එමා බොවාරි ආදී ප්‍රකට ප්‍රබන්ධ චරිතයෝ මනමේ කුමරියගේ ඥාති සහෝදරියෝ වෙති. නැතෑනියෙල් හෝර්තෝන්ගේ 'ස්‌කාලට්‌ ලෙටර්' නවකතාවේ හෙස්‌ටර් ප්‍රයින්, සෝරා නීල් හර්ස්‌ටන්ගේ 'දෙයා අයිස්‌ වර් වොචින් ගොඩ්' නවකතාවේ ජැනී ක්‍රෝෙෆdaර්ඩ්, හාපර් ලීගේ 'ටු කිල් අ මොකින් බර්ඩ්' නවකතාවේ ස්‌කවුට්‌ වැනි ප්‍රබන්ධමය ස්‌ත්‍රී චරිතද මනමේ කුමරියගේම ඥාති සහෝදරියෝ හෝ ගමන් සගයෝ වෙතියි මට සිතේ.

ස්‌ත්‍රිය පිරිමි දෘෂ්ටිවාද ඉදිරියේ හුදු ද්‍රව්‍යයක්‌ සේ මිස මනුෂ්‍යයෙකු නොවන සේ සැලකීම ද්‍රව්‍යකරණය යෑයි හඳුන්වමු. ස්‌ත්‍රිය ද්‍රව්‍යකරණය වන සැටි නොඑසේ නම් කාරක ශක්‌තියක්‌ නැති කෙනෙකු සේ සලකනු ලබන සැටි මනමේ නාටකයේ පිරිමි චරිත සියල්ලම මනමේ කුමරියට සලකන සැටියෙන් අඩු වැඩි වශයෙන් පෙනේ. එය වඩාත් අශිෂ්ට ලෙස පෙනෙන්නේ වැදි රජු කියන කියමනකිනි. "තාගේ අඹුව මෙහි නවත්වා වහා මෙතනින් යන්නට සැරසෙව"යි ඔහු කියයි. ස්‌ත්‍රිය යනු ඇය යම් මොහොතක සිටින රාජ්‍යයට හෝ එහි නායකයාට අයිති වස්‌තුවකියි යන අදහස ඉන් ප්‍රකාශ වේ. අවසරයෙන් හෝ අනවසරයෙන් සිය සැමියා සමග වැදි රජුගේ අඩවියට ඇතුළු වන ඇය ඒ නිසාම තමාට අයිතිවේය යන්න පිළිබඳ වැදිරජුට කිසිම සැකයක්‌ නැත. වැදි රජුගේ මේ පුරුෂෝත්තමවාදය අනික්‌ පිරිමින් තුළත් හීලෑ කරන ලද හා අලංකාර කරන ලද ස්‌වරූපයෙන් නොපවතී යෑයි කිව හැකිද?

මනමේ නිර්මාණය වූ සංදර්භය හා එහි ඓතිහාසිකත්වය

යම් සංස්‌කෘතියක විශිෂ්ට කලාකෘති අලුත් පරම්පරවාක්‌ විසින් උරුම කරගනු ලබද්දී ඒ කෘති බිහි වූ ඓතිහාසික සංදර්භය හා ඒ ආශ්‍රිත කතිකාවන් ගැන ඉතිහාසය හැදෑරිය යුතුය. මනමේ ඇතුළු සරච්චන්ද්‍ර කලාව මෙරට පනස්‌ හයේ දරුවන්ට විශාල සංස්‌කෘතික ප්‍රාග්ධනයක්‌ සැපයූ බව නොරහසකි. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ස්‌වභාෂා අධ්‍යාපනය ලබමින් හැදුණු වැඩුණු මධ්‍යම පන්තියට විදග්ධ කලා උරුමයක්‌ ගොඩ නගා දීම සරච්චන්ද්‍ර ඇතුළු මුල් යුගයේ කලාකරුවන් අතින් කෙරුණු විශිෂ්ට සේවයකි. ඒ අලුත් පන්තිය සංස්‌කෘතිකමය වශයෙන් බලගැන්වීම අත්‍යවශ්‍ය දෙයක්‌ද විය. මේ නිසාම මනමේ නාටකය සැලකෙන්නේ නූතන සිංහල-බෞද්ධ ජාතිකවාදයේ සංකේතයක්‌ ලෙසය. මධ්‍යම පාන්තික සිංහලයා මනමේ වැනි නාට්‍ය නිසා ලබන ජාතික ආඩම්බරය හා ස්‌වෝත්තම හැ`ගීම විවිධ අවස්‌ථාවලදී ප්‍රකාශයට පත් වේ.

