Wednesday, January 8, 2014

පිටකොටුවේ බෝධිය යට සින්නදුරේගේ කැලැන්ඩර් විප්ලවය

පිටකොටුවේ බෝධිය යට සින්නදුරේගේ කැලැන්ඩර් විප්ලවය

ප්‍රථම සිංහල දින දසුන
එක්දහස් නමසිය පනස් ගණන් වනවිට අවුරුද්ද ආරම්භ වනවිට දින දර්ශන කැලැන්ඩර් ආදිය වැඩි ප්‍රමාණයක් විදේශ රටවල මුද්‍රණයකර මෙරටට ආනයන කරන ලද ඒවා විය. එහි චිත්‍රවලට පවා තිබු‍ණේ එලිසබෙත් මහරැජින, එඩින්බරෝ ආදිපාදවරයා, විදේශවල ප්‍රසිද්ධ ගොඩනැඟිලි ස්ථාන පමණක් නොව එහිසිටි කුඩා දරුවන් ළමුන් පමණක් නොව බල්ලො - බළලුන් පවා විදේශ ආකෘති විය. මේ එවන් යුගයක සිංහල දින දර්ශනයක් පමණක් නොව එයට ජ්‍යොතිෂය, දිනයේ වැදගත්කම හා විවිධ චිත්‍ර එක් කරමින් නිර්මාණශීලී දිනදර්ශනයක් බිහිකල එස්. ටී. සින්නදුරේ හා ලීලා දිනදර්ශනය පිළිබඳ කතාවයි.
එක්දහස් නමසිය හැට ගණන්වල සාහිත්‍ය මාසයේ සිංහල පුවත්පතක සාහිත්‍ය අති‍රේකයකට ලිපියක් ලියමින් ලීල් ගුණසේකර මහතා පැවැසුවේ බොහෝ නවක ලේඛකයින්ට තම ලේඛක හැකියාව දියුණු කරගැනීම සඳහා දින දර්ශනය උපකාර වන බව ය‍. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එක් එක් දිනයට විශේෂිත පුද්ගලයින් ගැන සහ දින පිළිබඳව ලිපි ලියා පුවත්පත්වලට යැවීමෙන් තම ලේඛක හැකියාවන් දියුණු කර ගන්නා බව ය.
ලේඛන කලාවට ඇතුළත්වීමට වි‍ශේෂයෙන් පුවත්පත් කලාවට පෙරුම් පුරමින් සිටි එම අවදියේ එක් එක් දිනයට නියමිත විශේෂත්වයන් දැන ගැනීමට මා මෙන් ම මගේ හිතවත් ලේඛකයින් බොහෝ දෙනෙක් ම එම අවශ්‍යතාවය සපුරා ගත්තේ ලීලා පංචාංග දින දර්ශනය මිලදී ගැනීමෙනි. නිවසේ සිට පිටකොටුවට එන මම පිටකොටු‍ව බෝධි රාජයා ඉදිරිපිට ඇති ලීලා ස්ටෝර්ස් වෙතින් කැලැන්ඩරයේ පිංතූරය කොටස නොමැතිව, දින සටහන් ඇති කොටස පමණක් මිලදී ගෙන එහි කොළ නොගලවා පරිස්සමින් පොත් රාක්කයේ තබා ගතිමි. ඒ එවිට එහි මිල රුපියල් දහයකින් ද අඩු වන බැවිනි.
එකල බොහෝ දෙනෙකුට ලීලා පංචාංග දින දර්ශනය පිටු ගැ‍ලවෙන දින දසුනකට වඩා විශේෂයෙන් ආරක්ෂා කරගන්නා වටිනා ග්‍රන්ථයක් බඳු විය. දිනයේ හිරු උදාවත් සමඟ එම දිනයේ ඇති ජ්‍යොතිෂ වටිනාකම, අකුරු කියවීමට, කන් විඳීමට සුදුසු සුභ හෝරාවල් ලොව පතළ දෙස් විදෙ‍ෙස් නායක පාලක දේශපාලනඥයින් කවියන්, කලාකරුවන්, සාහිත්‍යධරයන් සහ විද්වතුන්ගේ තොරතුරු එම දින දර්ශනයට ඇතුළත් විය. එනිසා ලීලා පංචාංග දින දර්ශනය ලොකු - කුඩා, බාල - මහලු සෑම දෙනාටම ප්‍රයෝජනවත් විය.
