Wednesday, January 8, 2014

මම හුණුවටයේ කතාව හැදුවෙ යුද්ධයෙන් බැට කාපු සමාජයකට

මම හුණුවටයේ කතාව හැදුවෙ යුද්ධයෙන් බැට කාපු සමාජයකට

පරාක්‍රම නිරිඇල්ල
ජනකරළිය නාට්‍ය කණ්ඩායමේ ශිල්පීන් සහභාගී කර ගනිමින් හෙන්රි ජයසේනයන්ගේ පරිවර්තනය ඇසුරෙන් පරාක්‍රම නිරිඇල්ල නිර්මාණය කළ ‘හුණුවටයේ කතාව’ නව නිෂ්පාදනය මෙම කේරල අන්තර්ජාතික නාට්‍ය උලෙළේ රඟදැක්වීමට තෝරාගෙන ඇත. හෙන්රි ජයසේනයන්ගේ නිෂ්පාදනයට වඩා වෙනස් ආකාරයකට නිර්මාණය කර ඇති ‘හුණුවටයේ කතාව’ ජනකරළිය නිෂ්පාදනය, කේරල සංචාරයට පෙර මෙම දෙසැම්බර් මස 29 වැනි ඉරිදා රාජගිරිය ජනාධිපති විද්‍යාලීය රංග ශාලාවේදී රංගගත කෙරේ.
ඔබ මෙය හඳුන්වන්නේ ‘හුණුවටයේ කතාව නව නිෂ්පාදනය’ ලෙසින්...
ඔව්. හෙන්රි ජයසේනයන්ගේ හුණුවටය මුල් කෘතිය අධ්‍යයනය කරලා තිර පිටපතේ යම් වර්ධනයක් කළා. නිෂ්පාදන විධික්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කළා. ඒක හෙන්රිගෙ ක්‍රමයට වඩා වෙනස්. අනික 1967 වසරේ ඔහු හුණුවටය කරද්දි යුද්ධය පිළිබඳ අංශු මාත්‍රයකවත් අදහසක් ශ්‍රී ලාංකේය සමාජයට දැනුණේ නැහැ. ඒ, ඒ වන විට යුදමය වාතාවරණයක් මෙරට නොතිබූ නිසා. ඒ නිසා නාට්‍යයේ කතාවයි ඉස්මතු වු‍ෙණ්. එය වරදක් නෙවෙයි.
60 දශකයේ නිර්මාණකරුවන් ශෛලිගත සම්ප්‍රදායෙන් මිදෙන්න නව මානයක් සොයමින් ඉන්න වකවානුවකයි හෙන්රි ජයසේනයන් හුණුවටය ඉදිරිපත් ක‍ළේ.
අනික පොතේ ගුරෙක්, වාද්‍ය, ගායන වෘන්දයක් මඟින් තමයි යුද්ධය පිළිබඳ වුවත් බොහෝ දේ කියැවුණේ. අද වන විට යුද්ධය අපිට අලුත් නැහැ. එය අපේ අත්දැකීමක් වී හමාරයි. ඔය කාරණය හිතට ආවේ එක දවසක.
කවදද ඒ දවස...?
ගිවිසුමක් මඟින් හෙන්රි ජයසේනයන්ගෙන් හුණුවටය ලබාගත් පසු ජනකරළිය අනුරාධපුරයේ දී අපි මෙය අපේ ජංගම වේදිකාවේ වේදිකාගත කළා. ඒ පසුගිය සැප්තැම්බර් 3 හා 4 දෙදින තුළ. එදා ‍කළේ හෙන්රිගේ හුණුවටයමයි. නමුත් නාට්‍යයේ මුල්ම දර්ශන දෙක නරඹන විට මට හිතුණා වෙනත් මානයකිනුත් මෙය යළි නිර්මාණය කරන්න පුළුවන් නේද කියන කාරණය.
මට දැනුණේ මේ නිර්මාණය මගේ දෙයක් වෙලා නැති වගක්. 1970 පටන් දහ‍පහළොස් වතාවක් මං හෙන්රිගේ හුණුවටය බලලා ඇති. මට මේ වෙලාවෙ හිතුනෙම තව විධි කිහිපයකට වුවත් හුණුවටය යළි නිර්මාණය කරන්න පුළුවන් බවයි. යළි තිරපිටපත අතට අරන් මං ඒ වෙනත් මාන සොයන්න ගත්තා. අසඩක්ලා, ගෲෂලා - සයිමන් සෂාවලා එහෙමම ඉඳිද්දි මං ඒ වෙනස ඇති කළා.
හෙන්රි ජයසේනයන්ගේ අනන්‍යතාවක් බඳු මේ නාට්‍ය‍ය එසේ වෙනස් කිරීම අසාධාරණයි කියා ඔබට හිතුණෙ නැද්ද....?