එහෙත් මනමේ බිහිවූයේ එවැනි පටු ජාතිකවාදී පසුබිමකින් නොවේ. සරච්චන්ද්‍ර යනු ලෝකය වෙත ඇස්‌ ඇරුණු මිනිසෙකි. සැබවින්ම ද්විභාෂික උගතෙකු වූ ඔහු පෞද්ගලික ජීවිතයේදීත් ශාස්‌ත්‍රීය ජීවිතයේදී සර්වභෞමික ජීවිතයක්‌ ගෙවූ කෙනෙකි. ඔහුගේ කාලයේ විශ්ව සාහිත්‍ය හා න්‍යායික ප්‍රවණතා ගැන ඔහු අවධානයෙන් උන්නේය. ඔහුගේ මුල් කාලීන සාහිත්‍ය න්‍යායික අදහස්‌ ඇමරිකානු නව විචාරකයන්ට හෙවත් නිව් ක්‍රිටික්‌ස්‌ ගුරුකුලයට නෑකම් කියන බව මහාචාර්ය රංජනී ඔබේසේකර සිය ආචාර්ය උපාධි නිබන්ධනයෙන් පෙන්වා දුන්නාය. නව විචාරකයන්ගේ අදහස්‌ද පෙරදිග සාහිත්‍ය න්‍යාය සමග මිශ්‍ර කොට නූතන සාහිත්‍ය විද්‍යාවක්‌ නිර්මාණය කිරීමට සරච්චන්ද්‍ර සමත් වූ බව ඔබේසේකර මහත්මිය පෙන්වා දෙයි. එය නිවැරැදි නිගමනයක්‌ බව අදටත් කෙනෙකුට පරීක්‌ෂා කළ හැකිය.

එපමණක්‌ නොව මනමේ නාට්‍ය නිර්මාණය කරන කාලයේදී පවා ලයනල් වෙන්ඩ් වැනි විදග්ධ වූද විශ්ව කලාව සමග ගනුදෙනු කළා වූද උගත්තු සරච්චන්ද්‍ර ඇසුරු කළෝය. නාට්‍ය හැදෑරීම පිණිස ඇමරිකාව සහ ජපානය ඇතුළු රටවල සංචාරයට රොකෙෆලර් ශිෂ්‍යත්වයක්‌ ලැබුණේද එහි ඵලයක්‌ වශයෙනි. මේ විස්‌තර 'පිං ඇති සරසවි වරමක්‌ දෙන්නේ' කෘතියෙහි දැකිය හැකිය. එසේම ලංකා විශ්වවිද්‍යාලයේදී ලින් ලුඩොවයික්‌ වැනි ඉංග්‍රීසි මහාචාර්යවරුන්ගේ ඇසුරද සරච්චන්ද්‍රගේ චින්තනය පෝෂණය කළේය. පේරාදෙණියේ සිට නාට්‍යකරණයේ යෙදෙන විට ඔහු ඇසුරු කළ ආචාර්ය සිරි ගුණසිංහ වැනි අය පටු ජාතිකවාදියෝ නොවූහ. ඔහු යුරෝපීය නූතනවාදී සාහිත්‍ය කතිකාව මැනවින් වටහා ගත් කෙනෙකි. එසේම මනමේ නාට්‍යයෙහි අගය මුලින්ම දැක ඉංග්‍රීසි බසින් එය අගය කළ රෙජී සිරිවර්ධනද පටු ළිං මැඩි චින්තකයෙක්‌ නොවේ. ඔහු විශ්වීය චින්තකයෙකි. එමපණක්‌ නොව මනමේ මුල් නිෂ්පාදනයට හවුල් වූ සරසවි ශිෂ්‍ය පිරිස පවා පේරාදෙණියෙහි උගත්තත් ලෝක පුරවැසියන් සේ සිතන්නට ශක්‌තිය හා පසුබිම ඇති පිරිසක්‌ වූහ. මනමේ ප්‍රත්‍යාවලෝකනය කෘතියට ලිපි සපයන බොහෝ අයද විශ්වීය මිනිස්‌ ජීවිතයක්‌ වෙත පේරාදෙණියේදීම ඇස්‌ ඇරුණු අය වෙති.