එක්දහස් නමසිය පනස් ගණන් වනවිට අවුරුද්ද ආරම්භ වනවිට දින දර්ශන කැලැන්ඩර් ආදිය වැඩි ප්‍රමාණයක් විදේශ රටවල මුද්‍රණයකර මෙරටට ආනයන කරන ලද ඒවා විය. එහි චිත්‍රවලට පවා තිබු‍ණේ එලිසබෙත් මහරැජින, එඩින්බරෝ ආදිපාදවරයා, විදේශවල ප්‍රසිද්ධ ගොඩනැඟිලි ස්ථාන පමණක් නොව එහිසිටි කුඩා දරුවන් ළමුන් පමණක් නොව බල්ලො - බළලුන් පවා විදේශ ආකෘති විය.
“ඇයි මේ සිංහල අපේ රටේ සිංහලෙන් හොඳ හරවත් දින දර්ශනයක් නිර්මාණය කරගන්න බැරි”, පිටකොටුවේ බෝධිරාජ මාවත ඉදිරිපිට ඇති ලීලා ස්ටෝර්ස්හි සින්නදුරේ මුදලාලිට සිතුණේ වරක් දෙවරක් ම නොවේ.
එවැනි සිතුවිල්ලක් සින්නදුරේ මුදලාලිට ඇති වූයේ නිකම්ම නොවේ. කොළඹ යුගයේ කවීන් බොහෝ දෙනෙකු සින්නදුරේ මුදලාලිගේ සමීප හිතවතුන් විය. ඔවුන් නිතර බෝධි රාජ මාවතේ ලීලා ස්ටෝස් හි ‍සාප්පු බඩු, පොත් පත්තර අලෙවි කළ නිසා පමණක් නොව සින්නදුරේ මුදලාලි ‘ලීලා මුද්‍රණාලය’ යනුවෙන් මුද්‍රණාලයක් අලුත්කඩේ සන්තබස්තියම කඳු මුදුනේ පවත්වාගෙන ගිය නිසා ය. එකල කොළඹ කවීන් බොහෝමයකගේ කවි පොත් මුද්‍රණය වූයේ සින්නදුරේ මුදලාලිගේ ලීලා මුද්‍රණාලයේ ය.
සින්නදුරේ මුදලාලි හෙවත් ෂන්මුගම් තම්බයියා සින්නදුරේ, කන්කසන්තුරේ, තෙලිප්පිලිහිද‍ී උපන්නේ 1903 ජූනි මස 23 දිනය. කුඩා වියේදීම පියා මියගිය බැවින් කුඩා සින්නදුරේ වයස අවුරුදු දහ තුනේදී තම සෞභාග්‍යය සොයා කොළඹට පැමිණියේ ය. වසර ගණනාවක් විවිධ වෘත්තීන්හි නිරතව සිටි ඔහු වැඩි කාලයක් ගතවීමට ප්‍රථම කොම්පඤ්ඤ වීදියේ කුඩා කඩ කාමරයක පුංචියට සිල්ලර කඩයක් ආරම්භ කළේ ය. උත්සාහයෙන් වැඩකටයුතු කළ සින්නදුරේ තරුණයා වෙළෙඳාමෙහි සූරයකු විය.
එක්දහස් නමසිය විසි දෙක වනවිට සින්නදුරේ තරුණයාට වයස අවුරුදු දහ නමයක් විය. පිටකොටුවේ බෝධිරාජයා ඉදිරිපිට කුඩා ව්‍යාපාරික ස්ථානයක් කුලියට දීමට තිබෙන බව සින්නදුරේට දැනගන්නට ලැබුණි. එය ‘ලීලා ස්ටෝර්ස්’ යනුවෙන් හැඳින්වුණ කුඩා සිල්ලර කඩයක් විය. සින්නදුරේ එම කඩය මිලදී ගෙන එම නමින් ම ව්‍යාපාරය පවත්වාගෙන යන්නට විය.