මට හිතෙන්නෙ මං හෙන්රිගේ නිර්මාණයට විශාල සාධාරණයක් කළ බවයි. නාට්‍ය පිටපතක් කියන්නේ සිරවී සිටිය යුතු දෙයක් නෙවෙයි.
මං හුණුවටයේ ඉංග්‍රිසි පරිවර්තන කිහිපයක් කියවා තිබෙනවා. නැවත නැවත කරද්දි බ්‍රෙෂ්ට් පවා එහි බොහෝ තැන් වෙනස්කොට තිබෙනවා. අනික ඔහු මෙය මුලින් ලීවේ කෙටිකතාවක් විදියට. යුද්ධය කාලේ ඇවිදින විට දැකපු දේ. ඔහු යළි යළිත් ඒ කතාවට එක් කළා. නාට්‍ය පිටපතක් වුණේ ඒ විදියට.
ලෝක යුද්ධය සමයේ හිට්ලර්ගෙන් ගැලවී පැන යන්න හදපු පසුබිමකයි මේ කතාව ඔහු අතින් ලියැවුණේ. යුද්ධය පිළිබඳ නාට්‍යයේ යටිපෙළ තිබූ මේ අදහස ඉස්මතු කිරීමටයි මා වෑයම් කළේ. එය, ‘හුණුවටය’ තවත් මානයකින් බැලීමක් පමණයි.
එහෙම වෙනත් මානයකින් ‍බලන්න පුළුවන් තරමට හුණුවටය පරිවර්තනය සාර්ථක බවද ඔබ කියන්නේ..?
ඇත්තටම ඔව්. එය හෙන්රි ජයසේනයන් අතින් ලියැවුණු පොහොසත් පිටපතක්. විවිධ මාන, විවිධ කෝණ ඒ තුළින් පේන්නේ එම සාර්ථකත්වය නිසා. පිටපත කියන්නේ නාට්‍යය නෙවෙයි. පිටපත සාර්ථක නම් පමණයි විවිධ හැඩතල ඉන් මතුවන්නේ.
නමුත් අපි කරන ඒ වෙනස විකාරයක් කිරීම යුතු නැහැ. තියෙන දේ වඩාත් තහවුරු කිරිමයි, ඒ වෙනසින් සිදුවිය යුතු. ඒකයි මා මුලින් කීවේ නාට්‍යයට මා අසීමිත සාධාරණයක් ඉටු කළාය කියා.
අනික අනුරාධපුරයේ දී සුදාරකත් මේ නාට්‍යය නැරැඹීමට පැමිණියා. අවුරුදු ගාණක් එයාගේ අම්මා කළ චරිතය දෙස බොහොම සංවේදීව බලා සිටියා. දෑස්වලට කඳුළු එන තරමට එදා ඔහු සංවේදී වුණා.
ඔබ හුණුවටයේ එන ජනප්‍රිය ගීතවලටත් ඒ වෙනස එක්කළාද..?
නැහැ. අතිශය ජනප්‍රිය ගීතවලට මුකුත් කළේ නැහැ. නමුත් සමහර ඒවායේ තනු වෙනස් කළා. මෙහි පොතේ ගුරෙක් නැහැ. නළු නිළියන්මයි වරින් වර පැමිණ ‘කෝරස්’ කියන්නෙත්. සමහර වෙලාවට වාදකයොත් චරිත නිරූපණය කරනවා. වාදනය සහ ගායනය නාට්‍යයෙන් වෙනම කොටසක් ලෙස පේන එක නවතා ඔවුන් නාට්‍යයේම කොටස් හැටියට මෙහි ක්‍රියාකාරී චරිත බවට පත්වෙනවා.
හෙන්රි ජයසේන මහතා ගිවිසුමකින් ජනකරළියට පැවරුවත් හුණුවටය, පරණ විදියට සුදාරකලත් කරගෙන යනවා. ඒ නිසා දෙපාර්ශ්වය අතර කිසිදු ගැටලුවක් නැහැ.
ජනකරළිය නිෂ්පාදනයක් ලෙස මා අධ්‍යක්ෂණය කළත් නාට්‍යයේ පෝස්ටර්වල හෙන්රි ජයසේනයන්ගේ හුණුවටය කියා සඳහන් කරන්නේ එතුමාට කරන ගෞරවයක් විදිහටයි.
කවුද අලුත් ගෲෂා, කවුද අලුත් අසඩක්..?
ජනකරළියේ අට වසරක් තිස්සේ රඟපෑ සෙල්වරාජ් ලීලාවතියි, අලුත් ගෲෂා. ඈ නාට්‍ය අධ්‍යක්ෂණයෙනුත් අත්දැකීම් ඇති ශිල්පිනියක්. සංජීව උපේන්ද්‍රයි අලුත් අසඩක්. දෙව්රාජ ශ්‍රී ලිවේරා, සයිමන් සෂාවා ලෙස රඟපානවා.