අනෙක්‌ අතට නාඩගම යන ගැමි නාටක විශේෂය දකුණු ඉන්දියාව දක්‌වා සංස්‌කෘතික මුල් ඇත්තකි. එසේම මනමේ නාට්‍ය මත රෂෝමාන් චිත්‍රපටයේ හෙවනැල්ල නොමැකිය හැකි සේ වැටී ඇත. ඒ නිසා මනමේ නාට්‍ය අප විසින් වටහා ගත යුත්තේ පටු ජාතිකවාදී ලෝකයකින් මතු වූවක්‌ නොව ලෝකයේ විවිධ දේශවලට සංස්‌කෘතික නහර විහිදුණු නිර්මාණයක්‌ ලෙසය. ඒ නිසා මනමේ උරුම කරගන්නා අලුත් පරම්පරාවක්‌, විශේෂයෙන් විසි එක්‌ වැනි සියවසේ පරම්පරාවක්‌ මේ වටිනා සංස්‌කෘතික වස්‌තුව වටහා ගත යුත්තේ සර්වභෞමික (cosmopolitan) චින්තනයකින් යුතු කලාකරුවෙකුගේ නිර්මාණයක්‌ ලෙසය. එය එසේ නොදකින පටු ජාතිකවාදියෝ ඒ විශිෂ්ට කලාකෘතියට කරන්නේ දරුණු හිංසනයකි.

බුද්ධිමය ඉතිහාසය සහ මනමේ නම් නාටකය

මනමේ වැනි සංස්‌කෘතික නිෂ්පාදනයක නියම ඉතිහාසය නිවැරැදිව වටහා ගැනීමට අලුත් පරම්පරාවට අවකාශ නැත්තේ අපට බුද්ධිමය ඉතිහාසය (intellectual history) නිවැරැදිව හදාරන්න අවකාශ නැති නිසාද විය හැකිය. ලෝකයේ දියුණු විශ්වවිද්‍යාලවල බුද්ධිමය ඉතිහාසය නම් විෂයයක්‌ ඇත. ඉන් අධ්‍යයනය කෙරෙන්නේ යම් යම් අදහස්‌ එක්‌ සංස්‌කෘතියකින් තව සංස්‌කෘතියකට ගමන් කොට ඒ දෙවැනි සංස්‌කෘතියෙහි බලපෑම් සහගත වෙනස්‌කම් ඇති කරන ආකාරය පිළිබඳවය. සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිවශයෙන් දැකිය හැකි දේශපාලන හෝ ආර්ථික ඉතිහාසයන්ය.
ඒවාද බොහෝ විට රාජ්‍ය කේන්ද්‍රකරගත් ඒවාය. බුද්ධිමය ඉතිහාසය හැදෑරීමේදී හුදෙක්‌ රාජ්‍ය හෝ දේශපාලන බලකේන්ද්‍ර ගැන අවධානය යොමු කිරිම අවශ්‍ය නොවේ. සාමාන්‍ය මිනිස්‌සුද සංස්‌කෘතියෙන් සංස්‌කෘතියට අදහස්‌ රැගෙන යති. අපට නිදහස්‌ පද්‍ය පිළිබඳ අදහස රැගෙන ආවේ නිල ශාස්‌ත්‍රාලය අසලකවත් නොසිටි ජී. බී. සේනානායකය. මනමේ වැනි සංස්‌කෘතික වස්‌තු අධ්‍යයනයේ අප එළඹිය යුත්තේ බුද්ධිමය ඉතිහාසය ගවේෂණය කරන්නාගේ ප්‍රවේශයෙනි. සරච්චන්ද්‍ර ලංකාවට කළ සේවය නියම වශයෙන් වටහා ගත හැක්‌කේද එවන් ප්‍රවේශයකිනි.