එම කාලයේ බොහෝ දෙනා පුරුදුව සිටියේ සුරුට්ටු බීමට ය. විශේෂයෙන් යාපනයේ සුරුට්ටු බීමට ය. ඒ කාලයේ පිටකොටුවේ බෝධිරාජයා සමීපයහි කරත්ත ගාල් කර සිටි කරත්ත කරුවන්ට ඉස්තරම්ම සුරුට්ටු අවශ්‍ය විය. සින්නදුරේ තරුණයා යාපනයෙන් දුම්කොළ ගෙන්වා සුරුට්ටු නිෂ්පාදනය කර අලෙවි කළේ ය. එකල ඒවා කොළඹ අවට සු‍රුට්ටු පානය කරන්නන් අතර ඉතාමත් ජනප්‍රිය විය. ඊට අමතරව යාපනයේ සාදන ලද විවිධ ආකාරයේ තල්කොළ පෙට්ටි, උතුරේ නිෂ්පාදන භාණ්ඩ කොළඹ ගෙන්වා ‘ලීලා ස්ටෝර්ස්’ වෙළෙඳ සැලේ තබා අලෙවි කළේ ය. කලක් යනවිට ලීලා ස්ටෝර්ස් වෙළෙඳ සල කා අතර ජනප්‍රිය, හොඳ ආදායමක් උපයන වෙළෙඳ ව්‍යාපාරයක් බවට පත් විය. ‘ලීලා ස්ටෝර්ස්’ අධිපති සින්නදුරේ ද ‘ලීලා මුදලාලි’ යනුවෙන් මිනිසුන් අතර හැඳින්වෙන්නට විය.
මේ කාලය වනවිට කොළඹ යුගයේ කවීන්ගේ ස්වර්ණමය අවදිය විය. එනිසා ම ලීලා ස්ටෝර්ස්හි සිංහල කවි සඟරා පොත් පත් ප්‍රකාශන අලෙවි කිරීම ඇරඹුවේ ය. ටික කලක් යනවිට සින්නදුරේ මුදලාලි සිංහල සාහිත්‍යධරයන්ට, කවීන්ට ලේඛකයින්ට, කලාකරුවන්ට අත දීමක් වශයෙන් පොත්පත් සඟරා ප්‍රකාශයට පත් කළේ ය. එකල කොළඹ යුගයේ ජනප්‍රිය කවීන් වන පී.බී. අල්විස් පෙරේරා, ජෝන් රාජද්‍රස, කපිල ඊ. සෙනවිරත්න, මීමන ප්‍රේමතිලක, සාගර පළන්සූරිය, විල්සන් හ‍ෑගොඩ, මාකඳුරේ ගුණවර්ධන වැනි කවීන්ගේ කාව්‍ය නිර්මාණ ලීලා ස්ටෝර්ස් ප්‍රකාශන ලෙස ප්‍රසිද්ධියට පත්විය.
මෙලෙස ලීලා ප්‍රකාශන ජනප්‍රිය වෙත්ම ඒවා මුද්‍රණය කිරීමට තමන්ටම මුද්‍රණාලයක් තිබීමේ අවශ්‍යතාවය ලීලා මුදලාලිට තේරුම් ගියේ ය. එනිසා හතලිස් ගණන්වල අවසාන භාගයේ කොළඹ මැලිබන් වීදියේ මුද්‍රණාලයක් ආරම්භ කළේ ය. පසුව එය වඩාත් නවීකරණයකර කොළඹ මැලිබන් වීදියේ මුද්‍රණාලයක් ආරම්භ කළේ ය. පසුව එය වඩාත් නවීකරණය කර කොළඹ අලුත්කඩේ සන්තබස්තියමේ පිහිටු වීය.