තාත්තට ඕනවුණේ හුණුවටයේ කතාව ජනතාව අතරට ගෙනියන්නයි.

සුදාරක ජයසේන
නව නිෂ්පාදනයේ දී හුණුවටයට සාධාරණයක් වෙලා තියෙන බව දුටුවම මට සතුටක් දැනුණා. තාත්තගේ අසඩක් චරිතය පසුව කළේ නලීන් ප්‍රදීප් උඩවෙල. අම්මගේ ගෲෂා චරිතය කළේ රුවිනි මනම්පේරි. මේ අයව තේරුවේ පුරුදු පුහුණු කළේ අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා.
හැබැයි ඒ දෙන්නම සතුටු වෙන මට්ටමට නලිනුත් රුවිනිත් ඒ චරිත රඟපෑවා. දවසක දැන් ගෲෂා, ලීලාවති - දෙමළ යුවතියත් ඒ තරමටම ඒවි. මා එදා පටන් දුටු පූරක, තව පණ ගසා ආවා නම්.... කියන සිතිවිල්ල මට නොආවා නෙවෙයි.
නමුත් එහෙමයි කියලා නැඟිට යන්න මට හිතුණේ නැහැ. මා ඒ හුණුවටයට ඇලුම් කළා. මොකද තාත්තා කියූ දෙයක් මට තවම මතකයි.
“මේ නාට්‍යය අවුරුදු ගාණක් කළේ අපි බව ඇත්ත. ඒත් අද ඔබ බලන මේ නාට්‍යයේ චරිත අපත් සමඟ සසඳන්න එපා! එහෙම කළොත් ඔබට එය රසවිඳින්නට නොහැකි වේවි..”
ඒ දෙන්නා අලුත් නළු නිළියන් පුහුණු කරලා එදා ප්‍රේක්ෂකාගාරයට එහෙම කිව්වෙ මොනතරම් සද්භාවයෙන්ද? ඒ නිසා මටත් පුළුවනි තාත්තගේ දැක්මට අනුව මේ නව නිෂ්පාදනය රස විඳින්න.
අනික තාත්තා ජනකරළියට මේ නාට්‍යය පැවරුවේ හුඟක් කලින්. තාත්තට ඕනෙ වුණේ පුළුවන් තරම් මිනිස්සුන්ට මේ නාට්‍යය පෙන්වන්න. ජනකරළිය ගම් ඇතුළට යන නිසා තාත්තා ඒ ගැන වඩාත් සතුටු වුණා. මොකද ඒ වෙනකොට ඒ දෙන්නම දුරබැහැර නාට්‍යය අරගෙන යෑමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයේ හිටියේ නැහැ. ඩීවීඩී පටයට පවා තාත්තා අවසර දුන්නේ මුදල ගැනවත් නොහිතා. එවිට මං ඇහුවා, “ඇයි තාත්තේ ඔය තරම් සුළු මුදලකට නාට්‍ය දුන්නේ? කියා ඔහුගේ පිළිතුර වුණේ, “අපි ඔය වැඩේ කරන්නෙත් නැත්නම්, කරන කෙනකුට දුන්නම අඩුම තරමෙ මිනිස්සු නාට්‍යය බලයි..” කියන කාරණය.