බුද්ධිමය ඉතිහාසය පිළිබඳ සිත්ගන්නා නිදර්ශනයක්‌ අහිංසාවාදී දේශලපාලන ක්‍රියාකාරිත්වය ඇසුරින් අපට වටහා ගත හැකිය. අහිංසාවාදය යන්න ඉන්දියාවට සම්බන්ධ අදහසක්‌ වුවද පසු කලෙක මහත්මා යනුවෙන් හැඳින්වෙන ගාන්ධි අහිංසාවාදය දේශපාලන භාවිතයක්‌ බවට පෙරලීමට ආභාසය ලැබුවේ මහා රුසියානු ලේඛක ලියෝ ටොල්ස්‌ටෝයි ගෙනි. ගාන්ධි ගැටවරයෙකු කල ටොල්ස්‌ටෝයි සමග ලියුම්ද හුවමාරු කර ගත්තේය. අහිංසාවාදය දේශපාලනිකව භාවිත කිරීම මගින් ගාන්ධි ලෝක පරිමාණව බලපෑම් සහගත ක්‍රියාවක යෙදුණේය. ඔහුගේ ඒ ක්‍රියාවෙන් සහා ගාන්ධියේ බුද්ධිමය ව්‍යායාමයෙන් ඇමරිකාවේ විසූ කළු ජාතික තරුණයෙකු ආභාසය ලැබුවේය. ඒ ක්‍රිස්‌තියානු පූජකවරයෙකු වූ මාටින් ලූතර් කිංග්ය. ටොල්ස්‌ටෝයිගෙන් ගාන්ධිටත් ගාන්ධිගෙන් ලූතර් කිංග්ටත් ගමන් කළ බුද්ධිමය උරුමය වර්තමාන ලෝකයේ විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේත් ප්‍රබලම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේත් කළ වෙනස්‌කම් පුදුම සහගතය. බුද්ධිමය ඉතිහාස අධ්‍යයනය මගින් ගවේෂණය කෙරෙන්නේ මිනිස්‌ බුද්ධිමය ව්‍යායමයන්ගේ එවැනි ප්‍රතිඵලය. සරච්චන්ද්‍රගේ නාට්‍ය කලාව අලුත් පරම්පරාවක්‌ විසින් හදාරනු ලැබීය යුත්තේද එසේය.

එවැනි හැදෑරීමක්‌ මගින් සරච්චන්ද්‍ර නම් විශිෂ්ට කලාකරුවා නිවැරැදිව වටහා ගන්නට අපට හැකියාව ලැබෙන්නේය. ඕනෑම සංස්‌කෘතියක විශිෂ්ට කලාව බිහිවන්නේ ලෝකයේ විවිධ ස්‌ථානවල ඇති මිනිස්‌ සංස්‌කෘතික විශිෂ්ටතාව වෙත විවෘත මනසින්ද සමබර මනසින්ද බලන්නට හැකියාව ඇති කලාකරුවන් අතිනි. ලෝකයේ ඇති හොඳම දේ හෝ පැරණිම දේ හෝ අප වෙත ඇතැයි සිතාගෙන තමාගේම සංස්‌කෘතිය තුළ හිර වී දෑස්‌ වසා ගත්තවුන්ට විශිෂ්ට කලාව නිර්මාණය කළ නොහැකි බව සරච්චන්ද්‍ර අපට කියාදුන් විශිෂ්ටම පාඩමයි. එය සරච්චන්ද්‍රගෙන් අප වෙත පිදෙන වැදගත්ම උරුමයයි. ඒ උරුමය අත්පත් කරගෙන අනාගතය වෙත රැගෙන යමු.

( මෙම ලිපිය තරමක්‌ වෙනස්‌ ස්‌වරූපයකින් ජාතික පුස්‌තකාල සේවා මණ්‌ඩලයෙන් පළ කෙරෙන ප්‍රලේඛා ස`ගරාවෙහිද පළ විය)

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.