සින්නදුරේ මුදලාලිට ලීලා මුද්‍රණාලය ආරම්භ කර ටික දිනක් යන විට ම අධ්‍යාපනික දින දර්ශනයක් බිහි කිරීමේ අදහස දැඩි විය. එහි දිනයෙහි වැදගත්කම, ආගමික සාමාජික සංස්කෘතික හා දේශපාලන අංශයන්ගෙන් සමාජයට සේවයක් සිදුකළ ජනහිතකාමීන් හා විද්වතුන් පිළිබඳ විස්තර, ‍ෙජ්‍යාතිෂය පිළිබඳ වැදගත් තොරතුරු, රුවන් වැකි ආදිය එයට ඇතුළත් විය යුතු බව ඔහු මුල සිට ම තීරණය කළේ ය.
ලීලා මුදලාලි එම බැරෑරුම් කාර්යය සඳහා තෝරා ගත්තේ, අලුත්ගම ආරියවංශ හිමි නමින් පැවිදිව සිට පසුව උපවැදි වූ ලේක්හවුස් හි දිනමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කළ ඇල්.පී. දේශබන්ධු මහතාව ය.
ඇල්.පී. දේශබන්ධු මහතා ලීලා පංචාංග දින දර්ශනය සැකසීම සඳහා බෙහෙවින් වෙහෙසුණේ ය. අලුත් ම ආකාරයේ දින දර්ශනයක් නිසා කල්පනා කළයුතු දේවල් බොහෝමයක් විය. තොරතුරු සොයා ගැනීමට ද බෙහෙවින් වෙහෙස විය යුතු විය.
කෙසේ හෝ එක් දහස් නමසිය පනහේ ජනවාරි මාසයේදී ලීලා පංචාංග දින දර්ශනය ප්‍රථම වරට නිකුත් විය. මුද්‍රණය තාක්ෂණය දියුණුව නොතිබුණ එම යුගයේ අවශ්‍ය චිත්‍රවල බ්ලොක් කපමින්, ලී අකුරු අමුණමින් සිදුකළ එම කාර්යය ඇත්තෙන් ම වෙහෙසකර කටයුත්තක් විය. වැඩි කාලයක් ගතවීමට පෙර ලීලා පංචාංග දින දර්ශනය ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය විය. දෙමාපියන් තම දරුවන්ට ලීලා පංචා‍ංග දින දර්ශනය රැගෙන ගියේ දිනපතා කොළය බැගින් කඩා දැමීමට නොව අධ්‍යාපනික පුස්තකයක් වශයෙන් කියවා ආරක්ෂා කර ගැනීමට ය‍. බෞද්ධයන් බොහෝ දෙනෙකු ලීලා පංචාංග දින දර්ශනය භාවිතා කළේ තමන්ගේ එක් එක් විශේෂ කටයුතුවලදී සුභ වේලාවන් දැන ගැනීමට ය. රාහු කාලය, අසුභ වේලාවන් මඟහරවා‍ ගැනීමට ය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කවියකු නොවූවත්, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වශයෙන් සිටියේ දී ලීලා පංචාංග දින දර්ශනය පිළිබඳව සිය ප්‍රසාදය මෙසේ සටහන් කර ඇත.
කෙටියෙන් වුව ද විශ්වයෙ ඇති විවිධ පැති
හෙළි කොට එදිනෙදා තොරතුරු වඩන රුතී‍
ලීලා දින දසුන දින පොත අගය ඇතී
මා වෙත තිළිණ කළ එක ගැන පුදමි තුතී
යෝගය නැකත හා සෙනසුරු සිකුරු දසා
කාලය රාහු සටනින් මරු සිටින දිසා
සූරිය උදාවත් කිසිවිට නොවන මුසා
හඳුනයි රටම ලීලා දින දසුන නිසා
ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස විරුදාවලිය ලත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලීලා දින දර්ශනය ගැන වරක් මෙසේ ලීවා ය.