මම පාසල් යන කාලෙ සිංහල නාට්‍යයක් බලලාවත් නැහැ.

ගෲෂා ලෙස රඟන සෙල්වරාජ් ලීලාවතී
මං කිසිදාක මානෙල් මහත්මිය රඟන හුණුවටය දැක නැහැ. ඒ කාලෙ ‍බගවන්තලාව වතුකරයට නාට්‍ය ආවෙත් නැහැ. කර්කස්වර්ල්ඩ් - ‍ෙනාම්මර දෙක දෙමළ මහා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මං සිංහල නාට්‍යයක් දැකලවත් තිබුණෙ නැහැ. උසස් පෙළ කරන්න බගවන්තලාව ශාන්තමරියා විදුහලට ආවමයි දෙමළ නාට්‍යයකට වුණත් සම්බන්ධ වුණේ.
දවසක් හුණුවටය දෙමළ පරිවර්තනයට අලුත් ළමයි ගන්න පරාක්‍රම සර් ඉස්කෝලෙට ආවා. එතකොට මට එක සිංහල වචනයක්වත් බැහැ. දෙමළ බසින් කෙරෙන නිෂ්පාදනයක් නිසයි මං හිත හදාගෙන ඉදිරිපත් වුණේ. නාට්‍ය චරිතය ගැන කියද්දි මට දාඩිය දැම්මා.
රුවිනි මනම්පේරි කරපු ගෲෂාගේ චරිතය නම් මං දැක තිබුණා. නමුත් ඒවගේ ප්‍රධාන චරිතයක් ගැන හිතුවෙ නැහැ. දෙමළ නාට්‍යය කරගෙන යද්දි මුහුණ දීපු ලොකුම ගැටලුව තමයි අවශේෂ චරිත සඳහා නළු නිළියෝ සොයාගැනීම.
ඒ පාර තමයි සර්, දෙමළ නාට්‍යය නවතලා සිංහල එක පටන් ගත්තේ. ‘ලීලම මේ චරිතෙ කරන්න...’ සර් කිව්වම මාව ගැහෙන්න ගත්තා. දාඩිය දැම්මා.
“මං උත්සාහ කරන්නම් සර්..” මං කිව්වේ එපමණයි.
රුවිනි මනම්පේරි කළ චරිතය නිසා මගේ හිතේ ආසාව නොතිබුණාම නෙවෙයි. මගේ යෙහෙළිය, ඉනෝකා සොයුරිය මට උදව් කළා. රෑ තිස්සෙ දෙබස් පාඩම් කළා. මගේ වැරැදි වචන උච්චාරණය හැදුවේ ඇයයි.
සිංහල වචනයක්වත් බැරිව හිටි මම ගෲෂා වගේ කතා කරන්න ගත්තා. ඈ විදියට ගයන්න ගත්තා. කණ්ඩායමේ හැමෝම පුදුමාකාර ලෙස මට උදව් කළා.
නාට්‍ය පෙන්නුව දවසේ නාට්‍යය ඉවර වුණාම සුදාරක මහත්මයා මගේ ළඟට ඇවිත් ‘වෙල්ඩන්’ කිව්වා. මං දැක්කා එයාගේ ඇස්වල කඳුළු පිරිලා. මං මානෙල් මිස්ව දැකල නැති වුණාට එයා ගැන ‍හරි ගෞරවයක් දැනුණා.
ගෲෂාට පුළුවන් තරම් සාධාරණයක් ඉටු කරනවාය කියන අධිෂ්ඨානයෙයි, මං ඉන්නේ.