“ලීලා මුද්‍රණ ආයතනයේ නිර්මාතෘ අප හිතවත් සාම විනිසුරු සින්නදුරේ මහතා සිටියදීත් දීර්ඝ පටන් අප වෙත වාර්ෂිකව එවන ලීලා පංචාංග දින දර්ශනය අපගේ සිත් ගත් අතර වර්ෂය පුරාම එයින් ඉමහත් ප්‍රයෝජනයක් ලබන බව සතුටින් දන්වමි. සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් වන අයුරින් සකස් වී ඇති මෙම දින දසුන බොහෝ දෙනා අතර බහුල වශයෙන් ජනප්‍රියවී ඇති බවද සඳහන් කරුණු කැමැත්තෙමි.
දිනපතා ඉතා වැදගත් ඓතිහාසික සිද්ධීන් ඇතුළත් ලීලා පංචාංග දින දර්ශනය ලේඛකයකු වූ මට නැතිවම බැරි දෙයකි යනුවෙන් වරක් ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා පැවසුවේ ය.
එක් දහස් නවසිය පනහේ සිට මේ දක්වා වසර හැට තුනක් අඛණ්ඩව ප්‍රකාශයට පත් කරන ලීලා පංචාංග දින දර්ශනයහි තොරතුරු සම්පාදනය සහ එය සකස් කිරීම දැන් සිදු කරන්නේ මල්ලිකා වනිගසේකර විසිනි.
“මම දිනපතා ලංකාවෙ පළවන ඉංග්‍රීසි සිංහල පුවත්පත්වල මෙරට සහ විදේශ තොරතුරු ස‍ැම එකක් ම කියවල බලල ඒවායින් වැදගත් වන තොරතුරු ඇතුළත් පත්තර කෑලි කපල එකතු කරනවා. ඒ වගේ ම රූපවාහිනිය නරඹලා එහි විකාශනය වන වැදගත් තොරතුරු සටහන් කරගන්නවා. අගෝස්තු මාසයේ මුල් දිනවල එම තොරතුරුවලට අවශ්‍යය ඡායාරූපත් එකතු කරල ලීලා මුද්‍රණාලය අධිපති එස්. දේශබන්ධු මහත්තයට ඉදිරිපත් කරනවා.
එක දිනයකට තියෙන විශේෂ සිද්ධීන් හෝ පුද්ගලයින් අතරින් එකක් දේශබන්ධු මහත්තයා තෝරලා දෙනවා” මල්ලිකා පවසන්නේ ලීලා පංචාංග දින දර්ශනය හි දිනයහි විශේෂත්වය සඳහා සිද්ධියක් හෝ පුද්ගලයකු තෝරා ගන්නා අන්දම ය.
පෝය ලබන ගෙ‍වන වේලාවල්, රාහු කාලය, එක් එක් කටයුතු සඳහා සුභ වේලාවල් සහ සිංහල අවුරුදු චාරිත්‍ර පිළිබඳ තොරතුරු ඈපා පංචාංග දින දර්ශනයහි ඉන්දික සෙනවිරත්න ලබාදෙයි. දවසට නියමිත කොළයේ යටින් ම ඇති රුවන් වැකිය තෝරා දෙන්නේ නිර්මල සමරසිංහ විසිනි.
දිනකට එක කොළය බැගින් ලීලා පංචාංග දින දර්ශනයහි කොළ තුන් සිය හැට පහකි. එයට අමතරව ධම්මපදයෙහි කොටස් හෝ ප්‍රසිද්ධ කවීන්ගේ කවි පංති කීපයක් ඇතුළත් කොළ දාහතක් එයට අමතරව ලීලා පංචාංග දින දර්ශනයට එකතුවෙයි.

සිංහල මිනිසුන්ගෙන් හම්බ කළ නිසා සිංහල මිනිසුන්ට උදව් කරන්න තාත්තා හිතුවා

එස්. දේශබන්ධු, අධිපති, ලීලා මුද්‍රණාලය
එක්දහස් නමසිය හතලිස් හයේ ජූලි 29 දින කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට මුල්ගල තැබුණේ සර් ක්ලෝඩ් කොරයා මහතා අතිනි. එදින එම උත්සවයට ද සහභාගි වී නාගදීපයේ ද වන්දනාවේ යාම සඳහා ප්‍රකට කවීන් පිරිසක් ද එදින කන්කසන්තුරේට පැමිණ සිටියහ. ඔවුන් එදින නවාතැන්ගත්ත් එස්. ටී. සින්නදුරේ මහතාගේ තෙලිප්පිලේ ආනන්ද ගිරි නිවසේ ය. ඒ, සින්නදුරේ මහතා කොළඹ කවීන් සැමගේ අතිජාත මිත්‍රයකු ව සිටි නිසා ය. රාත්‍රි භෝජනය මෙන් ම රාත්‍රි නවාතැන් ද සැපයුනේ ආනන්දගිරි නිවසිනි.
කවි, ගීත රාත්‍රිය පුරාම තෙලිප්පිලේ ආනන්දගිරි නිවසේ පැතිරුණි.
එදින එම රාත්‍රියේ එම නිවසේ තවත් විශේෂ සිද්ධියක් සිදුවෙමින් පැවතුණි. ඒ සින්නදුරේ මැතිනිය සිය හයවෙනි දරුවා බිහි කිරීමට සූදානම්ව සිටීම ය. මධ්‍යම රාත්‍රිය එළඹීමට ප්‍රථම ඇය පුතෙකු මෙලොවට බිහි කළා ය.
ආනන්ද ගිරි නිවසේ රැස්ව සිටි සිංහල කවීන් පැවසුවේ දරුවාට සිංහල නමක් තබන ලෙස ය. විශේෂයෙන් එම ඉල්ලීම කළේ වී.ඩී. ද ලැනරෝල් කවියා ය. සින්නදුරේ මහතා එම වගකීම ලැනරෝල් මහතාට ම භාර කළේ ය.
රටට දේශයට ඥාතිවරයකු යන තේරුම ඇති ‍'දේශබන්ධු’ යන නම අලුත උපන් පිරිමි දරුවාට තැබුවේ වී.ඩී. ද ලැනරෝල් මහතා ය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනීම ලැබූ මෙම එස්. දේශබන්ධු මහතා අද ලීලා මුද්‍රණාලයහි අධිපතිත්වය දරමින් ලීලා පංචාංග දින දර්ශනය මුද්‍රණය කිරීමේ වගකීම දරයි.
“මගේ පියාගේ කාලයේ පටන් ඉතාමත් කැමැත්තෙන් ලීලා පංචාංග දින දර්ශනය මුද්‍රණය කළා‍. සිංහල මිනිස්සුන්ගෙන් සල්ලි හම්බ කළ නිසා තාත්ත හිතුව සිංහල මිනිසුන්ට උදව් කරන්න ඕනය කියලා මගෙත් කල්පනාව අඛණ්ඩව එම සේවය කරන්නයි.” එස්. දේශබන්ධු මහතා පවසන්නේ ලීලා පංචාංග දින දර්ශනය අඛණ්ඩව මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වන බව ය.
සමස්ත ලංකා මුද්‍රණ ශිල්පීන්ගේ සංගමයේ ලේකම් හා සභාපති ධූරය දීර්ඝ කාලයක් දේශබන්ධු මහතා උසුලා ඇත. කන්කසන්තුරේ උපන් හින්දු භක්තිකයෙකු වුවත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් “ශාසන ශෝභන ලංකා පුත්‍ර” යන ගෞරව සම්මානය ‍ඔහුට පුද කර ඇත්තේ බුදු දහමට කර ඇති සේවය අගය කිරීමට ය.

0 comments:

Post a Comment

ඔබේ අදහස් අපට බොහෝ වැදගත්!.අපේ බ්ලොග් අඩවිය ගැන ඔබට කියන්න තියන ඕනෑම දෙයක් අපට එවන්න..අපි කැමතියි ඒවා නිර්මාණ ගත කරන්න.