මේ අසඩක් වෙනස් හැඩයක කෙනෙක්

අසඩක් ලෙස රඟන සංජීව උපේන්ද්‍ර
ලංකාවේ නාට්‍ය ඉතිහාසයේ හුණුවටය මෙන් ම සන්ධිස්ථානගත වූ නාට්‍ය කිහිපයක් තිබෙනවා.
සුබ සහ යස, මකරාක්ෂයා චරිත මෙන් ම හුණුවටයේ අසඩක් කියන්නෙත් එහෙම මතක තිබූ අභිමානවත් චරිතයක්.
ඒ අසඩක්ගේ චරිතය මට රඟපාන්න ලැබෙනවා කියන එක ඇත්තටම එදා මට විශාල අභියෝගයක් වුණා.
ඒත් ඒ අසඩක්වම යළි වේදිකාවට ගේන එකේ තේරුමක් තියෙනවද කියන කාරණය පිළිබඳ නිරිඇල්ල මහතාත් මාත් දීර්ඝ සංවාදයක යෙදුණා.
එතුමා කියනවා වාගේ මේ හුණුවටයේ කතා නොකෙරුණු තව මානයන් තිබෙනවා. ඒ කියන්නේ අලුත් කෝණයකින් හුණුවටය දකින්න පුළුවන්. මොකද අසඩක් කියන්නේ විප්ලවය පිළිබඳ කලකිරුණු විප්ලවාදියෙක්.
‘එදා පිටවූ විනිසුරු ඒ - යළිත් නැත කිසිදු දිනෙක දුටුවේ...’
අසඩක් පිළිබඳ මට තියෙන බරපතළම ප්‍රකාශය ඒක. මෙවැනි අභියෝගශීලී හා සාධාරණ තීන්දු තීරණ දෙන විනිසුරුවරුන්ට මොකද වෙන්නේ. අදටත් ඒ ප්‍රශ්නය වලංගුයි.
ගෲෂට දරුවා බාරදෙන තීන්දුව දීලා අසඩක් පිටවුණා, පිටවුණාමයි. කිසිකෙනෙක් යළි ඔහු දුටු‍ෙව් නැහැ. ඔහුට සිදුවූයේ කුමක්ද? අපි අසඩක් ගැන හිතන්න ගත්තේ එතැන් පටන්. එහෙම කෝණයකින් අසඩක් දිහා බැලීම, ඉන් එහාට සිදුවන දේ පිළිබඳ යම් ඉඟියක් දීම සහ යම් සමාජ කතිකාවක් ගොඩනැඟීමට උත්සාහයක් දැරීම මේ හුණුවටයේ ප්‍රධාන කතාවට අමතරව සිදුවෙනවා.
ඒ හැරෙන්නට හෙන්රි ජයසේන මහතාගේ අසඩක් චරිතයට හා එහි රඟපෑමට අභියෝග කිරීමක් කිසිසේත් නැහැ. එතුමාගේ හැඩයට වඩා මේක වෙනස් හැඩයක්.
පැය 2.45 ක් මේ නාට්‍ය බලා සිටීමේ අභියෝගයට ජනතාව දැක්වූ හොඳ ප්‍රතිචාර, අපි වඩාත් හොඳින් දුටුවේ වවුනියාවේදී සහ අනුරාධපුරේදී.
ඔවුන්ගේ නාට්‍ය නැරැඹීමේ උනන්දුව පුදුම සහගතයි. ඒ එකඳු ප්‍රේක්ෂකයෙක් හෝ නැඟිට ගියේ නැහැ. අපේ ව්‍යායාමය සාර්ථකයි කියල හිතෙන්න ඒ ප්‍රතිචාරය ප්‍රමාණවත්.
ඉතින් අසඩක්ගේ ඒ අලුත් දැක්මට අලුත් හැඩයට සර්ව සාධාණය ඉටුකිරීමයි මගේ එකම උත්සාහය.

http://www.silumina.lk/2013/12/22/_art.asp?fn=cr1312221

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.